iMAGE: DW
-හම්බන්තොට ළමයෙක් කුසගින්නේ මියයයි.
-ලංකාවෙන් නැවක් මුහුදට
-රාවණා – 01 යානය අහසට
-විෂ සහිත අහර අනුභවය අතින් ශ්රී ලංකාව අංක 01 ට
මේ සතිය තුළ අසන්නට ලැබුන පුවත් වල ශීර්ෂ කිහිපයක් ඉහත ගොනු කළෙමි. බොහෝ දෙනෙකුට මේවා පුවත් නොවුයේ සමාජ මාධ්‍ය තුළ ගොසිප් නිවුස් වීමත්, නිවුස් ගොසිප් වීමත් මත රටේ ජාතික ගැටලුව බවට “රුහුණ විද්‍යාලය” පත්ව තිබීම නිසාය. පසුගිය අප්‍රේල් 21 දින බෝම්බ ප්‍රහාරයෙන් පසු ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය විවිධ පුවත් මවමින් සිටි මොහොතක රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාගේ හා නියෝජ්‍ය උප කුලපතිවරයාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් අනතුරුව එය උඩුයටිකුරු වන්නට විය. සැබවින්ම එය සංහිදියාව හෝ සහජීවනය වෙනුවෙන් නම් අප ඔවුනට හිස නමා ආචාර වෙඩිමුර පත්තුකරන්නෙමු. නමුත් මේ සරම උස්සන්නේ සුළු දිය පිටකිරිමටද? එසේත් නැත්නම් දිවිමටද? යන්න ප්‍රශ්න සහගතය. කෙසේවෙතත් මාධ්‍ය සාකච්ජාවේදී උපකුලපතිවරයා කළ උපත් පාලන කොපු පිළිබඳ මාතෘකාව සමාජයේ විවිධ ස්ථරයන් විසින් තම තම නැණ පමණින් අහුලාගෙන ඇත.
උපත්පාලන කොපු යනු මොනවාද?
ස්මාර්ට් ලෝකයක් ලෝකය වෙත පියනගන මොහොතක ලාංකික සමාජය තුළට තවමත් ‘උපත් පාලන කොපුවක්’ අබින්, කුඩු හෝ ගංජා වැනිය. සරලව ගෙනහැර දැක්වුවහොත් මෙය මුළු ලෝකයේම භාවිත කරන දරුවන් පිළිසිඳ ගැනීම හා ලිංගික රෝග මගහරවා ගැනීමට 98% ක් ම යෝග්‍ය යැයි වෛද්‍යවරුන් විසින් තහවුරු කරනලද උපකරණයකි. ඉතිහාසයට දිවගියහොත් මිසර හා රෝම ශිෂ්ඨාචාර වලද උපත් පාලන කොපු භාවිතාව පිළිබඳව සාක්ෂි හමු වේ.
නටඹුන් සොයා යාම අනවශ්‍ය කාරණාවක් බැවින් අපි අප ගැන සොයා බැලුවහොත් ලංකාවේ ජනගහනය උපත් පාලන කොපු භාවිතයට ගෙන වසර 60 පමණ වන බව වාර්තා වල සඳහන් වේ. 1953 දී කොළඹ ද සොයිසා මාතෘ රෝහලේදී රටේ පළමු සැලසුම් ඒකකය විවෘත විය. මීට සමගාමීව දිවයින පුරා පවුල් සැලසුම් සේවා සපයන රාජ්‍ය නොවන සංවිධානයන් ද ආරම්භ විය. පසුකාලීනව 1965 දී සෞඛය අමාත්‍යංශය විසින් පවුල් සැලසුම් උපකරණ මාතෘ හා ළමා සැලසුම් සේවා අතරට එක් කරන ලදී. ඒ අනුව උපත් පාලන උපකරණ,
–පවුල් සැලසුම් ආයතන
-පවුල් සෞඛ්‍ය සේවිකාවන්
– සුපිරි වෙළඳසැල්, සිල්ලරකඩ හා ෆාමසි වලින් ලබාගත හැකි විය.
එපමණක් නොව තාක්ෂණය දියුණු වීමත් සමඟ මෙම උපත් පාලන කොපු ලබාගත හැකි ජංගම උපකරණද සවිකොට ඇත. අප රටේ නැතත් ලොව බොහෝ විශ්වවිද්‍යාල වලද උපත් පාලන කොපු ලබා ගත හැකි Condom Vending Machine ද ඇත. ලොව පුරා HIV ඒඩ්ස් රෝගය පැතිර යාමත් සමඟම මෙම උපත් පාලන කොපු වලට ඇති වටිනාකම දහස් ගණනකින් වැඩි වූ අතර 1987 සිට මේ දක්වා කාලසීමාව තුල ශ්‍රී ලංකාව තුළ කොන්ඩම් භාවිතය ඉහල වර්ධනයක් ළඟා කරගෙන ඇත. 2015 අංක 5 දරණ ජාතික වෛද්‍ය නියාමන පනත යටතේ මෙය අත්‍යවශ්‍ය ඖෂධයක් ලෙස නම්කර ඇති අතර රජය විසින් මෙය මුළුමනින්ම නිත්‍යානුකුල කර ඇත.මේ අපරටේ උපත් පාලන කොපු සම්බන්ධ පසුබිමයි.
මෙවැනි පසුබිමක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන රුහුණ විශ්වවිද්යාලයේ උප කුලපතිවරයා සිදු කරන ලද මාධ්‍ය ප්‍රහසනයෙන් පසුව විශ්ව විද්‍යාලය පිළිබඳව වර්තමානය වන විට සමාජය දරන මතය හා ශිෂ්‍ය ප්‍රජාව පිළිබඳව සමාජ ඇස යොමු වී ඇති ආකාරය ඉතා ප්‍රචණ්ඩ වී හමාරය. එම ප්‍රකාශයත් සමඟ රුහුණ විශ්වවිද්‍යාලයෙන් හමුවුවා යයි සැලකෙන කොන්ඩම් වලට ඇතැම් පේජ් ඇඩ්මින්ලා හා ගොසිප් කරුවන් විසින් ඊට අන්තර්ජාතික රූපරමු යොදා සහාසික මුහුණුවරක් ලබා දීමට සමත් වී ඇත.
ඉතින් බොහෝ ඉස්සරනම් සාක්ෂරතාවය යනු ලියන්න, කියන්න ඇති හැකියාවය. එය දැන් ඊටත් එහා ගොස් ඇත. එනම් ප්‍රඥාව, දැනුම ග්‍රහණය කරගැනීමේ හැකියාව ආදී වශයෙන් පුළුල් වපසරයන් ආවරණය කොට ඇත. එක්තරා මාධ්‍යකට පැමිණි ටයි කෝට් දමාගත් මහතෙකුගෙන් සිංහලයා ඉපදුනේ කෙසේදැයි ඇසුවිට ඔහු දුන් පිළිතුර වුයේ අපි සිංහයාගෙන් ඉපදුනා යනුවෙනි. එය විද්‍යාව පසාරු කරන සංකල්පයක් වුවද එය සාධාරනීකරණය වුයේ සුපපා දේවිය සිංහයකු සමඟ රමණය කිරීම ඉතිහාස පොත් වල ලියවී ඇති බැවිනි. වර්තමානයේ එසේ සිදු වී නම් එය පට්ට ගොසිප් එකකි. පසුව සිංහ සීවලී හා සිංහබාහු දෙපළගේ එක්වීම සමඟ ( සහෝදර සහෝදරියන්) සිංහල ජාතිය බිහිවිය. මේ වකවානුව තුළ පේජ් ඇඩ්මින්ලා හා ගොසිප් කරුවන් නොසිටීම ජාතියේ වාසනාවක් විය හැකිය. සමාජ මාධ්‍යට නියාමනයක් නැත. නියාමනයක් ඇතැයි පැවසෙන ජනමාධ්‍ය වල හැසිරීමද හරිම ආතල් ය. සිරසට වෙනම ස්ක්‍රිප්ට් එකක් ඇත. හිරු – දෙරණටද එසේය. එය නොතේරෙන්නේ දේශපාලනයේ අයන්න වත් නොතේරෙන කිරි සප්පයින්ට පමණි. ඒ ඔවුන්ගේ මාධ්‍ය නිදහසය.
රටේ ඕනෑම කුනුහරුපයක් මාධ්‍ය ඉදිරියට ගැනීමේ බලයක් ඔවුනට හිමිව ඇත. එය ඉදිරියට ගෙන ජාතියේ කන්‍යාභාවය සමාජය ඉදිරියේ ඔවුන් ප්‍රශ්න කරති. ඊට හේතුව මන්ද මානසිකත්වයෙන් පෙළෙන ප්‍රේක්ෂක හැතිකරයක් ඔවුන් විසින් අන්දවාගෙන සිටීමය. එබැවින් මාධය නිදහස යනු මාධ්‍ය අයිතිකරුවන්ගේ නිදහස විනා වෙන කිසිවක් නොවේ. ඔවුන් රටේ ඕනෑම ප්‍රශ්නයක් හමුවේ ඔස්තාර්ලා වෙති. නමුත් රටේ සෑම ප්‍රශ්නයක් හමුවේ ම ඔවුනටද කොටසක් හිමි බව රටේ බහුතරය නොදත් කරුණකි. ඕනෑම උන්මත්තකයෙකුට මාධ්‍ය ඉදිරියේ ඕනෑම ප්‍රහසනයක් පෙන්වීමට හැක. එය වාර්තා කිරීම මාධ්‍යයේ ද යුතුකමකි. නමුත් එම පුවත් විකෘති කිරීම, ඒවාට ලැබෙන පිළිතුරු මාධ්‍යයේ වාර්තා නොවීමද ගැටලුවකි.
රුහුණේ උපකුලපතිවරයාගේ මාධ්‍ය සාකච්ඡාවට පසුදින ඊට පිළිතුරු වශයෙන් රුහුණ මහා ශිෂ්‍ය සංගමය හා අන්තර් විශ්වවිශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පවත්වන ලද මාධ්‍ය සාකච්ඡා වලට හිමි වුයේ කුඩම්මාගේ සැලකිළි පමණි. ඉතින් ඔවුන් මීට අදාළ පශ්චාත් පසුබිම නිර්මාණය කොට කීයක්හරි හොයා ගැනීමේ හා ජනප්‍රිය වීමේ හිඟන පිළිවෙත තවදුරටත් අනුගමනය කරමින් සිටි. ඊට හේතුව මාධ්‍ය තුල පුවත් වන්නේ මාධ්‍ය හිමිකරුවන් කැමති දෙය වීමය . ගිරිය පුප්පමින් කෑ ගසන මාධ්‍ය ඔස්තාර්ලට එම පිටපතට එහා දෙයක් කිරීමට නොහැක. ස්වර්ණවාහිනිය හා දෙරණ ඒකාබද්ධව කළ වලම්පුරියෙන් මිනිසුන් ඇන්දවීමේ මෙහෙයුමෙන් පසු බඩු පත්තු වූ විට ඔස්තාර්ලා ඇටි කෙහෙල් කෑ උගුඩුවන් වන්නේ අන්තිමේදී නැව ගිලුණත් උන්ට බෑන් චූන් නිසාය.
එබැවින් එම මාධ්‍ය වලට සරසවිය තුලින් උපත් පාලන කොපු හමුවුවා යයි සැලකෙන බිල්ලෙකු මවා පෑමේ ප්‍රවෘත්තිය මහා මේරු පර්වතය තරම් විශාල වුවද පසුගිය කාලසීමාව පුරාවටම දේශපාලනයේ නිරත මැති ඇමතිවරුන් කුඩා දරුවන් අපයෝජනය කිරීම, දුෂණය කිරීම දුවිලි අංශු වීම ඔවුන්ගේ තක්කඩිකම විනා වෙන කිසිවක් නොවේ.
එට හේතුව වර්තමානය වන විට තරුණ වයසේ පසුවන්නන්ට ලිංගික හැගීම් පහල වීම, විරුද්ධ ලිංගිකයන් හා ශාරීරිකව එක් වීම, ඔවුන් ලිංගිකව හැසිරෙන ආකාරය රටේ හැමෝගෙම මාකටින් තියරියක් වී හමාර වීමය . ඉතින් අපේ රටට ‘සෙක්ස්’ යනු මැජික් එකක් වන අතර ‘කොන්ඩම්’ යනු සහරන්ටත් එහා ගිය බෝම්බයකි.
මෙහිදී අප රටේ ජනාධිපතිවරයා පසුගිය කාලසීමාව තුළ කාන්තා තනපටයක් ගෙන හැර පාමින් මාධ්‍ය ඉදිරියේ රඟ දැක්වූ නාඩගමට හාත්පසින්ම සමාන නාඩගමක් රුහුණ විශ්වවිද්යාලයේ උප කුලපතිවරයා නටමින් සිටි. ඔහු පවසන පරිදි එම බාල්දි දෙක එතුමාට මුණගැසෙන්නේ එතුමා මාධ්‍ය සාකච්ඡාව සිදු කිරීමට මසකට පමණ පෙරදීය. එය රටේ ගොසිප් එක බවට පත් වන්නේ මාධ්‍ය සාකච්ඡාව තබා තවත් මසකට පමණ පසුවය. ඉතින් එය පස්මහ බැලුම් බැලීමටත් වඩා පස්මහ බැලුම් පිම්බීමක් බවට අද පත්ව ඇත.
අප රටතුල ඇති විශාල ගැටලුවක් බවට බුද්ධි ගලනය ඇතැම් වාර්තා මගින් පෙන්වා දේ. කෙසේ වෙතත් රටේ ඉහල පුටුවල සිට පහලම ආයතන දක්වා බොහෝ ආයතන වල උගත් මෝඩයන් පාලන බලය හිමිකරගෙන සිටීමේ තත්ත්වය තුළ අප රට රීම් එකෙන් හෝ දිවීම පිලිබදව අප සැහීමකට පත්විය යුතුය. රුහුණද අද වන විට එවැනි අර්බුධකාරී තත්ත්වයකට පත්ව ඇත. ඒ උපකුලපතිවරයාගේ ශිෂ්ටත්වය පිලිබදව ගැටලුවයි.
තවද ඇතැම් බුකි වීරයන් අන්තර්ජාතික රූපරමු යොදා බිල්ලෙකු මවා පෙන්වන රුහුණෙන් හමුවූවා යයි සැලකෙන කොන්ඩම්, බාල්දියක නොදමා ප්‍රසිද්ධ ස්ථාන වල තැන තැන විසුරුවා හරියේ නම් සමාජය ප්‍රශ්න කළ යුතුමය. ශිෂ්‍යාවන් පෝලිමට ගැබ් ගත්තා නම් අනිවාර්යෙන්ම සමාජය ප්‍රශ්න කළ යුතුමය.
හෙට දින රුහුණෙන් කාන්තා සනීපාරක්ෂක තුවා බාල්දියක් හමු වීම හෝ එය මාධ්‍ය සාකච්ඡාවක් දක්වා තල්ලු වීම එතරම් පුදුම විය යුතු කාර්යයක් නොවේ. මහාචාර්යවරයකු උපත් පාලන කොපුවකට විරුද්ධව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වනවා යන්නම වියත් යැයි කියාගන්නා සමාජයටම කරන අගෞරවයකි. අනෙක් කරුණ නම් රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වෛද්‍ය විද්‍යාව පිලිබඳ උපාධි දරයෙකි. එතුමා දකින කෝණය මෙය නම් රටේ සිවිල් සමාජය හා අප දකින මාධ්‍ය භාවිතය පිළිබඳව අරුමයක් වීමට කිසිදු හේතුවක් නැත.
ඔහු විසින් මෙම මාධ්‍ය සාකච්ඡාව පැවැත්වීවෙන් පසු, පොදුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව වෙත බාහිර සමාජය තුලින් එල්ල වීමට සිදුවන අතුරු විපාක පිළිබඳව ඔහු නොදැන සිටියා විය නොහැක.
-කොන්ඩම් බාල්දි දෙකක් හමුවීම
-මෙට්ටයක් හමුවීම
-පොල් කැඩීම
-වසර 15 ක් ආචාර්යවරුන් පය නොතැබූ මුදා නොගත් කලාප හමු වීම
මෙම පිටපත සමාජය එම මොහොතේ බලාපොරොත්තු වූ මෙගා නාටකයකි. ඊට හේතුව නම් මෙම උපකුලපතිවරයා මීට මාස කිහිපයකට පෙර උපකුලපතිධුරයට පත් වූ අවස්ථාවේ ඉදිරිපත් කල පළමු යෝජනාව වුයේ විශ්වවිද්‍යාලය රාත්‍රී 9.00 ට වසා දැමීමයි. ඔහුගේ නමින් ශිෂ්‍ය සංගමයට පිරිනැමෙන ප්‍රථම ලිපියද එය වේ. ඊට ආචාර්යවරුන්ගෙන් හා ශිෂ්‍යයින්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය. ඊට හේතුව අධ්‍යාපනය සඳහා පැය 24 ම සරසවිය විවර විය යුතු බවට රජය විසින්ද පසුගිය අයවැය හරහා රාත්‍රි කාලයේද සරසවි අධ්‍යාපනයට විවර විය යුතු බවට මත වාද පුළුල් බිහි වීමත්ය. පසුව අප්‍රේල් 21 දින බෝම්බ ප්‍රහාරයෙන් පසු සහරාන් හා මේ රටේ කාලකන්නි දේශපාලන පිල්ලි වලටත් වඩා කාලකන්ණි සතුටක් ලැබූ විශ්වකර්මයා වන්නේ රුහුණේ උපකුලපතිතුමාණෝ ය . තමන්ගේ න්‍යායපත්‍රය පශ්චාත් යුධ අවදිය තුළ උපරිම ක්‍රියා කරමින් ස්වයං වින්දනයක් ලද එතුමාට දිගටම කරගෙන යාමට තවදුරටත් අසීරු විය. ඉන් පසු කැමරා කාච ඉදිරියේ කළුවර කාමර, යකඩ දොරවල්, කොන්ඩම්, මුදා නොගත් කළාප වැනි තමන්ට නොගැළපෙන මෙගා නාටකයක ප්‍රධාන නළුවා භූමිකාව ඔහුට හිමි විය. එය අද රටේ ජනප්‍රියතම නාටකයකි .
විශ්වවිද්‍යාලය පන්සල් භූමියක් යයි කීමට තරම් අප බොළඳ නොවන්නෙමු. ඊට හේතුව සම වයසේ තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් එහි ගවසිමයි . විශ්ව විද්යාලය තුළ වාර්ෂිකව පැවැත්වෙන කලා උළෙලන්, මාස් පතා, සතිපතා දිවා රාත්‍රි පැවැත්වෙන සංස්කෘතික උත්සව, සංවාද ආදිය විශ්වවිද්‍යාල සියලුම දෙනාටත්, ප්‍රදේශ වාසීන්ටත්, රටේ සැලකියයුතු පිරිසකටත් නොරහසකි. එම උත්සවවල පොල්තෙල් පහන දැල්වීමට උදේට පිරුවතින් පැමිණෙන එතුමන්ලාට ඒ පිටුපස සිට ඒ කටයුතු වල නියැලෙන පිරිමි ශිෂ්‍යන්ට රෑ දෙගොඩහ මෙට්ටෙක ඇලවීම මාධ්‍ය සාකච්ඡා තැබීමට තරම් නොවේ. මන්ද කිසිදු ශිෂ්‍යාවකට රාත්‍රී කාලයේ සරසවි භුමියේ ගැවසීමට අවසර නැත. අවසරයකින් තොරව ගහක පොල් අත්තක්වත් කැඩීමට නොහැකි සරසවියේ යකඩ දොරවල් තනන වානේ බාස්වරු කතාව බේගලයකි . අවසරයකින් යුතුව සරසවියේ ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වන්නට ද නොහැක . නොහැකි මුදා නොගත් කළාප එහි නොමැත.
විශ්ව විද්යාල ශිෂ්‍යා සමාජයට පුළුල් හා පළල් කියවීමක් ඇති පර්යේෂකයකි. ඔහු අධ්‍යාපනය , කලාව , ක්‍රීඩාව , ,දේශපාලනය, අරගලය, සමාජානුයෝජනය ආදී සෑම තැනම නියුක්ත විය යුත්තෙකි. අද ගෝලීය සමාජය නවීකරණය වන මොහොතක ඒ සමාජය තුළට සරසවි සිසුවාට පංචස්කන්ධය පමණක් රැගෙන යා නොහැකිය. එය ආවරණය කර ගැනීමට ශරීරයට ගැලපෙන ඇදුම් පැළදුම් හා අභරණ වලින් සැරසිය යුතුය. විෂය පමණක් ඉගනගෙන සමාජයට පැමිණෙන පුද්ගලයා යට ඇඳුම පමණක් ඇඳගෙන එන එකෙකි. ඔහු උගත් දැනුමෙන් පලක් නැත. එවැනි මිනිසුන් තනන සමාජයක් කිසිදා ඉදිරියට විකාශනය නොවේ.
සමාජයට අවශ්‍ය වන්නේ තවත් එක උන්මත්තකයකු පමණි. ඒ ස්ත්‍රී දුෂක, උන්මත්තකයා බිහිවන තුරු, රමණයේ යෙදීමට බොහෝ පාර්ශව බලා සිටී. පියා දුව දුෂණය කරන සමාජයක, තරුණියන් අනන්ත දුෂණය වන සමාජයක සරසවිය තුලින් එවැනි පුවත් පත්තර වල සිරස්තල නොවන්නේ මන්ද යන්න ඒ කිසිවෙකුත් ප්‍රශ්න නොකරයි . විද්‍යාවට වඩා අවිද්‍යාව රජ වූ යුගයක ගොසිප් පට්ට මාකට් වන්නේ එය වැළඳ ගැනීමට සුදුසු සමාජයක් නිර්මාණය කර ඇති බැවිනි.
ලහිරු වීරසූරිය | Lahiru Weerasuriya
සංස්කාරක සටහන: ලියුම්කරු රුහුණු විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂකයෙකු වන අතර 2016-2017 වසර එහි ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කොට තිබේ.