පරන්තන්, මුලතිව් මාර්ගයේ පිහිටි සෙන්චෝලෙයි ළමා නිවාසයට ඉහළින් පියාසර කළ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් කෆීර් ප්‍රහාරක යානා වලින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයෙන් එම ළමා නිවාසයේ සිටි සිසුවියන් සහ සේවකයන් 61 දෙනෙක් ඝාතනයට ලක් වී විශාල පිරිසකට බරපතල තුවාළ සිදුවිය.

ඒ 2006 අගෝස්තු 14 වනදා ය.

එවිට ජාත්‍යන්තර වශයෙනුත් මහත් ආන්දෝලනයට තුඩු දුන් එම සමූල ඝාතනය සිදු වී වසර 12ක් ඉක්ම ගොස් තිබේ. මහින්ද රාජපක්ෂ පාලනය විසින් සිදු කරන ලද (ඊනියා)මානුෂික මෙහෙයුම යටතේ සිදු වූ මෙම සමූළ ඝාතනය පිළිබද අදටත් කිසිවෙකුත් කිසිවක් කතා නොකරන සේයකි.

මෙවැනි ප්‍රහාරයන් සිදු කිරීමෙන් පසු ජාත්‍යන්තරයේ ඇති වූ තත්ත්වයන්ගෙන් පසු එවකට රාජපක්ෂ ආණ්ඩුව සුපුරුදු පරිදි ප්‍රකාශ කළේ, ‘ශ්‍රී ලංකා රජය විසින් විමුක්ති කොටි සංවිධානයට(එල්ටීටීඊ) යේ පුහුණු කඳවුරකට බෝම්බ හෙලා ත්‍රස්තවාදීන් 50-60 මරා “ඇති බවයි.

නමුත්, ලංකා ආණ්ඩුවේ එම ප්‍රකාශය, එවකට සිටි සටන් විරාම නීරීක්ෂණ කමිටුවත්, UNICEF ආයතනයත් විසින් ප්‍රතික්ෂේප කරමින්, UNICEF ආයතනයේ විධායක අධ්‍යක්ෂක M. Veneman ප්‍රකාශ කර සිටියේ ‘මේ අහිංසක දරුවන් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත් වී ඇති‘ බවයි. ‘‘ඔවුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් බවට කිසිදු සාක්ෂියක් නැහැ‘‘ යනුවෙන් එවකට UNICEF හී කොළඹ ප්‍රධානී JoAnna VanGerpen ප්‍රකාශ කර තිබිණි. එසේම එක්සත් ජාතීන් ඇතුලු ජාත්‍යන්තර සංවිධාන ද, විදේශ රටවල නියෝජිතයන් ද මේ සම්බන්ධයෙන් සිය අවදානය යොමු කර ඇති බවට එවකට ප්‍රකාශ විය.(වැඩිදුර කියවන්න)

නමුත් තත්ත්වයේ වෙනසක් සිදු නොවෙමින් කෆිර් යානා පමණක් නොව වෙනත් බර අවිද වන්නි අහසේ මෙන් පොළවේ ද ගොදුරු සොයා ගියේ මාණුෂික මෙහෙයුම නමින් අලවා ගත් ඊනියා බෝඩ් ලෑල්ලට මුවා වෙමිනි.


(iMage by | tamilguardian)

දැන් එම සංහාරය අවසන් වී වසර 12ක් ගත වුවත්,

ගුවනේ සිට කෆිර් යානාවලින් සිතාමතා ම ඒල්ල කරන ලද මේ බෝම්බ ප්‍රහාරයෙන් වසර 12කට පසුව ද පුදුකුඩිඉරුප්පුවලට රැස්වූ ඝාතනයට ලක්වූවන්ගේ සමීපතමයින් ඉල්ලා සිටියේ එම සමූල ඝාතනයට වගකිව යුත්තන් නීතිය හමුවට පමුණුවා යුක්තිය ඉෂ්ඨ කරන ලෙසය.

දකුණට බොහෝ දේවල් අමතක කළ හැකිය. එහෙත් යුද වින්දිතයන්ට දකුණට සේ පහසුවෙන් ඒවා අමතක කළ නොහැකි වන්නේ ලේ වැකි ඉතිහාසයක් ඔවුන්ට හිමි කර දුන් මුග්ධ පාලකයන්ගේ සහ රුධිරයම ඉල්ලා කෑ මොර දෙන ජාතිවාදීන්ගේ කුලුගෙඩි පහරින් තවමත් ඔවුන් තැලෙන නිසා නොවේද?

සම්පත් සමරකෝන් | Sampath Samarakoon