iMAGE: REUTERS

තවමත් ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි තීරණය කර නැතැයි රාජපක්ෂ පවුලේ නායකයා වන මහින්ද රාජපක්ෂ දැන් කියයි. ඔහු මේ බව කියන්නේ පවුලේ පැවැති සාකච්ජාවකදී සිය අපේක්ෂයා ලෙස ගෝඨාභය පත් කිරිමට රාජපක්ෂවරු තීරණය කර ඇතැයි මෙරට ජනමාධ්‍ය විසින් සතියක් පුරා පාන ලද අඬහැරයෙන් පසු ය.  රාජපක්ෂ නිවසෙහි පැවැති එම සාකච්ජාව ගැන පළවූ වාර්තා කිසිදු රාජපක්ෂවරයකු විසින් ප්‍රතික්ෂේප කළේ ද නැත. ගෝඨාභය රාජපක්ෂ ද වහාම සිය ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට ප්‍රසිද්ධියේම පියවර ගත්තේ ය.

දැන් මහ රාජපක්ෂ කියන්නේ තමා රට පුරා ඇවිදිමින් ජයගත හැකි අපේක්ෂකයා කවුරුන්දැයි සොයමින් යන බව ‌ය. කිසිම තීරණයක් නැති බව ය.  එමෙන් ම තම අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නේ එජාප අපෙක්ෂකයා කවුරුන්දැයි ප්‍රකාශයට පත් කිරීමෙන් පසු බවය. මේ අනුව ගෝඨාභය රාජපක්ෂ තමා විසින් තමාම රාජපක්ෂ පවුලේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කර ගත්තා විය යුතුය. ජනමාධ්‍ය ද ඒ ළණුව කෑවා විය යුතු ය. එසේත් නැත්නම් රාජපක්ෂ පවුල ගෝඨාභය රාජපක්ෂ දැන්ම තියා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පාඩුවක් වනු ඇතැයි කල්පනා කරනවා විය යුතු ය. බොහෝ දුරටම විය හැක්කේ දෙවැන්න ය.

ඒ ඇයි? එක් හේතුවක් විය හැක්කේ ජනාධිපති සිරිසේන තවදුරටත් කඩේ යැවීමට විය හැකි ය. රාජපක්ෂවරු සිරිසේන තම අපේක්ෂයා කර ගන්නා බවට සීනිබෝල දී සිරිසේන දැන් කාලයක් පුරාම කඩේ යවමින් සිටිති. ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාගේ නම තහවුරු වූ බව රාජපක්ෂවරු සිරීසේනට දැන් වූ බව පවා සමහර ජනමාධ්‍ය වාර්තා කර තිබුණි. සිරිසේනට දැන් අල්ලපු අත්තත් පය ගැසූ අත්තත් නැත. රාජපක්ෂ පක්ෂයේ ප්‍රධානියකු වන අනුර ප්‍රියදර්ශන යාපා සිරිසේනට වක්‍ර තර්ජනයක් කරමින් කියා තිබුණේ තනිව ගොස් ශ්‍රිලනිපය ත්‍රීවීල් පක්ෂයක් නොකර ගන්නා ලෙස ය.

කේන්ති ගිය විට සර්පයකු සේ හතර අතේ දෂ්ඨ කරන සිරිසේන මේ අවස්ථාවෙහි අවුල් කර ගැනීම අනවශ්‍ය අවුලක් විය හැකි යැයි මහ රාජපක්ෂ කල්පනා කරනවා විය හැකි ය. මේ කේන්තියෙන් සිරිසේනගේ ඔලුව ගිනිගෙන යකා වැහුණහොත් සිකුරාදා දිනයක් පැමිණි වහාම ඔහු ජනාධිපතිවරණයක් කැඳවා තමා ඉදිරිපත්වන බව කියන්නට ද ඉඩ තිබේ. එසේ වුවහොත් රාජපක්ෂවරුන්ගේ හොඳම අශ්වයාට තරඟයට දුවන්නට වෙන්නේ නැත. මන්ද යත් ඇමෙරිකානු පුරවැසිබව තවම ඉවත් වී නැති නිසා ය. එසේ නැතිව හෝ සිරිසේන තනිව තරඟ කළ හොත් ජන්ද ලක්ෂ පහක්වත් ගැනීමට ඔහුට හැකිවීමට ඉඩ තිබේ. එසේ වුව හොත් එහි අවාසිය යන්නේ රාජපක්ෂවරුන්ට ය. එසේ නමුත්  ගෝඨාභය විරෝධී ජන්ද ජවිපෙ සහ දෙමළ අපේක්ෂකු අතර බෙදී යාමෙන් එම අවාසිය සමබර වීමට ඉඩ තිබේ.

ගෝඨාභය හොඳම අශ්වයා වන අතර නරකම අශ්වයා ද වේ. රාජපක්ෂවරුන්ට ඔහු හොඳම අශ්වයා වන්නේ පවුලේ වෙනත් අපෙක්ෂකයකු නැති නිසාත් ඔහු දැනටම තමා වෙනුවෙන් සටන් භූමියට යාමට අනුගාමික සෙබල මුළක් සකස් කරගෙන සිටින නිසා ය. එමෙන්ම මහ රාජපක්ෂගේ යුදවාදී දේශපාලන ව්‍යාපාතිය ගෙන යැමට සිටින අන්තවාදී සිංහල බෞද්ධ බලවේගයන්හි සහාය ලබන රාජපක්ෂ වන්නේ ඔහු නිසා ය.

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී සහ සුලුතර ජන බලවේගයන්ට ඔහු නරකම අශ්වයා ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයකදී අලෙවි කළ හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ පාලනය පිහිටුවන දූෂණ විරෝධී අපෙක්ෂකයකු ලෙස නොවේ. ඔහු අලෙවි කළ හැක්කේ රටෙහි විනය ඇති කරන තද පාලකයකු ලෙස ය. ඔහු දේශපාලනඥයකුට වඩා කළමණාකරුවෙකි. ඔහුගේ කළමණාකරන ශෛලිය නොදන්නා අයෙක් නැත. නමුත් දේශපාලනය එප‌ා වී සිටින ජනයා කළමණාකරුවකුට රට බාර දීමට කැමැති වන්නට ඉඩ තිබේ.

ගෝඨාභය රාජපක්ෂ පැමිණ මෙරට තද පාලනයක් ඇතිකළ යුතු බවට මතවාදය ගෙන යන එක් කණ්ඩායමක් නම් ත්‍ර්‍රී රෝද රියදුරු ප්‍රජාවය. එහි අරුමය වන්නේ මෙරට මහ මාවත්හි විනය සම්පූර්ණයෙන්ම කඩ කරන කණ්ඩායම වන්නේ ද මෙම ත්‍රීරෝද රියදුරු ප්‍රජාව වීමයි. ගෝඨාභය ප්‍රපංචයේ හැටි එහෙමය. මෙරට විනය ගරුක නීතියේ පාලනයක් ඇති කිරිමට විරුද්ධ බලවේගයක් නම් සිංහල බෞද්ධ අන්තවාදීන් ය. සිරිපාද නාම පුවරුවෙහි තාර ගාන්නේ ද මුස්ලිම් දෙමළ විරෝධය වපුරා අවුල් ඇති  කරන්නේද ඔවුන් ය. එසේ වුවත් එකී කණ්ඩායම්ද ගෝඨාභය රාජපක්ෂ පැමිණ තද පාලනයක් ඇති කරනවාට පක්ෂ ය.

මට පෙනෙන හැටියට නම් අවසාන විග්‍රහයේදී ඇමෙරිකානු පුරවැසිභාවය හරහට නොසිටිය හොත් රාජපක්ෂවරුන්ගේ අපේක්ෂකයා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ය.

ප්‍රශ්නය නම් රාජපක්ෂවරුන්ගේ දේශපාලන ව්‍යාපෘතිය වඩා හොඳ අතට වෙනස් වී ඇත්ද යන්නයි. මේ තාක් දුරට නම් එවැනි වෙනසක් පෙනේනට නැත. අපට අනාගත රාජපක්ෂවරුන්ගේ පාලනයක හැඩරුව දැක ගැනිමට නම් කල යුත්තේ 2018 ඔක්තෝබයේ දවස් 52ක අගමැති වශයෙන් රාජපක්ෂ ද ඔහුගේ පාක්ෂිකයින් ද හැසිරුණූ අන්දමයි. ඔවුහු රාජ්‍ය මාධ්‍ය බලයෙන් අල්ලා ගෙන ඒවා අනීතික බලයක හොරණෑ බවට පත්කරන ලදී. දූෂණ වංචා පිළිබඳ චෝදනා ඇති සිය වහලුන් ආයතන ප්‍රධානීන් ලෙස පත් කරන ලදී. කොට කළිසම් ඇඳගෙන රහස් පොලිසියට ගොස් ඔච්චමි කරන ලදී. පාර්ලිමේන්තුවම චන්ඩ්කමට යටත් කර ගැනීමට වෙර දරන ලදී. සහජීවන වැඩ සටහන් වහාම නතර කරන ලදි වශයෙනි.

නමුත් ප්‍රශ්නය රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය පමණක් නොවේ. රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතිය ද අද මෙරට හමුවේ ඇති මහත් අනතුරකි. දූෂණය අතින් දෙපාර්ශවය අතර එතරම් වෙනසක් නැත. මෙරට මෑත කාලින ඉතිහාසයෙහි අතිශය දූෂිත මහා පරිමාණ පුද්ගලීකරණය කිරීම් සිදු කරන ලද්දේ ජේ.ආර්.ජයවර්ධනගේ යූඇන්පී පාලනය යටතේ ය. දැන් රනිල් වික්‍රමසිංහ පාලනය යටතේ ද  මහා පරිමාණ දූෂණ සිදුවෙයි. එහි නූතනම උදාහරණය නම් හම්බන්තොට ඉදිකරන්නට යන ඩොලර් බිලයන 4ක් තරම් ආයෝජනයක් සහිත තෙල් පිරිපහදුව යි. මෙම ජාවාරම මගින් මුදල් විශුද්ධිකරණයට මඟ පැදිය හැකි බව ට්‍රාන්සිපෙරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ශාඛාව අනතුරු අඟවා තිබේ. පසුගිය සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක් පෙන්වා දුන් පරිදි මෙම පිරිපහදුවෙහි එක් කොටස්කාර සමාගමක් පිහිටුවා ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා අමැති මණ්ඩලයට පත්‍රිකාව ඉදිරිපත් කර  දින හයකට පසු එනම් පසුගිය පෙබරවාරි 21දා ය. මෙම ව්‍යාපෘතිය පිටුපස සිටින ඇමැති මලික් සමරවික්‍රම නම් දැරූ ජාවාරම්කාරයෙකි. මහා බැඳුම්කර මගඩියට ද ඔහු සම්බන්ධ ය.

අගමැති වික්‍රමසිංහ යටතේ ව්‍යාපෘති සහායකයින් යැයි උසස්පෙළ සමතුන් 7,500 ක මසකට රුපියල් 15,000ක වැටුපට බඳවා ගැනීමට ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ. මේ හුදෙක් සිය දේශපාලන කටයුතු සඳහා රජයේ මුදලින් තරුණ තරුණියන් බඳවා ගැනීමක් මිස අන් යමක් නොවන බව තේරුම් ගැනීම දුෂ්කර නැත.

මධ්‍යම අධිවේගී මාර්ගය ආණ්ඩුවේ ලොක්කන්ට තවත් ධන උල්පතකි. සුරක්ෂා රක්ෂණය තවත් එකකි.

සියල්ලටමත් වඩා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ දුෂ්ඨතම ක්‍රියාවක් නම් පලාත් සභා මැතිවරණ නොතියා සිටීමයි. එජාප නායකයින්ම කියා සිටින්නේ තමන්ට නඩා වාසි ඇත්තේ ජනාධිපතිවරණය හරහා නිසා පලාත් සභා ඡන්දය නොපවත්වන බවයි. ඇත්ත වශයෙන්ම නම් මෙරට ස්වාධීන යැයි කියා ගන්නා සිවිල් පොරවල්වල හෙළුව පෙනෙන සිදුවීම මෙයයි. රාජපක්ෂවරුන්ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය බේරා ගැනීමට ගිරය පුප්පාගෙන් සටන් වදින එකී පිරිස් පලාත් සභා ඡන්දය ගැන කටේ පිට්ටු පුරවාගෙන සිටිති.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තවම එකදු මහා පරිමාණ දූෂකයකු පිළිබඳව හෝ නඩු විභාගයක් අවසන් කරන්නට බැරි වූයේ මන්ද? එකද ජනමාධ්‍ය ඝාතනයක් ගැන හෝ වරදකරුවන් සිරගත කිරිමට බැරිවූයේ මන්ද? යුද සමයෙහි සිදුවූ මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක් නිසි පියවරක් හෝ ගන්නට බැරි වූයේ ඇයිද?

අප ගෝඨාභය රාජපක්ෂ බලයට පැමීනීමෙන් සිදුවිය හැකි විපත් ගැන කතා කරන්නට පෙර කතා කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ මෙකී දුෂිත කපටි දේශපාලනය ගැන නොවේ ද? රනිල් වික්‍රමසිංහ දේශපාලනය තේරුම් ගැනීමට හොඳම කැඩපතක් නම් ඔහුගේ රාජකිය කල්ලියේ සමීපතම නීතිඥයින් හෝ නීතිඥයකු විසින් සකස් කරන ලද ප්‍රති ත්‍රස්ත පනතය. වික්‍රමසිංහගේ ප්‍රතා ත්‍රස්ත පනත යනු මර්දනය සඳහා සකස් කරන ලද දරුණූ ලියැවිල්ලකි. ඔහු එ් සඳහා උපයෝගී කර ගන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමේ දේශපාලන පොරොන්දුව සහ ප්‍රති ත්‍රස්ත පනතක් සෑම රටක්ම විසින්ම පවත්වා ගත යුතු බවට ඇති එක්සත් ජාතීන්ගේ නියමය යි.  මෙම පනත සම්බන්ධයෙන් ඇති විවේචන ගැන ඔහු තවම වචනයක් හෝ කියා නැත. ඔහු වෙනුවෙන් ජිනීවා පැමිණි රාජකීය කල්ලියේ ඇමැති මාරපනද එම පනත නිවරද කිරීම සම්බන්ධ්යෙන් වචනයක් හෝ කීවේ නැත.

බිහිසුණූ පාලනයක සංකේතය වන ගෝඨාභය රාජපක්ෂ මතුවීම යනු රනිල් වික්‍රමසිංහගේ කෛරාටික අසමත් දේශපාලනයේ අනීවාර්ය ඵලයකි. හේතුවට පිළියම් නොකර ඵලයට පිළියම් කළ නොහැක.

 

සුනන්ද දේශප්‍රිය