iMAGE: Daily FT

වයස අසූවක් ගියත් තරුණ ජවයෙන් යුත් මිනිස්සු සිටිති. හැට පනින්නත් කලින් වෑරෙන මිනිස්සුත් සිටිති. යහපාලන ආණ්ඩුව වනාහී, අකලට හිසකෙස් පැසුණු, හම රැුළි වැටුණු, ලෙඩ ගානේ කොර ගහන මිනිසෙකු වැන්න. සමහර ලෙඩ, වැළැක්විය නොහේ. එහෙත් බොහෝ ව්‍යාධි, අවශ්‍ය පරිස්සම් වෙතොත්, වළක්වා ගත හැකිය. යහපාලන ආණ්ඩුව ව්‍යාධි දෙකකට ගොදුරු විය. එකක්, ජානගතව ආවේය. ඒ මෛත‍්‍රීපාල සිරිසේන නමි. තව එකක්, බෝ කර ගත්තේය. එය, මහබැංකු බැඳුම්කරය නමි. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව එයින් බෙහෙවින් රෝගාතුර විය.

යහපාලන ආණ්ඩුවට වසර හතරක් ගෙවී ගොසිනි. ඉතිරිව ඇත්තේ තව එක වසරයි. දැන් අපට කතා කිරීමට තරම් යහපාලන ‘ආණ්ඩුවක්’ නැත. එහෙත්, 2015 ජනවාරියේ පටන් ගෙන ආ යහපාලනික ‘මතයක්’ අපට තිබේ. ඒ අදහස, පසුගිය මාස දෙක තුනේ ඇති වූ සිදුවීම් හරහා පුනර්ජීවනය විය. සමස්ත රටම- පාරතොටේ ජනතාව, රටේ නීතිය සහ අධිකරණය, පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථා සභාව, සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග සහ සිවිල් සමාජය- එකාවන්ව නැගී සිටියහ. යහපාලන ‘ආණ්ඩුව’ මේ වන විට රෝගීව ඇතත්, ඉහත කී යහපාලන ‘මතය’ තවමත් ජවසම්පන්න බව එයින් සනාථ කෙරිණ.

ගත වූ සිව් වසරක කාලය විශේෂිතයි. වැඩියත්ම, සුදුවෑන් දකින්ට නොලැබීම විශේෂිතයි, තවත් ලසන්ත වික‍්‍රමතුංගලා ඒ කාලයේ අපට දකින්ට නොලැබුණි. තවත් එක්නැලිගොඩලා ඒ කාලයේ අපට දකින්ට නොලැබුණි, තවත් තාජුඞීන්ලා ඒ කාලයේ අපට දකින්ට නොලැබුණි. කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් මරා දැමෙන තවත් අහිංසක දරුවන් ඒ කාලයේ අපට දකින්ට නොලැබුණි. මරණය කිසිවෙකුගේ ගෙයි එළිපත්තට තියා ගම්දනව් අහලකටවත් ආවේ නැත.

මේ කාලය තුළ තවත් කීත් නොයාර්ලා පැහැරගෙන ගියේ නැත. තවත් පෝද්දල ජයන්තලාගේ අතපය කැඩුවේ නැත. තවත් උපාලි තෙන්නකෝන්ලාට පහරදීම් සිද්ධ වුණේ නැත. සිරස නාලිකා, සියත නාලිකා තියා, යහපාලන ආණ්ඩුව ගෙදර යැවීම සඳහාම ඇපකැපව සිටිට දෙරණ සහ හිරු ආදී නාලිකාවලට පවා කිසිවෙකු ගිනි තියනවා තියා අතක් තිබ්බේ නැත.

මේ කාලය තුළ විශ‍්‍රාම වැටුප් ආරක්ෂා කර ගැනීමට කටුනායක සේවකයන්ට ජීවිත පූජා කිරීමට සිද්ධ වුණේ නැත. පිරිසුදු ජලය ඉල්ලා සිටීම සඳහා රතුපස්වල ජනතාවට මැරුම්කන්න සිද්ධ වුණේ නැත. සහනදායි මිලකට භූමිතෙල් ඉල්ලා සිටීමට ගොස් හලාවත ධීවරයන්ට වෙඩි කන්න සිද්ධ වුණේ නැත.

ඒ සියල්ල, එක්තරා යහපාලනික ‘මතයක්’ සමාජගතව තිබීමත්, ඒ මතයට ගරු කිරීමට තරම් ඉවසීමක් සහ පරිචයක් තිබූ යහපාලනික ආණ්ඩුවක් බලයේ සිටීමත් නිසා ඇති වූ තත්වයකි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටත්, අගමැති රනිල් වික‍්‍රමසිංහටත් රටම කෘතඥ විය යුතුය.

එහෙත් ඉහත කී කිසි අපරාධයක් යළි ඇති නොවනු වස්, සනාථන ආදර්ශයක් සමාජගත කිරීම සඳහා, එකී අපරාධකරුවන් කිසිවෙකු නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් කිරීමට ඒ යහපාලන ආණ්ඩුව අසමත් විය. එහිදී ඒ අපරාධකරුවන් හැකි සෑම ආකාරයකින්ම ආරක්ෂා කිරීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බවට සාක්ෂි තිබේ. ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනටත්, අගමැති රනිල් වික‍්‍රමසිංහටත් රටම ගර්හා කරති.

ඉතිරිව ඇති ඉදිරි වසර යහපාලනික ආණ්ඩුවේ අභාග්‍යමත්ම දුර්දසාව වීමට හොඳටම ඉඩ තිබේ. විශේෂයෙන් එය එසේ වන බවට තමන් වගබලා ගන්නා බව ජනාධිපතිවරයා ප‍්‍රසිද්ධියේම කියා සිටීම නිසා එවැන්නකට ඇති ඉඩකඩ තවත් වැඩි වෙයි. එසේ වුවහොත්, 2020 න් පසු ලංකාවේ ඇති විය හැකි අනාගතය ගැන දැන් තියාම සිතීම වැදගත් ය.

එහිදී, 2015 ආරම්භක ලක්ෂ්‍යයට යාමට සිදුවෙයි. ඒ, එක්තරා කාරණයක් නිරාකරණය කර ගැනීම සඳහා ය.

එදා, ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමින් යමක් සමාජ කතිකාව තුළ තිබුණි. ජාතික සමගිය නමින් තවත් යමක් සමාජ කතිකාව තුළ තිබුණි. එක පැත්තකින්, රාජපක්ෂ තන්ත‍්‍රය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි මුල්ගල්වලින් උගුල්ලා රාජත්වයක් ආරූඪ කර ගැනීම පිළිබඳ සැබෑ අවදානමක ඉද්දරට රට තල්ලූ කරමින් සිටියේය. ඒ නිසා, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන්නට, නිශ්චිත වූත්, තත්කාලීන වූත්, හදිසි වූත්, අරුතක් එදා ආරූඪ වී තිබුණි. එය අමුතුවෙන් පැහැදිළි කිරීමක් අවශ්‍ය නොකළ අදහසකි. එසේම, තවත් යමක් සමග අත්‍යන්තයෙන් කොන්දේසිගත වන දෘඨතර යමක් ද, ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අවශ්‍යතාව තුළ නොවිණ. මෙය, තවත් විදිහකින් පැහැදිළි කර ගන්නේ නම්, මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වැනි දා දියත් කළ ව්‍යවස්ථා විරෝධී කුමන්ත‍්‍රණය අස්සේ පෙළ ගැසුණු සිද්ධි මාලාව, මේ රටේ ව්‍යවස්ථාව ඔස්සේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන්න නිශ්චිත අර්ථකථනයකට ලක්කර ගත යුතු අවස්ථාවක් වශයෙන් මතු වූ බව ගත හැකිය. එහිදී, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අරුත උපන්නේ, කල් දැමිය නොහැකි හදිසි අවශ්‍යතාවක් වටහා ගැනීමක් වශයෙනි. මුළු රටම, ජනතාවක් වශයෙනුත්, ආයතනික පද්ධතියක් වශයෙනුත්, යම් ‘මතයක්’ වශයෙනුත්, ස්වයංසිද්ධව එකී තර්ජනයට එරෙහිව නැගී සිටියේ එබැවිනි.

ජාතික සමගිය යන්නත්, රාජපක්ෂ තන්ත‍්‍රය යටතේ, නිශ්චිත අවදානමකට ලක්කොට තිබුණි. එක පැත්තකින්, යුද ජයග‍්‍රහණයේ ඔල්වරසන් මැද රාජපක්ෂලා යුද්ධයේ සමාජයීය සහ ජාතික හේතුකාරක අමතක කරමින් සිටියහ. අනිත් පැත්තෙන්, මුස්ලිම් ප‍්‍රජාව කෙරෙහි ගෙන ගිය එදිරිවාදී ප‍්‍රතිපත්තිය විසින්, දෙමළ ප‍්‍රජාව සමග පමණක් නොව, මුස්ලිම් ප‍්‍රජාව සමගත් ආරෝවක් වගා කර ගනිමින් සිටියහ.

මේ දෙකම, විටින් විට අපේ දේශපාලනය තුළ අපට මුණගැසී ඇතත්, රාජපක්ෂ තන්ත‍්‍රය තුළ ඒ දෙකම වෙනස් ස්වරූපයකින් එක විට මතු විය. ඒ නිසා, ඊට ප‍්‍රතිචාරයක් වශයෙන් ගොඩනැගෙන ව්‍යාපාරයක් තුළ අවශේෂ කොන්දේසි ඉදිරිපත් කිරීමක් කළ නොහැකි විය. උදාහරණයක් වශයෙන්, රාජපක්ෂ තන්ත‍්‍රය පරාජය කිරීම සඳහා වන අරගලයේ කොටස්කරුවන් වීම සඳහා නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් ඉල්ලා සිටීමේ හෝ ජාතික ප‍්‍රශ්නයට නිශ්චිත දේශපාලනික විසඳුමක් ඉල්ලා සිටීමේ හෝ ඉඩක් එදා නොවීය.

අද මේ ප‍්‍රශ්න දෙක නැවතත් අප ඉදිරියේ මතු වී තිබේ. ඒ, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත‍්‍රණය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයත්, අවුරුදු හතරක කාලයක් තිස්සේ දෙමළ ජනතාවගේ ප‍්‍රශ්නයට නිශ්චිත ප‍්‍රතිචාරයක් වහා ගෙන නොඒමත් හේතුකොටගෙන ය. ඇත්ත වශයෙන්ම, යහපාලන ආණ්ඩුව බලයට පත්වූ සැණින් කළ යුතුව තිබුණේ, පුළුල් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය කඩිනමින් දියත් කිරීමයි. එහෙත් එය බොහෝ කොට පාර්ලිමේන්තු අභ්‍යාසයකට පමණක් සීමා කොට, ඒ පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය පවා යලට මහට ඇදෙගෙන ගියා විනා, ඒ වෙනුවෙන් සමාජ ව්‍යාපාරයක් ගොඩනැගීමට යහපාලන ආණ්ඩුව සත්භාවයෙන් උරදුන්නේ නැත.

දැන් ඊළඟ කඩඉම ඉද්දරට අප පැමිණ තිබේ. වසරක කාලයක් ඉතිරිව ඇත. ජාතික ප‍්‍රශ්නයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ ප‍්‍රශ්නයත් එක විට ඉලක්ක කරමින් ගෙනෙන පුළුල් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ මොහොත මේ වන විට අපෙන් මගහැරී ගොස් ඇති බව ලියුම්කරුගේ අදහසයි. ඉදිරි සති කිහිපය තුළ, නැවතත් ඒ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය පාර්ලිමේන්තුව තුළ දියත් කෙරෙන බව කියැවේ. එය යහපත් ය. ඒ අතර, එය රට බෙදීමේ උගුලක් ලෙස මේ වන විටමත් රාජපක්ෂලා සහ සිරිසේනලා සමාජගත කරමින් සිටිති. ඊට අභිමුඛ වීමේ හෝ ඊට අභියෝග කිරීමේ හැකියාවක් හෝ වුවමනාවක් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවට ඇති බවක් පෙනෙන්ට නැත.

එහෙත් ලංකාවේ දකුණට මෙන්ම උතුරටත් එක සේ එකඟ විය හැකි අවම ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණයක් ගෙන ඒමේ ප‍්‍රායෝගික හැකියාව අපට තිබේ. ඒ, විධායක ජනාධිපති ක‍්‍රමයේ උවදුරින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගලවා ගැනීමයි. මෛතී‍්‍රපාල සිරිසේන විසින්ම ඒ අවබෝධය පසුගිය මාස කිහිපයක කාලය තුළ, උතුර-දකුණ භේදයකින් තොරව අපට ලබා දී තිබේ.

දැන්, එක්සත් ජාතික පෙරමුණ ප‍්‍රමුඛ පුළුල් සන්ධානයක් ඉදිරි වසර සඳහා ගොඩනැගෙන්ට යන බව වාර්තාගතයි. එහි එල්ලය වන බව පෙනෙන්නේ, රාජපක්ෂ-සිරිසේන අභියෝගයට මුහුණදෙමින් ඉදිරි මැතිවරණයක් ජය ගැනීම බව පෙනේ. මේ පුළුල් සන්ධානයේ ස්වභාවය පිළිබඳ පූර්ණ විස්තරයක් තවම දැන ගැනීමට නැතත්, මොන විදිහකින්වත් එය, නැවතත්, ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා’ නැමැති දියාරු සටන් පාඨය තුළ දැවටීමට පුළුවන් කමක් නැත. මෙවැනි සටන් පාඨ අවස්ථාවාදී නායකයන්ට මාහැඟි රක්ෂාස්ථාන සපයා ගත හැකි අවකාශ වශයෙන් බොහෝ විට පාවිච්චියට ගැනෙන බව පෙනෙන්ට තිබේ. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ යන්න, මේ මොහොතේ අප සම්බන්ධයෙන් ගත් විට, විධායක ජනාධිපති ක‍්‍රමය සමග විලෝම වශයෙන් ගැටගැසී තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමයෙන් තොර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් මිස, විධායක ජනාධිපති ක‍්‍රමය සහිත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ලංකාවේ පැවතිය නොහැක. ඒ නිසා, යමෙකු ඊළඟ ජනාධිපතිවරණයකින් පසුව මේ ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දමන්නේ යැයි කියන විටම, එම දේශපාලඥයාව ඉඳුරා ප‍්‍රතික්ෂේප කළ යුතු මෝරා ගිය අවදියකට අප පැමිණ සිටින බව වටහාගත යුතුය. එය, ඊළඟ ජනාධිපතිවරණයකට නොගොස්, ඊට කලින් කර ගත යුත්තකි.

රාජපක්ෂලා යනු දෘෂ්ටිවාදයකි. රාජත්වය එහි එක් අංගයකි. විධායක ජනාධිපති ක‍්‍රමය යනු, නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක ඇති රාජත්වයට සමීපතම පාලන මාදිලියයි. 2019 දී හෝ 2020 දී රාජපක්ෂලාව පරාජය කිරීම යනු, එකී විධායක ජනාධිපති ක‍්‍රමය පරාජයට පත්කිරීම හෙවත් අහෝසි කිරීමයි. යහපාලන ආණ්ඩුවට ඒ සඳහා අවුරුද්දකට ආසන්න කාලයක් තිබේ. දැනටමත් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඒ සඳහා වන කෙටුම්පතක් ඉදිරිපත් කොට ඇති නිසා, එම කාලය ඕනෑවටවත් වඩා ප‍්‍රමාණවත් ය. එසේ තිබියදී, ඒ සටනට කර නොදී විවිධ අවසරයන් යටතේ සැඟවීමට තැත් කරන ඕනෑම දේශපාලන ව්‍යපාරයක් හෝ නායකත්වයක්, ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතය සඳහා වන ව්‍යාපාරයක් හෝ නායකත්වයක් වශයෙන් පිළිගත යුතු නැත.

 

ගාමිණී වියන්ගොඩ