iMAGE: PMD NEWS

බුදුන්වහන්සේ දේශනා කල ධර්මයේ ත‍්‍රිපිටකයේ සංයුක්ත නිකායේ 36 (6) කොටසේ සල්ල සුත‍්‍රයේ සදහන් වෙනවා යම් පුද්ගලයෙකුගේ ශරීරයේ උලක් හෝ කටුවක් ඇනුනොත් එම උල සහ කටුව ඇනිමෙන් ඇතිවන වේදනාව වගේම ඒ උලක් සහ කටුවක් ඇනුනා කියා මතක්වීමෙන්  ඇතිවන කම්පනයත් වේදනාවක්, ඒ අනුව එය වේදනා දෙකක්, උල ඇනිමේ වේදනාව සහ උල ඇනිම මතක්වීමේ වේදනාව, ඒ නිසා ඒ සියලූ වේදනාවන් ඒ ඇනුණු පුද්ගලයාටයි. ශ‍්‍රී ලංකාවත් විශේෂයෙන්ම ඒ තිබුණු දීර්ඝ කාලින යුද්ධයක ඒ ඇතිවූ අභාගය සම්පන්න තත්වයන්ගේ අත්දැකීම වලදී ඒ ඇනුණු වේදනාවන් දෙකම ශ‍්‍රී ලාංකික ජනතාවටයි, ඒ නිසා වෙනත් අයට නොව රටේ ජනතාවට ඇතිවී තිබෙන ඒ වේදනාවන්  සමනය කර, සාධාරණ සමාජයක , යුක්තිගරුක සමාජයක , මානව වාදය ශක්තිමත් කරන සමාජයක , ප‍්‍රජාතන්ත‍්‍රවාදී පුළුල් යුග මෙහෙවරක් කරන සමාජයක උතුම් රටක් ලෙස මගේ ජනතාවට සහ ඉදිරියට යන්නට රටට ආර්ථික සමෘද්ධිය  ඇතුව ඔබ සියලූ දෙනාගේම සහයෝගය දෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා

ඉහත සදහන් වන්නේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයේ ප‍්‍රධාන සැසිය අමතමින් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් සිදු කරනලද කථාව අවසානයේ කරන ලද ප‍්‍රකාශයයි. මේ කථාව අහගෙන ඉන්න කෙනෙකුට සිතෙන්නට පුළුවන් ඔහු අවංකවම මිනිසුන්ගේ වේදනාවන් හදුනන ,වේදනාවන්ට සංවේදී නායකයෙක් බව. නමුත් වැදගත් වන්නේ් මේ කතාව අසන යුද්ධය සහ ඒකාධිපති දුෂිත පාලනය හේතුවෙන් අදටත් යුක්තිය ඉටු නොවූ මේ පොලාවේ ජිවත්වන මිනිසුන්ට එය දැනෙන්නේ කොහොමද කියන එකයි.
”ඔව්” තුවාලයේ වේදනාව දන්නේ තුවාලය තියන කෙනා තමයි, තමන්ගේ  ආදරණියන් අතුරුදහන් කරවීම නිසා ඒ පවුල්වල අයට උලක් හෝ කටුවක් ඇනෙනවාටත්  වඩා වේදනාවක්, ඔවුන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන බවට බොරු පොරොන්දු දුන් ආකාරය මතක් වීමෙන් සිද්ධ වෙනවා . පහුගිය අවුරුද්දේ ජුනි සහ නොවැම්බර් අවස්ථා දෙකකදී අතුරුදහන් වුවන්ගේ පවුල්වල නියෝජිතයන් ජනාධිපතිවරයා හමුවූ අතර 2009 යුද්ධය අවසානයේ හමුදාවට භාර දුන් අයගේ නම් ලැයිස්තුවක් නිකුත් කිරීමට ඔහු පොරොන්දු වුනා. රජයට මේ සඳහා සැබෑ වුවමනාවක් තිබුනා නම්  ඉතාම කෙටි කාලයක් තුළ මෙම ලැයිස්තු නිකුත්කිරීමට අවශ්‍ය තොරතුරු රැස් කිරීම උදෙසා  පවතින හමුදා ධාරිතාව යොදා පරීක්ෂණ කටයුතු කළ හැකිව තිබුණා . එම පොරොන්දු දී වසරකට ආසන්න කාලයක්ද ගතවී ඇතත් , තවමත් එම ලැයිස්තු නිකුත්කර නැහැ .ආදරණියන් ඉල්ලා අරගල වල යෙදුණු වැඩිහිටියන් හත් දෙනෙක් දැනටමත් මිය ගිහින්.

ලසන්ත වික‍්‍රමතුංග , ප‍්‍රගීත් එක්නැලිගොඩ , වසීම් තජුඞීන් වැනි අයට යුක්තිය ඉටුකරන බවට කියමින් ජන්දය හිඟා කා  බලයට පැමිණ, ඒ සම්බන්ධ පරීක්ෂණ තවමත් එකතැන පල් වනවිට එකී  පවුල්වලට   උලක් හෝ කටුවක් ඇනෙනවාට වඩා වේදනාවක් ඇති වෙන  බව ජනාධිපතිවරයාට දැනේනේ නැද්ද?  මීට අවුරුදු දෙකකට කලින් 2016 සැප්තැම්බර් 27වන දින, වැඩිදුර පරීක්ෂණ සදහා ලසන්ත වික‍්‍රමතුංගගේ මෘත දේහය  ගොඩගනු ලැබූ අතර මේ වන විට ඒ සම්බන්ධයෙන් කුමක් වෙනවාද යන්න ගැටලූවක්. එළබෙන ජනවාරි මාසය වනවිට ලසන්තට යුක්තිය නොමැතිව අවුරුදු දහයක් සටහන් වනවා. එක්නැලිගොඩ, තජුඩින් සහ ලසන්ත යන නම් දේශපාලන බලය ලබාගැනීමට විකිණු නම් කියා දැනනෙන විට ඒ පවුල් වල අයට  ඔවුන් අහිමි වූවාටත් වඩා කම්පනයට ඇති නොවන්නේද? මේ බොරු පොරොන්දු හා  වචන වලින් ඔවුන්ගේ හදවත පසාරු නොකරන්නේද?

එසේම පසුගිය දිනක ජනාධිපති වරයා මාධ්‍ය වේදීන් අමතා ඉහල හමුදා නිලධාරීන්ට එරෙහිව දැනට පවත්වාගන යනු ලබන පරීක්ෂණ සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව , පොලිස්පති සහ නීතිපති කැදවා තදින් තරවටු කල බව පසුගිය 15වන දින ඬේලි මිරර්හි සදහන්ව තිබුණා. එහිදී විශේෂ අවධාරණයක් යොමු කරනු ලැබුවේ චෝදනා පත‍්‍රයක් නොමැතිව එම නිලධාරීන් මාස ගණන් අත්අඩංගුවේ තබාගැනීම සම්බන්ධෙයන්. නමුත් මේවනවිට උසාවියේ කිසිදු චෝදනාවක් ගොනු නොකර ”ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත” (PTA) යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් 100ට වැඩි පිරිසක් අවුරුදු 9-10 දක්වා කාලයක් තුළ බන්ධන්ගාර භාරයේ සිටින බව ජනාධිපතිවරයා නොදන්නවාද?  ඔහු  මෙසේ පුරසාරම් දොඩවන විටත් අනුරාධපුර බන්ධනාගාරයේ දේශපාලන සිරිකරුවන් 8 දෙනෙකු  දින 15ක් පුරා උපවාස කරමින් සිටින අතර ඉන් 4 දෙනෙකු ඒ වන විට  අසාධ්‍ය තත්වයේ  පසුවන බව ඔහු නොදැන සිටියාද? (ලිපිය පළවන මොහොත වන විට එය තව දුරටත් ඉහළ ගොස් ඇති බව සලකන්න, මේ වනවිට දේශපාලන සිරකරුවන් 12 දෙනෙකු උපවාසය සඳහා එකතු වී සිටින අතර අසාධ්‍ය තත්වයේ පසුවන 4 දෙනා ඇතුළු සියලු දෙනාම වෛද්‍ය  ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් සිටිති )  එහෙත් හාස්‍යට කාරණය නම්  දේශපාලන  සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පසුගිය 27 වන දා විදි බැසි ජනයා පාලනය කිරීමට නම්  යහමින් පොලිසිය යොදා තිබීමයි.

තවද ශිෂයයන් එකළොස් දෙනෙකු පැහැරගෙන ගොස්, දෙමාපියන්ගෙන් කප්පම් ගෙන එම ශිෂ්‍යයන්ව මරා දැමීම සම්බන්ධයෙන් සැක කරුවකු ලෙස දැනට අත්අඩංගුවේ සිටින චන්දන ප‍්‍රසාද් හෙට්ටියරච්චි (නේවි සම්පත් ) වැනි පුද්ගලයන්ට රටින් පිටවීමට උපකාර කිරීම මත වර්තමාන ත‍්‍රිවිධ හමුදා මාණ්ඩලික ප‍්‍රධානියා වන රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගත යුතු බවට අධිකරණයෙන් පොලීසියට උපදෙස් ලැබි තිබෙන අවස්ථාවක, විශේෂ කැබිනට් සාකච්ජා කැදවා එවැනි චෝදනා ලැබුවන් නීතිය  ඉදිරියට ගෙන ඒම වැළක්වීමට උත්සාහ කිරීම මිනිසුන්ගේ වේදන්වන් ගැන ලෝකය ඉදිරියේ කතා කරන මිනිසෙකුට කළ හැකි ද ? ඔවුන්ට යුක්තිය ඉටු කිරීම වෙනුවෙන් විශේෂ කැබිනට් රැස්වීම් අවශ්‍ය නැද්ද? ඒ දරුවන් එකොලොස් දෙනාගේ දෙමාපියන්ගේ හදවත් වල කැකෑරෙන වේදනාව උලක් කටුවක් ඇනෙන වේදනාවට  සම කළ හැකිද ? ඔවුන් තම තරුණ දරුවන් වෙනුවෙන් මොනතරම් හීන දකින්නට ඇද්ද ? ඒ හීන මතක්වෙන මතක්වෙන වාරයක් පාසා  ඔවුන් මැරී මැරී ඉපදෙනවා නොවේද? එවැනි  මිනිසුන්ට යුක්තිය  ඉටු නොකර  බොරු බේගල් ඇද බාන්නේ කාව රවටන්නදැයි අපි දැන් ජනාධිපතිවරයාගෙන් ඇසිය යුතුය.

ඇත්තෙන්ම ජනාධිපතිවරයා පෙනී සිටින්නේ කා වෙනුවෙන්ද ? කාගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටද ? මෙවැනි ප‍්‍රශ්න කිරීමට අපිට දැන් සිදුව ඇත්තේ “නීතිය ඉදිරියේ සියලූ දෙනා සමානයි” යන්න ස්වභාවික යුක්ති මුලධර්මයක් සහ එය මේරටේ ව්‍යවස්ථාවෙන්ද තහවුරු කර තිබුණත් කිසිවිටෙකත් යතාර්ථයක් නොවන නිසායි. ඉහත පෙන්වා දුන් පරිදි යම් යම් කොටස් වලට විශේෂයන්ම ආරක්ෂක අංශයේ සේවයේ යෙදී සිටින පුද්ගලයන් නීතියට ඉහලින් සිටින  තත්වයක් පෙනේ. සමුළුවේදී ජනාධිපතිවරයා විසින් රණවිරුවන් ලෙස හදුන්වන ආරක්ෂක හමුදා වල  මෙහෙවර සහ කැපවීම ගෞරවයෙන් සිහිපත් කරන බව ප‍්‍රකාශ කරනු ලැබුවා. සැබවින්ම ඔවුන්ගේ ගෞරවය ආරක්ෂා කල හැක්කේ ඔවුන්ට දණ්ඩමුක්තිය පිළිබද තිබෙන පොදු චෝදනාවලින් නිදොස් වීමට සැබෑ වගවීමක් ඇති කිරීමට අවශ්‍ය මාර්ගය සැකසීම මඟින් මිස  ඊට හරස් කැපීමෙන් රාජපක්ෂ මෙන්ම රණවිරු ලේබලය ඉදිරියට දමා අයුක්තිය පෝෂණය කිරීමෙන් නොවේ. එවැනි ක‍්‍රියාමාර්ග ගැනීමට අපොහොසත්වීම තුළම අප අන්තර්ජාතික වගවීම් වලට ලක්වීම සහ නීතියේ ආධිපත්‍ය  නොමැති රටක් ලෙස ලෝකයා අප හදුනාගැනීම වැලැක්වීමට බැහැ.

තවදුරටත් එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල රැස්වීම අමතමින් ජනාධිපති කිසිදු විදේශ බලපෑමක් හෝ තර්ජනයක් ස්වාධීන රටක් ලෙස ශ‍්‍රී ලංකාවට අවශ්‍ය නොවන බව ද, අභ්‍යන්තර ප‍්‍රශ්නවලට විදේශ මැදිහත්වීම් අවශ්‍ය නොවන බවට අවධාරණය  කර තිබුණා . සැප්තැම්බර් 15දින ඬේලි මිරර් හි සදහන් වන පරිදි ජනාධිපති විසින් සැසිවාරය ඇමතීමේදී සිදුකරනවා කියූ විශේෂ ඉල්ලීම මෙය වෙන්නට පුළුවන. මේ වැනි ප‍්‍රකාශයන් අපට සිහි කරන්නේ මීට වසර කිහිපයකට පෙර මහින්ද රාජපක්ෂ විසින් මේවැනි සමුළු අමතා කරන ලද අදහස් ප‍්‍රකාශ කිරීමයි. නාමල් රාජපක්ෂ තම ට්විව්ටර් ගිණුමේ  මෙම ප‍්‍රකාශය අගයමින් දක්වා ඇති අදහස් වලින් පැහැදලි වන්නේ මේ සියල්ලන්ටම ඇත්තේ බලය පමණක් කේන්ද්‍ර කරගත් දේශපාලන අරමුණක් මිස සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ගේ සුබසාධනය නොවන බවය . මේ ජනධිපතිවරයා ලෝකයට පෙනෙන්නට තමන් සුදනෙක් ලෙස පුරසාරම් දෙඩුවත්, ලංකාවේ ජිවත්වන නීතියේ ආධිපත්‍යට ගරුකරන යුක්තිය අගයන මිනිසුන්ට විහිළු සපයන්නෙකි.

ඔහු ගෙවී ගිය වසර තුනහමාර තුළ ප්‍රජාතන්ත්‍රවාදය  , මානවහිමිකම් , මානව නිදහස , මාධ්‍ය නිදහස සහ අධිකරණයේ නිදහස පුළුල් ලෙස ශක්තිමත් කර තිබෙන බවත්, අද තිබෙන්නේ මීට වසර තුන හමාරකට පෙර තිබූ ශ‍්‍රී ලංකාව නොවන බවට ප‍්‍රකාශ කරනවා. 2015 ජනවාරි ජන්දයෙන් පසු මිනිසුන් මුලිකවම බලාපොරොත්තු වුයේ ඉහත කී පරිදී  යහපාලනයක මුලිකාංග ස්ථාපිත කිරීම මිස පාන් රාත්තල නැවත රු: 3.50 ට ගැනීම නෙවේ. මෛත‍්‍රීපාල නම් පුද්ගලයාට මිනිසුන් සතු පරමාධිපත්‍ය  බලය ලබාදී මෙරට යහපාලනයක් ස්ථාපිත  කිරීමයි බලාපොරොත්තු වුයේ.  ඔහු මහජනයා සතු බලයේ තාවකාලික භාරකරුවෙකු  බව නිතරම සිහි තබාගන තමන්ට ජන්දය දුන් ජනතාවට වගවීමෙන් කටයුතු කල යුතුව තිබෙනවා.ඔහුම කියන පරිදි වඩා මානවවාදී සහ පරිපූර්ණවූ ජන සමාජයක් සහිත ශී‍්‍ර ලංකාවක් ඇතිකළ හැක්කේ එවිටයි.

තවද මෙම සමුළුව අමතමින්, පශ්චාත් යුද සමයක ඉටුකළ යුතු වගකීම් ඉටුකිරීමට කැපවූ ශී‍්‍ර ලංකා රජය ජාතික සමගිය, සංහිඳියාව සහ රට තුළ නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීම අරමුණු කරගනිමින් පුළුල් වැඩකොටසක් ඉටුකළ බව ද ජනාධිපතිවරයා සඳහන් කරනවා. නමුත් මෙම ක‍්‍රියාවලිය ඉතාම මන්දගාමී ආකාරයකින් සිදුවන බව අප දන්නවා . 2015 මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවලියට සම අනුග‍්‍රහය දක්වමින් සංක‍්‍රාන්ති යුක්ති යාන්ත‍්‍රණයන් සම්බන්ධයෙන්  පොරොන්දු ගණනාවක් ලබා දුන්නත් මේ වෙන විට ඒවායින් ඉටු කර ඇත්තේ  අතුරුදහන් වුවන්ගේ කාර්යාලය පිහිටුවීම  පමණයි. හනිපුරණය සදහා කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත තවමත් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතව තිබෙනවා . ඒ අනුව මෙම යාන්ත‍්‍රණයන් ක‍්‍රියාත්මක වීමට ගත වන කාලය සලකා බලන්වි විට යුක්තියට කවදා මිනිසුන්ට ළගා වියහැකි වේවිද යන්න ප්‍රහේලිකාවක්. විශේෂයෙන් සඳහන් කලයුතු  වන්නේ ඔහු දෙමළ මිනිසුන්ගේ ජාතික ප‍්‍රශ්නය විසදීම උදෙසා අවශ්‍ය තීරණාත්මක ප‍්‍රතිසංස්කරණ හෝ දේශපාලන විසදුම් පිළිබදව කිසිදු සඳහනක්  නොකිරීමයි. සංහිදියාව උදෙසා වගකීම් ඉටුකරනවා යන්න සදහන් කළත් එහි විශාල හිඩැස් තිබෙන බව මාර්තු මස මුස්ලිම් ප‍්‍රජාව මහුණ දුන් අත්දැකීම් සාක්ෂි සපයනවා.වගකීම් ඉටු කිරීම වෙනුට සිද්ධවෙන්නේ යුක්තිය ඉල්ලන මිනිසුන්ගේ හඬ  නිහඬ  කිරීමට ක‍්‍රියාකාරීන්ට (විශේෂයෙන්  දෙමළ ක‍්‍රියාකාරීන්ට) රජයේ බුද්ධි අංශ හරහා තර්ජනය කිරීමත් ඥානසාර වැනි චීවර ධාරීන්ට අනුග‍්‍රහය දක්වමින්  තවදුරත් සුළු ජනයා අතර බිය , සැක සහ අවිශ්වාසය වැඩි කර සංහිදියාව සම්බන්ධයෙන් ඇති බලාපොරොතු වලින් ඈත් කිරීමත්ය.

පීලී පනිමින් සිටින මොහු  ” ශ‍්‍රී ලංකා මාතෘ භුමිය දෙස නව මානයකින් බලන්නැයි ” ලෝක ප‍්‍රජාවට ඇරයුම් කරයි. ඇත්තෙන්ම ලෝක ප‍්‍රජාව ලංකාව දෙස මොන මානයකින් බැලූවත්, මේ ජනාධිපතිවරයා බලයට ගෙන ඒමට තම ජීවිතය පවා පරදුවට තැබූ සෑම සමාජ මට්ටමක ප‍්‍රගතිශීලී මිනිසුන්ට අද වනවිට සිදු වී ඇත්තේ මේ ජනාධිපතිවරයා මැරිලා ඉපදිලද යන මානයෙන් ඔහු  දෙස  බැලීමටටය .  ඔහු මේ වනවිට ජනතාවට  දුන් පොරොන්දු ඉටු කරනවා වෙනුවට වෙනත් දේශපාලන න්‍යාය පත‍්‍රයන් මුල් කරගෙන කටයුතු කරනු ලබන බවට බොහෝ සාක්ෂි සපයනවා. තවදුරටත් ඔහු තමා බලයට පැමිණි ප‍්‍රධානතම  කාරණාව අමතකකරමින් තම පටු දේශපාලන අරමුණු හිස මුදුනේ තබාගන යන බවනම් දැන් දැන් ඔහු කියන කරන දේවල් වලින් මානව පැහැදිලි වනවා.ජනාධිපතිවරයාගේ සමස්ත කථාව තුළම ගැබ්ව තිබුනේ තමන් යුග මෙහෙවරක් ඉටුකළ බවත්, පුරසාරම් දෙඞීමත්, රණවිරුවන් ලෙස හදුන්වන ආරක්ෂක හමුදාව අගය කිරීමත්ය. අවසානයේ බුදු බණ කියා තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා නිසා අපේ තුවාල වලට අපිට ඕනේ විදිහට බෙහෙත් කරගන්නම් කියා කීමෙන් තවදුරටත් තමන් බලයට ගෙනා සාමය සහ යුක්තිය අගයන මිනිසුන්ගේ බලාපොරොත්තු බිද දැමීමට කළ පුස් කතාවකි මෙය.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට තවමත් තම පොරොන්දු ඉටු කිරීමට ඇත්තේ ඉතාම සීමා සහිත කාලයක්. ඒ සඳහා  තවදුරටත් කළහැකි දෙ බොහෝයි. ඉඩම් ඉල්ලමින්  සහ අතුරුදහන් කරවූ තම ආදරණියන් ඉල්ලමින්  මහා පාරේ උද්ඝෝෂණය  කරන මිනිසුන්ට යුක්තිය ලබාදීම, ත‍්‍රස්තවාදය වැළක්වීමේ පනත අවලංගු කර ප‍්‍රතිස්ථාපනය කිරීම , සිවිල් ජනතාවගේ එදිනෙදා ජීවිතය තුළින් හමුදාව ඉවත් කිරීම , චෝදනා රහිතව අත්අඩංගුවේ තබාගෙන සිටින අය නිදහස් කිරීම හා අන්තවාදය පතුරමින් ප‍්‍රචණ්ඩත්වය ඇති කරන්නන්ට  විශේෂ සැලකීමක් නොමැතිව නිර්භීතව නිතිය ක‍්‍රියාත්මක කිරීමය.

තවද සංක‍්‍රාන්ති යුක්තියේ සහ සංහිදියාවේ මුලික කුළුණක් වන නැවත සිදුවීම වැලැක්වීමට නම් ව්‍යවස්ථා සංශෝධනය  සහ ජාතික ගැටලූව විසදීම දේශපාලන එකක් විය යුතුය. ජනාධිපතිවරයා දැන් කළ යුතුව ඇත්තේ  තම පොරොන්දු වචන වලට පමණක් සිමා නොකොට තමන්ට ජන්දය දුන් හැටදෙලක්ෂය තමන් බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන තම පක්ෂයේ ජන්දය නොදුන් පිරිසට වඩා සංඛ්‍යාත්මකව වැඩි බව මතක් කරගනිමින්, තමන්ට ජන්දය දුන් බහුතරයගේ අපේක්ෂාව වන යුක්තිය, සාධාරණය, නීතියේ ආධිපත්‍ය සහ සියලූම ජනවර්ගයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීමෙන් යහපාලනයක් රට තුළ ස්ථාපිත කිරීමයි.

සාරා අරුමුගම් | Sarah Arumugam