iMAGE: The Conversation

විනාශය

මේවායේ අගක් මුලක් මට නොවැටහේ. ඒ සම්බන්ධයෙන් මට උදව් විය හැකි කෙනෙකු වේ නම් යෙහෙකි. ඉන්දුනීසියාවේ සුලාවෙසි පෙදෙසේ මේ මොහොතේ දිග හැරෙමින් පවතින අතිශය ශෝකාකූල මිනිස් ඛේදවාචකයේ තරම ‘අල් ජසීරා’ රූපවාහිනියෙන් මේ දැන් මම දුටුවෙමි. අංශක 7.5 මහා භූමි කම්පාවකින් අනතුරුව ගැලූ භයානක සුනාමියකින් පසුව, අතදරුවන්, ළමා ලපටි, වැඩිමහලූ සහ රෝගී පුද්ගලයන් ඇතුළු ලක්ෂයකට අධික පිරිසක් උන්හිටි තැන් අහිමිව, ජාත්‍යන්තර සහනාධාර සංවිධාන මගින් ආහාරපාන ගෙන දෙන තෙක් බලා සිටිති. 1500 කට අධික පිරිසක් මරණයට පත්ව ඇත. තව ලක්ෂ ගණනක් ආගිය අතක් නැත.

‘ඇයි’ ඒ?

දවසට පස් වතාවක් යාච්ඤා කරන, ලෝකයේ විශාලතම මුස්ලිම් රාජ්‍යයට මෙවැනි විපතක් සිදු වුණේ ඇයි? මගේ ප‍්‍රශ්නයේ සාධාරණත්වය ගැන කිසිවෙකුට ප‍්‍රශ්නයක් තිබිය නොහැක. එසේම, කිසි ඇදහීමක් හෑල්ලූවට ලක්කිරීමේ අවශ්‍යතාවක් මට ඇත්තේත් නැත. මා මේ ප‍්‍රශ්නය මතු කරන්නේ, හේතු බුද්ධියෙන් යුතුව දේවල් දිහා බලන කෙනෙකු වශයෙන් මේ තත්වය මට පටලැවිල්ලක් වන බැවිනි. අභියෝගයක් අප ඉදිරියේ ඇති නිසාත්, ඊළඟ පියවර කුමක්දැ යි දැන ගත යුතු නිසාත්, ඒ ප‍්‍රශ්නයට පිළිතුරක් අපට අවශ්‍ය කෙරේ. නොදන්නා රටකට ගෙන ගොස් අතහැර දැමුවහොත් යන එන මං නොදන්නා තත්වයට පත්වන අප ඒ පළාත ගැන දන්නා කියන කෙනෙකුගෙන් පාරතොට විමසිය යුතුය. ඉන්දුනීසියාවේ මේ ඛේදවාචකය තුළ, ඔවුන්ගේ පැවැත්මේ සත්තාව පිළිබඳ බරපතල අවුලකට, හිතන-පතන මිනිසුන් පත්විය හැකි බව මගේ විශ්වාසයයි. ඒ නිසා පන්දු රකින්නාට බෝලය පාස් කොට, අපේ සුපුරුදු මතිමතාන්තර එලෙසම දරාගෙන දිගටම සිටීමේ හැකියාවක් අපට නැත. හේතුව, අප මේ තත්වයට පත්ව ඇත්තේ මන්ද යන්නට අදාළ අපේ පැවැත්ම පිළිබඳ මූලික කල්පිතයන්ම මෙහිදී අභියෝගයට ලක්ව තිබෙන බැවිනි.

ප‍්‍රකෝපණය සහ අහක බලාගෙන සිටීම

‘යුදෙව් ජන සංහාරය’ නමින් හැඳින්වෙන මිනිසා විසින් ඇති කරන ලද විසි වැනි සියවසේ මහා මිනිස් ඛේදවාචකය ගැන යමක් පැවසීම සඳහා එක් නවකතාවක් පාදක කර ගැනීමට මම කැමැත්තෙමි. හීතර් මොරිස් විසින් ලියා තිබූ එය ‘‘අවුෂ්විට්ස් පච්චකාරයා’’ නම් වේ . අවුෂ්විට්ස් යනු, හිට්ලර් විසින් පෝලන්තයේ පවත්වාගෙන ගිය එක් ඝාතක කඳවුරකි. යුරෝපයේ විවිධ රටවලින් කෝච්චි පෙට්ටි පුරවාගෙන රැගෙන එන ලද යුදෙව් ජාතිකයන්ව මේ කඳවුරට ගාල් කොට ගෑස් කාමර තුළ දමා ඝාතනය කෙරුණි. ගැහැනු, පිරිමි සහ ළමුන් ඇතුළු පවුල් පිටින් ඔවුන්ගේ ගම්බිම්වලින් පටවාගෙන විත් මේ කඳවුරට දැමීමෙන් පසු, ඒ අතරේ සිටි සෞඛ්‍ය සම්පන්න පිරිස් එක විට ගෑස් කාමරවලට යැවුණේ නැත. ඒ වෙනුවට, කෝටුමස් වන තෙක් ඔවුන්ගෙන් වැඩ ගත්තේය. ඔවුන්ට පැවරුණු එක රාජකාරියක් වුණේ, තමන්ගේම ආදාහනාගාර ගොඩනැගීමයි. වැඩ කිරීමෙන් හෙම්බත් වන විට අවසානයේදී තොග පිටින් ඔවුන්ව ගෑස් කාමරවලට දමා ඔවුන්ම තැනූ ආදාහනාගාරයේ පුළුස්සනු ලැබේ. ඔවුන් කළ එකම අපරාධය වුණේ යුදෙව් ජාතිකව ඉපැදීමයි. මේ නවකතාවේ ප‍්‍රධාන චරිතය වන ලේල් සොකොලෝව් තවත් සිරකාරියක් වූ ගීතා සමග පේ‍්‍රමයෙන් බැඳේ. දවසක් ගීතා ඔහුගෙන් මෙසේ අසයි.

‘ඔයා තවමත් දෙවියන් වහන්සේ ගැන විස්වාස කරනව ද?’

‘මෙච්චර දේවල් වුණාට පස්සේ මගේ ඒ විස්වාසේ නැති වෙලා.’

ලේල් සොකොලෝව් යනු, ඇති වී තිබෙන තත්වය ගැන සිතන මතන මිනිසෙකි. ඔහු බෝලය වෙනත් තැනකට පාස් කෙළේ නැත. ඇති වූ සිද්ධිය විසින් ඔහුව ප‍්‍රකෝප ගන්වනු ලැබ තිබුණි. බොහෝ ස්වාභාවික විපත් සේම, මිනිසා විසින්ම ඇති කරන ලද මහා විනාශයන් හමුවේ අපේ විශ්වාසයන් ගැන යළි සිතා බැලීමට අපව තල්ලූ කළ යුතුය. එහෙත් එවැන්නක් සිදු නොවේ. විනාශයට මුහුණදුන් වින්දිතයන් ද ඇතුළුව අප බොහෝ දෙනා කරන්නේ බෝලය වෙනත් තැනකට පාස් කිරීමයි. ඊටත් වඩා නරක තත්වය වන්නේ, තවත් බොහෝ දෙනා ඒ විනාශය යුක්ති සහගත කෙරෙන ආකාරයෙන් තමන්ගේ විශ්වාසයන් තවත් තහවුරු කර ගැනීමට බැලීමයි.

කැන්ටබරි අගරදගුරුතුමා

ශ‍්‍රී ලංකාවත් යට වු 2004 සුනාමිය මට තාම මතකයි. මා දැන් මතු කරන ප‍්‍රශ්නය එදා කැන්ටබරි අගරදගුරුතුමාට ඉදිරිපත් කළ අවස්ථාවේ තමා ඒ ගැන බලවත් ‘අපහසුතාවට’ පත්ව සිටින බව එතුමා කීවේය. එය එතුමාගේ අවංක භාවය විදහා පෑමකි. ඔහු චින්තකයෙකි. සමහර විට ඔහු සිතන්ට ඇත්තේ, ‘දෙවියන් වහන්සේ කොහේද? ඇයි උන්වහන්සේ අහක බලාගෙන ඉන්නේ? ඊටත් වඩා, එහෙම දෙවියන් වහන්සේ කෙනෙක් ඇත්තෙන්ම සිටී ද?’ ආදී දේවල් විය හැකිය. සමහර විට, මහත් හද කම්පාවට පත්ව ඔහු මෙසේත් සිතන්නට ඇති: ‘ඇත්තෙන්ම මම මගේ මීසම් වැසියන්ව රවට්ටනවා විය නොහැකි ද?’

සිද්ධිය යුක්ති සහගත කිරීම

මෙසේ ප‍්‍රශ්න කිරීමට තරම් රුදාවක් නැති පිරිස අපට පැත්තකින් තැබිය හැකිය. මන්ද යත්, ඔවුන් වනාහී එසේ ප‍්‍රශ්න කිරීමේ හැකියාවක් නැති නිසා කට වසාගෙන සිටින අවාසනාවන්තයන් වන බැවිනි. එහෙත් තවත් පිරිසක් සිටිති. ඔවුහූ ඇති වූ විනාශය යුක්ති සහගත කොට, දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය ඉදිරියටත් රැුගෙන යාමට වෙර දරති. ඉන්දුනීසියාවේ ඛේදවාචකය තුළ එක් කාන්තාවක් තමාගේ දිවි ගලවා දීම ගැන දොහොත් මුදුන් දී දෙවියන් වහන්සේට යාච්ඤා කළ බව කියැවුණි. එහෙත් තවත් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එවන් දුකකට පත්වීමේදී දෙවියන් වහන්සේ බලාගෙන සිටියේ මන්දැයි ඇගේ සිතට නාවේ ඇයි?

මේ ආකාරයෙන්ම, පිළිකා රෝගයෙන් සුවය ලැබූවන් බොහෝ විට දෙවියන් වහන්සේට ස්තුති කරනු අප අසා තිබේ. ඉන් බොහෝ දෙනා පිළිකා රෝග ලක්ෂණ තාවකාලිකව යටපත් වූ තත්වයේ සිටි පුද්ගලයන් ය. එහෙත් ඒ පැත්තක් ගැන ඔවුන් සිතන්නේ නැත. ඔවුන් කරන්නේ, දණින් වැටී දෙවියන්ට පිං දීමයි. එහෙත් ඔවුන්ට වඩා විශාල පිරිසක් එවැනි තාවකාලික සහනයක් හෝ නොලැබ, එයින් විඳවා ජීවිතක්ෂයට පත්වන්නේ මන්දැයි මේ වාසනාවන්තයන්ට නොසිතෙන්නේ ඇයි? එය කිසිවෙකුට ස්තුති පූර්වක වීමට තරම් දෙයක් ද? ඒ සියල්ලටමත්, වඩා තමාට එවැනි රෝගයක් ඇති වීමට දෙවියන් ඉඩ හැරියේ මන්ද යන ප‍්‍රශ්නය මුලින්ම ඔවුන්ගේ සිතට නොඑන්නේ ඇයි?

මීට වඩා විදග්ධ භාවයක් පෙන්නුම් කිරීමට කැමැත්තක් දක්වන, මේ විපත යුක්ති සහගත කිරීමට බලන තවත් පිරිසක් සිටිති. ඔවුන් කියන්නේ මෙවැන්නකි: ‘දෙවියන් වහන්සේ ක‍්‍රියා කරන්නේ ගුප්ත ආකාරයකින්. මේවා ගැන ප‍්‍රශ්න කරන්න ඒක නිසා අපිට අයිතියක් නැහැ.’ අප එකිනෙකා පිළිබඳ වෙනම ‘සැලැස්මක්’ දෙවියන් සතුව ඇතැයි ඔවුන් කියා සිටිනු ඇත. ඒ දේව කැමැත්තට අප යටත් විය යුතුය. ලෝකයේ අස්සක් මුල්ලක් නෑර බිලියන 8 ක් මිනිස්සු ජීවත් වෙති. මේ පිරිසේ එක් එක්කෙනා ගැන වෙනම සැලසුමක් සහිතව කටයුතු කරන දෙවි කෙනෙක් ගැන කෙසේ නම් සිතා ගන්න ද? එහෙත් බැතිමතාට එය ප‍්‍රශ්නයක් නොවේ.

මේ සියල්ලන්ගේ පොදු ලක්ෂණයක් තිබේ. එනම්, ඕනෑම තත්වයක් යටතේ භක්තිය පවත්වාගෙන යා යුතු බවට ඇති විශ්වාසයයි. (භෞතික වාසි තකා මෙවැනි විශ්වාසයන් දරා සිටින අය ගැන අමුතුවෙන් කතා කිරීමේ අවශ්‍යතාවක් නැත.*

කර්ම නියාමය

ඉන්දියානු කර්ම නියාමය බොහෝ ආගමිකයෝ අදහති. අදේවවාදීන් වශයෙන් සැලකෙන මොවුහූ ද, යම් නිශ්චිත පරිපාටියක් සහ එක්තරා ආකාරයක ආඥාපතිත්වයක් පිළිබඳ විශ්වාසය තබති. ඒ ආඥාපති කාර්යය වන්නේ, නරකට සිටින මිනිසුන්ට නපුරක් සිදුවීමට සැලැස්වීමයි. එසේ නොවේ නම්, යම් පාප කර්මයක් නිසා ඊළඟ ආත්ම භවයේ ඊට ගැලපෙන රුදුරු ඉරණමක් කෙනෙකුට අත්වන්නේ කෙසේ ද? මගේ අම්මාට ගර්භාෂයේ පිළිකාවක් හැදුණේ ඈ තරුණ වියේදීම ය. ජ්‍යෝතිෂය විශ්වාස කළ මගේ පියා ඉන්දියානු සාස්තරකරුවෙකු ළඟට ගියේය. ඔහු මගේ අම්මාගේ අතීත භවය පිළිබඳ කතාව කීවේය. ඒ අනුව මගේ අම්මා ඉහත ආත්මයක චීන රජ පවුලක කුමාරිකාවක්ව සිටියදී බඩදරු ගැහැනියකට පයින් ගසා ඇත. ‘අන්න ඒ පාප කර්මය නිසා තමයි මේ ආත්මයේ ගර්භාෂයේ පිළිකාවක් හැදිලා තියෙන්නේ.’ තක්කඩියා කීය. මෙය බොරුවක් බව ඇත්ත. එහෙත් ඒ කතාව මා උපුටා දැක්වූයේ, ඉහත ආත්මයක කර්මයකට අනුකූලව වෙනත් ආත්මයක ඉපැදීම පිළිබඳ විශ්වාසයේ ස්වභාවය පැහැදිළි කිරීමටයි. එය සත්‍යයක් නම්, කෙනෙකුගේ සෑම ක‍්‍රියාවක්ම සැලකිල්ලට ගෙන ඊළඟ ආත්මයක් ඊට අනුගතව ක‍්‍රමායනය කිරීමේ බලධාරියෙකු හෝ ආඥාපතියෙකු පිළිබඳ අදහසක් ගම්‍ය වන්නේය. ආඥාපතියෙකු මෙන් එසේ සිදුවීම්වල ප‍්‍රතිවිපාක තීන්දු කිරීමේ හැකියාවක් හුදු සිද්ධීන්ට තිබිය නොහැක. කෙනෙකු මෙවැනි විශ්වාසයන් විචාරාත්මක පරීක්ෂාවට භාජනය නොකරන්නේ නම්, කර්ම නියාමය ඉතා තාර්කික දෙයක් සේ පෙනී යා හැකිය. ඒ කෙසේද යත්, බඩදරු ගැහැනියකට පයින් ගැසූ ගැහැනියකගේ ගර්භාෂයේ පිළිකාවක් හැදීමමයි හොඳ

විචාරශීලී නිරීක්ෂණයේ අවශ්‍යතාව

අධ්‍යාපනඥයන්ගේ කාර්යය විය යුත්තේ, අනාගත ලෝකය නිර්මාණය කරන ශිෂ්‍යයන් තුළ විචාර ගුණය රෝපණය කිරීමයි. ඕස්ටේ‍්‍රලියාවේ සෑම විෂයයක් අරභයාම විචාරශීලී චින්තන ව්‍යාපෘති යොදා ගැනේ. වෙනත් සමහර බටහිර රටවල විචාර චින්තනය වෙනම උගන්වනු ලැබේ. අනිත් අයගේ මතිමතාන්තර, ඔවුන් කවුරුන් වෙතත්, ප‍්‍රශ්න නොකරන ජනතාවක් රටකට නොහොබී.

මේ නිදහස් විචාරය පිළිබඳ ප‍්‍රශ්නයේදී ආගමට විශේෂ ආරක්ෂාවක් දිය යුතු නොවේ. යථාර්ථයට සම්බන්ධ සකල කාරණා ගැන අදහස් දැක්වීම ආගමේ කාර්යයක් බවට පත්ව තිබුණි. අද වන විට එය විද්‍යාවේ කාර්යයක් බවට පත්ව තිබේ. විද්‍යාත්මක ප‍්‍රස්තුත, අඩු වශයෙන් ඒවා නිෂේධ කෙරෙන ප‍්‍රති-තර්ක හමුවන තෙක්වත් වලංගු වන්නේය. එහෙත් ආගම්කාරයන් කියන්නේ යථාර්ථය පිළිබඳ ආගමික පැහැදිළි කිරීම් හැම කාලයටම වලංගු බව ය. ඒවාට පටහැනි මොන තරම් සාක්ෂි හමු වුවත් ඒවා ප‍්‍රශ්න කිරීමේ අයිතියක් ආගමෙන් නොදෙයි. තමාගේ දුරදක්නයෙන් වෙනත් යථාර්ථයක් පෙන්නුම් කරනු ලැබූ විට කොපර්නිකස් ආගම ප‍්‍රශ්න කෙළේය. එහෙත් ඒ නිසා ඔහු අනේක ගැහැටට පත්විය. අන්තිමේදී පල්ලියෙන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ඔහුට තම මතය වෙනස් කර ගැනීමට සිදු විය. ‘‘නැහැ.. නැහැ.. මං ඒක කිව්වේ විහිළුවටයි’’ කියා ඔහුට කියන්ට සිදු විය.

ආගමික විශ්වාසයන් පිළිබඳ විශාලතම භූමි කම්පාව ඇති කෙළේ චාල්ස් ඩාර්වින් ය. දෙවියන් වහන්සේ විසින් මිනිසා මවන ලදැයි යන විශ්වාසය, පැලෑටි සහ සත්ව පොසිල සාක්ෂි ආශ‍්‍රයෙන් ඔහු ඛණ්ඩනය කෙළේය. එහෙත් කොපර්නිකස්ට වඩා තරමක් කල්පනාකාරී වූ ඔහු තමන්ගේ සොයා ගැනීම, ‘හොඳ’ අවස්ථාවක් එන තෙක් කල් දැම්මේය.

විචාරශීලී චින්තනය ප‍්‍රවර්ධනය කිරීමේ දී ලංකාව අයාලේ ගොස් තිබීම කණගාටුදායක ය. මේ විචාරශීලී චින්තනය අපේ විෂයමාලා කිසිවක් තුළ දක්නට නැත. ඒ ගැන වෙනම ඉගැන්වීමක් කරන්නේ ද නැත. දශක හයක නිදහස් අධ්‍යාපන උරුමයක් අපට තිබුණත්, අපට සිටින්නේ, ඕනෑම ගොබ්බ කතාවක් එක උගුරට ගිලින, දේශපාලඥයන්ගේ කෙබර හිස මුදුනින් විශ්වාස කරන අවිචාරවත් ජනතාවක් ය. අපේ ජනතාවගේ සාමාන්‍ය තත්වය පහසුවෙන් වටහා ගත හැකි එක ක‍්‍රමයක් වන්නේ, ජාතිය සහ ආගම සම්බන්ධයෙන් භාවිතයට ගන්නා ඔවුන්ගේ හැඟීම්බර සටන් පාඨ දෙස බැලීමයි. රට යා යුත්තේ කොතැනකට ද, එතැනට යා හැක්කේ කෙසේද යන්න ගැන නිදහස් අදහසක් වඩවා ගැනීමේ හැකියාවක් ඔවුන්ට නැත. මේ අතර අපේ මාධ්‍ය හසුරුවනු ලබන්නේ ද, අර කී දෝෂ සහගත අධ්‍යාපන ක‍්‍රමයෙන් බිහි කළ පුද්ගලයන් විසිනි. ඔවුන්ගෙන් බොහොමයක් දෙනා විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් ලද්දෝ නොවෙත්. සිදුවන්නේ, අන්ධයන් විසින් අන්ධයන්ට පාර කියා දෙනු ලැබීමයි.

අපේ මාධ්‍ය දෙස මොහොතක් හැරී බලන්න: උදාහරණයක් වශයෙන්, අපේ රූපවාහිනී නාලිකවල ජ්‍යොතිෂඥයන්ට සහ සාස්තරකාරයන්ට දෙන තැන ගැන ටිකක් සිතා බලන්න. ජාතික රූපවාහිනියේ එක් හුදෙකලා, එහෙත් ඉතා ප‍්‍රශංසනීය වැඩ සටහනක් තිබුණි. ‘යථාරූප’ නමින් හැඳින්වුණු එම වැඩ සටහනේ අරමුණ වී තිබුණේ විචාරශීලීව සිතා බලන ජනතාවක් බිහි කිරීමයි. ඒ වැඩ සටහන දැන් නතර කර දමා ඇති බව අසා මම මහත් කම්පාවට පත්වීමි. සමහර විට එසේ වන්නට ඇත්තේත් නක්ෂස්ත‍්‍රකාරයන්ගේ බහට අවනත වීම නිසා විය හැකිය.

ෂ්‍යාමන් ජයසිංහ

සංස්කාරක සටහන  : 2018 ඔක්තෝබර් 5 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ  ‘An Indifferent God?‘නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි.