iMage: VIKALPA
”එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් වෘත්තීය සමිති, සිසු අරගල හා මාධ්‍ය නිදහස වැනි දේවල් මර්ධනය කරන්නට පිඹුරුපත් සකසන බව” පවසමින් ඊට එරෙහිවීමට සිය පක්ෂය බලාපොරොත්තු වන බව ජී.එල් පීරිස්, පොදුජන පෙරමුණේ හෙවත් පොහොට්ටුවේ සභාපතිවරයා මෑතක කළ ප‍්‍රකාශයක් පුවත්පත්වල පල වී තිබුණි. මේ ප‍්‍රකාශය මධ්‍යස්ථ මතධාරීන් බොහො දෙනෙකුට සරදමක් ලෙස දැනුණේ බලය අහිමි වූ අවස්ථාවක සිදුකරන කිඹුල් කඳුළු හෙලීමකට එහා ගිය දෙයක් එවැනි ප‍්‍රකාශයක ඇතිදැයි තීන්දු කිරීමට තවම කල් වැඩි නිසාය. ඒ අතර යෝජිත ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට පක්ෂව අදහස් දක්වන ඇතැම් පාර්ශව සඳහන් කරන්නේ එය පවත්නා පනතට වඩා ප‍්‍රගතිශීලී හා මර්ධනකාරී බවින් බොහෝදුරට මිදුණු පනතක් පවයි. එසේම පවත්නා පනත අහෝසි කිරීම හා එහි මර්ධනයෙන් පුරවැසියා මුක්ත කිරීම මෙවැනි නව පනතක පරම අභිලාශය බව පෙන්වා දෙන පිරිස්ද වේ.
පවතින ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත දශක හතරකට වැඩි කාලයක් තිස්සේ දෙමළ ජනයා ද ඇතුළත්ව රටෙහි පුරවැසියා වධයට හා පීඩාවට පත්කිරීම උදෙසා අවියක් ලෙස භාවිතා කර ඇති බව සඳහන් කරන මානව හිමිකම් ක‍්‍රියාධර රුකී ප‍්‍රනාන්දු පවසන්නේ වධ හිංසනය, ලිංගික හිංසනය, දිගු කාලීනව රඳවා තබා ගැනීම, මාධ්‍ය මර්ධනය මෙන්ම, පුද්ගල අතුරුදන් කිරීම්වලට ද පසුගිය කාලයේ ඒ පනත අනියමින් හෝ දැනුවත්ව භාවිතා කෙරී ඇති බවයි. එවැනි තත්ත්වයක් තුළ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම හා වෙනත් නෛතික ප‍්‍රතිපාදන භාවිතා කරමින් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සුබදායක පියවරක් වන නමුත් සිදුවන්නට නියමිතව ඇත්තේ පය බරවායට පිටිකර බෙහෙත් බැඳීමක් බව මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගේ අදහසයි. පවත්නා පනත ඉංග‍්‍රිසි භාෂාවෙන් හඳුන්වන්නේ Prevention of Terrorism Act
යනුවෙනි. යෝජිත නව පනත Counter Terrorism Act යනුවෙන් හැඳින්වෙයි. එහෙත් සිංහල භාෂාවෙන් මේ පනත් දෙකම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලෙස හඳුන්වා දී තිබේ.
නොබෝදා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා ඉන්ෆෝම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය සංවිධානය කළ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හා සෙසු මාධ්‍ය සංවිධාන ද සහභාගී වූ විවෘත සංවාදයකදී අදහස් දැක්වූ මානව හිමිකම් නීතිවේදිනී අර්මිසා ටෙගල් සඳහන් කළේ යෝජිත පනතෙහි කෙටුම්පත තුළ ත‍්‍රස්තවාදය යනු කුමක්දැයි නිර්වචනය කර ඇති ආකාරය ගැටලූ සහගත බවයි. එවැනි පසුබිමකදී අනාගතයෙහි පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පනතෙන් බලාත්මක වන නීතිය අවභාවිත කිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය නොවන්නේදැයි ඇය ප‍්‍රශ්න කරන්නීය. කිසියම් අවස්ථාවකට අදාල වන නීතියක් සහ ඊට අදාල වරද නිශ්චිතව අර්ථකථනය නොකළවිට පුලුල් පරිමාවක් තුළ පනතෙහි විධිවිධාන භාවිත කිරීමට අවස්ථාව සැලසෙන බව ඇය පෙන්වා දෙයි. නිදසුනක් ලෙස රතුපස්වල ජල දූෂණයට එරෙහි විරෝධය, නිදහස් වෙළඳ කලාපවල සේවක නැගිටීම්, 2018 ඔක්තොම්බර් 26 සිදුවීමට එරෙහි ප‍්‍රතිවිරෝධයන් වැනි අවස්ථා අනාගතයෙහි උද්ගත වුවහොත් ඒවා මර්ධනයට පනත යොදාගැනීමේ සම්භාවිතාවක් නැතැයි කිව නොහැකි බව පනතට එරෙහි වන්නන්ගේ අදහසයි.
මේ තත්ත්වය ත‍්‍රස්ත මර්ධනය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාගේ මගපෙන්වීම්වලට ද පටහැනි බව අර්මිසා ටෙගල් වැඩිදුරටත් සඳහන් කරයි. එම මාර්ගෝපදේශවලට අනුව මරණය, බරපතල තුවාල සිදුකිරීම සහ පුද්ගලයන් ප‍්‍රාණ ඇපකරුවන් වශයෙන් තබාගැනීම ඇතුළත් චේතනාව මෙන්ම ජනතාව බිය වැද්දීම, භීෂණය ඇති කිරීම, රජය හෝ ජාත්‍යන්තර සංවිධානයක් කිසිවක් සඳහා නම්මා ගැනීම යන චේතනාව යන අංශ දෙක සපුරාලීම තුළින් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් අර්ථ ගැන්වේ. එහෙත්, ශ‍්‍රී ලංකාව සම්මත කිරීමට උත්සාහ ගන්නා පනත තුළ ත‍්‍රස්තවාදය යන්න තවත් පනත් 40ක පමණ සඳහන් කරුණු ඇසුරෙන් අර්ථකථනය කෙරෙන හා ඉතා පුලුල් පරිමාණයක අර්ථ නිරූපණයක් වන හෙයින් අනාගත අවිනිශ්චිතතාවන් උද්ගතව තිබේ.
පෙර කී විවෘත සංවාදයේදී අර්මිසා ටෙගල් සහ රුකී ප‍්‍රනාන්දු දෙදෙනාම යෝජිත පනත හා පවත්නා පනත යන දෙකම සංසන්දනාත්මක විග‍්‍රහයකට භාජනය කළ අතර යෝජිත පනත මගින් බලාත්මක වීමට නියමිත ප‍්‍රජා පීඩක තත්ත්වයන්ද පෙන්වා දෙනු ලැබිණ. යෝජිත පනත යටතේ පුලුල්ව අර්ථකථනය කෙරෙන සීමාවේ පවතින, ත‍්‍රස්තවාදයට සම්බන්ධ යැයි විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇති අවස්ථාවක පුද්ගලයෙකු අත්අඩංගුට ගැනීමට බලය ඕනෑම පොලිස් නිලධාරියෙකුට, සන්නද්ධ හමුදා සාමාජිකයෙකුට හෝ වෙරළාරක්ෂක නිලධාරියෙකුට ලැබේ. යෝජිත පනතෙහි 17වන වගන්තිය ප‍්‍රකාරව අත්අඩංගුවට ගත් තැනැත්තා සෝදිසි කිරීමට හා ප‍්‍රශ්න කිරීමට ද අදාල නිලධාරියාට හැකියාව තිබේ. මෙය පවත්නා පනතෙහි ඇති බලය ඉක්මවා යන අවස්ථාවකි.
පවත්නා පනතට සාපේක්ෂව යෝජිත නව පනතෙහි අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකු රඳවා තබාගැනීමේ කාලය වරකට සති 02 බැගින් සති 18ක උපරිමයට සීමා වී ඇත. බැලූ බැල්මට මෙය සතුටුදායක ප‍්‍රවේශයකි. එහෙත් ගැටලූව වන්නේ එය නොවේ. යෝජිත පනතට අනුව පුද්ගලයෙකු රඳවා තබාගැනීමේදී එය මහේස්ත‍්‍රාත් අධීක්ෂණය යටතේ සිදුවිය යුතුය යන්න නියමයක් නොවේ. මහේස්ත‍්‍රාත්වරයාට පැවරී ඇත්තේ වලංගු රුඳවුම් නියෝගයක් ඇත්නම් එය ක‍්‍රියාත්මක කිරීමයි. පනතෙහි 31(ආ) වගන්තියට අනුව යුක්ති සහගත හේතු මත රුඳවුම් නියෝග නිකුත් කිරීමේ බලය නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට පැවරෙන්නකි. නියෝජ්‍ය පොලිස්පතිවරයා යුක්ති සහගත බව තීරණය කරන්නේ පනතෙහි ත‍්‍රස්තවාදය අර්ථ නිරූපණය කෙරෙන පුලුල් ප‍්‍රතිපාදන තුළ වීම මෙන්ම මෙරට පොලීසියේ සාමාන්‍ය හැසිරීම එවන් අවස්ථාවක් පිළිබඳ මවන්නේ බිහිසුණු චිත‍්‍රයකි. මේ පනත අනුව දැනට ජනාධිපතිවරයාට පමණක් ඇති කිසියම් පරිශ‍්‍රයකට පිවිසීම, කිසියම් පරිශ‍්‍රයකින් පිටවීම, කිසියම් මාර්ගයක ගමන් නොකිරීම, යමක් හෝ යම් පුද්ගලයෙක් ප‍්‍රවාහනය නොකිරීම වැනි සීමා කිරීමේ නියෝගවලට අදාල බලය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළත් ඉන් ඉහළ නිලයන්ට පැවරේ. තමන්ගේ අභිමතය පරිදි ව්‍යාපාරිකයන් හෝ වෙනත් පුද්ගලයන් ඝාතනය කරන පොලීසියක් සිටින රටක ඉරණම මෙවන් පනතකින් තීන්දුවන්නේ කවර අයුරෙන්ද යන්න සිතීම දුෂ්කර නොවේ.
රඳවා තබා ගනු ලබන පුද්ගලයෙකුට අදාලව විෂය භාර නිලධාරියා ලබාදෙන රහස් වාර්තාවල රහස්‍ය බව මහේස්ත‍්‍රාත්වරයා විසින්ද ආරක්ෂා කරනු ලබන අතර ඉන් ඇවිරෙණුයේ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය බව රුකී ප‍්‍රනාන්දු හා අර්මිසා ටෙගල් පෙන්වා දෙයි. අමතරව, යෝජිත පනත යටතේ ඇඳිරි නීතිය පැනවීමේ ජනාධිපති සතු බලය පුලුල් අරමුණුවලට අදාලව භාවිතා කිරීම, රෙගුලාසි හා නීති සම්පාදනය ට ජනාධිපතිවරයාට අතිරේක බලතල ලැබීම, වරද ඔප්පු කිරීමකින් තොරව හෝ පුද්ගලයින් පුනරුත්ථාපනයට යොමු කිරීම සඳහා රෙගුලාසි තැනීමේ බලය, ප‍්‍රසිද්ධ හෝ වෙනත් ඕනෑම ස්ථානයක් අභිමතානුසාරීව තහනම් ස්ථානයක් ලෙස නියම කිරීමට අමාත්‍යවරයාට අවස්ථාව ලැබීම ආදියද යෝජිත පනතෙහි අන්තර්ගතය තුළ වේ.
සංවිධානයක රැස්වීම්, වත්කම්, අරමුදල් රැස්කිරීම ඇතුළත් කාර්යයන් කිහිපයක් උදෙසා පනතෙහි 81 වගන්තිය පරිදි තහනම් නියෝග පැනවීමට අමාත්‍යවරයාට පුලුවන. එවැනි නියෝගයක් නිකුත් කිරීමට පෙර අභියෝගයට ලක්කිරීමේ අවස්ථාවක් නොමැති අතර අභියාචනාධිකරණයේ පිහිට පැතීමට හැකියාව ඇත්තේ නියෝගය නිකුත් කළ පසුවය. එවිට සිදුවිය යුතු හානි සිදුව හමාර වන්නට ඉඩ තිබේ.
පනතෙහි 26(1) වගන්තියට අනුව අත්අඩංගුවට ගැනීමේ සිට දඩුවම් නියම කිරීම හෝ නිදහස් කිරීම දක්වා ක‍්‍රියාවලිය ඇතුළත් මධ්‍යම දත්ත පදනමක් සම්පාදනය පොලිස්පතිවරයාට පැවරේ. එහිදී පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීමට අදාල වගකීමක් නොමැති අතර ඒවා විවිධ පාර්ශව අතර හුවමාරු නොවන්නේය යන්න පිළිබද සහතිකයක්ද නොමැත.
පවත්නා ත‍්‍රස්තවාදය වැළැක්විමේ පනත වැඩිදුර විභාගයකින් තොරව එවකට පැවති දේශපාලන හා සමාජ වාතාවරණය අරමුණ කරගනිමින් 1979 දී සම්මත කරගත් අතර මුලින් සම්මත වූයේ තෙවසරකට බලපැවැත්වෙන පරිදි වූවත් පසුව දීර්ඝ වී අදටත් ක‍්‍රියාත්මක වේ. පසුගිය සිව් දශකයක කාලය පුරා එහි බිහිසුණු බව අත්විදි මැදහත් සමාජය එය අහෝසි කරන මෙන් ඉල්ලා සිටි අතර ආණ්ඩු මාරුවීම්වලදී ඒ සඳහා වන පොරොන්දුවලටද අත්සන් තැබිණ’. ලංකා රජය මෙම පනත අහෝසි කරන මෙන් එක්සත් ජාතීන්ටද පොරොන්දු වී තිබේ. එහෙත් එය අහෝසි කිරීම වෙනුවට නව පනතක් ගෙන ඒමට උත්සාහ දරන ආණ්ඩුව පවසන්නේ යළි ත‍්‍රස්තවාදය ඇතිවිම වැළැක්වීම සඳහා යෝජිත පනත වැදගත් වන බවයි. යළි ත‍්‍රස්තවාදය හිස එසවීම වැළැක්වීමට අදාල කරගත හැකි වෙනත් නෛතික ප‍්‍රතිපාදන ගණනාවක් තිබියදී ආණ්ඩුව අලුත් බෝතලයකට පරණ අරක්කුම දමා ඇති බව පවසන සමාජ ක‍්‍රියාධරයින් ඔක්තොම්බර් 26 වැනිදාට පෙර මෙවැනි පනතක් සම්මතව තිබුණේ නම් එහි ප‍්‍රායෝගික භාවිතය ගැන අදහසක් ඇති කරගන්නට තිබුණු බව පෙන්වා දෙයි.
ලසන්ත ද සිල්වා | Lasantha De Silva