නුගේගොඩ නාලන්දාරාමය හැරුණු විට, නිදහසේ හිඳගෙන සිටීමට මා ප්‍රිය කළ අනෙක් ස්ථානය වුයේ කොච්චි කඩේ ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මැදුරය. හරිත වර්ණ වෘක්ෂයට සමානවම තම අනෙකවිද දුක්ඛ දෝමනස්සයන් මෙම මැදුරේ දී , කෘතිමව නෙලූ පිළිමයක් වෙත මිනිසුන් විසින් ප්‍රකාශ කරනු මා අත් දැක්කෙමි. එහි ගොස්, ලි බැංකුවේ හිඳ ගනිමින්, එම පිළිම දෙස බලා සිටීම මෙන්ම මිනිසුන් තමාගේ ආත්මය ප්‍රකාශ කරන ඉරියව් විමර්ශනය ද ඉතාමත් වැදගත් විය. “ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දවස අඟහරුවාදා ය. එදාට ගොස් ඉටි පහනක් දල්වන ලෙස මා දැනුවත් කලේ , මාගේ යෙහෙලියක් වූ කාන්තා පර්යේෂණ කේන්ද්‍රයේ කමනි අක්කාය. තම ආදරණීයයා වෙත වැළඳී ඇති පිළිකාවෙන් සහන සලසා දෙන ලෙස, දෙව්මදුර වෙත යාමයට පුරුදු වූ මා මිතුරු, එම කේන්ද්‍රයේ ම විමලා පැවසුවේ, තමාටත් දැන් ජීවිතයට මුහුණ දීමට ධෛර්යය ලැබුණු බවය. කහපාට ඉටි පහන්, විශේෂිතව පිහිට වූ පාද හිමි පිරිමි වෙළෙන්දාගෙන් මිලදී ගෙන ඉන්පසුව එය දල්වා, මැදුරේ පිළිම දෙස අනිමිසලෝචනය කිරීම මාගේ එක් පුරුද්දක් විය. පාර පැන, ඇලකන්ද බසය පැමිණෙන තුරු සිටින විට, දෙව් මැදුර ඉදිරියේ දෙමළ කඩෙන් සුදුපාට ඉද්ද මල් පළඳනාවක් මිලට ගැනීම ද මාගේ එක් විලාසයක් විය.
පසුගිය පාස්කු ඉරුදින, ශාන්ත අන්තෝනි මැදුර තුල මනුෂ්‍යත්වයට එරෙහි ප්‍රහාරයක් එල්ල කරන ලදී. මෙයට සමගාමීව දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රහාර එල්ල වූ අතර මාධ්‍ය වාර්තා කළ පරිදි, 359 දෙනෙකු වෙත ජීවිතය අහිමි වී තිබේ. (https://edition.cnn.com/asia/live-news/sri-lanka-attacks-churches-hotels-dle-intl/index.html). මෙම ප්‍රහාරයේ වගකීම Islamic State විසින් බාරගනු ලැබූ බවත්, මෙය පුර්ව අනතුරු හැඟවීමක් බවත් ප්‍රකාශ විය. (https://www.nytimes.com/2019/04/23/world/asia/isis-sri-lanka-blasts.html). ඉතාමත් කණගාටුදායක කරුණ නම්, මෙවැනි ප්‍රහාරයක් විය හැකි බවට පෙර දැනුම් දීමක් රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ වන ආයතන වෙත යොමුකර තිබෙන බවය. The Hindu උපුටා දක්වන්නේ, ඉන්දියාව විසින්, ප්‍රහාරය සිදුවීමට, ප්‍රථම, ඒ පිලිබඳ දැනුම් දීමක්,රාජ්‍යතාන්ත්‍රිකයන් මගින් සිදුකල බවය. (https://www.thehindu.com/news/international/india-issued-alert-to-sri-lanka-on-possible-blasts/article26915624.ece).
මෙම ප්‍රකාශන සත්‍ය වීනම්, එම දැනුම්දීම් ලද ආයතන විසින්, මහජන ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් කුමක් කරනු ලැබුවේද? එම ක්‍රියාමාර්ග පිලිබඳ නොසලකා හැරියෙනම් ඒම තීරණයේ පදනම කුමක්දැයි හෙළිදරව් කල යුතුය. එසේම මෙහිදී තොරතුරු තවදුරටත් රාජ්‍ය ආරක්ෂා ව මත ජනතා ව වෙත පත්කිරීම නවතා දැමීමට නොහැකි වන්නේ, මේ වන විට තොරතුරු නිසි ලෙස ලබා නොදීමෙන් මහජන ආරක්ෂාව තර්ජනයට ලක්ව ඇති හෙයිනි. එසේම මහජන ආරක්ෂාව අවිනිශ්චිත වූ මොහොතක වගකීම් විරහිත චාර්යා පෙන්නුම් කරනු ලබන දේශපාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති බලධාරීන් සම්බන්දයෙන් කලයුත්ත ජනතා ව විසින් තීරණය කල යුතුය.
මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ නම් රාජ්‍ය සහ මහජන ආරක්ෂාව මෙන්ම ප්රජාතන්ත්රවාදය මේ මොහොතේ සුරක්ෂිත කිරීමේ වැදගත්කම පෙන්වා දීමය.
මෙකි ප්‍රහාර සමුහය රාජ්‍ය සහ මහජන ආරක්ෂාවට මෙන්ම ප්රජාතන්ත්රවාදයට ද බරපතල පහරක් විය. අවුරුදු 30ක දිග්ගැස්සුණු යුද්ධයකින් පසුව, විවිධ ආණ්ඩු විසින් තම දැනුමට සහ ප්‍රඥාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව යුද්ධයෙන් තොර වීම හේතුවෙන්ම ආරක්ෂිත බවත්, විමුක්ති කොටි සංවිධානය යුධමය ලෙස පරාජය කිරීම සාමය සහ මහජන සුරක්ෂිතා ස්ථාපනය බවත් නිරන්තරයෙන්ම පුනරුච්චාරණය කරන ලදි. මෙයට සමගාමීව බහුතරයේ ප්රජාතන්ත්රවාදය අධිපතිත්වයට පත් වූ ආණ්ඩුකරණයක් බිහි විය. එහි ප්‍රතිපලය නම්, බහුතර ප්රජාතන්ත්රවාදය ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් බිහිවීමත්, එවැනි කණ්ඩායම් කිහිපයක්, බහුතරයේ නියෝජනය උදෙසා අන්තවාදී දේශපාලනය වෙත ගමන් කිරීමත්ය. රාජ්‍යයේ නිශ්බ්දතා හේතුවෙන් වාර්ගික ප්රචණ්ඩත්වය නිෂ්පාදනය කල සිදුවීම් පාදක කරගනිමින් මෙම අන්තවාදී කණ්ඩායම් ගෝලීය ආයුධ ප්‍රග්ධනයේ හවුල් කරුවන් වීමත් පැහැදිලිව හදුනාගත හැකිය. එහිම දිගුවක් ලෙස මේ මොහොතේ දී ශ්‍රී ලංකාව අනාරක්ෂිත රාජ්‍යයක් වීම පෙන්වා දිය හැකිය.
මෙවැනි ප්රහාරයන්ට පසුව රාජ්‍ය වෙත පවතින ප්‍රධානතම අභියෝගය නම්, ආරක්ෂාව තහවුරු කිරීම වන අතර සාමාජයට පවතින ගැටළුව නම්, ආරක්ෂාව වෙත තර්ජනයක් නොවී නමුත් ප්රජාතන්ත්රවාදය පවත්වාගෙන යාමය. මේ අවස්ථාවේදී, මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිවරයා, කොතරම් සපත කල නමුත්, රාජ්‍ය විසින් ප්‍රජාතන්ත්‍රික ආණ්ඩුකරණයක් සහ සිවිල් ජනයාගේ නිදහස සුරක්ෂිත කිරීමක් කිසිවිටක බලාපොරොත්තුවිය නොහැකිය. එය මනාව පැහැදිලි කිරීමට ආරක්ෂක ලේකම්, හේමසිරි ප්‍රනාන්දු ගේ ආඛ්‍යානය ප්‍රමාණාත්මක වේ. ප්‍රනාන්දු මහතාගේ වචනය වුයේ, “මේක ප්රජාතන්ත්රවාදී රටක් හේතුවනේ හදිසි නිතිය ක්‍රියාත්මක නොවන පසුබිමක අපට කල හැකි දෑ ඉතා කුඩාවේ. එසේම හෝටල් පරිශ්‍ර වෙත ආරක්ෂාව සැපයීමට ආණ්ඩුවට නොහැකි බවය”
(https://www.thehindu.com/news/international/sri-lanka-never-expected-bombings-of-such-.magnitude-defence-secretary/article26918186.ece). ඔහු නොදැන සිටි බවට පෙනෙන කරුණ නම්, පවතින සාමාන්‍ය අපරාධ නිතිය යටතේ ද රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ විමර්ශන සිදුකල හැකිව තිබුණු බවය. හදිසි නිතිය නැවත ගෙන එමින්, සිවිල් නිදහස සිමා කිරීමට මේ මොහොත රාජ්‍ය විසින් භාවිතා කරන අයුරු පෙනී යයි. එවිට ප්‍රජාතාන්ත්‍රික ලෙස ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිලිබඳ මහජන මත ගොඩ නැගීමේ නිදහස ද අහිමි වෙමින් පවතී.
එසේම සමාජ මාධ්‍ය මෙන්ම වගකීම් විරහිත චර්යාවක් සාම්ප්‍රදායික මාධ්‍ය තුල ද දැකිය හැකිය. උදාහරණ ලෙස, මාධ්‍ය විසින් ඕමල්පේ සෝභිත භික්ෂුව සහ විජයදාස රාජපක්ෂ වැනි පුද්ගලයන් විසින් ප්‍රකාශ කරනු ලබන වෛරී සහ උද්වේගකර ප්‍රකාශන ප්‍රචාරය පෙන්වා දිය හැකිය (http://ceylontoday.lk/news-more/4757). මෙවැනි වෛරී සහ උද්වේගකර ප්‍රකාශන හේතුවෙන්, ප්‍රහාර පිලිබඳ මුලික අවධානය යටත්වනුව ජන කැලඹිම් සිදුවීමේ හැකියාවක් ඇත.
වඩාත් පැහැදිලිව සහ පිළිගත යුතුම සත්‍ය නම්, මෙය දේශපාලනිකව, (අ)සාදු චරිත නැවත ජනතාව වෙත ගෙන ඒමේ අවස්ථාවක් නොවන බවය. මාධ්‍යට මේ වෙනුවෙන් විශාල කර්තව්‍යයක් හිමි වේ. මාධ්‍යවේදීන් පොදු අවකාශ තුල ඝාතනය කිරීම් වෙනුවෙන් අනුබල දුන්, වාර්ගික ප්රචණ්ඩත්වය වපුරා ජනයා බියට පත් කල සහ ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් පත්කිරීම් ලබාගත් සහ ලබා දුන් දේශපාලනිකව අසාදු ලේඛනගත වූ කිසිදු පුද්ගලයකුගේ නායකත්වයක් වෙත රැදී සිටීමේ අවස්ථාව උචිත බව කියවෙන ප්‍රචාරණය මුලින්ම ප්‍රතික්ෂේප කල යුතුය. එසේ පුද්ගලයන් ගේ අවශ්‍යතායක් හෝ නිර්මාණය නොකර සිටීමේ වගකීම මාධ්‍ය වෙත පැවරී ඇත. තම දේශපාලන අරුචිකත්වය හේතුවෙන් ජාතික ආරක්ෂාව සම්බන්ද දත්ත අදාළ ආයතන වෙත ලබා දීම ප්‍රමාද කිරීමට ද කිසිදු පුද්ගලයකුට හැකි නොවේ. අවසානයේ, ‘මා දැන සිටියානම්, මෙවැනි පිඩාවක් වැලක්විමට තිබුණු’ බව ප්‍රකාශ කරන දේශපාලන නායකත්වයක් මහජනයා විසින් නඩත්තු කල යුතු ද?
එසේම මෙවැනි මනුෂ්‍යත්වයට එදිරි ප්‍රහාර, විනෝදයෙන් ඉවත්කර, ඩිස්නිලන්ත කතා කියන යුටෝපියානු දේශපාලනය සම්බන්දයෙන් ද මෙම ප්‍රහාර සමඟ සමාජය තීරණයක් ගත යුතුව ඇත. එසේම, බිඳ වැටුණු කොන්ක්‍රීට් නැවත ගොඩ නැගීම වෙනුවට මනුෂ්‍යත්වය නැවත ගොඩනගන නියෝජිතයන් වෙත අප අවධානය යොමුකල යුතුය. අනෙක් බරපතලම කරුණ නම්, දේශපාලන මැදිහත් වීම මත රාජ්‍ය පරිපාලනයට ක්‍රියාත්මක වීමට සිදුමය. කබීර් හසීම් අමත්‍යවරයාට අනුව, ආගමික ප්රචණ්ඩත්වය පැතිරවීම මත පෙර අත්අඩංගුවට පත් සැකකරුවෙකු පසුව නිදහස් කිරීමට ප්‍රබල දේශපාලකයකු මැදිහත් වී තිබෙන අතර, එසේ බලහත්කාරයෙන් නිදහස් කරගත්, සැකකරු පාස්කු දින සිදු වූ ප්රහාරයන් වෙත සම්බන්ද වී තිබේ” (https://www.asiatimes.com/2019/04/opinion/roots-of-the-lanka-attacks-and-a-way-forward/). මෙය තවදුරටත් නොසලකා හැරිය හැකි නොවේ. මන්දයත් රාජ්‍ය ආරක්ෂාව වෙත වූ අශ්ශීල දේශපාලනයේ බලපෑම හේතුවෙන් , කුඩා දරුවන් ඇතුළු ජිවිත 359ක් මේ වන විට වන්දි ගෙවා තිබෙන හෙයිනි.
දේශපාලන මැදිහත් වීම් යනුම ප්රජාතන්ත්රවාදයට එරෙහි වීමකි. එනම්, මහජනයාට, නිදහස ලැබීමට ඇති අවකාශය අහිමි කිරීමය. එසේම, රාජ්‍ය පරිපාලනයට රාජ්‍ය සහ පුරවැසියා වෙනුවෙන් ක්‍රියාත්මක වීමට පවතින ශක්‍යතාව නිෂ්ක්‍රිය කිරීමය. මේ අනුව පෙනී යන්නේ, රාජ්‍ය – මහජන ආරක්ෂාව ස්ථාපිත කිරීම ප්රජාතන්ත්රවාදය සමඟ බැදෙන බවත්, ප්රජාතන්ත්රවාදය බිඳ වැටෙන විට රාජ්‍ය- මහජන ආරක්ෂාව ද බිඳ වැටෙන බවත්ය.
එසේම, ආරක්ෂාව සැපයීමට පවතින ආයතන වෙත සහයෝගය දැක්වීම සහ නිරන්තර විමසිලිමත් වීම ප්‍රයෝගිකව පුරවැසියකු ලෙස සිදු කල හැකිය. උදාහරණ ලෙස, ඔබ තම රිය නවතා යන විට, සම්බන්ද විය හැකි දුරකතනයක් එහි දක්වා සිටීම වැදගත් වේ. එසේම ඔබගේ අනෙකා වෙත ආදරය දැක්වීම ද මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ. මක් නිසාද යත්, මෙම ප්‍රහාර හි මුල් බිජ වැපුරුවේ වෛරී සහ උද්වේගකර කතා මුලාශ්‍ර විසින් බව අමතක නොකල යුතු හෙයිනි. එසේම අශ්ශීල ජාතිවාදය වෙනුවට දයාබර මානව වාදය පැතුරවීම ද පුරවැසියා ලෙස සිදු කල හැකිය. එහිදී, ජාතිවාදී ප්‍රකාශන මත පුද්ගල සජිවිකරණයට නතු නොවීම කල අත්‍යවශ්‍ය වේ.
දැවී, වැගිරී යන කහපැහැති ඉටි, ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේව මැදුර තුළ දී, නැවත දල්වා එලිය දෙන ඉටිපහන් බවට පත් කරයි. එලෙසින්ම, අළුකල මනුෂ්‍යත්වය හි වේදනාව බෙදාගනිමින්, අපි නැවත කහ පැහැති ඉටි පහන් එකිනෙකා කෙරෙහි විශ්වාසයෙන් සහ ආදරයෙන් දල්වන මොහොතක් ගොඩ නගමු. එහිදී රාජ්‍ය ආරක්ෂාවද මහජන ප්රජාතන්ත්රවාදය ද සුරක්ෂිතවනු ඇත.
අරුණි සමරකෝන් | Aruni Samarakoona