2001 සැප්තැම්බර් 11 වැනි දා අල්කයිඩා සංවිධානය ඇමරිකාව ඉලක්ක කොට ම්ලේච්ඡ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් දියත් කෙළේය. නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ද්විත්ව කුලුනත්, වොෂින්ටන් නුවර පිහිටි ඇමරිකාවේ ආරක්ෂක මධ්‍යස්ථානය වන පෙන්ටගනයත් ඊට ඉලක්ක විය. පැයකට අඩු කෙටි කාලයක් තුළ 3000 කට ආසන්න සිවිල් වැසියන් සංඛ්‍යාවක් ඝාතනය කෙරුණි. මේ සමස්ත විනාශය සඳහා ත‍්‍රස්තවාදීහූ 19 දෙනෙක් සෘජුව දායක වූහ. ඒ සියල්ලෝමත් එහිදී ජීවිතක්ෂයට පත්වූහ.
එයින් පසුව ඇමරිකානු ජනාධිපති (කනිෂ්ඨ) ජෝර්ජ් ඩබ්ලිව්.බුෂ් සහ බි‍්‍රතාන්‍ය අගමැති ටෝනි බ්ලේයාර් ඉරාකයට පහර දීම සඳහා ලෝකය පුරා මතවාදයක් ව්‍යාප්ත කළා ඔබට මතකද? ඒ මතවාදයේ මූලික කාරණා දෙකක් තිබුණි. එකක් වුණේ, ඇමරිකාවට එරෙහිව දියත් කළ ඉහත කී අල්කයිඩා ප‍්‍රහාරය ඉරාකය හරහා ගොඩනැගුණු සංසිද්ධියක් බවට නිර්මාණය කෙරුණු මතවාදයයි. දෙවැන්න වුණේ, ඉරාකය සතුව ‘සමූහ නාශක අවි’ ඇති බවට නිර්මාණය කෙරුණු මතවාදයයි. එය ඇමරිකාවට පමණක් නොව, මුළු ලෝකයාටම තර්ජනයක් විය හැකි නිසා මොන ආකාරයකින් හෝ ඉරාකයත් එහි නායක සදාම් හුසේන්වත් ඉවරයක් කර දැමීම අත්‍යාවශ්‍ය කාරණයක් වශයෙන් බාරගැනීමට, ඒ අනුව, ලෝකයාට බල කෙරුණි. එකී සමස්ත ප‍්‍රහාරය මගින් ඇමරිකාවේ ජාතික ආරක්ෂාවත්, සමස්ත ලෝකයාගේම ජාතික ආරක්ෂාවත් අනතුරට හෙලා තිබුණි.
අල්කයිඩා ප‍්‍රහාරයේ ම්ලේච්ඡත්වය සහ තිරිසන්කම අවිවාදිතයි. එබැවින් ඒ විනාශයේ නිර්මාතෘ බින් ලාඩෙන් නමැත්තා විනාශ කළ යුතුව පැවති බවත් අවිවාදිතයි. එහෙත් ඒ ත‍්‍රස්තවාදියා සහ ඉරාක ජනාධිපති සදාම් හුසේන් අතර සම්බන්ධයක් ඇති බවටත්, ඉරාකය සතුව ‘සමූහ නාශක අවි’ ඇති බවටත් නිර්මාණය කෙරුණු මතය ප‍්‍රබන්ධයකි. වහාම ඉරාකය ආක‍්‍රමණය කොට සදාම් හුසේන්ව බලයෙන් පහ කර දැමීමට ඇමරිකානු ජනාධිපති ජෝර්ජ් බුෂ් ගත් තීරණය, එකී චේතනාන්විත ප‍්‍රබන්ධය මත ගොඩනැගූ මතවාදයක් බව අද ලෝකයාම පිළිගනිති.
සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සහ ඉරාකය අතර සම්බන්ධයක් තිබී ඇති බවට කිසි සාක්ෂියක් හමු වී නැති බව, එම ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ‘ඇමරිකානු ද්විපාර්ශ්වීය කොමිසම’ 2004 සිය අවසාන වාර්තාවේ සඳහන් කෙළේය. එසේම, ඉරාකය සතුව ‘සමූහ නාශක අවි’ නොතිබුණු බව, ඉරාකය විනාශ කිරීමෙන් පසු කරන ලද සියලූුවිමර්ශනවලින් සොයාගෙන තිබේ.
මේ සමස්ත ක‍්‍රියාවලිය තුළ සිදුවුණේ කුමක්ද? ඇමරිකාවට එක් නිශ්චිත අවශ්‍යතාවක් තිබුණි. ඒ අවශ්‍යතාව මත පමණක් පිහිටා තවත් රටක් ආක‍්‍රමණය කිරීමේ හැකියාවක් නොතිබුණි. ඒ නිසා, වෙනත් රටක් ආක‍්‍රමණය කිරීම සහ විනාශ කිරීම යුක්ති සහගත කරගත හැකි මතවාදයක් නිර්මාණය කරගත යුතු විය. ඉහත කී කාරණා දෙක, එනම් සැප්තැම්බර් 11 ප‍්‍රහාරය සහ ‘සමූහ නාශක අවි’ ඉරාකය සතුව ඇතැයි යන බොරුව, ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය එක් වී ලෝකයාට ගිල්ලෙව්වේ එබැවිනි. ඒ අනුව, ඇමරිකාවේ ජාතික ආරක්ෂාව විනාශ කළ සැප්තැම්බර් 11 වැනි දා ප‍්‍රහාරය පසුපස ඉරාකය සහ සදාම් හුසේන් සිටියේය යන බොරුවත්, ලෝකයාගේම ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ‘සමූහ නාශක අවි’ ඉරාකය සතුව පැවතියේය යන බොරුවත්, ‘ලෝක මතයක්’ බවට පත්කෙරුණි.
ඇත්ත ඛේදවාචකයකට ව්‍යාජ අර්ථකථනයක් සැපයීම ඉතිහාසයේ නොයෙක් වර දැකගැනීමට ලැබෙන සංසිද්ධියකි. එවැනි ඛේදවාචක, ශූර දේශපාලඥයාට, හඬා වැටීමට නොව, උඩ පැන පැන සිනාසීමට තරම් වන මහඟු අවස්ථා උදාකර දෙන්නේය. ලංකාවේ පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ජාතිවාදී කඳවුරට උදාකර දී ඇත්තේ එවැනි අවස්ථාවකි.
මේ බෝම්බ ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ භූමදාන අවසන් වීමටත් මත්තෙන්, ඉදිරි ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නිකුත් කළා ඔබට මතකද? සැප්තැම්බර් 11 ප‍්‍රහාරයත් සමගම තමා එතෙක් කල් අපේක්ෂා කළ පරිදි ඉරාකය සහ සදාම් හුසේන් ඉවරයක් කර දැමීමට අවශ්‍ය අවස්ථාව උදාවිණැයි ජෝර්ජ් බුෂ් සිතුවේ යම් සේද, ගෝඨාභය රාජපක්ෂත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයත් සමගම සිතුවේ තමාට බලයට පත්වීමට පුලපුලා බලා සිටි මහඟු අවස්ථාව ඒ ඛේදවාචකය තුළින් තමන් වෙත සැපයී ඇති බවයි.
‘ජාතික ආරක්ෂාව’ නමැති සටන් පාඨය ලංකාවේ වර්තමාන දේශපාලන කතිකාව තුළට පැමිණීමේ හේතුව එයයි. ඒ ප‍්‍රහාරය තුළ වර්තමාන පාලකයන්ව විවිධ ආකාරයෙන් කරකවා අතහැර තිබූ තත්වයකට පත්කෙරුණි. ජනාධිපතිවරයා ඒ ගැන කිසිවක් දැන සිටියේ නැතැයි කීය. එහෙත් ඊට සති දෙකකට කලින් මේ ප‍්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු අප වෙත ලැබී තිබුණු බව අනිත් පැත්තෙන් හෙලි විය. ප‍්‍රහාරය සිදුවන අවස්ථාවේ රටේ ආරක්ෂක ඇමතිවරයා වන ජනාධිපතිවරයා රටේ සිටියේ නැත. විදේශගත වන විට ඔහු වෙනුවෙන් වැඩ බැලීමට කිසි අමාත්‍යවරයෙකු පත්කර සිටියේද නැත. ජාතික ආරක්ෂාව පිළිබඳ ප‍්‍රධාන කේන්ද්‍රය වශයෙන් සැලකුණු ‘ආරක්ෂක කවුන්සිලය’ මාස ගණනකින් රැස්ව තිබුණේ නැත. ඒ ‘ආරක්ෂක කවුන්සිලයට’ අගමැතිවරයාව සහ පොලිස්පතිවරයාව කැඳවීම බොහෝ කලක සිට ජනාධිපතිවරයා විසින් තහනම් කොට තිබුණි. රටේ අගමැතිවරයා වශයෙන් තමාව ‘ආරක්ෂක කවුන්සිලයට’ නොකැඳවීම ගැන මේ ප‍්‍රහාරය සිද්ධ වන තෙක් අගමැති රනිල් වික‍්‍රමසිංහ මේ රටේ ජනතාවටවත්, පාර්ලිමේන්තුවටවත් දැනුම් දී තිබුණේ නැත.
එවැනි ආතක්පාතක් නැති තත්වයක් මධ්‍යයේ ඇති වූ මහා ඛේදවාචකයක්, ‘ජාතික ආරක්ෂාව බිංදුවට වැටුනු තත්වයක්’ වශයෙන් සමාජගත කිරීම අපහසු නැත. එහෙත්, දකුණේදී 71 සහ 87-90 දී ඇති වුණා සේ හෝ උතුරේදී දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සිද්ධ වුණා සේ, මහ පරිමාණ සමාජ/දේශපාලනික හෝ ජාතික ව්‍යාපාර මත පදනම්ව නොව, පුද්ගලවාදීව දියත් කෙරුණු ත‍්‍රස්ත ප‍්‍රහාරයක් ඉතා කෙටි කාලයක් තුළ නිශ්ක‍්‍රීය කළ තත්වයක්, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ ප‍්‍රශ්නයක් වශයෙන් සූත‍්‍රගත කිරීම, යථාර්ථයට වඩා කිට්ටු වන්නේ පටු දේශපාලනික න්‍යාය පත‍්‍රයකට ය. ඒ බව නිශ්චිතවම ඔප්පු කෙරුණේ, පාස්කු ප‍්‍රහාරයෙන් සති දෙකකට ආසන්න කාලයකින් පසුවත්, නැවතත් ඊට ප‍්‍රතිප‍්‍රහාර මාලාවක් ප‍්‍රදේශ කිහිපයක් පුරා ව්‍යාප්ත කර හැරීමට එකී දේශපාලනික න්‍යාය පත‍්‍රය තුළ පියවර ගෙන තිබුණු බැවිනි.
මේ සියල්ලෙන් පෙනී යන්නේ, ගෝඨාභය රාජපක්ෂ ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ තමන්ගේම වන ආඛ්‍යානයක් නිපදවාගෙන, පාලක පංතිය ලවාද එය පිළිගන්වාගෙන සිටින බවයි. ඔහු සෙල්ලම් කිරීමට වැඩි ආශාවක් දක්වන පිටිය වන්නේ එයයි. ඒ, එකී අංශයේ ඔහු දක්ෂ ක‍්‍රීඩකයෙකු වී ඇති නිසා නොවේ. ඔහුගේ ඉතිහාසය දෙස බලන විට, අවසාන යුද්ධයේ ජයග‍්‍රහණය කෙරෙහි ඔහුගේ සහාය තීරණාත්මක වුණා විය හැකි වෙතත්, ඊට කලින්, යුද්ධය අතහැර බෙදුම්වාදීන්ට කැමැත්තක් කරගැනීමට ඉඩ දී ඔහු විදේශගත වුණා පමණක් නොව, ඇමරිකානු පුරවැසියෙකු වී, ලංකාවේ පුරවැසි භාවය අතහැර, ඇමරිකාවේ ‘ජාතික ආරක්ෂාව’ වෙනුවෙන් අවි දැරීමටත් එරටේදී දිව්රුම් දුන්නේය. මේ නිසා ලංකාවේ ‘ජාතික ආරක්ෂාව’ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ චරිත සහතිකය ප‍්‍රභාමත් එකක් නොවේ.
ඒ කෙසේ වෙතත්, ඔහු රඟහලට ගෙන ආ ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ නාටකය අනිත් කඳවුර, එනම් ‘යහපාලන කඳවුර’ එයාකාරයෙන්ම භාරගත්තේ ඇයි? එය මා හඳුන්වන්නේ යහපාලනයේ අ-දේශපාලනිකත්වය වශයෙනි. මේ යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම, යහපාලනික න්‍යාය පත‍්‍රය වක‍්‍රාකාරයෙන් පාලනය කිරීමේ හැකියාව රාජපක්ෂලාට සපයා දුනි. ඒ ගැන ජනාධිපතිවරයා කෙලින්ම වගකිව යුතු වුවත්, අගමැතිවරයා එයින් නිදොස් වන්නේ නැත. දැන් ආපසු හැරී බැලීමේදී, ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ පට්ට ප‍්‍රබන්ධයක් ගොඩනැගීමටත්, එකී ‘ජාතික ආරක්ෂාවේ’ එකම ආරක්ෂකයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ විරාජමාන වීමටත්, මේ දෙන්නාම විවිධ ආකාරයෙන් හේතුකාරක වූහ.
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය වළක්වාගත නොහැකි වීම තුළින් පෙනෙන්නේ, නායකත්වයේ සහ ආයතනික පද්ධතියේ අසාර්ථකත්වයක් මිස ජාතික ආරක්ෂාව පරදුවට වැටීමක් නොවේ. ආයතනික අසාර්ථකත්වය යනු, විශේෂයෙන් නීතිය හා සාමය පිළිබඳ ආයතන දේශපාලනීකරණය වීමයි. සහරාන් ඇතුළු අන්තවාදීන් මැඩලීම සඳහා අවශ්‍ය අවස්ථාවේ පියවර නොගැනෙන්නේ දේශපාලනික හේතු මත ය. එනිසා පාස්කු ප‍්‍රහාරය අප වටහාගත යුත්තේ, දේශද්‍රෝහී ව්‍යාපාරයකින් එල්ල වූ තර්ජනයකට වඩා, නීතිය ක‍්‍රියාවේ යෙදවීමට දේශපාලනය බාධාවක් වීම නිසා ඇති වූ තත්වයක් වශයෙනි.
හොඳයි, ගත වූ අවුරුදු හතර හමාරක යහපාලනික කාලය තුළ, ගෝඨාභය කඳවුර කියන පරිදි, ඇත්ත වශයෙන්ම රටේ ‘ජාතික ආරක්ෂාව’ පරදුවට වැටිණැයි අපි මොහොතකට සිතමු. එය සැබෑවක් නම්, එවැනි තත්වයක් ඇතිවූයේ කෙසේද? එවිට, සහරාන්ගේ තිඹිරිගෙයට යාමට අපට සිදුවෙයි.
මුස්ලිම් ප‍්‍රජාවෙන් මේ රටේ ජාතික ආරක්ෂාවට කිසි දවසක තර්ජනයක් එල්ල වී නැත. කොටි සංවිධානය සහසුද්දෙන්ම රටේ ජාතික ආරක්ෂාව අභියෝගයට ලක්කරන අවස්ථාවේ පවා මුස්ලිම් ප‍්‍රජාව සිටියේ කොටි සංවිධානය සමග නොව, දකුණේ සිංහල රාජ්‍යය සමගයි. ඊට විශාල වන්දියක් ගෙවීමටත් ඔවුන්ට සිදුවිය. තමන්ගේ උන්හිටි තැන් සහ දේපළ පවා නැති කරගෙන, පැය 24 ක් ඇතුළත උතුරෙන් පිටමං වීමට ඔවුන්ට සිදුවුණේ එබැවිනි. එවැනි ඉතිහාසයක් ඇති මුස්ලිම් ප‍්‍රජාව, 2009 දී කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජයට පත්කිරීමෙන් පසු ‘සිංහලයාගේ අනෙකා’ වශයෙන් රූ ගැන්වීමට රාජපක්ෂලා පියවර ගත්හ. එය හරියට, හතුරෙකු නැතිව ජීවත් වීමේ පුරුද්ද තිස් අවුරුදු යුද්ධ කාලය තුළ සිංහලයන් නැති කරගෙන සිටියා සේ ය. බේරුවල ඇතුළු දකුණේ නොයෙක් තැන්වල මුස්ලිම් විරෝධයක් ගොඩනැගීම එදා ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට පැවරුණි. එහි රාජ්‍ය අනුග‍්‍රාහකයා වුණේ ගෝඨාභය රාජපක්ෂයි. අනතුරුව මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පවා, එකී මුස්ලිම් විරෝධී අන්තවාදී කල්ලි රාජපක්ෂලා පෝෂණය කළහ. නුවර සහ දිගනදී එළිදැක්කේ එහි අස්වැන්නයි. සහරාන් උපන්නේ, රාජපක්ෂලා පාරට බැස්සූ එකී බලවේගවල අනුහසිනි. (ඊට අමතරව, සහරාන්ගේ උත්පත්තිය කෙරෙහි ඉස්ලාම් ආගම ඉටු කළ කාර්යභාරය ගැන වෙනම ලිපි පෙළක සාකච්ඡා කොට ඇත).
විවිධ ජාතිකයන් සහ ආගමිකයන් වෙසෙන ලංකාව වැනි රටක ‘ජාතික ආරක්ෂාව’ තිරසාරව සහතික කළ හැක්කේ, ඒ ඒ ජාතීන් සහ ආගමිකයන් අතර සංහිඳියාව ඇති කිරීමෙන්ම පමණි. පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය ‘ජාතික ආරක්ෂාව’ අනතුරේ වැටුණු අවස්ථාවක් නම්, සහරාන්ව නතර කර ගැනීමට අසමත් වූ වර්තමාන පාලකයන්ට අමතරව, සහරාන් වැනි අන්තවාදීන්ව ජාතක කළ ගෝඨාභය රාජපක්ෂ වැඩියත්ම ඊට වගකිව යුතුය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda