බෞද්ධ දර්ශනයේ දී පැහැදිලිව පෙන්වා දුන් නමුත්, ජිවිතයේ පළමු වරට, මා, සත්‍ය ගවේෂණයේ පවතින දුෂ්කරතාව අවබෝධ කරගනු ලැබුවේ ගරු අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන ආශාව ජාතික දේශපාලන අවශ්‍යතාවක් ලෙස, මාධ්‍ය මගින් ප්‍රකාශකරන අවස්ථාවේදීය. ගරු අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන ආශාව වුයේ, මේ මොහොතේ නාමිකව හෝ පාලනය සිදු කරමින් සිටින මණ්ඩලයේ තෝරාගත් නියෝජිතයන් කිහිපදෙනකු වන, රිෂාද් බදුදීන්, අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යානදින්ගේ දේශපාලන බල ආයතන හිමිකාරිත්වය අහිමිකිරිමය.
මේ ගෙවෙන මොහොතේ, එකී ගරු භික්ෂුන්ගේ ආශාව ඉටු වී තිබේ. ගරු භික්ෂුවගේ ආශාව යුක්ති සත්‍ය සමඟ බැදුනේද? යන්න විමර්ශනය වෙනුවෙන් මෙම ලිපිය රචනා වේ. එම විමර්ශනය, 2019 නලින් භූපති රචිත, මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ, දැකල පුරුදු කෙනෙක් සිනමා රචනාව හරහා කියවීම මෙම ලිපියේ අරමුණ වේ.
මුලින් පැහැදිලි කරගත යුතු කරුණ නම්, විමර්ශනයේ දී යොදාගනු ලබන අංගභූත දෙකෙහි යම් සම්බන්දයක් වේද? තව දුරටත් විස්තර කරන්නේ නම්, දැකලා පුරුදු කෙනෙක් සිනමා රචනාව සහ ගරු අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන ආශා චර්යාව අතර කිසියම් බන්ධුතාවක් පවතීද? දෙරණ වැනි මාධ්‍ය මගින් ක්ෂනික මුහුණත් පරීක්ෂාවක් වැනි ක්‍රමවේදයකින් මෙම සිදුවීම් දෙක පරික්ෂා කරන්නේ නම්, පැමිණිය හැකි ඉතාම ආසන්නම අවසානය යනු, මෙම සිදුවීම් මගින්, එකිනෙකා සමඟ කිසිදු බන්දුතාවයක් නොමැති බවය. නමුත් මෙය මුහුණත් පරික්ෂාවෙන් ගැඹූරට ගෙන යන්නේ නම්, මෙම බන්ධුතා කතිකාවේ නව මානයක් හදුනාගත හැකි වනු ඇත. මෙහිදී අතුරලියේ රතන භික්ෂුන්වහන්සේගේ දේශපාලන දෘෂ්ටිවාදී නියෝජනය සහ එම දේශපාලන කඳවුර, දැකලා පුරුදු කෙනෙක් සිනමා රචනාවේ සචිත්ර තුලින් සංකේතවත් වේ. සචිත්ර හා සමව, රතන භික්ෂුන්වහන්සේ සහ එම කඳවුර, තමාගේ අනෙකා, තම සමානයකු ලෙස නොව, තම අනෙකා තමාගේ යටත්වැසියා, තම ආශාවේ වස්තුව විය යුතු බවට සිතයි.
මෙම අනෙකා යනු, තමා මෙන්ම, තම සංස්කෘතියට පෙම්බදින, තම සංස්කෘතිය ශ්‍රේෂ්ට බව පිළිගනු ලබන පුද්ගලයකු ලෙස හදුනා නොගන්නා සචිත්ර හා සම රතන භික්ෂු පාර්ශවය, වාර්ගික කෝණයෙන්, නිරන්තරයෙන්ම තම අනෙකා අවිශ්වාස කිරීම සහ ඒ හේතුවෙන්ම තම අනෙකා පිඩනයට ලක් කිරීම දැක ගත හැකිය. දිනිති යනු මෙහි සිංහල- බෞද්ධ නොවන නියෝජනය ලෙස මා අර්ථකතනකරයි.
එනම්, තමන් වෙත වන පීඩාකාරී පරිසරයෙන් මිදීමට තම ආශාව රහසේ භුක්ති විදීමින් සිනමා රචනාවේ දිනිති සැනසෙන ආකාරයට ම සිංහල- බෞද්ධ නොවන පාර්ශවය තමාගේ ආවේනික පුරුදු රහසින් විදිමින් සැනසීම සොයන ආකාරය දැකිය හැක. දිනිති ගේ රහස් ආශාව නම්, යම් විශේෂිත කෝප්පයක් භාවිතය සමඟ බැදේ. සිංහල- බෞද්ධ නොවන පාර්ශවයන්ගේ ආශාව ඔවුන්ගේ සංස්කෘතික පුරුදු සමඟ බැදී තිබේ. දිනිති වෙත, එම කෝපය සමඟ වූ බැඳීම, අප වටහා ගැනීම, විඥාපනය වීම, අර්ථකතනය කිරීම ලෙසම, සිංහල – බෞද්ධ නොවන ජනයාගේ වීඥානය, රතන භික්ෂුන්වහන්සේ සහ එම කඳවුර හා සමව වේ. එය මනා ලෙසම පෙන්නුම් වන්නේ, මුස්ලිම් කාන්තාවන් ගේ ඇදුම, රතන භික්ෂුන්වහන්සේ සහ එම කඳවුර අයත් පිතෘ මුලික රාජ්‍ය විසින් තීරණය කිරීමෙනි. එසේම එම ඇඳුම මුස්ලිම් සමාජය තුලදී තීරණය කරනු ලබන්නනේ, පිතෘ මුලික ආගම විසිනි.
මෙම පිතෘ මුලික රාජ්‍ය සහ ආගම යනු, සිනමා පටයේ දී මුණ ගැසෙන සචිත්ර ගේ සහ දිනිතිගේ දෙමාපියන් වේ. ඔවුන් නිරන්තරයෙන්ම පීඩනය සහිත කුටුම්භය පවත්වා ගැනීමට සචිත්ර වෙත ධෛර්ය සපයන්නේ කෙසේ ද, පිතෘ මුලික රාජ්‍ය සහ ආගම ද, පිඩිතයා තව දුරටත් පිඩාවට බැඳ තබා ගනු ලබන ආකාරය දැකිය හැක. උදාහරණ ලෙස, සිංහල, දෙමළ සහ මුස්ලිම් හෝ වෙනත් ජනවර්ගයන් හි රාජ්‍ය සේවක ස්ත්‍රීන් වෙත, ඔසරිය හෝ සාරිය අඳින ලෙස බලකරන චක්‍ර ලේඛනය(වර්තමානයේ දී එය අත්හිටුවා ඇත), සිංහල- බෞද්ධ ස්ත්‍රීන් වෙත ස්වේත වර්ණය ද මුස්ලිම් ස්ත්‍රීන් වෙත කාල වර්ණයද පිතෘ මුලික ආගම විසින් තෝරා දීම, කාන්තාවන්ගේ අධ්‍යාපනය මුස්ලිම් සමාජයේ දී, පවුල විසින් තීරණය කිරීම ද, ස්ත්‍රීන් විසින් දරුවන් වැදීමේ සංඛාව ආගම විසින් තීරණය කිරීම ද පෙන්වා දිය හැක. මේ සියළු පිතෘ මුලික ආගමික සහ රාජ්‍ය කේන්ද්‍රය ප්‍රතිපත්ති මගින් සිදු වන්නේ, දිනිති සහ සමවන ඕනෑම ජනවර්ගයක ස්ත්‍රීන් පිඩාවට ලක් කිරීමය.
දිනිති, සචිත්‍රගෙන් පරිභාහිරව, මිත්‍රත්වයක් අරඹන අතර, එය, සචිත්ර නොසලකා හැරීමක් නොව, තමාගේ අස්වැසුම් කලාපයක් වෙත ගමන් කිරීමේ ප්‍රතිපලක් වේ. එයින් ප්‍රකාශ වන්නේ සචිත්ර තව දුරටත්, තමාගේ සහයෝගිකයා නොව තමාගේ අනෙකා බවට පත්ව තමා ගේ පාලකයා බවට පත්වීමය. විමුක්ති කොටි සංවිධානය, දෙමළ ජනයාට මුණ ගැසෙන්නේ ද, දිනිති වෙත, අස්වැසුම් කලාපයේ නියෝජිතයා මුණ ගැසෙන ලෙසම බවට මම යෝජනා කරමි. එනම්, විමුක්ති කොටි සංවිධානය, ‘අපේ කොල්ලන්’ ලෙසට, දෙමළ සමාජය පිළිගන්නා අතර, අපේ කොල්ලන්ගේ අවි ආයුධ අරගලය වෙත යම් දායකත්වයක් දක්වන්නේ, දෙමළ ජනයාට සචිත්ර හා සම වූ සිංහල- බෞද්ධ මුලික රාජ්‍යයෙන් සහ එහි නියෝජිත ආණ්ඩුවෙන් සිදුවන දේශපාලනික නොසලකාහැරීම් සහ වධ බන්ධන හේතුවෙනි.
දෙමළ සමාජයේ යම් අයෙක්, විමුක්ති කොටි සංවිධානය සහ දෙමළ සමාජ සම්බන්දතාව පිලිබඳ මාගේ යෝජනාව ප්‍රතික්ෂේප කර, දෙමළ සමාජයේ ද, විමුක්ති කොටි සංවිධානය වෙත විරෝධයක් පැවති බවට යෝජනා කරන්නේ නම්, එම විරෝධය තව දුරටත් විමර්ශන මගින් මුණගැසිය හැකි සංකේත වන්නේ, “විමුක්ති කොටින්ට විරුද්ධ වුව ද, ආණ්ඩු පීඩන විරෝධයට පවතීන වෙනත් මාර්ග සඳහා විරෝධයක් නොමැති බව” නොවේද? තව්ෆික් ජමාත් සංවිධානය සහ සහරාන්ට විරුද්ධව, මුස්ලිම් සමාජය මේ මොහොතේ නැගී සිටයද, ඔවුන් වෙත රතන භික්ෂුන් සහ එම කඳවුර (ගල්බොඩඇත්තේ ඥානසාර භික්ෂුව සහ එවැනි කඳවුරු) මගින් සිදු කරන පිඩාවන්ට එදිරිව සහරාන් තෝරාගත් මාවත හැර, වෙනත් මාර්ග පැවතියේ නම්, ඔවුන් ද එම මාර්ග වෙත ගමන් නොකරන බවට කිසිදු ලෙසට තිරව පැවසිය හැකිද? ඉතිහාසය සැලකු විට පෙනී යන්නේ, දකුණේ සිංහල සමාජයේ, බොදු ගොවින්, පිඩාකාරී සහ ආර්ථික ආන්තිකරණයන් සිදුකළ රාජ්‍ය සහ ආණ්ඩුවට විරුද්ධ වීමට ජනතා විමුක්ති පෙරමණේ මෙහෙයවීමෙන් පිඩාවිරෝධී අරගලය සිදු කළ අතර, එම සමාජයේ පිඩාවට පත් එහෙත් ජනතා විමුක්ති පෙරමුණු ක්‍රමවේදය සමඟ එකඟ නොවන අතර, තම පිඩාවට විරෝධය පළ කිරීම වෙනුවෙන්, අරගලයට පිටින් යම් මාර්ගයක් පැවතින බව හඳුනාගෙන, එයට සහය පළ නොකර සිටින බවට කිසිවිටක සිතිය හැකිද? විජේවීර, ප්රභාකරන් සහ සහරාන් යනුම, පවතින පිඩනයට විරෝධය ප්‍රකාශ කළ සංකේතයන්වේ. එය තව දුරටත්, පංතිය, වර්ගය සහ ආගම වෙතින් උපන් අරගල නොව, සමස්ථ මානවයාම, බලය සහිත කණඩායම් විසින් සිදු කරන පිඩාවන්ට එදිරිව, තම දේශපාලන ආශාවන් සහ විශ්වාසයන් මත, පිඩා විරෝධි අරගල සිදුකිරීමක් ලෙස මම දකිමි.
මෙය දැකලා පුරුදු ඉතිහාසය නොවේද?
එසේම, ජනතා විමුක්ති පෙරමුණ, උතුරේ අරගලයේ සුජාතභාවය ප්‍රශ්න කරන ලද අතර, තම පංතියේ, දෙමළ අනෙකා වෙනුවෙන් සිටගැනීමට අපෝසත් විය. මෙය වර්තමානයේ දී, ආනන්දී සශිදරන්, තම ආදරණිය සැමියා, බාරදුන් පසු, අදටත් අතුරුදහන් කර තිබෙන හමුදාවෙන්ම, ආරක්ෂාව ඉල්ලා සිටින්නේ, තමා හා සමව පිඩාවට පත්ව සිටින, මුස්ලිම් ජනයාව සැකකරමින් නොවේද? (http://www.dailymirror.lk/breaking_news/Don%E2%80%99t-withdraw-army-from-North:-Anandi-Shashidharan/108-166014) එනම්, පිඩිතයා ඉතිහාසය පුරාම ලෙසම, අදටත් දැක පුරුදු වන්නේ, තම අනෙක් පිඩිතයාට විරුද්ධව, පිඩකයා සමඟ එක්වීමය. එවැනි පසුබිමක, රතන භික්ෂුන්වහන්සේ සහ එම කඳවුර ඇතුළු කණඩායම් වෙත, බලය, ලබාගැනීම සහ තහවුරු කරගැනීමේ අවකාශය තනා දී ඇත.
පීඩිතයා තව දුරටත්, පිඩකයා සමඟ එක්ව සිටීමට නොහැකි නම්, වෙන්ව යාමට උත්සහ දරන්නේ, සිනමා රුපකයේ දිනිති මෙන්ය. නමුත් දිනිති වෙත වෙන්වයාමේ වරම සචිත්ර ලබා නොදෙනුයේ, වෙන්ව ගිය පසු ඇයගේ ආශාව වන, අස්වැසුම් කලාපයේ නියෝජිතයා සමඟ ඇය එකතු වී, සතුටින් සිටීම, තමාගේ ආත්ම පරාජයක් ලෙසට සලකන හෙයිනි. දිනිති ලෙසම, දෙමළාද වෙන්ව යාමට උත්සහ ගනු ලැබුවේ, සචිත්ර සහ සම වන සිංහල-බෞද්ධ පීඩනය තවදුරටත් දැරිය නොහැකි හෙයිනි. උදාහරණ ලෙස, මිට වසර 30කට ප්‍රථම, යාපන මහජන පුස්ථකාලය ගිනි තැබූ, පුද්ගලයන් මේ ගෙවෙන මොහොතේ දී හෝ අත්අඩංගුවට ගැනීමට, ශ්‍රී ලංකා ආණ්ඩු අපෝසත් වී ඇත. එවැනි පසුබිමක, දෙමළා වෙන්ව යාමට උත්සහාදැරිම, බලහත්කාරයෙන් වලක්වන්නේ, වෙන්ව ගිය පසු, දෙමළාගේ ආශාව වන ‘සාධාරණ සමාජයක්’ (වෙන්ව ගිය දෙමළ සමාජය සාධාරණ වේද යන්න නැවත සාකච්ඡා කලයුතුය) තුළ යහපත් ජීවිතයක් ගත කිරීම දැකීම සිංහල- බෞද්ධගේ ආශාව නොවන හෙයින්ද?
ලිපිය අවසන් කරමින්, මා ප්‍රකශ කිරීමට මනාපවන්නේ, දැකලා පුරුදු කෙනෙක් සිනමා රචනාව, පොදු දේශපාලන අවකාශයේ දී, ශ්‍රී ලංකාවේ ජාතික දේශපාලන ප්රශ්නය වන, ජනවාර්ගික අනන්‍යතා නියෝජන අයිතිය සංකේතවත් කරන බවය. එහිදී, සචිත්ර ලෙසම, තමාගේ ආශා සත්‍ය සෙවීම වෙනුවෙට, දේශපාලනය තුල යුක්ති සත්‍ය සෙවීම් සිදුකල යුතු බවට සිතා බැලිය යුතුය. සිංහල-බෞද්ධ මවුවරු වඳවීම පිලිබඳ මෙන්ම දෙමළ මව්වරු දරුවන් බිහිකළ පසු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම (එක්තරා ආකාරයකට දරුවන් වඳ කිරීමක්) පිලිබදත් යුක්තිය ඉටුකිරීම කඩිනම් කිරීම වෙනුවෙන් අප උද්ඝෝෂණකළ යුතුය. දැකල පුරුදු පිඩකයා විවිධ ස්වරුපයෙන් පැමිණිය හැක. එම ස්වරූප හඳුනා, පිඩිතයා වෙනුවෙන් නැගී සිටීම අප මේ මොහොතේ සිදුකල යුතුය.
අරුණි සමරකෝන් | Aruni Samarakoon