මකා දැමුණු ලියවිලි
එච්.එස්.ජී. වෛද්‍ය පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව ජූනි 27 වැනිදා දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ කරුණු දැක්වීම ඇතුළත් නඩු වාර්තාවේ සහතික පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජුලි 11 වැනි දා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එසේ වෙතත්, දන්ත වෛද්‍ය වීරබණ්ඩාර කරන ලද කරුණු දැක්වීම ඉවත් කොට පොලීසියට එම වාර්තාව සපයන ලෙස මහේස්ත‍්‍රාත්වරයා තමාට නියෝග කොට ඇතැයි කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ ප‍්‍රධාන රෙජිස්ට‍්‍රාර්වරයා පොලීසියට දන්වා සිටියේය.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ 15 වැනි පිටුවේ අවසාන ඡේද දෙකෙන් දන්වා තිබුණු පරිදි, දන්ත වෛද්‍ය වීරබණ්ඩාර අධිකරණයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම මකා දමා එම ලේඛනය සකස් කරන්නැයි උසාවියේ ලඝුලේඛිකාවට මහේස්ත‍්‍රාත්වරයා උපදෙස් දී ඇති බව පෙන්වා දී තිබුණි. ඒ අනුව, පොලීසියට ඒ සම්පූර්ණ ලියවිල්ල ඉදිරිපත් කිරීමට මහේස්ත‍්‍රතාත් අධිකරණය අසමත්ව තිබේ. මේ නඩුවේ පාර්ශ්වකරුවෙකු නොවන දන්ත වෛද්‍ය වීරබණ්ඩාරට අධිකරණය ඉදිරියේ කරුණු දැක්වීමට මහේස්ත‍්‍රාත්වරයා අවසර දීම සහ එම කරුණු දැක්වීම ඇතුළත් වාර්තාවක් පොලීසියට ලබා දීමට මහේස්ත‍්‍රාත්වරයා අසමත් වීම යන චෝදනා, ‘තරුණ මාධ්‍යවේදීන්ගේ සංවිධානය’ විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලද සිය පෙත්සමෙන් පැමිණිලි කොට තිබේ. මහේස්ත‍්‍රාත්වරයා විසින් අධිකරණ වාර්තා තුළින් එම කොටස් කපා හැරීම, මහේස්ත‍්‍රාත්වරයාගේ විශ්වසනීයත්වය පිළිබඳ කුකුසක් ඇති කරන බව තවදුරටත් ඒ මගින් පෙන්වා දී තිබුණි.
මේ ප‍්‍රශ්නය තවත් විවාදාත්මක ආන්දෝලනයට තුඩුදෙන කාරණයක් බවට පත්වුණේ, දොස්තර ෂාෆි අත්අඩංගුවට ගැනීමට පෙරාතුව ඔහුට විරුද්ධ පැමිණිලි ලැබී තිබුණු බව ඔප්පු කිරීම සඳහා කුරුණෑගල පොලීසිය හිතාමතාම අදාළ වාර්තාවල දින වෙනස් කොට ඇති බව, එනම්, දොස්තර ෂාෆි අත්අඩංගුවට ගැනීමට කලින් දිනයන් එම පැමිණිලි ඉදිරියෙන් දමා ඇති බව, අධිකරණය වෙත ඉදිරිපත් කළ වාර්තාවකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දීමත් සමග ය. කුරුණෑගල පොලීසිය අධිකරණය වෙත වාර්තාවකින් දක්වා තිබුණේ, දොස්තර ෂාෆි අත්අඩංගුවට ගැනීමට කලින් ඔහුට විරුද්ධව පැමිණිලි 10 ක් ලැබී තිබුණු බවයි. එසේ වෙතත්, ඒ පැමිණිලි 10 න් 9 කම දින කූට ලෙස වෙනස් කොට ඇති බව, තමන්ගේ පරීක්ෂණ හරහා සොයාගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය. ඔහුව අත්අඩංගුවට ගැනීමට කලින් කුරුණෑගල පොලීසියට ලැබී ඇති එකම පැමිණිල්ල වන්නේ, එක් කාන්තාවකගේ මූත්රනාළියට හානියක් සිදුකොට ඇති බවයි. තවද, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුව සොයාගත් පරිදි, ඒ කාන්තාවගේ ශල්‍යකර්මය සිද්ධ කොට ඇත්තේද, මේ සිද්ධියට සම්බන්ධ වෙනත් වෛද්‍යවරයෙකු විසිනි. ඒ අනුව, කුරුණෑගල පොලීසිය හිතාමතාම අදාළ වාර්තා කූට අන්දමින් වෙනස් කොට ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
වෛද්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රකාශන
දොස්තර ෂාෆි විසින් සිසේරියන් සැත්කම් සිද්ධ කරන ලදැයි කියන කාන්තාවන් 615 දෙනෙකුගේ පැමිණිලි සම්බන්ධයෙන් ඔවුන්ගේ කටඋත්තර ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ කණ්ඩායමක් කොළඹ සිට කුරුණෑගලට ගියහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කුරුණෑගල රෝහලේ වෛද්‍යවරුන් 47 දෙනෙකුගේ, හෙදියන් 71 දෙනෙකුගේ සහ සුළු සේවකයන් 18 දෙනෙකුගේ කටඋත්තර සටහන් කරගෙන තිබුණි. ඒවා, පිටු 210 ක පොලිස් වාර්තාවක් තුළ අඩංගුව තිබුණි. ඊට අමතරව, පිටු 24 ක තවත් වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කෙළේය. අධිකරණය වෙත පොලීසිය දන්වා සිටි පරිදි, වෛද්‍යවරුන් 47 දෙනාගෙන් 45 දෙනෙකුගේ කටඋත්තරවල දොස්තර ෂාෆිට එරෙහිව කිසිදු චෝදනාවක් නොවීය. එක් වෛද්‍යවරියක් කියා තිබුණේ, දොස්තර ෂාෆිගේ කටයුතු පිළිබඳ සැකයක් ඇතැයි වෙනත් අය කතා කරනවා තමන්ට ඇසී තිබුණු බව ය. කෙසේ වෙතත්, මේ වෛද්‍යවරියම ඊට කලකට පෙර දොස්තර ෂාෆි සමග බහින්බස්වීමක් ඇති කරගෙන තිබුණි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා දොස්තර ෂාෆි රෝහල් පරිපාලනයට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට තිබුණි. අනිත් වෛද්‍යවරයා පොලීසියට කියා තිබුණේ, ශල්‍යකර්මයක් අවසන් කිරීමට මත්තෙන් දොස්තර ෂාෆි වෙනත් නිලධාරීන්ව මොකක් හෝ කටයුත්තක් සඳහා එතැනින් පිටත් කර යැවීම පුරුද්දක් කරගෙන සිටි බවයි. එහෙත් හෙදියන් 71 දෙනා හෝ සුළු සේවකයන් 18 දෙනා හෝ වෛද්‍යවරුන් 47 දෙනා දොස්තර ෂාෆි සම්බන්ධයෙන් එවැනි අසාමාන්‍ය හැසිරීමක් ශල්‍යකර්මයක් අතරතුරදී දුටු බවක් ස්වකීය කටඋත්තරවල කිසි විටෙක සඳහන් කොට නැත.
දොස්තර ෂාෆි සමග එකට වැඩ කළ ප‍්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥයෙකු වන පේෂල දංගල්ල මේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අපරාධ විමර්ශන නිලධාරීන්ට කටඋත්තරයක් ලබා දුනි. ගැහැනියකගේ පැලෝපීය නාලය මිරිකීමෙන් ගැහැනියක් වඳ භාවයට පත්කළ නොහැකි බව තමාගේ දැනුම අනුව තමාට කිව හැකි බව ඔහු එහිදී කියා තිබුණි. ඔහුගේ ප‍්‍රකාශනය අඩංගු, අධිකරණයට ඉදිරිපත් කරන ලද පොලිස් ‘බී’ වාර්තාව තුළ ඔහු සඳහන් කොට තිබණේ, මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති සියලූ සැකසාංකා දුරු කර ගැනීමට ඇති එකම මග වන්නේ, මේ ගැන පැමිණිලි කොට ඇති සියලූ කාන්තාවන් එස්.එච්.ජී. පරීක්ෂණයකට ලක්කිරීම බව ය. දරුසරු භාවය හෝ දරුබොක්කට හෝ පැලෝපීය නාලයට අදාළ ඕනෑම සංකූලතාවක් සැකහැර පරීක්ෂාවකට ලක්කළ හැකි ලංකාවේ පවතින වඩාත් ආරක්ෂාකාරී සහ වඩාත් කාර්යක්ෂම ක‍්‍රමය වන්නේ එය බව ඔහු කියා තිබුණි. එසේම, ගැහැනියක් ගැබ් ගැනීමට අසමත් වීමට හේතු කවරේදැයි සොයා දැනගත හැකි ‘ලැපරස්කොපි’ සහ ඩයි පරීක්ෂණයක් සිදු කිරීම මාර්ගයෙන්, පැලෝපියන් නාලය අවහිර කොට ඇත්ද යන්නත් සොයාගත හැකි බව ඔහු සිය කටඋත්තරයේදී කියා තිබුණි.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දොස්තර ෂාෆි කටයුතු කෙළේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව සහ නාරි වෛද්‍ය විශේෂඥ සුදත් පතිනිසේකර යටතේ ය. එස්.එච්.ජී. පරීක්ෂණ හෝ ‘ලැප්රොස්කොපි’ පරීක්ෂණ කිරීමෙන් පසු කිසි කාන්තාවක් ඒ හේතුවෙන් ආසාදන හෝ සංකූලතාවලින් පෙලුණේ නැති බව, රහස් පොලීසියට ලබා දුන් කටඋත්තරයෙන් ඔහු කියා තිබේ. මේ අතර මාතර රෝහලේ ප‍්‍රසව සහ නාරිවෛද්‍ය විශේෂඥයෙකු වන මොහොමඞ් ඉස්මෙත් කබීර් පොලීසියට දී ඇති කටඋත්තරයකින් පවසා ඇත්තේද ඒ හා සමානම කතාවකි. ඉහත සඳහන් පරීක්ෂණ දෙකෙන් කිසිවක් කිරීමෙන් පසු කිසි කාන්තාවක් බරපතල රෝගී තත්වයක් පෙන්නුම් කොට ඇති බවක් තමාගේ ප‍්‍රසව වෛද්‍ය වෘත්තීය සේවා කාලය තුළ අසන්නට ලැබී නැතැයි ඔහු කියා ඇත.
රටේ නොයෙක් පළාත්වල රෝහල්වල සේවය කළ ජ්‍යෙෂ්ඨ ප‍්‍රසව සහ කාන්තා රෝග විශේෂඥවරුන්ගේ කටඋත්තර සටහන් කර ගැනීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණි නිගමනය වන්නේ, ජූනි 27 වැනිදා කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂ, වෘත්තියෙන් දන්ත වෛද්‍යවරයෙකු වන වීරබණ්ඩාර කී කරුණු, එනම් බරපතල රෝගාබාධ සහ කාන්තාවකගේ මරණය පවා මෙවැනි පරීක්ෂණයකට ලක්වීමෙන් සිදුවිය හැකි බව කීම අමූලික බොරුවක් බව ය. පොලීසිය ඒ බව අධිකරණයට වාර්තා කොට සිටියේය.
තර්ජන සහ බියවැද්දීම්
ජූනි 27 වැනිදා මේ දන්ත වෛද්‍යවරයා අධිකරණය ඉදිරියේ කළ ප‍්‍රකාශය පිළිබඳ ලිඛිත සාක්ෂි සොයා ගැනීමට පොලීසිය කටයුතු කිරීමේදී ඔහු පොලිස් නිලධාරීන්ට බාධා කළ බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, දොස්තර ෂාෆිගේ බිරිඳ වන දොස්තර ඉමාරා සහ ‘තරුණ මාධ්‍යවේදීන්ගේ සංවිධානයත්’, අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කොට තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන් රාජකාරි කටයුතු කරන පොලිස් නිලධාරීන්ට මේ අධ්‍යක්ෂවරයා බාධා කරන බව නොයෙක් වර පොලීසිය විසින් මහේස්ත‍්‍රාත්වරයාටත් දැනුම් දී තිබේ. පරීක්ෂණ සඳහා අත්‍යාවශ්‍ය කෙරෙන ලිඛිත කරුණු කලට වේලාවට සැපයීමට ඔහු කිසි සහයෝගයක් නොදෙන බවත් පොලීසිය මහේස්ත‍්‍රාත්වරයාට දන්වා තිබේ.
මේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහේස්ත‍්‍රාත් අධිකරණයේ පැවති හැම නඩු වාරයකටම පැමිණි අතුරලියේ රතන හිමියන්, මේ ගැන පොලිස් පරීක්ෂණ පවත්වන සහකාර පොලිස් අධිකාරී තිසේරාට, ‘මුළු ලෝකෙම මේක ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ’ කියා වරක් තර්ජනය කොට ඇති බවටත් පොලීසිය පැමිණිලි කොට තිබේ. පොලීසිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවෙන් පෙන්වා දී ඇති පරිදි, ‘‘අපරාධවල වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම පිළිබඳ 2015 අංක 4 දරන පනතේ 4 වැනි වගන්තිය උල්ලංඝණය වන පරිද්දෙන් එම හිමියන් අධිකරණයෙන් පිටස්තර ප‍්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ පවා මගේ නම සඳහන් කොට ඇතැ’’ යි සහකාර පොලිස් අධිකාරී තිසේරා අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව, ‘අපරාධ විධිවිධාන සංග‍්‍රහයේ’ 124 වැනි වගන්තිය යටතේ නියමිත නියෝග නිකුත් කරන්නැයි පොලීසිට මහෙස්ත‍්‍රාත්වරයාගෙන් තවදුරටත් ඉල්ලා තිබේ.
මගේ සැමියා දේශපාලන සෙල්ලමක වින්දිතයෙක්: දොස්තර ඉමාරා
දොස්තර ෂාෆිගේ බිරිඳ වන දොස්තර එම්. එන්. එෆ්. ඉමාරා ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ එම්.බී.බී.එස්. උපාධිධාරිනියකි. ඈ සේවය කරන්නේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ වකුගඩු රෝගී ඒකකයේ ය. තම ස්වාමිපුරුෂයාට එල්ල වූ මේ වඳ සැත්කම් පිළිබඳ චෝදනාව ඉදිරියේ ඇති කෙරුණු මහා සමාජ ආන්දෝලනය නිසා ඈට තම දරුවන් තිදෙනා සමග ගෙවල් අතහැර යාමට පමණක් නොව, වෙනත් රෝහලකට මාරුවක් ඉල්ලා සිටීමටත් සිදු විය.
‘‘අපි කුලියට ගෙයක් හොයන වෙලාවේ මුස්ලිම් මිනිස්සු පවා අපිට උදව් කිරීම ප‍්‍රතික්ෂේප කළා. සැරයක්, කුලි ගෙයකට ගිවිසුමක් පවා අත්සන් කරලා තියෙද්දී ඒ ගේ අපට දුන්නේ නැහැ.’’ යි ඉමාරා කීවාය.
‘‘ආරක්ෂාව ගැන හිතලා මට දරුවෝ තුන් දෙනාව ඉස්කෝලෙන් අස්කරගන්නත් සිද්ධ වුණා. ඒගොල්ලන්ට ඒ ඉස්කෝලේ ඉන්න එක අමාරු වුණා. ළමයින්ගේ අධ්‍යාපනය ගැන වගේම ඒගොල්ලන්ගේ මානසික සෞඛ්‍ය ගැනත් මට ඇති වුණේ බයක්. ඒකයි මම වෙන ඉස්කෝලෙකට දරුවන්ව දැම්මේ. මගේ වැඩිමල් දුවට වයස අවුරුදු 15 යි. තවමත් එයා විෂාදියට, වෛද්‍ය උපදේශන සේවා සහ චිකිත්සක ප‍්‍රතිකාර ගන්නවා. අර සිංහල පත්තරේ එක දිගටම බොරු ලිපි ප‍්‍රකාශයට පත්කරමින්, මගේ දුවලා දෙන්නාව පවා මේකට ඈඳාගන්න කොට, මගේ මුළු පවුලම මුහුණදෙන්නේ ඉතා බරපතල දුෂ්කර තත්වයකට’’ යි ඈ කීවාය.
සැමියා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ඉමාරා කිහිප වරක් ඔහු බැලීමට ගොස් තිබුණි. ‘‘සිද්ධ වෙච්ච දේවල් දිහා බලන කොට මගේ සැමියා තේරුම් අරගෙන තියෙනවා, එයා දේශපාලන සෙල්ලමක වින්දිතයෙක් වෙලා තියෙනවා කියන විත්තිය.’’ යි ඈ වැඩිදුරටත් කීවාය.
දහස් ගණන් කාන්තාවන්ගේ වඳ කතාව අවසානයේදී විකාරරූපී වීම – 1 කොටස
පියුමී ෆොන්සේකා
*2019 ජුලි 26 වැනිදා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Mass Sterilization Narrative Taking Ironic Turns” නමැති ලිපියේ සිංහල පරිවර්තනය යහපාලනය ලංකා