රටක ව්‍යවස්ථාවක් තිබෙන්නේ රටේ පවතින දේශපාලන බලාධිකාරයට එම ව්‍යවස්ථාවට අනුව රට කරවීම සඳහායි. නමුත් දැන් ජනාධිපති සිරිසේන ඔහුගේ හිතුවක්කාරී මතයට අනුව ක්‍රියාකරමින් ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකර ක්‍රියා කරමින් පවතී. මෙම තත්ත්වය රටට කොතරම් විනාසයක් ලඟා කරනු ඇද්ද? පළමුවෙන්ම ඔහු පාර්ලිමේන්තුව මැද රෑ කල් දමා අලුත් අගමැතිවරයකු නීති විරෝධී ආකාරයෙන් තම හිතුමතයට පත් කරනු ලැබීය.
26 වැනි සිකුරාදා සිට නොවැම්බර් 9වැනි දා දක්වාම ඔහු රටට කියා සිටියේ තමා අලුතින් පත් කළ රජයට පාර්ලිමේන්තුවේ වැඩි බලයක්, එනම් නියෝජිත මන්ත්‍රීවරුන්ගෙන් 113 දෙනෙක් ඔවුන්ට සිටින බවයි. ඒ වගේම දිගින් දිගටම කියා සිටියේ තමන් කිසියම් ආකාරයකින් පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බවයි. ඔහුගේම වචනයට අනුව එසේ විසුරුවා හැරීමෙන් අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් අහිමි වීම සිදුවන හෙයින් එය ඔහු කොහෙත්ම නොකරන බව තරයේ කියා සිටියේය. නොවැම්බර් 9වැනි දින උදේ ද ඔහු පැහැදිලිවම ප්‍රකාශ කරමින් කියාසිටියේ පාර්ලිමේන්තුව විසුරුවා නොහරින බව මෙන්ම 14 වෙනි දින පාර්ලිමේන්තුව කැඳවන බවත්ය. නමුත් එදින රාත්රියේදී ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරියේය. මේ අනුව රටේ ප්‍රධාන පුරවැසියා වන ඔහු නීති විරෝධීව ක්‍රියා කරනවා පමණක් නොව රටටම බොරු කියයි. ඔහුගේ මෙම පහත් නීච හැසිරීම රටක දරු දැරියන්ට, තරුණ පරම්පරාවට දෙන ආදර්ශය කුමක්ද? බලය ලබා ගැනීමට ඕනෑම පහත්, නීච, අමන ක්‍රියාවක් කිරීමට මෙන්ම බොරු කීමටත් ආදර්ශයක් සිරිසේනගේ මේ විලිලැජ්ජා නැති හැසිරීම ඔවුනට නොදෙන්නේ ද? සිරිසේනගේ මේ හැසිරීම රටත් රටේ රටේ ජනතාවත් කොතරම් අගාධයකට ඇද දමනු ලබයි ද?
දැන් අපි මොහොතකට රටේ ගුරුවරු සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් දෙස බලමු. මෙතෙක් කල් ඔවුන් ළමුන්ට උගන්වන්නේ රටේ ව්‍යවස්ථාව එහි උත්තරීතර නීතිය බවයි. එය උල්ලංඝණය කිරීමට කිසිවකුට බලය නැති බවයි. ව්‍යවස්ථාවට අනුව වසර 4 හමාරක් යන තුරු ජනාධිපතිවරයාට කැමති ආකාරයට රටේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසුරුවා නොහැරිය හැකි බවයි. දැන් මේ ගුරුවරුන්ගේ ඉගැන්වීම් සිරිසේනගේ එක ක්‍රියාවකින් බොරු වී හමාරය. හෙට දින පාසලේ ළමුන් ගුරුවරයාගෙන් “ඇයි ඔබලා අපට බොරු ඉගැන්නුවේ” කියා නො විමසනු ඇත්ද?
රටේ ජනාධිපතිවරයා පත් කර ඇත්තේ රට කළ කළමනාකරණය කිරීම සඳහායි. නමුත් රටේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය පත් කරනු ලබන්නේ රටක නීති සම්පාදනය කිරීම සඳහායි. මේ අනුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනු ජනතාවගේ නියෝජිතයන්ය. එනිසා ජනාධිපතිගේ හිතුමතයට ඔවුන් බල විරහිත කිරීමට ඔහුට අයිතියක් නොමැත. ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර ප්‍රශ්න මතු වන හැම මොහොතකම පාර්ලිමේන්තුව විසුරුවා හැර අලුතින් මැතිවරණයකට යා යුතු නම් සමහර විට වසරකට පාර්ලිමේන්තු මැතිවරණයක් බැගින් පැවැත්වීමට පවා සිදු වනු නොඅනුමානය. එනිසා මේ ඇතිවී ඇති අර්බුදයේදී ජනාධිපතිවරයා කළ යුත්තේ වයවස්ථාවට අනුකූලව වැඩ කටයුතු කිරීමයි.
ඒමෙන්ම මෙම ප්රශ්නයේ දී අපට රටක් ලෙස මේ සිදුවී ඇති වින්නැහිය ගැන සිතීමට කාලය උදා කර තිබේ. අපේ රට කලක් තිස්සේම නීතිය යනු බලය ඇත්තාට අවශ්‍ය දෙය කිරීමට ඇති අයිතිය ලෙස ක්‍රියාව තුළින් අර්ථ දැක්වීම සිදු උන මෙන්ම සිදුවෙමින් පවතින රටකි. ඒ ව්‍යවස්ථාවට අයත් ව තිබූ දහතුන්වන සංශෝධනය අනුව පළාත් සභාවලට බලය දීමක් සිදු නොකරමින් නීතිය හැමදාම උල්ලංඝනය වෙමින් පැවතුණි.
රට පුරාම මිනිසුන් දහස් ගණනින් සාපරාධි ලෙස අතුරුදහන් කළ සහ මරා දැමූ අය රාජ්‍ය බලය අනුහසින් යෙහෙන් වැජඹෙන මෙන්ම වැජඹෙමින් පවතින රටකි.
අපරාධකරුවන් යැයි සැක කර අත්අඩංගුවට ගත් සැකකරුවන් මාංචු පිටින් පීනන්නට ගොස්, බෝම්බ ගැසීමට ගොස් මරා දැමෙන රටකි. රටේ සිරගෙවල් තුළ සිටි සිරකරුවන් බලාධිකාරිය තමකැමැත්ත අනුව හිතුමතේ ඝාතනය කළ රටකි.
රට තුළ නීති සංග්‍රහයේ කුමක් ලියා තිබුණත් බලය ඇති අයට ඒවා සැමදා වලංගු වීමක් සිදු නො වී ය. දැන් එම නීති සංග්‍රහයේ මුදුන් මල්කඩ වන රටේ ව්‍යවස්ථාවට සිරිසේනගේ හෙනය ගසා හමාරය. රටේ අනාගත පරපුරට යහපත් සමාජයක්, ප්රජාතන්ත්රවාදී රටක් ඉතිරි කිරීමට නම් දැන් පුරවැසියාට වෙනත් විකල්ප සෙවීමට සිදු වී ඇත. දැනුවත් සිවිල් සමාජයක් ඇතිකර ගැනීම මේ සියල්ලට ඇති එකම විසඳුම බව මගේ වැටහීමයි.
ප්‍රථමයෙන්ම කල යුත්තේ මෙම සිරිසේන-මහින්ද ෆැසිස්ට් කුමන්ත්රනය පරාජය කිරීමයි.
රංජිත් හේනායකආරච්චි | Ranjith Hennayaka Arachchi