නකල්ස් පරිසර පද්ධතියට මේ වනවිට සිදුකරමින් තිබෙන විනාශය පිළිබද දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් ඊයේ[21] කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී පැවැතිවිය. එම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණේ ශ්‍රි ලංකා සොබා සංසදය යි. එහිදී අදහස් දැක්වීම සඳහා නීතිඥ ජගත් ගුණවර්ධන, සජීව චාමිකර, තිලක් කාරියවසම් සහ ගාමිණි ජයතිස්ස යන අය සහභාගී විය. එහිදී ඔවුන් දැක්වූ අදහස් සහ නිකුත් කර තිබූ ප්‍රවෘත්ති වාර්තාවේ කරුණු මෙසේ දක්වා සිටිමු.
ශ්‍රී ලංකාවේ ජෛව කලාප අතුරින් එකක් වන දුම්බර කඳු වැටිය හෙවත් නකල්ස් කඳු වැටිය අප රටේ සුවිශේෂී ජෛව උරුමය මුළු ලොවටම කියාපාන මහා සම්පතකි. හෙක්ටයාර 21000 පුරා ව්‍යාප්ත වී ඇති දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 0.32% ක් පමණ අවර්ණය වී ඇත. මීටර් 760 සිට මීටර් 19000 දක්වා උච්චත්ව පරාසය තුල පිහිටි කඳුවැටි වලින් සමන්විත නකල්ස් කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධති වල අධික විවිධත්වයක් දැකගත හැකිවේ. ශ්‍රී ලංකාවට ආවේනික දුර්ලභ ගනයේ ශාක විශේෂ, සත්ව විශේෂ සහ පක්‍ෂි විශේෂ රැසක් නකල්ස් අඩවියෙන් ජීවය ලබයි. තව ද සමස්ථ නකල්ස් කඳුකරයම ශ්‍රී ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානතම ජල පෝෂක ප්‍රදේශයයි.
මෙවන් සුවිශේෂී ජෛව ප්‍රජාවකට උරුමකම් කියන නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයේ තැනින් තැන ආකාර කිහිපයක ඉඩම් හිමිකම් සහිත වනාන්තර පැවතීම මෙම වනපෙතේ පැවැත්මට ප්‍රභල තර්ජනයක් වී තිබේ. මේ ආකාරයේ විවිධ ඉඩම් හිමිකාරිත්වයක් සහිත වගා බිම් නකල්ස් කදුකරය තුල පිහිටා තිබීම හේතුවෙන් ඒවායෙහි සිදුවන සංවර්ධන කටයුතු එහි පැවැත්මට බලපෑ ආකාරය පිළබද බොහෝ තොරතුරු අපට ලැබී ඇත. ඒ අතුරෙන් ප්‍රධාන කරුනු වනුයේ නකල්ස් සංරක්‍ෂිතය තුල සංචාරක හොටෙල් ව්‍යාප්ත කිරීම හා වනාන්තර ඉඩම් අනවසරයෙන් අත්පත්කර ගැනීමයි.
මෙම කඳුකරය රැකවරණය තව දුරටත් තහවුරු කිරීම සදහා නීති සම්පාදනය වියතු අවධියක මීට වසර තුනහමාරකට පමණ ඉහත එහි ජෛව ප්‍රජාවගේ රැකවරණයට බලපෑම් ඇති විය හැකි ආකාරයේ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්විය. මෙය සිදු කෙරුනේ ජාතික පාරිසරික පනත යටතේ 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරණ ගැසට් නිවේදනය මඟින් ‛‛නකල්ස් පාරිසරික ආරක්‍ෂිත ප්‍රදේශයක්’’ ලෙස ප්‍රකාශයට පත් කිරීමෙනි. බැලූ බැල්මට නකල්ස් කදුකරයේ පැවැත්ම තහවුරු කිරීමට මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කල බව පෙනුන ද එමඟින් සිදුකර ඇත්තේ, ඇති විය හැකි අහිතකර බලපෑම විධිමත් කිරීමකි.
කැලෑ ආඥා පනත යටතේ 2005.05.05 වන දින අංක 1130/22 දරණ ගැසට් නිවේදනය මඟින් නකල්ස් සංරක්‍ෂිත වනාන්තරයන් ලෙස ප්‍රකාශයට පත් කරමින්, නකල්ස් අඩවිය තුල පිහිටි පෞද්ගලික හා වෙනත් රජයේ ඉඩම් වල සිදුවන සංවර්ධන ක්‍රියාවලීන් පාලනය කිරීම සඳහා ඉහත ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කිරීමට තිබුණි. නමුත් එම ගැසට් නිවේදනයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් නකල්ස් කදුකරයේ ජෛව ප්‍රජාවගේ පැවැත්මට සිදුවී ඇති අහිතකර ප්‍රතිඵල අද වන විට දැක ගන්නට හැකිව තිබේ.
අදවන විට මහනුවර දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ ගීරිස්වත්ත, කොස්ගොල්ලවත්ත, කුඹුක්ගොල්ලවත්ත, ලූල්වත්ත හා අට්ටලවෙට්ටුව සිට තංගප්පුව මාර්ගයේ හෝටල් ඉදිකර හා ඉදිකරමින් පවතී. මාතලේ දිස්ත්‍රික්කයට අයත් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ රිවස්ටන් ප්‍රදේශයේ ගෝනමඩවත්තේ හෝටල් තුනක් ඉදිකර ඇත. හස්නිම් මුසාජි හා මනතුංග යන අයට මෙම හෝටල් ත්‍රිත්වයෙන් දෙකක් අයත් ය. පතන ප්‍රදේශයේ කෝට්ටේගොඩ බතික් ආයතනයේ හිමිකරුට අයත් හෝටලය ඉදිකර තිබේ. රත්තොට – ඉලුක්කුඹුර මාර්ගයේ 27 හා 28 කිලෝමීටර කණු අතරින් සුදුගල ප්‍රදේශය දක්වා විහිදී ඇති මාර්ගයේ කිලෝමීටර 8 ක් දුරින් මාර්ගය අවසානයේ රෝයි සිල්වා යන අයට අයත්ව තිබූ ඉඩම ගුවන් හමුදාවේ ඉහළ නිලධාරියෙකු විසින් මිල දී ගෙන විශාල හෝටලයක් ඉදිකරමින් තිබේ. දුම්බර අඩවිය පුරා තැනින් තැන ඉදිවන මෙම හෝටල් හේතුවෙන් අනාගතයේ දී බොහෝ බලපෑම් මෙම වනාන්තර පද්ධතියට සිදු විය හැකිය. විශේෂයෙන් රක්ෂිත වනාන්තරය තුළ අනවසර ක්‍රියාකාරකම් සිදු කිරීම, දඩමස් ජාවාරම, හෝටල්වලින් බැහැරලන රසායනික ද්‍රව්‍ය සංවේදී පරිසර පද්ධතිවලට එක්වීම ආදී හානිකර ක්‍රියා රැසක් සිදුවිය හැකි අතරම සමහර ක්‍රියා මේ වන විට ද සිදුවෙමින් පවතී. කැලෑ ආඥා පනතේ විශය පථයෙන් පරිබාහිරව සිදුවන මෙම ක්‍රියාවක් නතර කිරීමට නීතිමය බලතල හිමි මධ්‍යම පරිසර අධිකාරිය කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගැනීම ද කණගාටුවට කරුණකි.
දුම්බර වනපෙතේ ආරක්ෂාව කෙසේ වෙතත් සංචාරක කටයුතු ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇති ව මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ. මෙම ගැසට් නිවේදනය මගින් නකල්ස් සංරක්ෂිත වනාන්තරය තුළ පිහිටි පෞද්ගලික ඉඩම්වල හා වෙනත් රජයේ ඉඩම්වල නීතිමය බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ද මධ්‍යම පරිසර අධිකාරිය සතු කර ගෙන තිබේ. වන සංරක්ෂණ නිලධාරීන් මෙන් දුම්බර වනපෙත පිළිබඳව කිසිත් නොදන්නා මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් එහි සිදු වන ‛වන’ අපරාද මැඩලීම සඳහා කෙසේ ක්‍රියා කරයි ද යන්න සිතා ගැනීමටත් අපහසු ය. මෙවන් ගැසට් නිවේදනයක් පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළේ කිනම් අරමුණක් මත ද? කළ යුතු දෑ පවතිද්දී නොකළ යුතු දෑ සිදු කිරීම පිළිබඳව අප කණගාටු වෙමු.
දුම්බර අඩවියේ අනාගත පැවැත්මට ඉතා වැදගත් වන අමාත්‍ය මණ්ඩල තීරණයක් 2004 වසරේ දී ගැනින. නමුත් එය අද වන තෙක් ක්‍රියාත්මක නොවේ. අංක පීඑස්/සිපී/26/2004 හා 2004 ජූලි 22 වන දින අමාත්‍යමණ්ඩල සංදේශයට අනුව නකල්ස් සංරක්ෂිත වනාන්තරයට යාව හෝ ඉන් කිලෝමීටර් බාගයක් ඇතුළත පිහිටි සියළුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වනාන්තර, 1972 ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියෙහි 22(1)ඊ සහ 44(ඒ) වගන්ති ප්‍රකාරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීම සඳහා නිර්දේශ ලැබී තිබේ. නමුත් මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයෙන් ඉදිරි කටයුතු සැළසුම් කිරීම හෝ ඉඩම් පවරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ වන තුරු සිදුකර නොමැත. මෙම ක්‍රියාමාර්ග වලට එලැබීම පැහැර හරින සෑම දිනයක් පාසාම එම වනාන්තර බිම් වෙනත් සංවර්ධන කටයුතු සදහා ක්‍රමක්‍රමයෙන් යොදා ගනිති. මේ නිසා අවසානයේ ඉතිරි වන්නේ හුදෙකලා වූ නකල්ස් සංරක්ෂිත වනාන්තර කුට්ටි පමණි. එම තත්ත්වය පාලනය කිරීම සඳහා පළමුව සිදු කළ යුතු වන්නේ නකල්ස් සංරක්ෂිත වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කළ භූමි ප්‍රදේශය තුළ පිහිටි පෞද්ගලික වනාන්තර බිම් විධිමත්ව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීමේ කටයුතු කඩිනමින් සිදු කිරීමයි. ඊට අමතරව මෙම ප්‍රදේශය තුළ පිහිටි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් හා වැවිලි සංස්ථාවට අයත් වනාන්තර බිම් නකල්ස් සංරක්ෂිත වනාන්තරයට පවරා ගැනීම සිදු කළ යුතුය. ඉන් පසුව ඒ වටා ප්‍රදේශය ජාතික පාරිසරික පනත යටතේ නකල්ස් හෝ දුම්බර පරිසර ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර නීතිමය ආරක්ෂාව ලබා දිය යුතුය. මෙමගින් නකල්ස් කඳුකරයේ ජෛව සුරක්ෂිතතාව තහවුරු කළ හැකිය.
ව්‍යාපාරික උවමනාවන් වෙනුවෙන් සහ තම පෞද්ගලික සුකවිහරනය උදෙසා අපව ජීවත් කරවන ස්වාභාවධර්මයාට මෙවන් දෑ සිදු කිරීම අපගේම විනාශයට අතවනනවා නොවේද?
සටහන – කැලුම් මධුරංග
සිදුකර ඇති සහ සිදුකරමින් ඇති ඉදිකිරීම්