හෙළ උරුමයේ බහුජන අංශයක් වන ත්‍රස්ත විරෝධි ජාතික ව්‍යාපාරය දැන් අපට කියන්නේ දෙවන ලෝක යුද සමයේ දී මෙන් දැන් කෙරෙන යුද්ධයේදීත් බජිරි කන්න කියා ය. කොළඹ එය පොස්ටර් අලවන්නේ දැන් බඩ ගැන සිතන්නේ ඇයි ද කියා ය.
පළමුවෙන් ම කිව යුත්තේ බජිරි දැන් සහල්වලට වඩා මිල බව යි. සහල් කිලෝවක් රුපියල් 50- 60 අතර වන අද බජිරි කිලෝවක මිල රුපියල් 90 -110ත් අතර වේ. එය අතුරු කතාවකි. දැන් කතාවට යමු.
හෙළ උරුමය යනු මෙම ආණ්ඩුවේ ලොකු කකුලකි. ඇත්තටම කියනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක් ප්‍රධාන පෙලේ උපදේශකවරයකු වන්නේ හෙළ උරුම නායක චම්පික රණවක මහතා ය.
ඒ ටික ලීවේ සමිකරණයේ මුල් කොටස තේරුම් ගැනීම පිණිස ය. එනම් මෙරට ජනතාවට බඩ ගැන නොහිතා ආණ්ඩුවට සහාය දෙන්නැයි කියන ව්‍යාපාරය හුදෙක් ත්‍රස්තවිරෝධී ව්‍යාපාරයේ එකක් නොව මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ම එකක් බව තේරුම්ගැනීමට ය.
මහජනයාගේ පැත්තෙන් ප්‍රශ්නය වන්නේ බඩ ගැන නොසිතා ඉන්නේ කෙසේදැයි යන්න ය.
බඩ ගැන සිතීම යනු ජීවත්වීම ගැන සිතිම ය. ජීවත්විම ගැන සිතීම යනු කෙසේ හෝ එදිනෙදාට ජීවත්වීම නොවේ. මිනිස් ජීවිතයට සරිලන මූලික පහසුකම් සහිත ජීවිතයක් ගෙවීම ය. අධ්‍යාපන, ගමනාගමන, සෞඛ්‍ය, නිවාස යනාදී අයිතීන් මෙන්ම සිවිල් සහ දේශපාලන අයිතින් ද සහිත ජිවිතයක් ගත කිරිම ය.
එක අතකින් බඩ ගැන නොසිතා ඉන්නැයි කියන ආණ්ඩුව අනෙක් අතින් කියන්නේ මානව හිමිකම් ගැන නොසිතා ඉන්නැයි කියා ය. මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය යුද්ධය සමඟ එකට යන්නේ නැති බව ආණ්ඩුවේ හැසිරීමෙන් කියා සිටින පණිවිඩය යි. එනයින් යුද්ධය වෙනුවෙන් මිනිස් ජීවිතයේ සියලුම අයිතීන් පගා දැමීමේ ඉඩ ආණ්ඩුව ඉල්ලා සිටී.
ඒ වෙන කිසිදෙයක් නිසා නොව යුද්ධය දිනන්නට ඔන්න මෙන්න කියා තිබෙන නිසා ය. කවරදාටත් වඩා එල්ටීටීඊ ය දුර්වල වී තිබේ යැයි කියන නිසා ය. කිලිනොච්චිය පෙනෙන මානයේ යැයි කියන නිසා ය.
ප්‍රථමයෙන් අප ඇසිය යුත්තේ මේ සිංදුව කීවරක් අප අසා ඇත් ද කියා ය. කලින්ම ජේ.ආර්. ජයවර්ධන 1981 දෙසැම්බරයට පෙර දෙමළ සන්නද්ධ ව්‍යාපාර විනාශ කරන බව කීවේ ය. ඉන්පසු ලලිත් ඇතුලත්මුදලි 1987 දී එවැනිම රණ ඝෝෂා නැගුවේ ය. 1991 දී ජනාධිපති ප්‍රේමදාස නැගෙනහිර අල්ලාගෙන මහා යුද්ධය දිනීම අතලඟ බව කීය. අනතුරුව ජනාධිපති කුමාරතුංග යටතේ ජෙනරල් රත්වත්තේ යුද්ධයෙන් සියයට 85ක් ම දිනා ඇති බව කීවේ ය. යාපනය අල්ලා ගැනිම සංකේතවත් කරනු පිණිස වීරාභිධාන මහෝත්සවයක් ද පැවැත්වීය.
යුද්ධය දිනීම අත ලඟ බව නොකී පාලකයෙක් පසුගිය විසිවසර තුළ මෙරට සිටියේ නැත. ඒ හැම දෙනාම ගැයූවේ අද හෙළ උරුමය ගයන යුද්ධය වෙනුවෙන් සෑම ක්ෂේත්‍රයක දී ම ඉවසා සිටින්න යන ගීතය යි.
දැන් පසුගිය විසිවසර තුළ ඉවසා ගෙන සිටියේ කව්දැයි බලමු: යුද්ධයේ නාමයෙන් පොදු සෞඛ්‍ය සේවා දුර්වල විම මහා ජනයා ඉවසා සිටිය යුතු විය. අතේ හොදහැටි මුදල් හදල් තිබෙන අයට පමණක් යා හැකි මහා පරිමාණ සුපිරි පුද්ගලික රොහල් කොපමණ ගොඩ නැගුණි ද? වැනල් වෛද්‍ය සේවාව කොතරම් පැතිර ගියේ ද?
අධ්‍යපනයයේ සිදුවූයේ කුමක් ද? අධ්‍යාපනය උදෙසා මෙරට වැය කරන අරමුදල් සාපේක්ෂකව පහළ වැටුනි. දුප්පත් පාසැල් තව තවත් දුර්වල විය. මුදල් හදල් ඇති පංතියට පමණක් යා හැකි පුද්ගලික පාසැල් කොපමණ බිහිවුනි ද? බඩ ගින්න ඉවසා දරා සිටීමට න්‍යායිකව උපදෙස් දෙන අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද ඉන් එක් පුද්ගලික පාසැල් ජාලයක හිමිකරුවකු වීම ඉතිහාසයේ සරදමකි.
ප්‍රවාහණයේද සිදු වුයේ එයම ය. පුද්ගලික වාහන පර්භෝජනය කළ හැකි පිරිස් වඩා සුඛෝපභෝගී සුපිරි වාහන අයත් කර ගත්හ. ඊට ඇති හොදම නිදසුනක් නම් හෙළ උරුම නායකයකු වන හිමි සිය පාච්ච්චිය සඳහා බෙන්ස් රථයක් ලබා ගැනිම යි. යුද්ධය නොසළකා සුඛෝපභෝගී ප්‍රවාහණ සේවාවන් ඉහළ ගියේ අතමිට සරු අයට පමණක් සැලසෙන සේවාවක් පරිද්දෙනි.
මේ සියලු කරුණු අපට පෙන්වන්නේ කුමක්ද? බඩ ගැන නොසිතා සිටීම සාමාන්‍ය මහා ජනයාට පමණක් කැරෙන දේශනාවක් බව යි.
යුද්ධයේ ගෙවුණු වසර මෙරට දේශපාලන පංතියේ සහ මහ ධනපති පංතියේ සුඛ විවරණය නෑසු විරූ පරිදි ඉහල ගියේ ය. ඔව්න්ගේ දරුවන් මෙරට ඉගෙන ගන්නේ නැත. බස් රථයක යන්නේ නැත. බෙහෙත් පෝලිමක සිට ගන්නේ නැත.
ජනාධිපති රට සවාරි යන විට කෝටි ප්‍රකෝටි ගනනින් ගෙවන්නේ බජිරි කා ඉතිරි කරන මුදල් ද? සියය ඉක්මවූ ඇමැති මංඩලයක් නඩත්තු කරන්නේ අනෙක් පාර්ශවයේ සිට පැන එන හැමට ඇමැතිකම් පිරි නැමෙන්නේ යුද්ධය වෙනුවෙන් බජීරි කෑමට සූදානම් නිසා ද? යුද්ධය වෙනුවෙන් මෙරට කිසිදු මෑත කාලීන පාලකයකු කළ පරිත්‍යාගයක් නැත. කලේ ගසා කෑම පමනි.
මේ නිසා මේ බජිරි පොස්ටර් මහා ජනයාට මේ බණ දෙසන එවුන්ගේ මුඛයෙහිම එබීම හැර කළ යුතු අන් යමක් වෙත්ද?
සුනන්ද දේශප්‍රිය