iMAGE: GETTY IMAGES

ෆිනික්ස් පක්ෂියා මහා ගිනිජාලාවක දැවී අළු වී ගොස් ය. සමස්ත ම සමාජය නිද්‍රාවක ගැලී අකර්මන්‍යය වූවා සේ ය.එහෙත් ග්‍රීක පුරාවෘත්තයට අනුව ෆිනික්ස් පක්ෂියා දැවී අළු වී ගිය පසුත් එම අළු මතින් නැගී සිට යළි ජීවය ලබයි; සියලු අභියෝගයන් ට එරෙහිව නැගී සිටියි; පෙර නො වූ විරූ අයුරින් ශක්තිවන්තභාවයක් ආරූඩ කරගනියි. ෆිනික්ස් පක්ෂියා සංකේතවත් කරන්නේ අළු මතින් නැගී සිටින නව ඉපදීමයි; විපරිවර්තනයයි. නැවත ජීවය ලැබූ ෆිනික්ස් පක්ෂියා යනු විනාශ වූ යමකින් නිර්මාණය වූ නව්‍ය වස්තුවකි.

ජීවිත කාලය තුළ අප අත්විඳි ලේ වැගිරුණු විනාශයන් බොහෝ ය. තවදුරටත් දරාගත නො හැකි තරම් ය. සමස්ත ජන සමාජයේ මතකය තුළ මෙම වේදනාව ඝනීභූත වනු ඇත. සාහාසික ලෙස ඝාතනය වූ සියල්ලන්ගේ මරණීය වේදනාව අප ගේ හෘද සාක්ෂිය තුළ සදාකල් තැන්පත් වනු ඇත.

කෙසේ වෙතත් ඉක්මණින් ම හෝ කාලයක් ගත වූ පසු හෝ අප සියල්ලන් ම අළු මතින් නැගී සිටීය යුතු ය. මෙම අළු මතින් නැගී සිටී ම මානුෂික මෙන් ම දේශපාලනික ය. ඇත්තෙන් ම එය මානුෂික කාරණයකට වඩා දේශපාලනික කාරණයකි. අනාගතයේ අප ගමන් කිරීමට තීරණය කරන මාවත ජාතිවාදී දෘෂ්ටිවාද වලින් මංසලකුණු වූ මාවතක් නම් එම දුර්දාන්ත ගමන දේශපාලනිකව පරාජය කළ යුතු ය. මේ සිදුවන සියල්ල දේශපාලනිකව තේරුම් ගැනීමට උත්සාහ කරන්නේ නම් අපට බොහෝ ප්‍රශ්න ඇසීමට සිදුවනු ඇත. එම ප්‍රශ්න සමහරවිට අපව අපහසුවට පත් කරනු ඇත; නැත්නම් කෝප ගන්වනු ඇත.

මේ ප්‍රචණ්ඩත්වයේ මූලයන් සලකුණු වන්නේ කුමන ඓතිහාසික සංසිද්ධීන් මත ද? අප ඉතා පහසුවෙන් නාමකරණය කරන ත්‍රස්තවාදය, ජාතිවාදය, අහේතුක ඉස්ලාමීය භීතිකාව, ආගමික අන්තවාදය ආදී යෙදුම් වල අර්ථය සහ ඒවා යොදාගන්නා සන්දර්භයන් කවරේ ද? ප්‍රචණ්ඩත්වයට මුහුණ දීම සඳහා ප්‍රචණ්ඩත්වය ම මුදා හැරීමේ අවදානම සහ චක්‍රීය ප්‍රචණ්ඩත්වයකට යොමුවීමේ උගුලෙන් ගැලවීමට අප සූදානම් ද? මුස්ලිම් සමාජයේ සංකීර්ණතා සහ ඉස්ලාමීය දහම අදහන්නන් අතර ඇති වර්ගීකරණයන් සහ විසංවාදයන් ගැන අපට අදහසක් හෝ සංවේදී බවක් තිබේ ද? බහුවිධ ජාතීන් සහ ආගමික ප්‍රජාවන්ට කළ හැක්කේ කුමක් ද? මෙම අර්බුදයේ භූ-දේශපාලනික යථාර්ථයන් සහ තීරක අප අවබෝධ කරගන්නේ කෙසේ ද? මෙම යථාර්ථයන් රාඡ්‍යයේ අසමත්කම වසාගැනීම සඳහා ඉතා සූක්ෂම ලෙස පාවිච්චි වන්නේ ද? ප්‍රචණ්ඩත්වය මුලිනුපුටා දැමීමේ අදහසින් වැලැක්විය නො හැකි අන්දමින් නිර්මාණය විය හැකි සර්වාධිකාරී රාඡ්‍යයක් තුළ දේශපාලන තන්ත්‍රය සහ ආගමික නායකත්වය විසින් විවිධ ජාතීන් මෙන් ම ආගමික ප්‍රජාවන් අතර පවතින සහයෝගය හෝ බෙදීම් පාවිච්චි කරන ආකාරය කුමන ආකාර විය හැකි ද? මෙම දේශපාලන තන්ත්‍රය සහ ආගමික නායකත්වය අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ ජාතීන් අතර ඇති සහයෝගිතාවන් වලට වඩා බෙදීම් කෙරෙහි ද? අවසානයේ දී, සමස්ත ජන සමාජයක් ලෙස මෙම අර්බුදය විසඳාගැනීමට සහ සාමය ස්ථාපිත කරගැනීම සඳහා ශක්‍යතාවක් හෝ නිර්මාණාත්මක පරිකල්පනයක් අප සතුව තිබේ ද?

මෙම ප්‍රශ්න වැල අසම්පූර්ණ ය. මෙම ප්‍රශ්න ඇසීමට අප සමහරෙකු සූදානම් නොමැති වන්නට ද පුඑවන. එහෙත් අපට අළු මතින් නැගී සිටීමට අවශ්‍ය නම් අප මෙම ප්‍රශ්න සහ තවත් බොහෝ ප්‍රශ්න ඇසිය යුතුම ය.

අනිවාර්යෙන් ම ඇසිය යුතු මෙම ප්‍රශ්න අප ගෙන යන්නේ ජාතිවාදය මෙන් ම විවිධ ආගමික මූලයන්ගෙන් පැනනගින ආගමික අන්තවාදයන්ට අභියෝග කරන, සර්වාධිකාරී දේශපාලන දෘෂ්ටිවාදයන් පරාජය කරන සහ සමාජ සහයෝගිතාව ස්ථාපිත කිරීමට යොමු වූ දේශපාලනික සහ මානුෂික කතිකාවක් වෙත යි.

මෙම කෙටි වියමන රුමී ගේ කවි පැදියකින් අවසන් කරමි.

අප අද ජීවත්වන නවීන සමාජයටත් ගැලපෙන පරිදි ඉතා සංවේදී කාව්‍යකරණයක යෙදුනු රුමී දහතුන් සියවසේ ජීවත් වූ පර්සියානු ජාතික සුප්‍රසිද්ධ කවියෙකි. විලියම් ෂේක්ස්පියර්ට පසු ලෝකයේ වඩාත් ම ජනකාන්ත කිවියා ලෙස සැලකෙන්නේ මව්ලානා ජලාල් අල්-ඩින් බෝල්ක්හි රුමී ය. ඔහු ගේ කවි පොත් අලෙවිය දෙවැනි වන්නේ ක්‍රිස්තියානි බයිබලයේ අලෙවියට පමණක් බව පැවසේ.

ඔහු ගේ මරණයෙන් පසු ඔහු ගේ අනුගාමිකයන් වර්ලින් ඩවිෂස් නමින් හඳුන්වන සුෆි ආගමික නිකායක් පිහිටුවන ලදි. ඔවුන් විසින් හඳුන්වාදෙන වර්ලින් නම් නර්තන විශේෂාංගය රඟ දැක්වීමට නොව අධ්‍යාත්මික ප්‍රබුද්ධත්වය අරමුණු කරගත්තක් ලෙස සැලකේ. එය ආගමික ප්‍රහර්ෂය හෙවක් පරමප්‍රමෝදය හෞතික වශයෙන් සාක්ෂාත් කරගැනිමේ මගකි. වර්තමාන අර්ථයෙන් ඔවුන්ව සැලකෙන්නේ ඉස්ලාමීය සම්ප්‍රදායේ මුනිවර ගුණයෙන් යුතු සුෆිවාදයේ තථ්‍ය නියෝජිතයන් ලෙස ය.

රුමී ගේ හඬ ප්‍රේමයෙන්, ඒකත්වයෙන් සහ උත්ප්‍රේක්ෂාවෙන් පිරුණු හඬකි. පහත සඳහන් වන්නේ ඔහු ගේ එක් කවියක හමුවෙන පද පේළියකි.

“මම යුදෙව්වෙක් නොවෙමි; මම මුස්ලිමානුවෙක් නොවෙමි; මම ක්‍රිස්තියානුවෙක් නොවෙමි; මම මෙයත් නොවෙමි; මම එයත් නොවෙමි; මම සියල්ලෝ ම වෙමි”

උපාලි අමරසිංහ | Upali Amarasinghe