වැළිකඩ බණ්ධනාගාරය තුළ සිදුකල පහරදීම් වලින් දින 3කකට පසු එහි සිටි කාන්තා රැදවියෙක් පසුගිය 24වනදා පස්වරුවේ මිය ගියේ ය. එම කාන්තා රැදවියා මිය යන්නට පෙර වැළිකඩ බන්ධනාගාරයේ එම රැදවියා ද ඇතුලු පිරිසක් විරෝධතාවයක් ආරම්භ කළේ අගෝස්තු 13 සහ 14 දාය. ඉන් පසු අගෝස්තු මස 20 සහ 21 දා යළිත් වැළිකඩ බන්ධනාගාරයේ වහල මතට නැග ඔවුන් තවත් විරෝධතාවයක් අරම්භ කළේය. එහි මූළිකම ඉල්ලීම වී තිබුණේ, බන්ධනාගාරය තුළ රුදවියන්ට අවම පහසුකම් හෝ නිසියාකාරව ලබා දීමත්, ඔවුන්ගේ නඩු කටයුතු ඉක්මන් කරන ලෙසත්, සහ තවත් කරුණු මුල් කරගෙනය.

දැනට මිය ගොස් ඇත්තේ 35 හැවිරිදි, වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි ‘මාලි’ නැමති රැදවියෙක් බවත් ඇය මියයන්නට හේතුව ඇයට පහරදීම බවට සැකමතුවන බව සමාජ ක්‍රියාකාරීන්ගේ මතයයි. කෙසේ නමුත් ඒ තත්ත්වය විසදා ගැනීම සදහා විදිමත්, පිළිගත හැකි පරීක්ෂණයක අවශ්‍යතාවය ද ඔවුන් පෙන්වා දෙයි. ඒ් සමගම බන්ධනාගාර නිළධාරීන් විසින් කාන්තා රැදවියෙක් වූ මාලි පහර දුන් පසු, ඇයට තිබෙන වේදචනාව පිළිබද පවසා ප්‍රතිකාර ගැනීමට බන්ධනාගාර නිළධාරීන්ගෙන් ඉල්ලා සිටි නමුත් කිසිදු ප්‍රතිකාරයක් ඇයට නොදීමට බන්ධනාගාර නිළධාරීන් වග බලාගෙන තිබෙන බවත් පැවසෙයි. ඒ කාන්තාවක් ද වන බන්ධනාගාර බාර ඇමතිනිය වන තලතා අතුකෝරාල ද ඒ බව දැනගෙන සිටි බව ද, විශේෂයෙන් මරණයට පත් ව ඇති මාලි නැමති රැදවිය මත්ද්‍රව්‍ය චෝදනා මත සැකපිට බන්ධනාගාර ගත කර සිටි රැදවියෙක් වීම ද සුවිශේෂය.

රැදවියන්ට පහර දෙයි.

එම විරෝධතාවයේ යෙදුනු කාන්තා රැදවියන්ව රවටමින්, ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන බවටත් සහ එවැනි ව්‍යාජ පොරොන්දු ලබා දෙමින් වහල මතින් බිමට බැස්සවීමට ඇමතිනියගේ උපදෙස් මත පරිපාලනය කටයුතු කර තිබිණි. පසුව බිමට බස්සවා ගත් කාන්තා රැදවියන්ට එහි සිටි පිරිමි නිළධාරීන් විසින් කෘර ලෙස පහර දුන් බවට බන්ධානාගර අභ්‍යංතර ආරංචිමාර්ග පවසයි. එසේ පහරදුන් කාන්තා රැදවියන් ප්‍රමාණය 61ට වඩා වැඩි බවත්, ඔවුන්ට අතපය කැඩෙන්නට පහරදී තිබූ අතර බොහෝ පිරිසකගේ හිසට පහරදීම නිසා හිස තුවාල වී දැඩි ලෙස ලේ ගැලීම් සිදු වූ බවත් වාර්තා විය. විශේෂයෙන් මේ පහර දීම සිදු කර තිබුණේ පිරිමි බන්ධනාගාර නිළධාරින් විසින් බවත්, එම විරෝධතාවයට නායකත්වය දුන් බවට සලකමින් ‘රමණි’ නැමති රැදවියට පහර දී ඇත්තේ බන්ධනාගාරයේ කාමරයක් තුළ දී ය. එපමණක් ද නොවේ. එම පහරදීම බන්ධනාගාර බාර ජ්‍යේෂ්ට නිළදාරීන්ද බලා සිටියදී සිදුකල බවත්, එම සියලු පහරදීම් බන්ධනාගාර බාර ඇමතිවරිය වන ‘තළතා අතුකෝරල මහත්මිය’ දැනුවත්ව සිදුකල පහරදීමක් ද බව පැවසෙයි.

එසේම එම පහර දීමෙන් පසු තුවාළ ලබා සිටි රැදවියන් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනවා වෙනුවට බන්ධනාගාර පරිපාලනය විසින් සිදු කරන ලද්දේ ලේ පෙරාගෙනම දරුණු වේදනාවෙන් පසු වූ එම රැදවියන් වෙනත් බන්ධනාගාර වෙත මාරු කිරීමය. විශේෂයෙන් දුම්බර වැනි බන්ධනාගාර වෙතත් එසේ රැදවියන් යවන ලද අතර පැය ගණනාවක් යන තුරු ඔවුන්ට ප්‍රතිකාර නොදීමට තරම් බන්ධනාගාර පාලනයත්, පාලකයනුත් කටයුතු කර ඇත්තේ ‘සිරකරුවන් ද මනුෂයින්’ නම් පුවරුවට පශ්චාත්බාගය හරවා ගෙනය. ආණ්ඩුවේ බන්ධනාගාරයක සිට තුවාළ ලැබූ රැදවියෙක්ට අවම වශයෙන් ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය ද අමුඅමුවේ උල්ලංගනය කර ඇත්තේ එලෙසය.

දැන්, කිසියම් පිළිගත් රාජ්‍යක, ඒ රාජ්‍ය විසින් පාලනය කරන නීත්‍යානුකූල බන්ධනාගාරයක රැදවියෙක්ට බරපතල ලෙස පහර දීමට සහ එම පහරදීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාරවත් නොදී වදබන්ධනයට ලක් කරන්න ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියා ගන්න රටකට අයිතියක් තිබේද? මානව හිමිකම් ගැන උදේ හවස බණ කියන්නාක් මෙන් දොඩවන ‘යහපාලනයට’ අයිතියක් තිබේද? 2015 ජනවාරි 8 වනදා ජනවරම දුන්නේ මෙවැනි අශිලාචාර, නීතිවිරෝධී අන්දමින් හැසිරීමටද? සමාජය විසින් ඇසිය යුතු ප්‍රශ්ණ වන්නේ ඒවාය. සුලු පිරිසක් හැරෙන්නට, කිසිවෙක් කිසිවක් කතා නොකර සේයාවකි.

තත්ත්වය එසේ තිබියදී දැනටත් එම පහර දීමෙන් පසු ප්‍රතිකාර නොදී විශාල පිරිසක් තුවාල ලබමින් සිටින බවත් බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සහ මරණයට හේතුව

විරෝධතාවයෙන් සහ පහර දීමෙන් පසු ‘මාලි’ රැදවියා මිය ගියාට පසු 26වනදා බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල් දෙණිය මාධ්‍යට පවසා සිටියේ ‘ඇය මිය ගොස් ඇත්තේ හදිසියේ වැළදුනු හෘදයාබාධයකින්’ බවය. නමුත් ඒ වන විට ද වාර්තා වූයේ පශ්චාත් මරණ පරීක්ෂණය හෝ සිදුකර නොමැති තත්ත්වයක් තුළ මාධ්‍ය ප්‍රකාශක එම ප්‍රකාශය කළ බවයි. එවන් තත්ත්වයක් තුළ ‘මරණයට හේතුව’ පවසන්නට බන්ධනාගාර නිළධාරීවරයා ඉක්මන් වූයේ ඇයි.? ඔහු පශ්චාත් මරණ පරීක්ෂකගේ වාර්තාව ඉදිරිපත් නොකර මාධ්‍ය ඉදිරියේ ‘ඝාතනය’ වසන් කිරීමට උත්සහ කලේ ද? දැන් මරණ පරීක්ෂකගේ වාර්තාව ලැබී ඇත්නම් එහි කියන්නේ කුමක්ද? යනු බොහෝ දෑ අපගේ සාම්ප්‍රදායික මාධ්‍යට වැඩක් වූයේ නැත. හැමදාමත් මෙන් කවුරුන් හෝ කියන දේ නැවතවරක් ප්‍රචාරය කරන මාධ්‍ය මෙහිදීත් අඩු නැතිව ඒ දෙයම කළේය. බන්ධනාගාර පරිපාලනය ද රැදවියන්ගේ මරණයකින් පසුව දෙනු ලබන ‘පැකිං පිළිතුරු’ දී සිය රක්ෂාවත් පාලකයාගේ වුවමනාවත් මනා ලෙස සපුරා ගත්තේය.

දිගින් දිගටම සිදුවන බන්ධනාගාර රැදවියන් ඝාතනය

ශිෂ්ට යැයි කියා ගන්නා මුතු ඇටයේ ‘වඩාත් ආරක්ෂාකාරීම ස්ථානය’ ලෙස හදුන්වන ආණ්ඩුවේ බන්ධනාගාරයක් තුළ සිදුකල පහරදීම් සහ ඝාතනයන්ට ලංකාව ‘මුතු’ මෙන්ම ආකර්ෂණය දිනා ගත් රටකි. 1983 දී කුට්ටුමනි ඇතුලු සිරකරුවන්ට බරපතල ලෙස පහර දී මාරා දැම්මේය. 2011 නොවැම්බර් මස අගදී වව්නියාව බන්ධනාගාරයේ සිටි රැදවියන් ට පහර දුන්නේය. පසුව ඔවුන් අනුරාධපුර බන්ධනාගරයේත්, ඉන් නොනැවතී මහර බන්ධනාගාරයට ද රැගෙන යමින් පහර දුන්නේය. ඒ කෲර පහරදීම් නිසා, වව්නියාවේ ගනේෂන් නිමළරූබන් සහ යාපනයේ මරියදාස් ඩෙල්රුක්ෂාන් රැදවියන් දෙදෙනා මිය ගියේ ය. ‘මගේ පුතාගේ ඇගේ ඔක්කොම තුවාල තිබුණා. කකුල් අතපය කැඩිලා තිබුණා’ අදටත් වව්නියාවේ හුදකාලාව ජීවත්වන නිමලරුබන්ගේ මහලු මව පවසයි. ඒ රාජපක්ෂ සමයේය ය. එදවස සිට ‘යහපාලනය’ දක්වාත් තවත් අපූරු සිදුවීමක් වෙයි. එනම් නිමලරූබන් මැරුණේ හෘදයාබාදයකින් බව පවසමින් තවමත් නිමලරූබන්ගේ මව සොයා අදාළ නිළදාරීන් එන්නේ එම සහතිකයට ඇයගේ අත්සන ගන්නටය. නමුත් ඒ ධෛර්යවන්ත මව අදටත් එය පිළිනොගනිමින් එය ප්‍රතික්ෂේප කරයි. ‘මගේ පුතාව මරුව අයට දෙවියෝ දඩුවම් දෙයි’ එදත්.. අදත්.. ඇය පවසයි. එපමණක් ද නොවේ. 2012 නොවැම්බර මස අගදී, රාජ්‍ය හමුදාවෝ ආයුධ සන්නද්ධව වැළිකඩ බන්ධනාගාරයට ඇතුලු වී පහර දී, වෙඩි තබමින් එහි සිටි රැදවියන් 27 දෙනෙක් ඝාතනය කළේය. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩු සමයේ ය. බොහෝ දෙනෙක් ඒ දෙස බලා නිහඩව සිටියේය.

නිමලරූබන්ගේ අවසන් කටයුතු දා -වව්නියාව, නෙලුම්කුලම

2011 දෙමළ දේශපාලන රැදවියන් ට පහර දී ඝාතනය කරන විට ‘ඔවුන් එල්ටීටීඊ අය ඒ නිසා කමක් නෑ’ යැයි දකුණ විසින් ඉතා නරුම ලෙස සාධාරණීකරනය කළේය. එසේම 2012 රැදවියන් 27 දෙනා ඝාතනය කරන විටත් ‘ඔවුන් පාතාලයට සම්බන්ධයි’ යනුවෙන් දකුාණේ බහුතරයක් එය සාධාරණීකරනය කළෝය. එසේ සාධාරණීකරනය කරන්නට රාජපක්ෂලා පරිසරයක් නිර්මාණය කර තිබුණේ ද ඉතාමත් ම්ලේච්ඡ ලෙසය. දකුණ එයින් අන්ද වී ඔවුන් පසුපසම ගියේ ය.

දැනුදු වන්නේ එයය. ‘ඔවුන් කුඩු බිස්නස් කරපු අය’ මේ කාන්තා රැදවියන්ට පහර දීමත්, පසුව ඝාතනය වීමත් සාධාරණීයකරනය කරන්නට ඉහල සිට පහලට මතයන් සකසමින් ඇත. ඒ ‘යහපාලන’ ආණ්ඩුවක් තුළය. රාපක්ෂ ආණ්ඩු මෙන්ම මෙම සිදුවීමේදී යහපාලන ආණ්ඩුව ද මෙම විෂයේදී හැසිරෙන්නේ එකම ලෙසය. ‘ඒ කුඩු කාරයන්’ ඇතැම් ඇමැත්තෝ ද කියයි. සමාජය ද එසේ සිතයි. ඉතින් අපි වසර 2500ක ඉතිහාසයක් ඇති පෞඩ ජාතියක් යැයි කියමු. උදේ හවස ‘සියලු සත්ත්වයේ සුවපත් වෙත්වා’ යැයි කියමු.

මිනිසෙක්ට පහර දීම හෝ පහරදී මරා දැමිය හැකිද?

අප තවමත් හිරි වැටී ඇති සමාජයකි. 1983 කුට්ටුමනී ලා ඝාතනය කරන විට ද අප කිසිවක් කතා කලේ නැත. ඒ ඔවුන් දෙමළ නිසාය. 2011 නිමලරූබන්ලා ඝාතනය කරන විට ද අප කිසිවක් කතා කලේ නැත. ඒ ඔවුන් එල්ටීටීඊ කියා ලේබල් කල නිසාය. ඒ පිළිබද කතා කල සුලු පිරිසට පවා රාජපක්ෂ ආණ්ඩුව එදා කීවේය ‘කොටින්ට කඩේ යන උන්‘ කියාය. පසුව බන්ධනාගාර නීතිය ද බල්ලට දමා, රාජපක්ෂ ආණ්ඩුවේ හමුදාවව ගිණි අවි ද සමග වැළිකඩ බන්ධනාගාරය තුළට පැමිණ 2012 දී රැදවියන් 27 දෙනා ඝාතනය කරන විට ඒ මරා දැමූවන් පාතාලය කියා කීවෙමු. දැන් 2018 කාන්තා රැදවියන්ට පහර දී එක් කාන්තාවක් මියගොස් සිටියදී ‘ඔවුන් කුඩු කාරයන්’ යැයි කියමින් එය සාධාරණීයකරනය කරන්නට පටන් ගෙන තිබේ. එසේ කුමන ලේබල් ගැසුවත් කිසිවෙක් පහර කෑමට හෝ ඝාතනය කිරීම කළ නොහැක්කකි. එසේ කරනවා නම් ඔවුන් හෝ එම සමාජය අයත් වන්නේ අශීලාචාර, ගෝත්‍රික සමාජයක තත්ත්වයකටය.

මේ පිළිබද අදහස් දක්වන බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුවේ සභාපති, නීතිඥ සේනක පෙරේරා ‘දැන් ප්‍රශ්ණය තියෙන්නේ මේකයි. බන්ධනාගාරයක් තුළ මෙවැනි හිංසනයකට, පහරදීමකට ලක් වූ රැදවියෙකුට තමන්ට යුක්තිය ඉෂ්ට කරගන්න තියන අවස්ථා ලංකාව වගේ රටක හරි අඩුයි. ඔවුන් ලක් වූ අසාධාරණය, අයුක්තිය කියන්න, සාක්ෂි ඉදිරිපත් කරන්න තියන අවස්ථා බන්ධනාගාරය තුළම ඇති ආසාධාරණ තත්ත්වය තුළ වැලකී ගිහිල්ලා තියනවා. එසේ කිව්ව කෙනාට එක්කෝ තවත් වරක් වදහිංසාවට ලක් වෙන්න වෙනවා. නැති නම් වෙන බන්ධනාගාරයකට මාරු කරනවා. ඒ නිසාම ඔවුන් වෙනුවෙන් යුක්තිය පසිදලන්න ලංකාව තුළ යහපත් පරිසරයක් ගොඩ නැගිලා නෑ. අනිත් පැත්තෙන් සමාජයත් බලන්නේ ඔවුන් දිහා වපර ඇහින්. ඔවුනුත් මිනිසුන් කියා බලන්න සමාජය පුරුදු පුහුණු වෙන්නම වෙනවා. මේ ඇතිවෙලා තියෙන ප්‍රශ්යක් ඒ වගේ එකක්’

වැළිකඩට අලුත් නීති සහ කොමසාරිස් ‘උඩුවර’

කාන්තා රැදවියන්ගේ විරෝධතාවයෙන් හට ගත් තත්ත්වය නිසා වැළිකඩ බන්ධනාගාර නිළධාරින් බොහොමයකට ස්ථාන මාරු ලැබිණි. ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයට, නව බන්ධනාගාර අධිකාරිවරා ලෙස ටී.අයි. උඩුවර නම් නිළධාරීවරයා පත් කළේය. ඔහු පැමිණි පසු නව නීති හදුන්වා දෙන ලද්දේ කුඩු ජාවාරම් මැඩලන්නට යැයි කියමිනි. ඒ අනුව, කාන්තා රැදවියන්ට ද නීති දැම්මේය. එක් වරකට කාන්තා රැදවියන්ට ලබා දිය හැක්කේ එක් සනීපාරක්ෂක තුවායක් සහ යට ඇදුම් දෙකක් පමණි. නමුත්, මෙම රැදවියන් බැලීමට ඔවුන්ගේ සමීපතමයින්ට අවසර ලබා දී ඇත්තේ මසකට එක් දිනක් පමණි. නමුත් මේ පිරිමි නිළධාරියා නැවතත් එහි සිටින කාන්තා රැදවියන්ව හිංසනයට ලක් කරන්නේ ඔවුන්ගේ අත්‍යවශ්‍ය ම සෞඛ්‍ය පහසුකම් ගැනවත් නොසලකමිනි. එයට හේතුව ලෙස කියන්නේ කුඩු රැගෙන ඒම වැලැක්වීමට කියා ය. අවශ්‍ය නම් ඒවා පරීක්ෂා කිරීමට තාක්ෂණය හෝ වෙනයම් විද්‍යාත්මක ක්‍රමයක් භාවිතා කළ හැකි බව මේ පිරිමි නිළධාරින් නොදන්නේ ද? නැත. ඔවුන් සියලු දේ දන්නේය? කුඩු බන්ධනාගාරය තුළට ගමන් කරන්නේ කෙසේ ද කියා අප කාටත් වැඩිය දන්නේ බන්ධනාගාර නිළධාරීන්ය. ඒවා අවශ්‍ය විටක මැඩලීමටත් ඔවුන් දන්නේය. නමුත් ඔවුන්ට විටෙක අවශ්‍ය වන්නේ දේශපාලන බලය හා එක්කාසු වී තමන්ගේ කොටස කර ගැනීමටය.(ලංකාවේ කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන සංවිධාන තිබුණා යැයි/ තිබෙන බව ලියුම්කරුට අමතක නැත. නමුත්, ඒ ගැන පසුවට ලියමි…)

අනෙක් සුවිශේෂී නරුණ නම්, නිමලරූබන් සහ ඩෙල්රුක්ෂාන් නම් රැදවියන් දෙදෙනා මරා දමන ලද්දේ, අලුතින් වැලිකඩ බන්ධනාගාරයට පැමිණි උඩුවර නම් නිළධාරියා වව්නියා බන්ධනාගාරය බාරව සිටියදී ය. එබැවින් ඔහු වැනි පුද්ගලයෙක්ගෙන් යුක්තිය ඉෂ්ට කර ගත හැකි යැයි කාට හෝ සිතෙන්නේ නම්, ඔහු පසුගිය කාලය පුරාම නිදා සිටි අයෙක් විය යුතුය. නැතිනම් සිහිමුර්ජාවට පත්ව සිටි අයෙක් විය යුතුය. දැන් අපට වැළිකඩ සිදුවීම්වලට කුමක් හෝ තොරතුරක්, අදහසක්, අවසන යුක්තිය පිළිබද කාරණාව සාකච්ඡා කළ යුතුවන්නේ එවන් අශීලාචාර නිළධාරියෙක් ගෙනි. යහපාලනය යනු මෙය දැයි නැවතත් ප්‍රශ්ණ කළ යුතු නොවන්නේද? එදා නිමළරූබන්ගේ අවසන් කටයුතු සදහා සහභාගී වූ අය අද ඇමතිවරුය. ඉන් එක් අයෙක් මනෝ ගනේෂණ් මහතාය. මනෝ ගනේෂන් ඇමතිතුමනි දැන් ඔබ කුමක් කියන්නේ දැයි රටම කෙසේ වෙතත් මේ රටේ යුක්තිය ඉල්ලන මිනිසුන් බලා සිටී.

ප්‍රශ්ණය ඇත්තේ අප තුළමය.

කුඩු කාරයන්, පාතාලයන් හෝ එල්ටීටීඊ හෝ කුමන ලේබලයක් අලෙව්ව ද ඒ කිසිවෙක්ව පහරදී මරා දෑමීමට කිසියම් රාජ්‍යකට හෝ ඒ රජ්‍යයේ සමාජකට හෝ නිළධාරීන්ට හැකියාවක් නැත. එසේ දඩුවම් දෙනවා නම් දඩුවම් දීමේ පූර්ණ බලය ඇත්තේ අධිකරණයට ය. එබැවින් අධිකරණයට පිටින් සිදුකරන ඕනෑම පහරදීමක් හෝ ඝාතනයක් හෝ එැවැනි කුමන හෝ හිංසන ක්‍රියාවක් ශිෂ්ට රටක් තුළ සිදුවිය නොහැකිය. එසේ සිදුවෙනවා නම් ඒ රට ගමන් කරන්නේ ආපස්සටය. ගෝත්‍රිකත්වය දෙසටය. ඒ සමාජය ද එය සාධාරණියකරණය කරනවා නම් ඒ සමාජීය මනසත් නැවතත් ගමන් කරන්නේ ගෝත්‍රිකත්වය දෙසටය. අශිලාචාර, වනචාරී යුගයකටය.

එබැවින් මෙවැනි අශීලාචාර, ගෝත්‍රික ක්‍රියාවන් වලට එරෙහිව අප සමාජයක් ලෙස පෙළ ගැසිය යුතුය. ඒ සදහා ක්‍රියාකල යුතුය. ගෝත්‍රවාදී දේශපාලකයින්ගේ ගෝත්‍රික අදහස්වලට මෙන්ම එදාවේල හම්බකරගන්න කුමක් හෝ විකුණනාගෙන කන්නට සූදානම් වන ප්‍රභූ මාධ්‍යට ද එකසේ විරුද්ධ විය යුතුය.

එසේ නැතහොත් ‘සියලු සත්ත්වයෝ සුවපත් වේවා’ යැයි සිය ජීවිත කාලය පුරාම කොතරම් කීවත් වැඩක් වන්නේ නැත. අපට තෝරාගැනීමට මාවත් 2කක් තිබේ. එකක් නම් අප පසුපසට හෙවත් නැවතත් වනචාරී යුගයට යනවා ද? නැතිනම් ශිෂ්ටත්වය පිළිබද අදහසකින් ඉදිරිගාමීව සිතමින් අනාගත යහපපත් ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිනවාද ? යන්නයි

එදා මරා දැමූ ‘කුට්ටුමනී’ ගේ යුක්තිය වෙනුවෙන්ද? අද මිය ගොස් ඇති ‘මාලි’ ගේ යුක්තිය වෙනුවෙන් අප පෙනී සිටි යුතුමය. එසේ නොවුනහොත් අපට සමාජයක් ලෙස කිසි කළක ‘ශිෂ්ට’ සමාජය නියෝජනය කිරීමට හැකි වන්නේ නැත.

##
සැබැදි සටහන් – ‘‘ඉදි ආප්ප කවපු මේ අතින් මම අද උඹට ‘වායික්කරිසි’ දානවා’’ අවසානයේ ගනේෂන් නිමලරුබන් නික්ම ගියේ ය.

[Video] වැලිකඩ ඝාතනය | ‘නෑ අපි එනවා..මේක ආරක්ෂක ලේකම්තුමාගේ ඕඩරයක්..‘ [රැදවියන් ඝාතනය, ඇසින්දුටුවෙක් සිදුකරන විශේෂ හෙළිදරව්ව..]

මිලිටරිකරණයේ තවත් ගොදුරක් වූ වැලිකඩ හිරගෙදර