සිංහල, Colombo, Democracy, Human Rights, Peace and reconciliation

බජිරි කෑම හෙවත් ජාත්‍යාලය…..

අනාදිමත් කාලයක සිට කෘෂිකර්මාන්තයෙන් ජීවත් වන අප රටේ පුරවැසියන්ට ‛‛වී වගාව’’ යනු තවත් එක් බෝගයක් නොව ජාතිකමය වැදගත් කමක් ඇති සංකේතයක් ලෙස පිළිගැනීමට අපට සිදුව තිබේ.එවන් පසුබිමක සිට ජීවත් වන ශ්‍රී ලාංකිකයනට බත් නොමැතිව ජීවත් වීම යනු යුරෝපීයන්ගෙන් ‛‛තිරිඟු පිටි’’ ඈත්කර තැබුවා වැන්නකි.

කෙසේ වුවද සහල් තොග පිටරටින් ගෙන් වීම උදෙසා මේ සමෘද්ධිමත් රාජ්‍ය තුළ විශාල වියදමක් දැරීමට ආණ්ඩුවට සිදුව තිබේ.යුග ගණනාවක් තුළ සහල් සඳහා විකල්පයක් සොයා ගැනීමට නොහැකිව තිබූ රාජ්‍යයක ඒ වෙනුවෙන් ඉතා ක්ෂණික එහෙත් පුරවැසියන්ගේ මන දොළ සපිරෙන තාත්වික විකල්පයක් සොයා ගැනීමට සිංහල ජනතාවගේ ප්‍රමුඛ ගැලවුම්කරුවා වන ‛‛ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය’’ සමත් වීම කොතරම් නම් ප්‍රසංශනීය වන්නේද ?

රටේ ප්‍රධාන ප්‍රශ්නය වන ‛‛ප්‍රභාකරන් ’’ ඝාතනය කරමින් දකුණේ සිංහල ජාතියට ‛‛නිදහසේ ස්වර්ගය’’ බිහි කරන්නට වෙර දරණා ‛‛දේශප්‍රේමි ත්‍රස්ත විරෝධි මාමලා’’ ‛‛මහිංසා’’ දියණියගේ ලෙයින් නැහැවී ගිය මේ ධර්මද්වීපය නැවත සුඛිත මුදිත කරන්නා වූ කාලය වැඩි ඈතක නම් නොවනු ඇත.


මෙවන් උතුම් මිනිසුන් සිටිනා පොළවක දිවි ගෙවන්නට තරම් වාසනාවන්ත වූ අපට ‛‛සහල් ’’වෙනුවට ‛‛බජරි’’ කන්නට නොව වගා කරන්නට කියුවද අප එයට සැබෑ පුරවැසියන් ලෙස හිස නැමිය යුතු නොවන්නේද? අප වෙනුවෙන් දිවි පුදන්නට තරම් කැප වන්නා වූ ‛‛අධිරාජ්‍ය විරෝධි දේශහිතෛෂි වීරයන්ට’’ ප්‍රණාමය පුදන්නට අපට වෙන මඟක් නම් කොයින්ද?

අනෙක් පැත්තෙන් බෙදුම් වාදීන්ගේ සමූල ඝාතනය පෙනෙන මානයේ තිබෙන මොහොතක ‛‛සේනාධිනායක’’ උතුමන් ගේ ‛‛කුරහන් සාටකයේ ’’ ඔපයෙන් පුරවැසියන්ගේ ජයග්‍රාහි මුහුණු ඔපවත් වී යනු ඇත.ඒ ප්‍රතාපවත් බවින් මුසපත්ව දින ගණනක් වුවද කුසගින්නේ සිටින්නට තරම් අපේ පුරවැසියන් දේශාභිමානයෙන් ඔද වැඩී ගොසින්ය.

මිලියන ගණන් මුදලින් ජාත්‍යානුරාගය හැඩ දමනා ‛පෝස්ටර්’ ,‛කටවුට්’, සිංහල ජාතියේ අභිමානය හඬගා කියන විට අපේ කාලයේ ‛‛දියසෙන් කුමරුවන්’’ අපේ ආයුෂද රැගෙන මේ බිමේ ඔද වැඩී සරන්නට ආයු බෝ වේවායි, පැතිය යුතුව තිබේ.නොඑසේ නම්, කොයි මොහොතේ හෝ ලේ පැහැ කුරහන් සාටකයෙන් අපේ ගැලවුම් කරුවානන්ගේ ‛‛ගෙල’’ රුදුරු සිංහල බෙදුම්වාදියෙකු අතින් සිර වන්නට ඉඩ කඩ තිබේ.

දේශය බත බුලතින් සපිරුණු රාජ්‍යයක් වෙනුවට ‛‛බජිරි අනුභවයෙන් ’’ රටම එක් සේසත් කරන රාජ්‍යයක ‛‛රට පෙරට’’ නොයන්නේ නම් සැබවින්ම එය විස්මයක් නොවන්නේද?

සමන් තිලක බංඩාර