‘ජඩ මාධ්‍ය’ අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ උත්කර්ෂයට නැංවෙනවා. එම තත්ත්වය අපේ රටේ ජනමාධ්‍ය පිළිබඳ යම් කතිකාවතක් ගොඩනැගීම සඳහා පසුබිමක් ගොඩනඟමින් ඇති බව දක්නට ලැබෙනවා. ඒ නිසා ඒ පිළිබඳ මේ විදිහෙ සටහනක් තැබීම වැදගත් කියලා හිතුණා.
ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරෝධතාව දැක්වීමේ ව්‍යාපාරයට බලපෑ තීරණාත්මක සිදුවීම වන්නේ පසුගිය ජනවාරි 10 වැනිදා මුහුණෙන් අඩක් කළු රෙදි කඩකින් ආවරණය කරගත් සිවිල් සංවිධාන රැසක ක්‍රියාකාරීන් මාධ්‍ය ආයතන ඉදිරිපිටට ගොස් විරෝධතාව දක්වා එම මාධ්‍ය ආයතනවලට සංදේශයක් භාරදීමයි. ශ්‍රී ලංකා කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, මාරුතේ හඬ, දිදුලන හදවත, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය, ප්රජාතන්ත්රවාදය සදහා වූ සමනල්ලු, අතුරුදන්වුවන්ගේ පවුල් එකමුතුව, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, නැගී සිටිමු ශ්‍රී ලංකා සහ සාධු ජනරාව එම සංවිධානයි. කලාකරුවන් වගේම දේශපාලන ක්‍රියාකාරීන් සහ මාධ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ පිරිස් ද ඒ සංවිධාන නියෝජනය කළා. ඇතැම් මාධ්‍ය ආයතන එම සංදේශය භාර ගත්තා. භාර ගත්තා පමණක් නොවෙයි ප්රවෘත්තිමය වටිනාකමක් සහිතව එය ප්‍රවෘත්තියක් විදිහට විකාශය කිරීමත් සිදුකළා. ඒත් සමහර ජනමාධ්‍ය ආයතන ඒ විරෝධය පෑම ගැන ඔවුන්ගේ ප්රවෘත්ති විකාශ තුළ කතා කිරීමෙන් වැළකී හිටියා. විශේෂයෙන්ම සිරස රූපවාහිනිය එදින ඔවුන්ගේ ප්රවෘත්ති ප්‍රකාශය තුළ එම විරෝධතාව සඳහා විශාල ගුවන් කාලයක් වෙන්කරමින් ඊට තර්ජනාත්මක ප්‍රතිචාරයක් දැක්වුවා.
ඉතින් එම පසුබිමත් එක්ක සමාජ මාධ්‍ය තුළින් දැන් ඉස්මතු වෙන ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට විරුද්ධ වීමේ ව්‍යාපාරය අපේ රටේ ජනමාධ්‍ය නිසි මඟට යොමු කරන්න බලපෑම් ඇති කරන්න යොදා ගත හැකි සමාජ බලවේගයක් විදිහට ගොඩනඟන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ. එදා ජනමාධ්‍ය ආයතන ඉදිරිපිට දක්වපු විරෝධය ඇතුළේ මොන විදිහේ දේශපාලන අරමුණු තියෙන්න පුළුවන් වුණත් ඒ ව්‍යාපාරය හරහා මාධ්‍ය ගැන යම් ප්‍රමාණයක හෝ සවිඥානිකත්වයක් ගොඩනඟන්න පුළුවන් නම් ඒක වැදගත් වෙනවා. ඒ නිසා එම විරෝධතාව දේශපාලන ව්‍යාපෘතියක් හෝ රාජ්‍ය නොවන සංවිධාන මෙහෙයවන වැඩක් කියලා මුළුමනින්ම බැහැර කිරීම නොකර ඔවුන් විසින් අපේ රටේ මාධ්‍ය ක්ෂේත්රය තුළ සිදුකළ යුතු බවට බලකර සිටින සාධනීය කාරණා කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. මොකද ඔවුන් විසින් ඉල්ලා සිටින සියලු දේ ක්‍රියාත්මක කළ නොහැකි වුවත් ඔවුන් ඇති කරපු මාධ්‍ය සම්බන්ධ චින්තන වේදිකාව අපේ රටේ ජනමාධ්‍යවල ගුණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා භාවිතයට ගන්න පුළුවන් නිසා.
ජඩ මාධ්‍ය අධිරාජ්‍යය සිරස නාලිකාව පිළිබඳ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. ඒත් මේ ව්‍යාපාරයට සිරස නාලිකාව දැක්වූ දැඩි ප්‍රතිචාරය නිසා ඒ ආයතනය කෙරෙහි එල්ල වන චෝදනාව වැඩි බවයි දක්නට ලැබෙන්නේ. ඒත් ඒකෙන් කියන්නේ නෑ අනිත් මාධ්‍ය ආයතනවල ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ නෑ කියලා. හැම මාධ්‍ය ආයතනයක්ම තම තමන්ගේ න්‍යාය පත්‍ර ඇතුළේ ක්‍රියාත්මක වෙනවා. පිටට පැහැදිලිව නොපෙනුනාට ඒ ඒ මාධ්‍යවල ක්‍රියාකාරිත්වය සියුම්ව විශ්ලේෂණය කිරීමෙන් ඒ තත්ත්වය අවබෝධ කර ගන්න පුළුවන්. අවුරුදු ගාණක් පුරා විවිධ මාධ්‍ය ආයතනවල මා ලබා ඇති අත්දැකීම් එක්ක ඒ ඒ මාධ්‍යවල ක්‍රියාත්මක වෙන ඔවුන්ට අනන්‍ය න්‍යාය පත්‍ර ගැන මට ඉතා හොඳ අවබෝධයක් තියෙනවා. ඒ න්‍යාය පත්‍රත් එක්ක හැම මාධ්‍ය ආයතනයක්ම ඔවුන්ගේ අධිරාජ්‍යයක් ගොඩනඟන්න උත්සාහ කරනවා. ඒ අධිරාජ්‍යය ඇතුළෙ ඔවුන් වැඩ කරන විදිහ බාහිරින් නිරූපණය වෙන ආකාරය අනුව ඔවුන් ‘ජඩ’ ද නැද්ද කියන එක ගැන තීරණය කරන්න උත්සාහ කළත් මට අනුව නම් කිසිම මාධ්‍යයක් එහෙම නෙවෙයි කියලා කියන්න බෑ.
සිරස නාලිකාව එක්ක උද්ගත වුණු ඒ ප්රශ්නය එක්ක හඬ කැවීම් ශිල්පීන් කිහිප දෙනෙක් එම ආයතනයේ හඬ කැවීම්වලින් ඉවත් වුණා කියන එකත් සමාජ මාධ්‍ය ඇතුළේ උද්යෝගයෙන් කතාවුණා. ඒකෙන් සිරසට බලපෑමක් වුණා ද නැද්ද කියන එක කෙසේ වෙතත් ‘ජඩ මාධ්’ය අධිරාජ්‍යයට එරෙහිව ඇති වෙලා තියෙන මේ ව්‍යාපාරයට ඒකෙන් යම් කිසි උත්තේජනයක් ලැබුණ බව පැවසිය හැකියි. ඒ නිසා එම හඬකැවීම් ශිල්පීන්ගේ එම ක්‍රියාව අවතක්සේරු නොකළ යුතු බවයි මගේ හැඟීම. මොකද ඔවුන්ගේ එම ක්‍රියාව සමාජයට හිතකර මාධ්‍ය භාවිතයක් ගොඩනැඟීම සඳහා ඇති වන කතිකාවට ඉතා වැදගත් වන නිසා.
ඒ වගේම මාධ්‍ය සම්බන්ධයෙන් මේ දිනවල ඇති වෙලා තියෙන මේ සංවාදාත්මක තත්ත්වය තුළ ඉදිරිපත් වන විවිධ අදහස් ද අපේ රටේ මාධ්‍ය කර්මාන්තයේ ප්රගමනයට දායක කර ගැනීම සඳහා යොදා ගැනීමට සලකා බැලීමට මෙන්ම ඒ පිළිබඳ මහජන අවධානය යොමු වෙන විදිහේ තත්ත්වයක් නිර්මාණය කර ඇති බවත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ අතරෙ මහජන සේවා මාධ්‍ය සංකල්පය ක්‍රියාත්මක කිරීම ගැනත් අදහස් ඉදිරිපත් වෙනවා. ඒ වගේම මාධ්‍ය වෘත්තිය, සංස්කාරකවරුන්ගේ නිදහස වගේ දේවල් ගැනත් අදහස් ඉදිරිපත් වෙනවා. ඒ නිසා මේ සෑම අදහසක්ම පුළුල් කතිකාවක් ඇතුළේ සාකච්ඡාවට බඳුන් කරමින් සාපේක්ෂව වඩා යහපත් මාධ්‍ය කර්මාන්තයක් ඇතිකර ගැනීමට කටයුතු කළ යුතුයි.
ඒ වගේම මේ ව්‍යාපාරය සම්බන්ධයෙන් අපේ රටේ විශ්වවිද්‍යාල කොච්චර දුරට සංවේදිද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද ගුණාත්මක ජනමාධ්‍ය භාවිතයක් ගැන න්‍යායන් පොත්වලට විතරක් සීමාවෙලා වැඩක් නෑ ඒවා ප්‍රායෝගික තත්ත්වයට ගේන්නෙ නැත්තම්. ඒ නිසා දැන් ඇති වෙලා තියෙන මාධ්‍ය ගැන චින්තන අවකාශය තුළ අපේ රටේ විශ්වවිද්‍යාලවලටත් ලොකු වගකීමක් තියෙනවා කියලයි මං හිතන්නේ. ඒත් අපේ රටේ විශ්වවිද්‍යාල මේ සම්බන්ධයෙන් තවමත් සැලකිය යුතු මැදිහත්වීමක් කරලා නෑ. ජනමාධ්‍ය ගැන උගන්වන අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය පොදු මහජන අවකාශය ඇතුළේ ගොඩනැගෙන මෙවැනි සංවාදාත්මක තත්ත්වවලට සම්බන්ධ වෙන්නේ නැතුව හුදු න්‍යායන් පමණක් ඔවුන්ගේ විෂය පද්ධති ඇතුළේ තලු මරන්න පුරුදු වෙලා තියෙනවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. ඒ නිසා ‘ජඩ මාධ්’ය අධිරාජ්‍යයට එරෙහිව මේ දිනවල උත්කර්ෂයට නැංවෙන තත්ත්වය තුළ මාධ්‍ය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන කතිකාවට අපේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාවේ මැදිහත්වීමත් අනිවාර්යයෙන්ම ලැබිය යුතුයි.
ඒ නිසා මේ දිනවල ඇතිවෙලා තියෙන මේ ජඩ මාධ්‍ය අධිරාජ්‍යයට එරෙහි ව්‍යාපාරය තුළ ඉදිරිපත් වන සාධනීය අදහස් අපේ රටේ මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය උදෙසා යොදා ගැනීමට සහ එම ව්‍යාපාරය අපේ රටේ මාධ්‍ය කර්මාන්තය ගුණාත්මක තත්ත්වයට පත්කිරීම සඳහා යොදා ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ ව්‍යාපාරය මෙහෙයවන බවට කුමන පාර්ශවයකට ඇඟිල්ල දිගු වුණත් දැන් වැදගත් වන්නේ ඒ ඔස්සේ මාධ්‍ය සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන උත්තේජනය වඩා හොඳ මාධ්‍ය කර්මාන්තයක් ඇති කිරීමට යොදා ගැනීමයි. කොටින්ම කිව්වොත් ඒ නිසා ඇති වෙලා තියෙන චින්තන අවකාශයේ ඵල නෙළා ගැනීමට උත්සාහ කිරීමයි.
සුරෝෂන ඉරංග | SUROSHANA IRANGA