හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී කියා සිටියේ, තමන් ජනාධිපති වූයේ නම්, වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගත් තීන්දුව හා සමාන තීන්දුවක් කිසිම ආකාරයකින් නොගන්නා බවයි. රාජපක්ෂ මහතාගේ කතාවේ ඉදිරිපත් කළ කරුණු එකිනෙක ගැලපීමේදී පෙනී යන්නේ ඔහු එතරම් කැමැත්තකින් පසු නොවන බවය. මන්ද, දේශපාලනික වශයෙන් ඔහු, රෑ වැටුණු වලේ දවල්ද වැටී ඇත. දැන් ඉන් ගොඩ ඒම සඳහා ඕනෑම කැත වැඩක් කළ යුතුව ඇත. ලෝකයේම ආශීර්වාදයෙන් යළි රටේ දේශපාලන බලය අල්ලා ගැනීමට තිබූ අවස්ථාව අපහරණය කොට ඇත. මුදල් වලට වෙන්දේසි කරනු ලැබූ මිනිසුන්, මිළදී ගැනීමෙන් තනන කෘතීම බහුතරයක් සහ ව්‍යාජ ජයග්‍රහණයකින් ශක්තිමත් පරිපාලනයක් ගොඩනැගිය නොහැකිය.
අදාළ රැස්වීමට සැලකිය යුතු ජනතාවක් පැමිණි නමුත් එය එතරම් සාර්ථක වූ බවක් පෙනෙන්නට නැත. බොහෝ දෙනෙකු එකිනෙකට නොගැලපෙන කතා කියමින්, මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමන්ට වාසි ආකාරයෙන් අරුත් ගැන්වීමට උත්සහ කළෝය. බොරුවට වඩා අර්ධ සත්‍යයට කළ හැකි හානිය කෙතරම් විශාලද යන්න, මෙරට වත්මන් තත්වය දෙස බැලීමේදී ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය. රටේ ජනතාව මුලාවේ හෙළීම මිස වෙනත් කිසිවක්, මෙම පුද්ගලයින්ට කළ හැකිද? යන්න ගැටලුවකි.
මෙහිදී අවධානය යොමු කිරීමට අවශ්‍යය මූලික කාරණයක් වූයේ, අදාළ රැස්වීම අමතනු ලැබූ ජනාධිපති සිරිසේන මහතා ඇතුළු බොහෝ දෙනෙකු සමනල්ලුන්ට සමාන කරමින් තම දේශපාලන ප්‍රතිවාදීන් ගැන විවිධාකාර කතා කීමය. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමන්නල්ලුන් ගැන මෙන්ම අනෙකාගේ පෞද්ගලික ජීවිත ප්‍රසිද්ධ වේදිකාවට ගෙනෙමින් විනෝදාස්වාදය ලබන ප්‍රධාන පෙලේ පුද්ගලයෙකි. යම් පමණකට මදුවිතෙන් මත් වී මෙළොව සහ එළොව අතර ජීවිතයක් ගත කරණ බොහෝ අයවලුන්ට එවැනි කතා විනෝදය සඳහා අවශ්‍යය වේ. අවාසනාවට මෙන්, එවැනි අශීලාචාර හැසිරීම් පිරිමිකම යැයි වැරදි අවබෝධයක් සිංහලයින් අතර තිබේ.
විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටක ගැමි පරිකල්පනය ඔස්සේ සදාතනිකව කොටු කොට තබා ඇති ජන මනස එවැනි කතා ඔස්සේ මුලාවේ හෙළීම ඉතාම පහසුය. එය එතරම් පහසු නොවේ නම්, තම රැකියාවෙන් උපයා ගැනීමට හැකි මුදලට වඩා විශාල මුදල් කන්දරාවක් සොයා ගැනීමේ වරදට, වීරවංශ මහතාට අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවන්නේ නැත. මේ සියලුම දෙනා ජනතාවගේ හැඟීම් අවුස්සා ඒවා තමන්ගේ පැවැත්ම වෙනුවෙන් භාවිතා කරන ඉතාම අප්‍රසන්න මිනිසුන් කණ්ඩායමකි.
යමෙකුට තම පෞද්ගලික ජීවිතය කමකට නැති කුණුගොඩක් වූ විට ඔහු හෝ ඇය තවකෙකුගේ පෞද්ගලික ජීවිත වලට නිසි ගරුත්වයක් ලබා දෙන්නේ නැත. එවැනි මට්ටමටක සමාජයක් පත් වූ විට දක්නට ලැබෙන ගති ලක්‍ෂණ ඊයේ පැවති ජනමහිමය රැස්වීමේදී ඉදිරිපත් වූ අදහස් වලින් දක්නට ලැබේ.
මේ දක්වා අඩුම තරමින් තම බසෙහි හෝ විනයක් තබාගෙන කතා කළ ජනාධිපති සිරිසේන මහතා අවසානයේදී වැටී සිටින තත්වයද අතිශය කනගාටුදායකය. ඔහු, තම දේශපාලන පැවැත්ම වෙනුවෙන් සිදුකරමින් සිටින අරගලය සුළුපටු නොවන බව තේරුම් ගත හැක්කේ, තම අසමත් බාවයන් සඳහා අනුන්ට චෝදනා එල්ල කරන විලාසයෙනි. ඔහුගේ විලාපය ඉතාම ඛේදනීය වේ.
රටේ ජනතාව මල්වට්ටියක් මත තබා ඔහුගේ පාලනයට රට ලබා දුන්නේ ජාතික සහ ජාත්‍යන්තර ආශීර්වාදය මැදය. මිනිසුන්ගේ අයිතීන් ශත පහකට මායිම් නොකරන රජයක් ලෙස හංවඩු ගැසී තිබුණු දේශය ඉන්මුදා ගැනීමට පැමිණි දියසේන කුමරු ලෙස දේශීය වශයෙන් හඳුන්වනු ලැබූ හෙතම, ජාත්‍යන්තරය විසින් හඳුන්වනු ලැබුවේ ආසියාවේ නෙල්සන් මැන්ඩෙලා ලෙසය. මැන්ඩෙලාගේ ආණ්ඩුවේද තීන්දු තීරණ ඔහුට අවශ්‍යය අකාරයෙන් ගැනීමට ඉඩ නොදුන් පිරිස් සිටියෝය. නමුත් ඔහු එම අභියෝග ජය ගත්තෙ, අනුන්ට චෝදනා කිරීමෙන් නොව තම කුසලතාවයෙන්ය.
නමුත් ජනාධිපති සිරිසේන මහතා, සඳහන් කරන පරිදි, “වික්‍රමසිංහ මහතාගේ සමනල කල්ලිය” ඔහුට තීන්දු තීරණ ගැනීමට ඉඩ නොදුන් බවය. මීට පිළිතුරක් ලබා දෙන, මුදල් සහ ජනමාධ්‍යය ඇමති මංගල සමරවීර මහතා, “කූඩැල්ලෙක් වනවාට වඩා සමනලයෙක් වන එක” හොඳ බව කියන්නේය. රටේ සමස්ථ දේශපාලන අවුල තේරුම් ගැනීම සඳහා මෙම උපහැරණය පමණක් ප්‍රමාණවත් වේ.
සමනලයින් වෙත දොස් පවරණ ජනාධිපති සිරිසේන මහතා සෑම විටම “ප්‍රබුද්ධ සමාජයක්” වෙනුවෙන් පෙනී සිටින බව කියන්නේය. නමුත්, ඔහු ජනාධිපතිධූරයට පත් වූ පසු ඔහුගේ , ඔහුගේ දරුවන්ගේ, සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ගේ වත්කම් ප්‍රමාණය කෙතරම් ප්‍රමාණයකින් ඉහළ ගියේද? එසේ ඉහළ ගියේ ඔවුහු දහදිය වගුරුවා සර්ව සාදාරණව හරි හම්බ කළ දෑ වලින්ද? යන්න ඔහුට ප්‍රසිද්ධියේ ඔප්පු කළ හැකිය. එසේම, මීට සතියකට පෙර හදිසියේ සිදු කළ දේශපාලන ආරවුල, පූර්ව නිගමන අනුව යමින් අනාගතයේ බිහිවන්නේ යැයි සිතන රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ සිදුවිය හැකි අතවර වලින් තමන් සහ තම පවුලේ සාමාජිකයින් ගලවා ගැනීමේ අරමුණින් කළ කාරණයක්ද? යන්න ඉදිරි කාලවකවානුව තුළදී මනාව ඔප්පු කරනු ඇත. එවිට රටේ ජනතාවට වැඩිම හානිය සිදු වී ඇත්තේ සමනල්ලුගෙන්ද? කූඩැල්ලන්ගෙන්ද? යන්න සමාජය ඉදිරියේ ඔප්පු වනු ඇත.
ජනාධිපති සිරිසේන මහතා තවමත් අවබෝධ කර ගැනීමට අසමත් වී සිටින මූලික කාරණය වන්නේ, වික්‍රමසිංහ මහතාට බැන වැදීමෙන් සිරිසේන මහතාට දේශපාලනික වශයෙන් කිසිම වාසියක් අත්වන්නේ නැති බවයි.
ඇත්ත, රටේ දේශපාලනය හුවමාරු වෙමින් පවතින්නේ සමනල්ලුන් සහ කූඩැල්ලන් අතරය. වැඩිම විනාශය අත්වී ඇත්තේ, ගෙවත්තේ මල් වල පැණි බීමට එන සමනලයින්ට ඉඩ දීමෙන්ද? විකාර වර්ගවාදයක එල්ලෙමින් ජනතාවගේ හැඟීම් අවුස්සා ඔවුහු මුලාවේ හෙළන ඇඟේ එල්ලී වැටෙන තෙක් ලේ උරා බොන කූඩැල්ලන්ගෙන්ද? එය රටේ දෛවය විසඳෙන ප්‍රධාන ගැටලු වේ.
විශේෂ ලියුම්කරුවෙකු විසිනි