මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..
ලාංකීය සමාජයේ බොහෝ දෙනා වසර 14ක් තිස්සේ අමතක කර දමා ඇති එක් ‘මිනිසෙක්’ ගේ යුක්තිය පිළිබද ප්‍රශ්ණය සේම, අප්‍රේල් 21 මහා විනාශය, ඛේදවාචකය ද අමතක කර, එවන් තත්ත්වයක් යළි ඇති නොවීමට ‘පස’ සකස් නොකර, යහපත් ලංකාවක් ගොඩ නැගිය හැකි යැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය සිහිනයක්ම වන්නේය.
##
[RP] ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 14ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් තිබිණි. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර අධිආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.
1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.
මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?
ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමට ගන්නා කිසිදු උත්සහයක් දක්නට නැත. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් බරපතල දෙයක් සිදුවීමක්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අය විසින්ම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරුට මතක් වේ.
කෙසේ නමුත් ධර්මර්ත්නම් සිවරාම් නම් ප්‍රවීන දේශපාලන විචාරකයා, ජනමාධ්‍යවේදියා ඝාතනය කර වසර 14ක් නික්ම යමින් තිබේ. නමුත් මේවන විටවත් සිවරාම් ඝාතනය කළ ඝාතකයින් හරිහැටි හඳුනාගන්නට බලධාරීන්ට නොහැකි වී ඇත. මෙවන් ඝාතනයන් සිදු වී වසර 14ක් ගතවූවත් එයට අදාල ඝාතකයින් සොයාගැනීමට බැරි රටක කෙසේ නම් යහපාලනයක් ගොඩනගන්නට හැකි වෙයිද?
යහපාලනය තුළ…
දැන් ඇත්තේ අධිපතිවාදී රාජපක්ෂ පාලනය පෙරළා දමා ‘යහපාලනයක්’, ‘නිදහසක්’ ගෙන එන බවට සපත කරමින් පැමිණි සිරිසේන-වික්‍රමසිංහ ආණ්ඩුවකි. පසුගිය 2015 ජනවාරි 8වෙනිදාට පෙර ලංකාව තුළ සිවරාම් වැනි ඝාතනය කළ මාධ්‍යවේදීන්ගේ, ඝාතනයන්ට වගකිවයුතු ඝාතකයින් පිළිබදව කඩිනම් පරීක්ෂණයන් පවත්වා එම ඝාතකයන් නීතිය හමුවට පමුණුවන බව වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සෑම තැනකම කියා සිටියේ ය. නමුත් දැන් දින 100ක් ද, වසර3ක්ද ඉක්ම ගොසිනි. නමුත් සිවරාම් ගේ ඝාතනයකට වගකිවයුතු පුද්ගලයන් නීතිය හමුවට පැමිණවීමට ගන්නා කිසිදු උත්සහයක් පෙනෙන්නට නැත. එවැනි උත්සහයක සේයාවක්වත් නැත.
නමුත් පසුගිය කාලයේ ජනමාධ්‍ය ඇමතිවරයා පවසා සිටියේ ‘සිය ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව සිටින මාධ්‍යවේදීන්ට නැවත තම රටට පැමිණීමට ආරාධනා කරන බවයි‘ නමුත් මේ සම්බන්ධයෙන්, ජීවිතාරක්ෂාව පතා රටින් පිට පිටුවහලේ ජීවත් වන ඇතැම් මාධ්‍යෙව්දීන්, ක්‍රියාකාරීන් පවසා සිටියේ ‘ලංකාව තුළ ආරක්ෂාව පිළිබදව ක්‍රියාවෙන් තහවරු කරන තෙක් අපිට කිසිදු විශ්වාසයක් නැති බවයි.‘ සිවරාම් මරා දමා වසර 1ක් ගෙවෙන මේ මොහොතේ ද එය සත්‍යයක් බව තහවරු වෙමින් තිබේ.
අතුරුදන් කළ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සහ ඝාතනය කළ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග පිළිබදව කිසියම් හෝ පරීක්ෂණයක් සිදුකෙරෙමින් තිබුණ ද අනෙකුත් ඝාතනය කල, අතුරුදන්කළ හෝ පහර කෑමට ලක්වූ කිසිදු මාධ්‍යවේදියෙකුට මේ දක්වා ලංකාව තුළ යුක්තිය ඉටු කිරීමේ පිළිගතහැකි, උනන්දුමය ක්‍රියාවලියක් දක්නට නැති සේයකි. විශේෂයෙන් මර්දනයට ලක්වූ දෙමළ භාෂිත මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් කිසිදු නීතිමය මැදිහත්වීමක් තවමත් දක්නට නැත.
මෙවැනි තත්ත්වයක් තුළ ‘යහපාලනය‘ යතාර්ථයක් කර ගත හැකි වන්නේ නැති බව අමුතුවෙන් ලියා තැබිය යුතු නොවේ!
සම්පත් සමරකෝන් | Sampath Samarakoon