iMage: Inquirer Global Nation – Inquirer.net
ඇමති මණ්ඩලයේ ගන්නා තීරණ සම්බන්ධයෙන් යම් ආන්දෝලනාත්මක තත්වයක් පැන නැගුණු විට එවැනි සිද්ධියක් ගැන තමන් දැන ගත්තේ පත්තරෙන් යැයි ජනාධිපතිවරයා නොයෙක් විට කියා තිබේ. ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා ය. ආණ්ඩුවේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා ය. ඔහු නැති අවස්ථාවක සාමාන්‍යයෙන් ඇමති මණ්ඩලය රැස් නොවන බවත් කියති.
එල්ලූම් ගහට නියමව සිටින සිරකරුවන්ගේ ලිපිගොනු පවා අස්ථානගතව ඇති බව ගිය සතියේ වව්නියාවේ පැවති රැස්වීමකදී ජනාධිපතිවරයා කීය. ඒ සිරකරුවන්ගේ මරණ දඬුවමට තමන් නොපැකිලව අත්සන් කරන බව මීට කලකට පෙර ඔහු කියනු අපට ඇසුණි. ඒ, මත්ද්‍රව්‍ය උවදුර රටෙන් තුරන් කිරීමට ය. එසේ කියා සෑහෙන කාලයක් ගතව ඇතත්, එල්ලූම් ගහට නියම වූ කිසි සිරකරුවෙකු මේ දක්වා මරණයට පත්කොට නැති බව සිරිසේන ජනාධිපතිවරයාට ගිය සතියේ මතක් විය. ඒ, පිලිපීනයේ ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේ ය. සමහර විට වව්නියාවේ රැස්වීමේදී ලිපිගොනු අස්ථානගත වීමක් පිටින් ඒ ප‍්‍රමාදය පැටවීමට ඔහු බැලූවේ ඒ නිසා විය හැකිය.
කෙසේ වෙතත්, ඊට දින දෙකකට හෝ තුනකට පසුව, අධිකරණ ඇමතිනී තලතා අතුකෝරාල ඒ සිරකරුවන් පිළිබඳ ලිපිගොනු කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණි. සිරකරුවන්ගේ ලිපිගොනු ඇත්තෙන්ම අස්ථානගතව තිබිණි නම්, මේ ප‍්‍රකාශය කිරීමට කලින් හෝ ඉන් පසුව ඒ සම්බන්ධයෙන් වගකිව යුතු නිලධාරීන් අරභයා රටේ ජනාධිපතිවරයා වශයෙන් තමන් ගෙන ඇති යම් විනය පියවරක් වේද යන්න ජනාධිපතිවරයා නොකියයි. උත්තරය නැත යන්නයි. තිත්ත ඇත්ත වන්නේ, ඔහු මේ දක්වා වෙනත් පාර්ශ්ව වෙත එල්ල කළ බොහෝ චෝදනාවලට අදාළ වැරදි, නිවැරදි කිරීමේ කිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නැති බවයි. හේතුව ඉතා සරළ ය. ඔහුගේ චෝදනා ඒ තරමට අභූත ය. අසත්‍ය ය.
සත්‍යය සහ අසත්‍යය දේශපාලඥයන් සම්බන්ධයෙන් ගත් විට එකිනෙකින් සපුරා වෙනස් ප‍්‍රපංචයන් දෙකක් නොව, බොහෝ විට, එකිනෙකට අනුපූරක වන ප‍්‍රපංචයකි. දේශපාලඥයෙකු ඉඳහිට හෝ කියන සත්‍යය පවා ඉදිරිපත් කෙරෙන්නේ අසත්‍යයේ දවටනයක බහාලමිනි. එසේ වන්නේ, දේශපාලනික උපයෝගීතාව සහ අවස්ථාවාදීත්වය පමණක්ම, අසත්‍යයක් සත්‍යය සේ ගෙනහැර දැක්වීම සඳහා පාවිච්චි කෙරෙන බැවිනි. සිරිසේන ජනාධිපතිවරයා දැන් කාලයක සිට හැරෙන හැරෙන පැත්තට බලන්නේ, අසත්‍යයෙන්ම වැජඹීමටයි.
2015 ජනවාරි 8 වැනි දා ජයග‍්‍රහණය ලත් සැණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් එක්සත් ජාතික පක්ෂය තුනෙන් දෙකකටත් වැඩි බලයකින් ජයග‍්‍රහණය කිරීමට තිබුණු බව වරක් සිරිසේන කීවේය. ඔහු එසේ කීවේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කර ගැනීම සඳහා තමා එසේ කිරීමෙන් වැළකී සිටි බව ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට අඟවා ඔවුන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමට ය. මෙය, මහින්ද රාජපක්ෂ සමග පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් මාරාන්තික පොරයක ඔහු පැටලී සිටි කාලයකි. ඇත්ත වශයෙන්ම, ජනවාරි ජයග‍්‍රහණය ලද සැණින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අදහසක් හෝ අවශ්‍යතාවක් කිසිවෙකුට තිබුණේ නැත. මන්ද යත්, දින 100 වැඩ සටහනක් යටතේ හදිසියේ කර ගත යුතු කාර්යයන් ගණනාවක් කාටත් තිබුණු බැවිනි. ඊළඟට, දින 100 ක් යනු විශාල කාලයක් නොවන නිසා, එම කාලයත් තමන්ට අලූතින් ලැබුණු රාජ්‍ය බලය පාවිච්චියට ගනිමින් ජනප‍්‍රියත්වය වගා කර ගැනීමට පාවිච්චි කළ හැකි තත්වයක් තුළ, ජනවාරි 9 වැනි දා හෝ ඒ ආසන්න දවසක පාර්ලිමේන්තුව විසුරුවා හැර අලූත් මැතිවරණයක් කැඳවීමේ දේශපාලනික අවශ්‍යතාවක් කිසිවෙකුට තිබුණේ ද නැත. එදා, ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයකට නොගියේ එබැවිනි.
සිද්ධියක් ඇති වූ පසු එය තමාට වාසිදායක අන්දමින් අර්ථ නිරූපණය කිරීමට කවදත් කැමැත්තක් දක්වන සිරිසේන ජනාධිපතිවරයා මේ ගැන පසුව කීවේ එය තමා ‘දුර දිග බලා’ ගන්නා ලද තීරණයක ප‍්‍රතිඵලයක් බව ය.
ඊළඟට, ඒ වසරේ අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළත් ඔහුව අගමැති ධුරයට පත් නොකරන බව ඔහු කීවේය. ඒ වන විටත් ඔහු සිටියේ, මහින්ද රාජපක්ෂ සමග අර කී පක්ෂ නායකත්වය පිළිබඳ දැඩි කෝන්තරය අස්සේ ය. එහෙත් ඒ කතාව එක්සත් ජාතික පාක්ෂිකයන්ට ඔහු කීවේ කෙසේ ද? තමා එසේ මහින්ද රාජපක්ෂව අගමැති තනතුරට පත් නොකරන බව කීමෙන් එක්සත් ජාතික පක්ෂයේ ජයග‍්‍රහණය සහතික කර දුන් බව ය.
දැන්, සියල්ල කණපිට හැරී තිබේ. සිරිසේන, රාජපක්ෂලාගේ ප‍්‍රතිවාදියා නොව, රාජපක්ෂලාගේ වහලා බවට රූපාන්තරණය වී තිබේ. එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සගයා නොව, එහි සතුරා බවට රූපාන්තරණය වී තිබේ. ඉතිං, එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවත්, 2015 ජනවාරියේ තමා විසින්ම දෙන ලද යහපාලනික ප‍්‍රතිඥාවනුත්, රාජපක්ෂලා සමග එක්සත්ව පරාජයට පත්කිරීමේ අරගලයට සිරිසේන දැන් ප‍්‍රවිශ්ඨව සිටී.
ඒ සඳහා විටෙක ඔහු පාවිච්චියට ගන්නේ 2015 දෙන ලද යහපාලනික ප‍්‍රතිඥාවන්ම වීම විශේෂත්වයකි. එදා දූෂණය පිටුදැකීම අරභයා දෙන ලද ප‍්‍රතිඥාවක් ප‍්‍රකාරව දැන් 2015 සිට වර්තමාන ආණ්ඩුව යටතේ සිදු වී යැයි කියන දූෂණ චෝදනා විමර්ශනය කර බැලීමට ජනාධිපති කොමිසමක් පත්කිරීම එවැනි අවස්ථාවකි. මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මෙවැනිම කොමිෂන් සභාවක් පත්කොට, එහි වාර්තාවත් 2017 දෙසැම්බර් 30 වැනි දා ඔහුගේ අතට ලැබුණි. දැන් අවුරුද්දකටත් වැඩි කාලයක් ගතව තිබේ. එහෙත් එහි අඩංගුව ඇත්තේ කුමක්ද යන්න පුරවැසියන් වන අපි මේ දක්වා නොදනිමු. ඒ සම්බන්ධයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙනුත්, ඒ කොමිෂන් සභාව ස්ථාපිත කළ බලධාරියා වශයෙනුත්, එම වාර්තාවේ සඳහන් දූෂණයන්ට අදාළ පුද්ගලයන්ට එරෙහිව මේ දක්වා ගෙන ඇති පියවර කිසිවක් ගැන දැන ගන්නටත් නැත. (ඇලෝසියස් සහ ඔහුගේ සගයා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ සහ ඔවුන්ගේ අයථා ලාභ සහ වත්කම් අත්හිටුවන ලද්දේ කොමිෂන් වාර්තාවක් මත පදනම්ව නොවේ). එම ජනාධිපති විමර්ශනය, ඉහතින් කී පරිදි, පටු දේශපාලනික අවශ්‍යතාවක් සඳහා පාවිච්චියට ගත්තා මිස, දූෂණය සහ සොරකම පිටුදැකීමේ කිසි නිශ්චිත ක‍්‍රියාමාර්ගයක අහලකටවත් ගියේ නැත. දැන් තවත් පරීක්ෂණ කොමිසමක් ඔහු පත්කරන්නේ එවන් තත්වයක් යටතේ ය. මෙය ද, ඔහුගේ මාධ්‍ය ආයතන හරහා ඉදිරි කාලයේදී උදේ හවා ප‍්‍රචාරයට පත්කර ගනිමින් මහා සංදර්ශනයක් පවත්වනවාට සැක නැත. එය, ඉදිරියේ පැමිණීමට නියමිත පළාත් සභා මැතිවරණ සහ ජනාධිපතිවරණ ආදී අවස්ථාවන් සඳහා අගේට උපස්ථම්භක වනු ඇත.
මේ සියලූ සෙල්ලම් දැමීමට සුදුසු නිදහස් දේශපාලනික පිටියක් රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයෙකු වෙතින් ඔහුට නොමදව පිරිනැමෙයි. තමාගේ කි‍්‍රයාකලාපය අභියෝගාත්මකව ප‍්‍රශ්න නොකරන අගමැතිවරයෙකු සිටීම ඔහුට වාසනාවකි. අගමැතිවරයා පමණක් නොව, ඒ පක්ෂයේ ඉහළ පෙළේ සමස්ත නායකත්වයම පාහේ ඒ ආරයට යන අ-දේශපාලඥයන් ය. බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික‍්‍රම පෙරේරා ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි ඊයේ (23) වාර්තා විය. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෑන මෙහෙයවූ ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කොට ඝාතනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට කිසිවක් කර නැති ජයවික‍්‍රම පෙරේරා වැනි දේශපාලඥයන්, දැන් ඒ ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට උසාවියකදීම තර්ජනය කොට උසාවියටත් අපහාස කොට හිරේට ගිය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාට ලියා ඉල්ලා සිටින විට, රාජපක්ෂලාගේ දේශපාලනික ව්‍යාපෘතිය මතු දිනෙක ජයග‍්‍රහණය කැරැවීමට මෙවැනි එක්සත් ජාතික පක්ෂ නායකත්වයකට අමතරව තවත් මිතුරන් සිරිසේනට අවශ්‍ය කරන එකක් නැති බව සහසුද්දෙන් කිව හැකිය.
දැන් ජනාධිපතිවරයා තවත් කෙබරයක් පාරම්බායි. ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම සමග එන්.ජී. ඕ. සම්බන්ධතාවක් ඇති බව කියමිනි. මීට පෙර අවස්ථා ගණනාවකදී එන්.ජී. ඕ. නඩයක් ගැන ඔහු විවිධ චෝදනා කර තිබුණි. එහෙත් මත්ද්‍රව්‍ය උවදුරට අදාළ එන්.ජී. ඕ. සම්බන්ධයක් ගැන ඔහු මේ කතා කරන්නේ පළමු වතාවට ය. පිලිපීන සංචාරයෙන් පසු මත්ද්‍රව්‍ය වසංගතය නැවත වරක් ඔහුගේ හුරතල් මාතෘකාව බවට පත්ව ඇත. ඉහතින් කී එල්ලූම් ගහට නියමව සිටින පුද්ගලයන්ගේ ලිපිගොනු අස්ථානගතව ඇතැයි ඔහු කියන්නේ ඒ සන්දර්භය තුළ ය.
කුඩු ව්‍යාපාර සම්බන්ධයෙන් මහජන ගර්හාවට ලක්ව සිටින මීගමුවේ ඇතැම් දේශපාලඥයන්ට මේ ජනාධිපතිවරයා පක්ෂයේ ආසන සංවිධායක තනතුරු දුන්නේය. එසේ කළ ඔහු දැන් පිලිපීන ජනාධිපතිවරයා අනුව තමන් ද ලංකාවේ වැඩ අරඹන බව කියා තිබේ. මීට පෙරත් මේ කොලමේ පෙන්වා දී ඇති පරිදි, පිලිපීන ජනාධිපතිවරයාගේ අධීක්ෂණය යටතේ වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ මත්ද්‍රව්‍ය ගනුදෙනුකරුවන් සහ භාවිත කරන්නන් යැයි සැලකෙන 5000 කට අධික පිරිසක් නීතියට පිටින් ඝාතනය කොට ඇත. (වෙනත් වාර්තාවලට අනුව එම ප‍්‍රමාණය 25,000 ද ඉක්මවයි). මේ ඝාතන සඳහා යොදා ගන්නා කල්ලිවලට විවිධ පාරිතෝෂික පිරිනමන ක‍්‍රමයක් ද ඔහු සකසා තිබේ. එක ‘කුඩුකාරයෙකු’ ඝාතනය කළ විට ඩොලර් 200 ක් පමණ ඝාතකයාට එම ක‍්‍රමය යටතේ ගෙවනු ලැබේ. එහෙත් අත්අඩංගුවට ගැනීම් සඳහා එක සතයක්වත් ගෙවනු නොලැබේ. ඒ නිසා අත්අඩංගුවට ගැනීම වෙනුවට සැකකරුවන් ඝාතනය කර දැමීම ඝාතකයාට වාසිදායක ය. කෙසේ වෙතත්, දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු තමාගේ අතින්මත් ඝාතනය කළ බවත් වරක් පිලිපීන ජනාධිපතිවරයා කීවේය. එම ජනාධිපතිවරයා සමග එකට සිට අපේ ජනාධිපතිවරයා පැවැත්වූ කතාවේදී, තමන් ද පිලිපීන ජනාධිපතිවරයාගේ ආදර්ශය අනුගමනය කරමින් ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර මැඩලීමට කටයුතු කරන බව කීය. ලෝකයත් එම ආදර්ශය පාඩමට ගත යුතු බව කීය. අපේ ජනාධිපති සිරිසේනගේ ඒ කතාවට ජාත්‍යන්තර මාධ්‍ය තුළ පුළුල් ප‍්‍රචාරයක් ලැබුණි.
මත්ද්‍රව්‍ය උවදුර ලංකාවෙන් දුරලීමට නම් පටන් ගත යුතු තැනක් තිබේ. ඒ ව්‍යාපාරය පසුපස ඉතා ප‍්‍රබල දේශපාලන සම්බන්ධතා සහ බලසම්පන්න යාන්ත‍්‍රණයන් ක‍්‍රියාත්මක වන බව මුළු රටම දනී. ජනාධිපතිවරයා මුලින්ම කළ යුත්තේ, තමන්ගේ දේශපාලනය තුළ දක්නට ලැබෙන එවැනි සම්බන්ධතා සහ ව්‍යාපාරිකයන් ඉවත් කිරීම සඳහා පියවර ගැනීමයි. එසේ නොමැතිව, බොරු වැළක් ගොතමින්, ඊනියා ශුද්ධවන්ත භාවයක් රටට ප‍්‍රදර්ශනය කිරීම, එලොවටත් මෙලොවටත් සුගතියක් නැති ප‍්‍රදර්ශනකාමයක් පමණි.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda