iMAGE : “Anduwe Rasawa” Short Play ( Unnamed Theater group fb Page)
නාට්‍යයක් යනු මානව ජීවිතයේ අර්බුදය, මිනිසුන් ඉදිරියෙහි තබා ගෙන ම සජීවිකරණය කළ හැකි එකකි. තමා ද එම අර්බුදයේ කොටස්කාරයකු බව ඒත්තු ගැන්විය හැකි එකකි. නාට්‍ය නැරඹීම නැමැති අත්දැකීම ම අභියෝගයක් වන්නේ එබැවිණි.
ඉහත පූර්විකාවෙහි නිමිත්ත එක පෙළට රංග ගතවන කෙටි නාට්‍ය සතරකි. නිශ්චිත මොහොතවල් තීව‍්‍ර කිරීමෙහිලා කෙටි නාට්‍ය ශානරය දක්වන සමත්කම සාපේක්ෂව ප‍්‍රබල ය.
ආණ්ඩුවේ රස්සාව, උද්‍යානයක පෙම්වතුන් යුවලකගේ හමුවකි.
පේ‍්‍රමී කවි නළුව, නාට්‍යමය අවකාශයකි.
කිරිඅම්මා අවතාරය, මධුසමය දා රාත‍්‍රියේ කායික පේ‍්‍රමයට පූර්වයේ ගොඩනැගෙන මොහොතකි.
ධර්මිෂ්ඨ සමාජයක් ගොඩනගමු, බස් නැවතුම් පොලක සිදුවීමකි.
මෙම සිදුවීම් එකිනෙක ස්වායක්ත යැයි බැලූ බැල්මට පෙනී යා හැකි ය. නමුත් මේ සියලූ අර්බුදයන්ගේ කේන්ද්‍රීයත්වය එකිනෙකට වෙනස් වන්නේ නැත. සියල්ල ගැඹුරු ව්‍යූහීය අර්බුදයේ ප‍්‍රකාශයන් ය. නාට්‍ය හතර ම අනන්‍යතා අර්බුදයක් ලෙස කියවිය හැකිය. එම අනෙකා සංස්කෘතික, සාමාජික, ආගමික, ලිංගික ආදී බහුවිධ අනෙකෙකි. සානුකම්පික පරිකල්පනය වගා නොවීමේ ඛේදය වේදිකාව මත පමණක් නොව සමාජයේ ඕනෑම තැනක දැකගත හැකි වීම අභාග්‍ය සම්පන්නය.
නාට්‍ය සියල්ලේ ම ඇති තවත් එක් පොදු ලක්ෂණයක් වන්නේ වෘත්තීයමය ජීවිතය පිළිබඳ ඇති අර්බුදය යි. මෙම නාට්‍ය හතරේ ම ප‍්‍රධාන චරිත රැකියා විරහිතවූවෝ වෙති. ඉන් තිදෙනෙක්ම උසස් අධ්‍යාපනය ලද්දවුන් ය. එසේ නොමැති එක් අයෙකු අපට හමුවේ. ඔහු නාට්‍යකරුවෙකි. එය තවත් උත්ප‍්‍රාසකාරී වන්නේ පේ‍්‍රමී කවි නළුව ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද නාට්‍ය වීමෙනි.
සමස්තය පිළිබඳ පොදු කියැවීමේ දී මතුකළ යුතු තවත් ප‍්‍රධාන ප‍්‍රපංචයක් වන්නේ අවිශ්වාස පිළිබඳ තේමාත්මක ඉඟි කිරීමයි. එහි දී සියලූම නාට්‍ය විවිධ මානයන්ගෙන් මතුකරන්නේ විශ්වසනීය භාවයක් නොවන අතර සියලූ අර්බුදයන්ගේ යටි පෙළ ඒ හා සෘජුවම සම්බන්ධ වේ. මෙකී අවිශ්වාසය හෙජමොනික ගොඩනැංවීමක් මිස කිසි ලෙසක ආකස්මිකයක් නො වේ. එහෙත් එහි බරපතළකම වන්නේ ජනතාව ඒ පිළිබඳ සවිඥානික නොවීමයි. මෙකී දෘෂ්ටිවාදී අවනතභාවය තුළ ඒ සියලූ අර්බුද හුදෙකලා සංසිද්ධි බවටත් ඒකපුද්ගල අර්බුදයන්ගේ ප‍්‍රතිඵල බවටත් ඌනනය කර තිබීමයි. ආණ්ඩුවේ රස්සාවෙ පෙම්වතුන්ට ඇති අර්බුදය පෙම්වතාට රැකියාවක් නොමැති වීමයි. එහෙත් අර්බුදය තීව‍්‍ර වන්නේ ලැබුණු රැකියාව හරහා තමා සමාජයේ අනෙකෙකු බවට පත් වේ යන සැකයයි. අලූගෝසුවාගේ බිරිඳ, අලූගෝසුවාගේ ගෙදර ආදී වරනැගීම් මතු වන්නේ එම සන්දර්භයෙනි. මෙය තවදුරටත් විරුද්ධාභාසීය අර්බුදයක් දෙසට ගමන් කරවන්නේ පෙම්වතියගේ ගැබ් ගැනීමයි. පෙරදිග චින්තනයේ දිගුවක් ලෙස ලාංකේය සන්දර්භය ද මාතෘත්වය පරම පූජනීය කොට ඇත. එහෙත් එම උත්කෘෂ්ට කරණය සැබැවින් ම පවතින්නක් ද යන්න සිතිය යුතුය. ගැබක කළලයක් පිළිසිඳ ගැනීම මාතෘත්වය යි. එහෙත් කසාද සහතිකය අහිමි මාතෘත්වයකට ලැබෙන සමාජ තත්ත්වය පිළිබඳ අමුතුවෙන් කිවයුතු නැත. එබැවින් උත්කෘෂ්ට වන්නේ අධිපති නිර්ණායකය මිස ස්වභාවිකත්වය නො වන බව පැහැදිලි ය.
මෙම නාට්‍ය කිහිපයේ ම යම් ආකර්ෂණීය ආකෘතියක් අත්පත් කරගන්නේ පේ‍්‍රමී කවි නළුව යි. එය පේ‍්‍රක්ෂකයා දූරස්ථකරණය කිරීමට සමත් එකකි. සාහිත්‍ය කලා කෘතියක සිය අන්තර්ගතයේ පෝෂණය උදෙසා පාඨකයා හෝ පේ‍්‍රක්ෂකයා හෝ සතු දැනුම උපයෝගී කරගනී. දැනුම හෝ සිතීම හෝ ස්වායක්ත නැත. අප සිතන විට යම් ආස්ථානයක ස්ථානගත වීම නො වැළැක්විය හැකිය. එබැවින් විශිෂ්ට කලාව ස්ථානගත වන තැන පමණක් නොව සාමාන්‍ය දැනුම ද ප‍්‍රශ්න කරයි. කවි බණ අපට කිසිසේත් නුහුරු නුපුරුදු නැත. නාට්‍යකරුවා මෙහිදී උපයෝගී කරගන්නේ අප විඥානය තුළ පැළපදියම් වූ එම තානයයි. එම තානය, විඥානය තුළ පැළපදියම් වූ ආගමික මුහුණුවර ගලවා එම භාවිතාව පිළිබඳ ප‍්‍රතිදෘෂ්ටියක් හෙලීමට අනුබල සපයයි. එහි දී ප‍්‍රධාන නළුවා විසින් සිය රංග භාවිතය තුළ උපයෝගී කරගනු ලබන විවිධත්වය ද පැසැසිය යුතුය. කලාවේ අධිපති නිර්ණායක දෙස කෙරෙන විවේචනය ද සාමාජීය වශයෙන් අප ඉහතකී ආස්ථානයන්ගේ ම දිගුවක් ය. ප‍්‍රවීණත්වය හා ආධුනිකත්වය අතර අන්‍යත්ව අර්බුදය ද අධිපති කලා ප‍්‍රකාශන හා නිර්මාණශීලී නව්‍යතා අතර අර්බුදය ද මෙම නාට්‍ය තුළ සංවාදශීලී අවකාශයක තබයි. පේ‍්‍රක්ෂකයා හා නාට්‍ය අතර ඇති සෘජු අන්තර්සම්බන්ධය විසින් පේ‍්‍රක්‍ෂකයන්ට ද ඉන් ගැලවී යාමට ඉඩ නො දෙනු ලැබීම සුළු කොට තැකිය හැකි නොවේ. එය වේදිකා නාට්‍ය සතු සජීවීකරණ විභවතාව නිර්මාණශීලීව භාවිත කිරීමකි. එය මේ මොහොත වන විට බොහෝ නාට්‍යකරුවන් විසින් යොදාගනු ලබන එක වැදගත් බුද්ධිමය වෑයමකි.
මා විසින් මතුකරන ලද අන්‍යත්වය හා අවිශ්වාසය යන තේමාත්මක ඉඟි කිරීම් සමග කිරි අම්මා අවතාරය නොපෑහෙන බව කෙනෙකුට සිතෙන්නට පුළුවන. එසේ වන්නේ එම නාට්‍ය බැලූ බැල්මට පුද්ගල අභ්‍යන්තරය විදාරණය වන නාට්‍යයක් වන බැවිණි. පුද්ගල විඥානය සකස් වීමේ තීරක සාධකය වන්නේ සමාජයීය ප‍්‍රපංචයන් මිස විඥානවාදී බලවේග නොවේ. එබැවින් අඹුසැමියන්ගේ ද්විත්ව චරිත එළියට එන්නේ ම සමාජ සංස්කෘතික රාමුකරණයේ ප‍්‍රතිඵලයක් ලෙස මිස මනෝ ව්‍යාධියකින් නොවේ. එවිට අධිපති සාම්ප‍්‍රදායික ස්ත‍්‍රීත්වයෙන් වෙනස් ස්ත‍්‍රිය අන්‍යයකු වීම නො වැලැක්විය හැකිය. එවැන්නියකට පුරුෂාධිපත්‍ය දරන පිරිමියාගේ විශ්වසනීය පිළිගැනීම ලැබෙන්නේ ද යන්න අවිනිශ්චිත වීම සාධාරණ ය. පුර්ෂයාට ද එය පොදු ය. සිය ජීවිතය තුළ චරිත දෙකක් හෝ කිහිපයක් හෝ නඩත්තු කිරීමට සිදුවන්නේ තම සිතැඟි හා ආස්ථාන පිළිබඳ නිශ්චිත පදනමක් හෝ විශ්වාසයක් හෝ නැත්තවුන්ට ය. එමෙන් ම එවැනි නඩත්තු කිරීමක් ඉල්ලා සිටින පසුගාමී සමාජයක ය. මෙකී නාට්‍ය පෙළෙහි අවසාන නාට්‍ය වන්නේ ධර්මිෂ්ඨ සමාජයක් ගොඩ නගමු නාට්‍යය යි. ධර්මිෂ්ට සමාජයක් ගොඩනැගීමට යෑම ම අන්යත්ව අර්බුදය හා අවිශ්වාසය තීව‍්‍ර කිරීමකි. ෆ්‍රොයිඩ් ට අනුව මිනිස් අභ්‍යන්තරයේ ඇති අර්බුදයන් මතුපිටට එන ආකාර ප‍්‍රධාන වශයෙන් දෙයාකාර වේ. හිංසනයක් ස්වරූපයෙන් පැමිණීම ඉන් පළමුවැන්න යි. දෙවැන්න සංස්කෘතික හා සදාචාරාත්මක වේශයෙන් පැමිණීමයි. මෙහි අතිශය සියුම් සහ භයානක වන්නේ දෙවැනි ආකාරය යි. මක්නිසාදයත් සංස්කෘතික සදාචාරාත්මක වේශයෙන් පැමිණෙන එම ප‍්‍රකාශන බොහෝ දුරට සමාජය තුළ පරමාදර්ශයන් ලෙස බෞතීස්ම වන්නට ඉඩ ඇති බැවිනි. සමාජ මතයක් ඒ වටා ගොඩනැගෙන බැවිනි. ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය, ගෝත‍්‍රවාදය ඈ සියල්ල නසන්නේ මනුෂ්‍යත්වය ය. උපදින්නේ අන්‍යත්වය හා විශ්වාසය ය. එය කොතරම්ද යත් මේ වන විට තමා අසල සිටින්නා පවා විශ්වාස නැත. බස් නැවතුම්පොලේ බසයක් එනතුරු සිටින විශ්වවිද්‍යාල ශිෂ්‍යයා කෙරෙහි අවිශ්වාසය උඩු දුවන්නේ ඔහු පරමාදර්ශී යැයි සම්මත ගීතයක් නොදැන සිටීම ය. එම පරමාදර්ශය කාගේ පරමාදර්ශයක් ද? කවර පදනමක් සහිත පරමාදර්ශයක් ද? ජාතිය හෝ ආගම හෝ කුලය හෝ ගෝත‍්‍රය හෝ කවරක් මනුෂ්‍යත්වයට වඩා ඉහළ නැත. ඕනෑ ම මුග්ධයෙකුට අන්තවාදියෙකු විය හැකි ය. ඊට බුද්ධියක් අවශ්‍ය නැත. එහෙත් විශ්වීය මිනිසකු ලෙස සියල්ලටම ඉහළින් මනුෂ්‍යත්වය තැබීමට නම් ඓන්ද්‍රීය දැනුමක්, බුද්ධිමය කියැවීමක් හා විසල් හදවතක් තිබිය යුතු ම ය. එය ඉතා පරිශ‍්‍රමයෙන් ළඟා කරගත යුත්තක් මිස මොහොතකින් පිහිටිය හැකි ආස්ථානයක් වන්නේ ද නැත.
නාට්‍ය හතර ම එක පෙළට කියාපාන්නේ කුණුවී ගිය පුද්ගල, සමාජ දේහයේ වේදනාකාරී ප‍්‍රකාශනය ය. මේ සටහන පුරා අප විසින් මතු කරනු ලබන තර්කය වන්නේ ද මේ සියලූ සංසිද්ධි ගැඹුරු ව්‍යූහීය අර්බුදයේ ප‍්‍රතිඵල මිස ස්වායක්ත තනි සිදුවීම් නො වන බව ය. දකුණේ සිදුවීමක් හා උතුරේ සිදුවීමක් අතර කේන්ද්‍රීය සාම්‍යයක් ඇති බව ය.
නලීන් එන් කාරියවසම් | Naleen. N. Kariyawasam