iMage: Tamil Guardian
‘මන්නාරම් සමුහ මිනීවලෙන් හමුවු සිරුරු 276 දක්වා ඉහළට’ වැනි පුවත් දකුණේ පුවත්පත් සහම වෙබ් අඩවි කිහිපයක පමණක් වාර්තා වෙයි.
එපමණකි!
දකුණට එයට වඩා වැදගත් වැඩ තිබේ. ඒ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් සිරිසේන ජනාධිපතිවරයා විසින් ඇති කරන ලද අස්ථාවරත්වයෙන් රට ගලවා ගැනීමය. එය කල යුතුමක එකකි. එහි අර්ථ 2කක් නැත. එසේම ඒ අස්ථාවරත්වය ඇති කරමින්, රට අරාජික තත්ත්වයට ඇද දැමූ ව්‍යවස්ථා කුමන්ත්‍රණකරුවන්ට නීතියෙන් දඩුවම් ලබා දිය යුතුය. එසේම ඒ කුමන්ත්‍රණය මතින් ලේක්හවුසියට, ජාතික රූපවාහිනියට, ගුවන් විදුලි සංස්ථාවට රිංගා ගත් මාධ්‍යවේදීන් යැයි කියා ගන්නා, ඒ කුමන්ත්‍රණයේ කොටස්කරුවන්ද නීතිය හමුවට ගෙන ආ යුතුමය.
නමුත්, එය එසේම වේ දැයි සැකයක් මතු වන්නේ පසුගිය වසර 3හමාර පුරා ‘යහපාලන’ ආණ්ඩුව කළ කී දෑ නිසාය. ඒ දුන් පොරොන්දු එළෙසම ඉටු කලේ නම්, රාජපක්ෂලාට සෙල්ලං කිරීම සදහා පිටියක් සැකසෙන්නේ නැත. අවම වශයෙන් ප්‍රේක්ෂකයන් ලෙස හෝ සිටින්නට තිබුණේ හිර ගෙවල්වලය. නමුත් යහපාලනය එසේ කළේ නැත.
මානව හිමිකම් සහ දකුණ
පසුගිය 10 වෙනිදා ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලංකාවේදී බොහෝ සංවිධාන සැමරුවේය. ඒ සැමරුම් බොහොමයක් තුළ මතු කලේ ඉහතින් අප සාකච්ඡා කල ව්‍යවස්ථා කුමන්ත්‍රණය සහ ඒ තුළින් මතුව ඇති තත්ත්වයන්ය.
එය වැදගත්ය.
නමුත්, මේ දක්වා ලංකාවෙන් මතුවෙමින් ඇති විශාලම සමූහ මිනිවල සහ ඒ ආශ්‍රීත තත්ත්වයන් ගැන කවුරුන් හෝ දකුණේදී කතා කරනවා ඇසුණේ නැත.
‘නෑ නෑ මේ වෙලාවේ ඕක ගැන කතා කරන්න හොද නෑ, අපි මේ බරපතල ප්‍රශ්ණය අපි ඉස්සෙල්ලා විසද ගන්න ඕන’ මා මිතුරෙක් පසුගිය දවසක කීවේය.
2014 දී ත් එැවැනිම මිතුරන් මෙසේ කීවේය. ‘අපි මේ වෙලාවේ ජාතික ප්‍රශ්ණය හෝ, දෙමළ මිනිසාගේ දේශපාලන ප්‍රශ්ණය ගැන කතා කරන්න හොද නෑ. අපි කළ යුත්තේ මහින්ද එලවන එක, පස්සේ අපි ඒවා ගැන කතා කරමු, වැඩ කරමු’
නමුත් අද පාරවල් වල ප්‍රජාතන්ත්‍රවාදය, මානව හමිකම්, යුක්තිය ගැන කතා කරන බහුතරයක්, 2015න් පසු ඒ ගැන කතා කළේ නැත. නමුත් ඉතාමත් සුලු පිරිසක් ඒ ගැන දිගිටම කතා කරමින් ඒ වෙනුවෙන් වැඩ කරමින් සිටි සහ සිටින බව ලියා තැබිය යුතුය.
මේ සටහන ලියා තබන්නේ අන් කිසිවක් නිසා නොවේ, සමුහ මිනීවලවල්, අතුරුදන් කිරීම්, හමුදාවට බාර දුන් අය ගැන, ඉඩම් මිලිටරීකරණය ආදී දකුණට ඇග රිදෙන මාතෘකා සදහා අද ‘යුක්තිය’ ඉල්ලන බහුතරයක් අනාගතයේදී පාරවල් වල දකින්නට ලැබෙන්නේ නැත. එපමණක් නොවේ, ඒ බහුතරයක් දෙනා ‘යුක්තිය’ යන වචනය ඇහූ පමණින් ‘ආණ්ඩු විරෝධී’ ඇසකින් බලනු නිසැකය.
එය 2015න් පසු අත්දුටු සත්‍යකි.
එම සත්‍ය නැවත මුණ නොගැසෙන්නට නම්, දකුණට නොපෙනෙන, දකුණ අත නොගසන ඒ කටුක සත්‍යන් දකුණේ දී අද ‘යුක්තිය’ ඉල්ලන පිරිස් විසින් ස්පර්ශ කළ යුතුයි.
එසේ නොමැතිව රනිල් හෝ මහින්ද හෝ වෙන කිසිවෙක් අගමැති වුවත්, සිරිසේන නොවේ, ජේආර් වලනේ නැගිට ඇවිත් ජනාධිපතිකම් දැරුවත් ‘අභ්‍යන්තර යුක්තිය’ ඇති කර ගැනීමට අප අපොහොසත් වුවහොත් ලංකාව ‘සුන්දර ලංකාවක්’ නම් වන්නේ නැත.
එබැවින්, සිරිසේන විසින් අපට සම්මුඛ කර ඇති අරාජිකත්වය මතින් හෝ මේ කටුක සත්‍යන් අවබෝධ කර ගත යුතුමය. ඒ වෙනුවෙන් වැඩ කල යුතුමය.