2019 අප්‍රේල් 21 පාස්කු ඉරිදා රටේ ජනාකීර්ණ පල්ලි තුනකටත්, ඉහළ පෙළේ හෝටල් තුනකටත් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවල කම්පනය තවමත් පහව ගොස් නැහැ.
මේ දක්වා එතරම් අවධානයට ලක් නොවූ මෙරට මුස්ලිම් අන්තවාදීන් කණ්ඩායමක් මෙම ප්‍රහාර සිදුකර ඇති බව මුලදී රජය ප්‍රකාශ කළා. එහෙත් අප්‍රේල් 23 වනදා වන විට ISIS ඉස්ලාමික ජාත්‍යන්තර ත්‍රස්ථ කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාර ගන්නා බව කියා සිටියා.
මේ අනුව පෙනී යන්නේ රටෙන් පිට සක්‍රීයව සිටින බිහිසුණු ISIS සංවිධානයේ අනුදැනුම හෝ මග පෙන්වීම යටතේ, දේශීය ඉස්ලාම් අන්තවාදීන් පිරිසක් මේ ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල කොට ඇති බවයි.
මේ සිදුවීම දෙස් විදෙස් මාධ්‍යයන් හරහා බෙහෙවින් වාර්තාකරණයට සහ විශ්ලේෂණයට ලක්වෙමින් තිබෙන නිසා මා ඒ ගැන මෙහිදී විග්‍රහ කරන්නේ නෑ. එහෙත් මෙම අර්බුදකාරී අවස්ථාවේ නිල තොරතුරු සන්නිවේදනය කිරීම සහ මාධ්‍ය ප්‍රතිචාර ගැන කෙටියෙන් මෙනෙහි කිරීම වැදගත්.
ආපදාවක් වේවා, ප්‍රහාරයක් වේවා, ඉක්මනින් පැතිරෙන වසංගත රෝගයක් වේවා අර්බුද අවස්ථාවක රජයේ හඬ ඉතා වැදගත්. එදිනෙදා ජීවිතයේ දී රජය ගැන තැකීමක් නොකර තමන්ගේ පාඩුවේ සිටින පුරවැසියන් පවා හදිසි අවස්ථාවක බලධාරීන් ඒ ගැන කුමක් කියන්නේද, කුමන උපදෙසක් දෙන්නේද යන්න ගැන උනන්දු වනවා.
අර්බුදයක් දිග හැරෙන කාලය තුළ රජයේ නිල තොරතුරු සහ නිල විග්‍රහය, නිරවුල් මෙන්ම සන්සුන් ලෙස සන්නිවේදනය කිරීම අත්‍යවශයි. Crisis communication ලෙස ඉංග්‍රීසියෙන් හැඳින්වෙන මෙම කාරිය, කලාවක් මෙන්ම විද්‍යාවක් ද වනවා.
අපේක්ෂිත සහ බිහිසුණු සිදුවීම්වලින් බියට හා ත්‍රාසයට පත් මහජනයා තව දුරටත් කලබල නොවන බවට වගබලා ගන්නා අතර ඔවුන් අඳුරේ නොතබා මෙතෙක් දන්නා දේ සැකෙවින් ප්‍රකාශ කිරීම සීරුවෙන් කළ යුත්තක්. එහිදී තවමත් නොදන්නා දේ නොදන්නා බවද නොවළහා කිව යුතුයි.(අපරාධ පරීක්ෂණ සිදු වන්නේ නම් එයට බාධා වන තොරතුරු නොකියා සිටිය හැකියි.)
පෙර මෙන් නොව ජංගම දුරකථන, රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා මෙන්ම ඉන්ටර්නෙට් හරහා තොරතුරු රැසක් ඉක්මනින් ගලා යන යථාර්ථය තුළ, රජයකට තව දුරටත් තොරතුරු පිළිබඳ ඒකාධිකාරයක් නැහැ. කළ හැක්කේ නිල තොරතුරු බෙදා ගැනීමයි. කිසිවක් නොකියා මුනිවත රැකීම තව දුරටත් සාර්ථක උපක්‍රමයක් නොවෙයි.
දුස්තොරතුරුවලට(disinformation) එරෙහිව ලොව පුරා විවිධ රටවල අත්දුටු ප්‍රතිකර්මයක් නම් රජය වෙනුවෙන් විශ්වසනීය චරිතයක් හරහා සත්‍ය තොරතුරු පැවසීමයි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු පැය ගණනක් ගත වන තුරු සිදු වන්නේ කුමක්ද යන්න ගැන නිල විග්‍රහයක් අප දුටුවේ නැහැ. එයට පසුබිම් වූ සාධාරණ හේතු තිබෙන්නට ඇති. සමහර විට ප්‍රහාරයෙන් පසු රාජ්‍ය තන්ත්‍රයම තුෂ්නිම්භූත වී සිටින්නට ඇති. නැතිනම් අවුරුදු නිවාඩු මානසිකත්වය තවමත් රැඳී තිබුණු නිසාත්, එදින ඉරිදා දවසක් වූ නිසාත් වෙනත් දිනවල තිබෙන සාමාන්‍ය සූදානම පවා රජයේ ආරක්ෂක හෝ තොරතුරු පිළිබඳව වග කියන ආයතනවල නොතිබුණා විය හැකියි. අපට කළ හැක්කේ අනුමාන කිරීම පමණයි.
ආරක්ෂක අමාත්‍යවරයාද ද වන ජනාධිපතිවරයා මෙම ප්‍රහාරය සිදු වන විට රටේ සිටියේ නැහැ. වැඩ බලන රාජ්‍ය නායකයෙක් හෝ වැඩ බලන ආරක්ෂක අමාත්‍යවරයෙක් පත්කොට සිටියා ද යන්නත් පැහැදිලි නැහැ.
ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසු ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේ ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා සහ ඉන් පසු අගමැතිවරයායි. මීට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මාධ්‍යවලට තොරතුරු දන්නා පමණට ලබා දුන්නා. එහෙත් එම ප්‍රකාශවල නොපැහැදිලි තැන් මෙන්ම යම් පරස්පරයන්ද තිබුණා. එම අවස්ථාවේ එය තේරුම් ගත හැකියි.
අර්බුදයකදී රජය වෙනුවෙන් මාධ්‍යවලට කතා කරන සහ ඒ හරහා මහජනයා අමතන චරිතයට රජයේ නිල ප්‍රකාශකයා(chief government spokesperson) යයි කියනවා.
මේ භාරදූර වගකීම දරන්නාට විශ්වසනීයත්වයක් හා සීරුවෙන් කතා කිරීමේ කුසලතාවයක් තිබිය යුතුයි.
නිල ප්‍රකාශකයාගේ මූලික වගකීම කරුණු සහ නිල ස්ථාවරය පැහැදිලි ලෙස ප්‍රකාශ කිරීමයි. රජයේ ප්‍රතිපත්ති සහ දේශපාලන අරමුණු ගැන හොඳ අවබෝධයක් තිබෙන අතර, නිර්දේශපාලනික මට්ටමෙන් පමණක් තමන්ගේ විග්‍රහයක් ඉදිරිපත් කිරීම නිල ප්‍රකාශකයාගේ විශ්වසනීයත්වය වැඩි කිරීමට හේතු වනවා.
මේ කාරිය රටේ ප්‍රධාන නායක දෙපළම කළ යුතු යයි නියමයක් නෑ. නමුත් කථික හැකියාව මෙන්ම මාධ්‍ය පරිචයත් හොඳහැටි තිබීම අත්යවශ්‍යයි. ශ්‍රී ලංකාවේ මෙම සාධක සපුරා ගත් ජ්යේෂ්ඨ දේශපාලන නායකයන් හෝ උසස් මට්ටමේ පරිපාලන නිලධාරීන් සිටිත්ද එසේ නම් ඒ කවුරුදැයි ටිකක් මෙනෙහි කරන්න.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා රජය වෙනුවෙන් නිල ප්‍රකාශකයා ලෙස දක්ෂ ලෙස ක්‍රියා කළ අවස්ථා මෑත ඉතිහාසයේ අපට සිහිපත් වනවා.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ධූර කාලයේ ඔහු මාධ්‍ය හරහා රටට කතා කළේ ඉඳහිටයි. ඒ වෙනුවට එයට ඉතා දක්ෂ ජේෂ්ඨ ඇමතිවරයෙක් ඔහුට සිටියා. ඒ තමයි ආනන්දතිස්ස ද අල්විස්.
මා මෙරට ටෙලිවිෂන් ජය ගත් මුල්ම දේශපාලකයා ලෙස සලකන්නේ ඔහුයි. ටෙලිවිෂන් කැමරාව දෙස බලා ගෙන, සමීප හිතවතෙකු සමඟ පිළිසඳරේ යෙදෙන ආකාරයෙන් කථා කිරීමේ හැකියාව ඔහු ඉක්මනින් ප‍්‍රගුණ කළා.
ආනන්දතිස්ස ද අල්විස්ගේ හැකියාව උරගා බැලුණු එක් අවස්ථාවක් මට හොඳට මතකයි. 1983 ජූලි ඛේදවාචකයේ අවසන් අදියර එළඹෙද්දී රටේ ජනතාව සන්සුන් කිරීමට රජය වෙනුවෙන් රට ඇමතුවේ ඔහුයි. කොළඹට කිසිදු කොටි ප‍්‍රහාරයක් එල්ල නොවූ බවත්, කොටියෙක් තියා පූස් පැටියෙක් වත් කොළඹට නොපැමිණි බවත්, කොටි ඉන්නේ දෙහිවල සත්තු වත්තේ පමණක් බවත් කියමින් එබඳු සංවේගදායක හා සංත‍්‍රාසමය මොහොතක ටෙලිවිෂන් හරහා රට වැසියන් අස්වැසීමට ඔහු උත්සාහ ගත්තා.
මුඛරි බව තිබෙන දේශපාලකයන් ඕනෑ තරම් අද සිටියත්, අර්බුද සන්නිවේදනයට සමත් සහ මහජනයා විශ්වාස කරන දේශපාලන චරිතයක් මට එක් වරම සිතා ගැනීම දුෂ්කරයි. ප්රමාද වී හෝ මෙම අඩුව පිරිමසා ගැනීමට රජය අවධානය යොමු කළ යුතුයි.
එසේම අනවශ්‍ය සන්නිවේදන වළකා ගනිමින්, අර්බුදකාරී අවස්ථාවක ජන මනස තවත් අවුල් කෙරෙන ප්‍රකාශ නොකිරීමට ද වගබලා ගත යුතුයි.
මෙවර අප දුටුවේ සමහර නාමධාරී චරිත කෙලින්ම විද්‍යුත් මාධ්‍යවලට විවිධ ප්‍රකාශ දෙමින් මෙබඳු ප්‍රහාරයක් ගැන තමන් පෞද්ගලිකව (නොනිල වශයෙන්) කල් තබා දැන සිටි බවට ඉඟි කරන සැටියි.
බුද්ධි අංශ විසින් නිකුත් කරන ලදැයි කියන ලිඛිත අනතුරු ඇඟවීමක් බවට පෙනෙන ලියවිල්ලක් පාස්කු ඉරිදා උදේ ප්‍රහාරවලින් පැයකට පමණ පසුව සමාජ මාධ්‍ය තුළ බෙදා ගැනීම සීග්‍රයෙන් සිදු වුණා. අපේ මුල් හැගීම වූයේ එය ව්‍යාජ ලියවිල්ලක් බවයි.
මේ නිසා එය වැඩිදුර බෙදා ගැනීම කරන්නට පෙර තහවුරු කර ගන්න යයි ඉල්ලීමක් ද සමාජ මාධ්‍ය තුළින් ම මතු වුණා.(දින තුනකට පසුව අපට සිතෙන්නේ එම අනතුරු ඇඟවීම සැබෑ ලියවිල්ලක් විය හැකි බවයි.)
නමුත් එසේ සමාජ මාධ්‍ය හරහා එය බෙදා ගත හැකි වූයේ ටික වෙලාවයි. ඉරිදා උදෑසන බෝම්බ පිපිරීම්වලින් පැය තුනක් ඇතුළත ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය සහ චැට් වේදිකා කිහිපයක් අවහිර කිරීමට රජය ක්‍රියාකළා (Facebook, Instagram, WhatsApp, YouTube).
2018 මාර්තුවේ දින අටක් පුරා ප්‍රධාන සමාජ මාධ්‍ය කිහිපයක් අවහිර කෙරුණේ වෛරී කථනය ඒ හරහා ගලා ගිය බව කියමින්. මෙවර මෙසේ කිරීමට හේතුව ලෙස ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් පසුව දුස්තොරතුරු පැතිර යාම අවම කිරීමට බවයි.
මෙහි යම් තරමක ඇත්තක්ද තිබෙනවා. අනපේක්ෂිත ප්‍රහාරය නිසා ලක් සමාජය අන්දුන් කුන්දුන් වී ගියා. මතු වූ අවිනිශ්චිත වාතාවරණයේ කටකථා, බොරු කතා සහ වෙනත් අන්දමේ දුස්තොරතුරු සංසරණය වීමට පටන් ගත්තා. මේවා කටින් කට හා ජංගම දුරකථන හරහා මෙන්ම Facebook, WhatsApp වැනි වෙබ් වේදිකා හරහාත් ගලා ගියා.
ප්‍රහාරකයන්ගේ අනන්‍යතාවය ගැන විවිධාකාරයේ අනුමානයන් සහ දෝෂාරෝපණය පැතිරීම හරහා ප්‍රචණ්ඩත්වයක් මතු විය හැකිව තිබුණා. එම නිසා මුල් පැය විසි හතරේ එවැනි තාවකාලික අවහිර කිරීමක් සාධාරණ යයි අපට පිළිගත හැකියි.
මුල් පැය 24 තුළ නැගුණු විවිධ චෝදනා බොහොමයක් ආවේග මත පදනම් වූවා මිස සාක්ෂි මත ගොඩ නැගුණු ඒවා නොවෙයි. මේ නිසා එම කාලයේ වැඩිපුරම භාවිත වන සමාජ මාධ්‍ය අවහිර කිරීම යම් තරමකට තත්ත්වය සමනය කරන්නට උපකාර වූවා යයි කිව හැකියි.
එහෙත් ටිකෙන් ටික අපරාධ විමර්ශන තොරතුරු මතුව එද්දී සමාජ මාධ්‍ය තවදුරටත් අවහිර කර තැබීම අවශ්‍යද? ඇතැමෙක් තර්ක කළේ ඛේදවාචකයෙන් මිය ගිය අයගේ අවමඟුල් අවසන් වනතුරු එසේ කිරීම ප්‍රවේශම්කාරී පියවරක් කියායි.
2018 මාර්තුවේ දී මෙන්ම මෙවර ද සමාජ මාධ්‍ය අවහිරයට පදනම් වූ නිශ්චිත සාක්ෂි සහ තීරණ ගැනීමේ ක්‍රමවේදය රජය හෙළිකොට නැහැ.
නිසි අවස්ථාවට ආරක්ෂිත පියවර ගැනීමට රජය අපොහොසත් වීම ගැන පුරවැසියන්ගෙන් මතුවන දැඩි විවේචන පැතිරයාම වැළැක්වීම සඳහා ප්‍රධාන පෙළේ සමාජ මාධ්‍ය අවහිර කරන ලද්දේ ද යන්න 2018 මාර්තුවේ මෙන්ම මෙවරද අපට තිබෙන ප්‍රශ්ණයක්.
යම් සාධාරණ හේතු මත හැකි තාක් කෙටි කාලයක් සඳහා සමාජ මාධ්‍ය හෝ සමස්ත ඉන්ටනෙට් පහසුකම් අත්හිටුවීම ගැන ක්‍රමවේදයක් ඉන්දියාවේ 2017 පටන් ගැසට් කොට තිබෙනවා.
අපේ රටේ එබන්දක් නැහැ. ඉන්ටනෙට් වාරණයට කිසිම නීතිමය හෝ නියාමන රාමුවක් නැති නිසා එය සිදු කැරෙන්නේ විධායකයේ අභිමතයට අනුවයි. අධිකරණ අධීක්ෂණයට යටත් වන්නේ ද නැහැ. පාර්ලිමේන්තු අනුමැතිය අවශ්‍ය ද නැහැ.
2018 මාර්තුවේ සමාජ මාධ්‍ය අවහිර කිරීම අසාර්ථක වූ බව සාක්ෂි සහිතව පසුව පෙන්වා දෙනු ලැබුවා. මුල දෙදින තුළ වෛරීය කථනය සඳහා යොදා ගන්නා ෆේස්බුක් පිටුවල ක්‍රියාකාරීත්වය යම් පමණකට අඩු වුවද proxy උපක්‍රම හරහා මිලියනයකට වැඩි පිරිසක් ගියවර අවහිරය පවතින කාලයේම ෆේස්බුක් පරිශීලනය කළා.(ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ නිල ෆේස්බුක් ගිණුම් ද අවහිරය පවතින කාලයේදී යාවත්කාලීන කොට තිබුණා!).
බහුවිධ සන්නිවේදන තාක්ෂණ සහ තොරතුරු වේදිකා හමුවේ රජයකට දැක්විය හැකි හොඳම ප්‍රතිචාරය නම් නිරවුල් හා විශ්වසනීය ලෙස නිතිපතා නිල තොරතුරු සහ නිල ස්ථාවරය මාධ්‍යවලට ප්‍රකාශ කිරීමයි. ඒ හරහා රටටත් ලෝකයටත් අලුත්ම තත්වය පිළිබඳව කීමයි. එමෙන්ම තවම නොදන්නා දේ නොදන්නා බව නිහතමානීව පිළිගැනීමයි.
නමුත් මේ සියල්ල කිරීමට නම් සාමූහික වගකීමෙන් සහ එක්සත්ව ආණ්ඩුකරණයේ යෙදෙන හරිහමන් රජයක් තිබිය යුතුයි. අපේ රටේ දින 51 දේශපාලන අර්බුදයෙන් පසුව පවතින්නේ ජනපතිවරයා සහ අගමැතිවරයා අතර නොවිසඳුණු විරසකය නිසා මතුවුණු අතිශයින් කනගාටුදායක තත්ත්වයක්.
විදෙස් බුද්ධි අංශ ලබාදුන් නිශ්චිත අනතුරු ඇඟවීම ගැන තමා හෝ කැබිනට් මණ්ඩලය දැන සිටියේ නැති බව අගමැතිවරයා මුලින් ප්‍රකාශ කළා. දින තුනකට පසු ටෙලිවිෂනයේ රටට කතා කරමින් ජනාධිපතිවරයා කීවේ එබන්දක් ගැන තමා ද දැනුවත් නොවූ බවයි.
මෙය ඉතා ඛේදජනක තත්ත්වයක්. එම අනතුරු ඇඟවීම දේශපාලන අධිකාරියට ලබා නොදුන්නේ ඇයි? එහි වගකීම පැවරෙන්නේ කාටද? ආරක්ෂක ඇමති, සේනාධිනායක හා වර්තමානයේ පොලිසිය ද භාරව සිටින ජනපතිවරයා මේ ගැන නොදැන සිටියේ කෙසේද? ජාතික ආරක්ෂක මණ්ඩලය මෙබඳු බැරෑරුම් තත්වයන් ගැන නිසි තක්සේරුවක් නොකළේ ඇයි?
පාස්කු ඉරිදා ත්‍රස්ථ ප්‍රහාරවලින් අහිමි වූ සිය ගණනක් ජීවිත බේරා ගත හැකිව තිබුණාද? එසේ නොකිරීමේ නීතිමය සහ සදාචාරමය වගකීම බාර ගන්නේ කවුද?
එළඹෙන සති මාසවල අප යළි යළිත් මෙම ප්‍රශ්න අපේ ‘ජනතා සේවකයන්ගෙන්’ තරයේම ඇසිය යුතුයි.
නාලක ගුණවර්ධන | Nalaka Gunawardene
(මෙම ලිපියේ මුල් සංස්කරණයක් ලේඛකයා සතිපතා රාවය පුවත්පතට ලියන ‘සිවුමංසල කොලුගැටයා’ තීරු ලිපිය යටතේ 2019 අප්‍රේල් 28 කලාපයේ පල විය.)