පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් – සුනන්ද දේශප්‍රිය
තොවිලය අවසන් ය. අමාත්‍ය විමල් වීරවංශ මහතා පැය 60ක මරාගෙන මැරෙන
(උපවාස) ප්‍රහාරයකින් පසු රාත්‍රී භෝජනය පිණිස ගිලන් රථයකින් යුද හමුදා
රෝහලට සැපත් විය. මාරාගෙන මැරෙන උපවාසයෙන් සිදුවන්නට නියමිත
තමාගේ මරණයට වගකිව යුත්තේ කව්රුන්ද යන්න පවා ඔහු රූපවාහිනී
නාලිකාවන්ට දුන් අවසාන කැමැති පත්‍රයෙහි සදහන් කලේ ය. එය අපූරු
අවසාන කැමැති පත්රයකි. එහි සදහන් වුයේ “මාගේ මරණයට වගකිව යුත්තේ
ජනාධිපතිවරයා නොව එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ය” කියා ය. එහි
අපූරුව නම් එයට ජනාධිපතිවරයා ඈදා තිබීම යි. වීරවංශ මහතාගේ ස්වාධීන
තිරණයක් මත ආරම්භ කළ බව කී මෙම මරාගෙන මැරෙන උපවාසයට
ජනාධිපතිවරයා වග නොකිය යුතු බව ලොවට කීමට කීමට වීරවංශ මහතා
තීරණය කළේ ඇයි? එය ව්‍යංගයෙන් “ජනාධිපතිවරයා වගකිය යුතුයි නමුත් මා
වගකීම ගන්නවා ” යැයි කියනවා වැනි ය. කෙසේ වෙතත් අන්තිමේ දී
ජනාධිපතිවරයා වගකීම බාර ගත්තේ ය. ජනාධිපතිවරයාට වුව සිය උපවාසය
නතර කිරීමට ඉඩ නොදෙන බවට දෙතුන් පැයකට පෙර ප්‍රසිද්ධ කළ සිය උදාන
වාක්‍යය පසෙක ලා එතුමාණන් දුන් වතුර විදුරුව පානය කළ වීරවංශ මහතා සිය
මරාගෙන මැරෙන ප්‍රහාරය අවසන් කළෝ ය. බැං කී මූන්ගේ කමිටුව හෝ වීරවංශ
හෝ මිය ගියේ නැත.
වීරවංශගේ උද්ඝෝෂනය සහ ක්‍රියාව රාජපක්ෂවාදීන්ගේ පවා විවේචනයට ලක්
විය. ජිනීවා හි හිටපු ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක කීවේ එ.ජා.
මහලේකම්ගේ විශේෂඥ කමිටුව ශ්‍රී ලංකාවේ සෛවරීභාවය කෙළෙසීමක් නොවන
බවත් මෙවැනි උද්ඝෝෂණ වලින් ශ්‍රී ලංකාවට සුගතියක් අත් නොවන බවත් ය.
ගලවා ගැනීමේ මෙහෙවරට ගිය ජනාධිපතිවරයා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ
ප්‍රධානීහු වීරවංශට සෙත් පැතීමට ගියේ නැත. අමාත්‍යවරයකු සහ
ජනාධිපතිවරයාගේ ‛‛ලොකු පුතා” ලෙස හඳුන්වනු ලබන වීරවංශගේ කලහකාරී
උද්ඝෝෂනය විසින් අපහසුතාවයට පත් වූයේ බෑං කී මූන් නොව රාජපක්ෂ ය.
මෙම උද්ඝෝෂණය නිසා බැං කී මූන් ගේ ශ්‍රී ලංකාව සම්බන්ධ ස්ථාවරය නිවැරදි
යැයි කල්පනා කරන රටවල් ප්‍රමාණය වැඩි විය. එ.ජා. සංවිධානයට විරුද්ධ මෙම
කළහකාරී උද්ඝෝෂනය වාර්තා කළ සියලුම අන්තර් ජාතික ජනමාධ්‍ය වීරවංශගේ
සටන දුටුවේ සීමාව ඉක්මවූ ආණ්ඩුවේ අනුබලය ලබන දේශපාලන වාසි තකා
කැරෙන පටු ව්‍යාපෘතියක් ලෙස ය. රාජ්‍ය තාන්ත්‍රික ප්‍රශ්ණ මහ පාරේ විසඳීමට
ගිය වීරවංශ සටන එහෙම පිටින්ම පරාජය විය. පළමු පණිවිඩය එයයි.
වීරවංශ උපවාසය ශ්‍රී ලංකාවේ ජනයා රැවටීමට නැටූ තොවිලයක් බව දවස්
දෙකකින් පසු මරාගෙන මැරෙන සටන අවසන් වීම විසින් පෙන්නුම් කළේ ය.
උණ හැදුන මිනිස්සුත් ඔයිට වඩා දවස් නොකා ඉන්නා බව වීරවංශ ගැන හොදින්
දන්නා ජවිපෙ පා.ම. විජිත හේරත් කීවේ ය. එක් නාහෙට නාහන අන්තර් ජාල
දිනපොත්කරුවකු උපවාස ජායාරූපයක වීරවංශ ගේ හිස අසළ තිබූ ලෙමන් පප්
පැකට්ටුව රතු රවුමකින් වටකර ලෙමන් පප් මෑන් යයි නමක් දුන්නේ ය. තවක්
එවැනි නිර්මාණාත්මක බොලග්කරුවකු බැනරයේ අහොසි වචනයේ “අහෝ”
යන්න පමණක් පෙනෙනෙ සේ සෑදූ වීරවංශ උපවාස ජායාරූපයක් අන්තර්
ජාලයට එක් කළේ ය. විසංවාදී සිංහල වෙබ් දිනපොත්කරුවන් වීරවංශ උපවාසය
තලු මරමින් බයිට් කළහ. සන්ඩේ ලීඩර් කර්තෘ පෙඩරිකා ජෑන්ස් මරාගෙන
(නො)මැරෙන ප්‍රහාරයට පසු වීරවංශ හැදින්වුයේ මහා රුවටිලිකාරයා ලෙස ය. යුද
හමුදා පොලීසියේ මූලාශ්‍ර උපුටා දක්වමින් ලංකා නිවිස් වෙබ් අඩවිය කීයේ වීරවංශ
මාරක උපවාසය අතරතුර සුළු ආහාර ගෙන ඇති බව ය.
නොකා නොබී උපවාසයකින් ඉක්මනින් මිය යාමට නම් හොඳ ශරීර සෞඛ්‍යයෙන්
යුතු මානවයකු ජලය සහ ලුනු පානය නතර කළ යුතු ය. 1973 දී පමණ කොළඹ
මැගසින් බන්ධනාගාරයට පත්ව ආ නපුරු පාලකයකුට එරෙහිව විජේවීර ද
ඇතුලුව අප දෙදහසක් පමණ උපවාසයක යෙදුනෙමු. ඉතිරි වූ තිබූ පාන් කුඩු කර
තේ හැන්දක් පමණ දවසකට කමින් ලුනු මිශ්‍ර ජලය පානය කළ අපි බොහෝ
දෙනෙකු දවස් හයක් ම අසාධ්‍ය තත්ත්වයකට ලඟා නොවී දවසැරියෙමු. ජීවිත
පූජාව මගින් ඇමෙරිකානු අධිරාජ්‍යවාදී ආක්‍රමණයට විරෝධය දැක් වූ
වියට්නාමයේ ක්වාන් ඩක් හිමි කළේ සිය සිරුරට ගිනි තබා ගැනීම ය. ඉන්දීය
හමුදාවට එරෙහිව සිය ජීවිතය පූජා කළ යාපනයේ තීලීපන් කලේ දින 10කට පසු
උපවාසය තීරණාත්මක අවස්ථාවෙහි ජලය පානය කිරීම නතර කිරීම ය.
උපවාසයට දින11ක් පිරුණු 1987 සැප්තැම්බර් 26 දා ඔහු මිය ගියේ ය.
සීනි සහිත ලෙමන් පප් කමින් ජලය පානය කරන්නේ නම් දෙතුන් සතියකට වඩා
ලෙහෙසියෙන් ම මරාගෙන නොමැරෙන ප්රහාරයක යෙදිය හැකි ය. වීරවංශ මහතා
ඇත්ත වශයෙන්ම නම් යෙදුනේ මරාගෙන මැරෙන ප්රහාරයක නොවේ.
දේශපාලන ප්රහාරයක ය. මරාගෙන (නො)මැරෙන උපවාස කතාව වීරවංශ මහතා
හැඩකාර පෙනීම පිනිස හමීඩියා සාප්පුවෙන් මිලට ගන්නා වටිනා කමීස සහ හිස
ගල්වන ජෙල් මෙන් තවත් කැපී පෙනීමේ විෂුවල් එකක් පමණක් බවට පත් විය.
නමුත් එහි සංකේතාත්මක දේශපාලන අරුත ඊට වඩා දුර දිග යයි. දෙවන
පණිවිඩය එය යි.
ජනාධිපති රාජපක්ෂ සිය මරණයට වගකිය යුතු නැතැයි වීරවංශ මහතා කී නමුත්
ඔහුගේ උද්ඝෝෂනයට ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සහයෝගය
ලැබූණි. උද්ඝෝෂණකරුවන් පාලනය කිරීමට උත්සාහ කළ ඉහළ පොලිස්
නිලධාරීන්ට බැණ වැදී ඔවුන් එතැනට එවන ලද පොලිස්පතිවරයා ඉවත් කරන
බවට ආරක්ෂ ලේකම් කල තර්ජනය අඩංගු ලංකා ටෘත් වෙබ් අඩවිය ප්‍රසිද්ධ කළ
හඩ පටිය ව්‍යාජයකැයි ආණ්ඩුව කීවේ නැත. වක්‍ර ලෙස එම හඬ පටය පිළිගැනීම
මඟින් ආණ්ඩුව පොලීසියට දුන් සංකේතාත්මක පණිවිඩය ඉතා පැහැදිළි ය. එනම්
වීරවංශ යනාදීන් විසින් සංවිධානය කරන මේ අන්දමේ කිසිදු උද්ඝෝෂනයට
පොලීසිය විරුද්ධ නොවිය යුතු බව යි. නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයකුට පවා
ඇගිලි උලූක්කු කර තර්ජනය කිරීමේ බලයක් මේ වීරවංශවාදී උද්ඝෝෂකන්යිනට
තිබුණි. පොලීසිය නැට්ට හකුලාගෙන පසු බැස ගියේ ය.
එපමණක් නොවේ. කළක් ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය වෙනුවෙන් පෙනී සිටි
අධිකාරයක් වූ අමාත්‍ය නීති මහාචාර්ය ජී.එල්. පීරිස් කියා සිටියේ වීරවංශ
මහතාගේ උද්ඝෝෂනය ශ්‍රී ලංකාවේ ප්රජානත්ත්රවාදයට අනුකූල බැවින් එය
වැළැක්වීමට නීතියෙන් ඉඩක් නැති බව යි. අධි ආරක්ෂිත කලාපයක එක්සත්
ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට වේදිකාවක් ඉදි කිරීම සහ
එ.ජා. මහ ලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත්කළ උපදේශක කමිටුව
ඉවත් කරගන්නා තුරු කිසිවකුට එ.ජා. කාර්යාලයෙන් පිට වීමට නොදෙන බව
කියා සිටීම සහ එම කාර්යාලය ඉදිරිපිට තොවිලයක් නැටවීම මහාචාර්ය පීරිස්ට
අනුව නීතියට අනුකූළ ය.
නිරායුධව පා ගමනේ යෙදෙනෙ සරසවි සිසුන්ට එළව එළවා පොලීසිය පහර
දෙන විට, සාමකාමී උපවාසයේ යෙදෙන භික්ෂුන් පොලීසිය පැමිණ බලයෙන්
පැහැරගෙන යන විට, ජෙනරල් සරත් පොන්සේකා නිදහස් කරන සේ ඉල්ලා
උද්ඝෝෂනයේ යෙදෙන පිරිස් වලට ඇමැති – මැරවර පිරිස් ලවා පහර දෙන විට
ජී.එල්. පීරිස් මහතාගේ ප්රජාතන්ත්රවාදී ක්‍රමය තිබුණේ නැති බව අපි හැම දනිමු.
තොවිලයක් නොවේ. රාජපක්ෂ පාලනයේ බලවතකුගේ කවර හෝ
දෙපාර්ථමේන්තුවක් ඉදිරිපිට දුම්මල පාරක් අල්ලා එක නැට්ටේ දෙහි ගෙඩි තුනක්
කැපීමටවත් ඉඩක් දෙනු ඇත් ද? වීරවංශ තොවිලයේ එක් පණිවිඩයක් එයයි. එනම්
ආණ්ඩුවේ බලවතුන්ට එක් රටේ ඕනෑම තැනක ඕනෑම තොවිලයක් නැටීමට ඉඩ
තිබෙන බව යි.
තොවිලයෙන් පටන් ගෙන නටපු නැටුමකුත් නැති බේරේ පලුවකුත් නැතිව මළ
ජූලියක් සේ කෙළවර වුණ වීරවංශ නාඩගම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ
ලේකම් බිය වැද්දවීමට ලියූ තිර රචනයක් නොවේ. එය තනිකරම දේශීය
දේශපාලන වාසි තකා කරන ලද ඇන්දවීමකි. මන්ද යත් මෙවැනි නැටුමක් නටා
අන්තර් ජාතික රාජ්‍ය තාන්ත්‍රික ජයග්රහණයන් දිනා ගැනීමට නොහැකි නිසා ය.
එබැවින් දැන් දහ අට සන්නියට උපවාස සන්නිය නමින් හිනා කන අඩව්වක් එක්
කළ හැකි ය.
අවාඩා වේවා…