වත්මන් රජය බලයට පත් වූ පසුව මෙරට ජනතාවගේ වත්මන් හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් ගන්නා ලද ඉතා ම වැදගත් තීරණයක් ලෙස ඔවුන් විසින් ජනතාවට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිමය ප්රකාශයන්ට එකග ව කෘෂිකර්මාන්තයේ දී වල්නාශකයක් ලෙස භාවිත වන උග්‍ර විෂ සහිත ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය තහනම් කරන ලදී.
නමුත් එය තහනම් කර වසර 3 ක් ඉක්ම යාමට ප්‍රථමයෙන් මෙම වල්නාශකයේ හිිමිකාරීත්වය දරන මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත රජයේ නිලධාරින් හා ආණ්ඩුවේ විෂය භාර අමාත්‍යවරුන්ගේ මැදිහත් වීමෙන් ජනතාවගේ වත්මන් හා අනාගත පැවැත්ම විනාශයට ලක් කරමින් කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කෙරිණ.
මෙම තහනම ඉවත් කිරීමට ප්‍රථමයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයා හා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සඳහන් කළේ තේ හා රබර් වගාව සඳහා මාස 36 ක කාලයකට ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බව ය. එහි දී ඔවුන්ගේ උත්සාහය වූයේ වැවිලි සමාගම්වල වුවමනාවන් ඉටු කිරීම සඳහා වතුකරයේ ජනතාව උකසට තැබීමට ය. යහපාලනය රට තුළ ස්ථාපිත කිරීමට ජනතාව සමග සම්මුතිගත වූ වත්මන් ආණ්ඩුව ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් නොව බහුජාතික සමාගම්වල වුවමනාවන් මත ඔවුන්ගේ ලාභාපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටින බව මේ මගින් මනා ව තහවුරු වේ.
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ සමස්ත ක්‍රියාවලියේ දී මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් වෙනුවෙන් කටයුතු කරන්නේ ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා (Croplife SriLanka) ආයතනය යි. ලංකාවට කෘෂි රසායනික ගෙන්වන සමාගම් එක් ව ගොඩනගා ගන්නා ලද මෙම සංවිධානයේ වත්මන් සභාපතිවරයා සීග්‍රෝ සිංගප්පූර් සමාගමේ (Zegro Singapore (pvt)Ltd) රෝහිත නානායක්කාර ය. ක්‍රොප්ලයිෆ් ශ්‍රී ලංකා ආයතනය ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීමේ ක්‍රියාවලිය පිටුපස සිටින ප්‍රධාන හස්තය බවට තහවුරු වී ඇති අතර මෙම ආයතනය තම සමාජික සමාගම්වල ලාභය වෙනුවෙන් පෙනී සිටිමින් මෙරට ජනතාව උකසට තබමින් තම ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර ගැනීම සඳහා රජයට විශාල බලපෑමක් සිදු කරයි.
ජනතාව රවටමින් ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම
වත්මන් රජය බලයට පත්වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මාස හැටකින් අලූත් රටක් හදන පංච විධ ක්රියාවලියෙහි’’ හානි කර කෘෂි රසායනික පිළිබඳ ව විශේෂයෙන් අවධාරණය කර තිබිණ. එහි සඳහන් කර තිබෙන පරිදි පරිසරය සුරකින කාබනික ගොවිතැන මගින් හරිත නිෂ්පාදන සඳහා ඇති විදේශීය වෙළෙඳපොළ අල්ලා ගැනීමට උත්සාහ ගන්නා අතර රටෙහි ආහාර ස්වෛරීභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ස`දහන් විය. මීට අමතර ව මිනිසාට හා පරිසරයට හානි කර මෙන්ම විශේෂයෙන් වකුගඩු රෝගයට හේතුවන බව සොයාගෙන ඇති කෘෂි රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීම දින 100 තුළ තහනම් කළ බවත් එය තවදුරටත් ක්‍රියාත්මක වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාවට නංවන බවත් එහි සඳහන් කර තිබුණි.
එපමණක් නොව වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමට ප්‍රථම ජනතාවට ඉදිරිපත් කළ ‘‘මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්’’ ප්‍රතිපත්ති ප්රකාශනයේ, වකුගඩු රෝගයට හේතු වන බවට හෙළිදරව් වූ කෘෂි රසායනික ගෙන්වීම හා බෙදාහැරීම වහා ම තහනම් කරන බව සඳහන් විය.
කෘෂි රසායනික භාවිතය හේතුවෙන් දිවයින පුරා ජනතාව නිදන්ගත වකුගඩු රෝගයට ගොදුරු වන බැවින් ග්ලයිෆොසෙට් ඇතුළු හානි කර කෘෂි රසායනික ආනයනය හා භාවිතය සම්පූර්ණයෙන් ම තහනම් කිරීම සඳහා මෙම ප්‍රතිපත්ති ප්‍රකාශන පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2015 මැයි මස 27 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබේ. එම අනුමැතිය පාදක කර ගෙන 1994 අංක 6 සහ 2011 අංක 31 දරන පනත් වලින් සංශෝධිත 1980 අංක 33 දරන පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තියට අනුව බලපත්‍ර තහනම් කිරීම යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර් විසින් 2015 ඔක්තෝබර් මස 23 වන දින අංක 1937/35 දරන ගැසට් නිවේදනයෙන් සක්‍රීය ග්ලයිෆොසෙට් රසායනිකය අඩංගු සියලූ ම පළිබෝධනාශක සඳහා ලබා දී තිබු බලපත්‍ර අවලංගු කරන ලදී. ඊට ප්‍රථමයෙන් 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(3) උප වගන්තිය සහ 14 වන වගන්තිය මෙන් ම 20 වන වගන්තියට අනුව ප්‍රකාශිත 2015 ජුනි මස 11 වන දින අංක 1918/22 දරන ගැසට් නිවේදනයට අනුව ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ලංකාවට ගෙන්වීම සම්පූර්ණයෙන් ම තහනම් කරන ලදී.
මේ ආකාරයෙන් ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක ගෙන්වීම සහ භාවිතය සඳහා වන බලපත්‍ර අහෝසි කිරීමට ප්‍රථමයෙන් පළිබෝධනාශක පනතේ 11 වන වගන්තියට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර් වරයා විසින් ප්‍රකාශයට පත් කළ 2014 දෙසැම්බර් 22 වන දින අංක 1894/4 දරන ගැසට් නිවේදනය අනුව අනුරාධපුරය, පොළොන්නරුව, කුරුණෑගල, මොනරාගල යන දිස්ත්‍රික්ක හතර තුළ හා බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද හා කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙක තුළ ග්ලයිෆොසෙට් අඩංගු වල්නාශක භාවිතය හා විකිණීම තහනම් කර තිබුණි.
පළිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීම තහනම් කරන සියලූ ගැසට් නිවේදනවල ප්‍රධාන වශයෙන් ම අවධාරණය කර ඇත්තේ මහජනතාවගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් මත මෙම තහනම් කිරීම සිදු කරන බව ය. නමුත් පළිබෝධනාශක පාලනය කිරීමේ පනතේ 11 වන වගන්තිය යටතේ පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ප්‍රකාශයට පත් කළ 2018 ජුනි 11 වන දින අංක 2079/37 දරන ගැසට් නිවේදනය මගින් ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ බලපත්‍ර තහනම් කිරීම අවලංගු කර ඇති අතර මෙදින ම ප්‍රකාශිත අංක 2078/38 දරන ගැසට් නිවේදනය මගින් දිස්ත්‍රික්ක හතරක හා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක ග්ලයිෆොසෙට් භාවිතය හා විකිණීමේ තහනම ද ඉවත් කරන ලදී. මෙහි දී ද අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ මහජනයාගේ හිත පිණිස සහ පළිබෝධනාශක තාක්ෂණික හා උපදේශක කමිටුවේ උපදෙස් පරිදි ග්ලයිෆොසෙට් තහනම ඉවත් කළ බව ය. මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථමයෙන් කිසි`දු ආකාරයක කැබිනට් අනුමැතියක් ලබා ගෙන නොමැත. කැබිනට් අනුමැතියකින් තොරව ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීමට මෙම ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කිරීම සඳහා කෘෂි රසායනික සමාගම් වලින් රජයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ නිසා රජයට ජනතාව ගැන සිතීමට හෝ නීතිය පිළිබ`ද ව තැකීමට අමතක වී ඇත.
මෙම ගැසට් නිවේදන වල සදහන් වන ආකාරයට මහජනතාවගේ හිතසුව පිණිස උග්‍ර විෂ වල්නාශක භාවිත කිරීම හා විකිණීමේ අවසරය ලබා දුන් පළමු අවස්ථාව මෙයයි. ග්ලයිෆොසෙට් වල්නාශක අඩංගු බෝතල්වල ‘‘පළිබෝධනාශක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න’’ ලෙස සඳහන් වේ. එසේ තිබිය දී හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා ප්‍රසිද්ධියේ සඳහන් කළේ ග්ලයිෆොසෙට් විෂ රහිත බවත් එය පානය කිරීමේ හැකියාව සහිත වල්නාශකයක් බවත් ය. මොන්සැන්ටෝ සමාගමේ වුවමනාවන් හා කොමිස් වෙනුවෙන් මේ ආකාරයේ වැරදි මතයන් සමාජ ගත කර සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් තහනම් වල්නාශක භාවිතා කිරීමේ අවස්ථාව නැවත ලබා ගන්නා ලදී.
1970 වසරේ සිට අද දක්වා රසායනික පළිබෝධනාශක 36 ක් මෙරට තුළ භාවිතය නීතියෙන් තහනම් කිරීම හා නියාමනය කිරීම සිදු කර ඇත. පළමු වතාවට නියාමන හා නීතිමය අයුරින් තහනම් කළ උග්‍ර විෂ වල්නාශකයක් නැවත තහනම ඉවත් කළ අවස්ථාව ලෙස ගල්යිෆොසෙට් තහනම ඉවත් කිරීම සඳහන් කළ හැකි ය. මෙය මොන්සැන්ටෝ සමාගමේ දැඩි බලපෑම මත ජනතාව උකසට තබමින් සමාජ ආචාරධර්ම උල්ලංඝනය කරමින් සමාගමෙන් ලැබෙන වරප්‍රසාද හා වරදාන වලට ඇති ගිජු බව නිසා ගත් තීරණයක් බව පැහැදිලි වේ. මේ නිසා රටේ ජනතාව වකුගඩු රෝගයට ගොදුරු වුව ද, පිළිකා හා දරු උපත් ආබාධ ඇති වුව ද, පරිසරය හා ජෛව පද්ධතීන් බිඳ වැටුණ ද නිලධාරින්ට හා අමාත්‍යවරුන්ට ගැටලූවක් නැත. ඔවුන්ට ගැටලූ මතුවන්නේ මොන්සැන්ටෝ සමාගමේ ලාභය අඩු වීම හා වැවිලි සමාගම්වල ලාභය අඩු වීම පිළිබඳව ය. එය භාවිතයෙන් ජනතාවට සිදුවන කිසි`දු අහිතකර ප්රතිවිපාකයක ගැටලූවක් මේ කිසිවකුට නැත.
නමුත් ඔවුන් ජනතා වරමින් බලයට පත් වූ බවත් ජනතාව සමඟ සම්මුතිගත වූ බවත් ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන බවත්, ජනතාව වෙනුවෙන් යහපත් තීන්දු තීරණ ගැනීමට පමණක් බලය පවරා ඇති බවත් අමතක කරති. බලයට පත් වූ විට හා නිල බලයන් හිමි වූ විට නිලධාරින් හා අමාත්‍යවරුන් සිතන්්නේ තමන් සේවය කරන්නේ සමාගම්වල ලාභය වෙනුවෙන් බව ය. මේ නිසා ඔවුන් ට දැනෙන්නේ ග්ලයිෆොසෙට් තහනම් කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් මත සිදු නොවු ක්‍රියාවලියක් ලෙස ය. මේ නිසා ම ජනතාවගේ හිතසුව පිණිස ග්ලයිෆොසෙට් තහනම ඉවත් කරන බවට ගැසට් නිවේදනයේ සඳහන් කිරීමට ඔවුන්ට අපුලක් නොමැත. අචාරධර්ම හෝ ජනතා සම්මුතීන් හෝ නීතිය හෝ උල්ලංඝනය කිරීමට ඔවුන්ට ගැටලූවක් මේ නිසා නැත.
මොන්සැන්ටෝ සමාගම වෙනුවෙන් පෙනී සිටින්නේ කවුරුන් ද?
ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම පිටුපස මොන්සැන්ටෝ සමාගමේ වරදාන ලබන ආචාර්ය බුද්ධි මාරඹේ, ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ, මහාචාර්ය ඔලිවර් ඞී. ඉලේපෙරුම, ආචාර්ය කමල් ගම්මන්පිල, හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක, වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක, හිටපු පළිබෝධනාශක රෙජිස්ටාර් ඇතුළු කණ්ඩායම සිටිති. ඔවුන්ට ග්ලයිෆොසෙට් භාවිතය නිසා ලෝකයේ රටවල ජනතාව භුක්ති විඳිමින් සිටින හානි හෝ ග්ලයිෆොසෙට් භාවිතයේ හානි කර ප්‍රතිවිපාක පිළිබඳව සිදු කර ඇති පර්යේෂණවල ප්‍රතිඵල හෝ නොපෙනෙති. ඔවුන් හිතාමතා ම බොහෝ දේ සමාජයෙන් සැඟවීමට උත්සාහ ගනිති. මොන්සැන්ටෝ සමාගමේ ඍජු හා වක්‍ර මෙහෙයවීම යටතේ සිදු කළ බොහෝ පර්යේෂණවල ප්‍රතිඵල සමාජ ගත කරන මොවුන් ඉන් සිදු වන හානිය පිළිබඳ ව අපක්ෂපාතී විද්‍යාඥයින් විසින් සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵල සමාජ ගත නොකරති. ඒ අනුව ග්ලයිෆොසෙට් එතරම් විෂ කෘෂි රසායනයක් නොවන බවත් ග්ලයිෆොසෙට් හානි කර බව පර්යේෂණ මගින් තහවුරු කර නොමැති බවත් සදහන් කරමින් ග්ලයිෆොසෙට් පිළිබද ව සමාජය තුළ යහපත් ආකල්පයක් ඇති කිරීමට උත්සහ ගනිති. නමුත් ඔවුන් මේ සියල්ල කරන්නේ මොන්සැන්ටෝ සමාගමේ ඍජු මෙහෙය වීම යටතේ බව බොහෝ දෙනෙක් නොදනිති.
සම්පූර්ණ ලිපිය සදහා පිවිසෙන්න
සජීව චාමිකර | Sajeewa Chamikara
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය