ජනාධිපතිවරණයට තරග කිරීමට සූදානම් වන සියලුම අපේක්ෂකයන් එකම වේදිකාවට ගෙන එමින් මහජන සංවාදයකට පහසුකම් සැලසීම සදහා, මාර්තු 12 ව්‍යාපාරය විසින් ගොඩ නැගූ ‘මහජන වේදිකාව’ ඊයේ(05) පැවැත්විණි. එහිදී අනුර කුමාර දිසානායක, සජිත් ප්‍රේමදාස ඇතුලු අපේක්ෂකයින් එම වේදිකාවේ සිටියේය. එහෙත්, ජානාධිපතිවරණය සදහා කාටත් කලින්ම සූදානම් වූ ගොඨාබය රාජපක්ෂ එහි සිටියේ නැත.
ගෝඨාබය රාජපක්ෂ එහි නොපැමිණිම ගැන, ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයෙක් වන ඩලස් අලහප්පෙරුම කියා තිබුණේ, නාම යෝජනා භාර දී නොමැති අවස්ථාවක සිදුකරන සංවාද අර්ථ ශුන්‍ය බැවින් ගෝඨාබය රාජපක්ෂ මහජන වේදිකාව සදහා සහභාගී නොවන බවයි.
ඒ ප්‍රකාශය පිළිබද ෆේස්බුක් හි අපූරු සටහන් දැක ගත හැකි විය.
‘….විභාගේට ඇප්ලිකේෂන් දාන්න කලින් පාඩම් කරලා අහුවෙයල්ලකෝ. බැරිවෙලාවත් ඇප්ලිකේෂන් රිජෙක්ට් වුනොත් පාඩම් කරපුවා අපරාදේ නේ. ඒ වුනාට දේවාලේකට, පන්සලකට ගිහින් පඩුරක් ගැට ගැහුවම මොකද,ඇගෙන් ඇටයක් යනවද. මල විකාර’මං නාම යෝජනා දීලත් නෑ තව’
‘අර්ථ ශුන්‍යයිනේ අනේ එහෙනම් පන්සල් ගානේ මල් වට්ටි ගෙනියන එකත්. #PresidentialDebate2019 #GOTA’
‘ඔබේ මහජන වේදිකාවට එන්න බැරි, පොදු අපේක්ෂක විවාදයට එන්න බැරි අපේක්ෂකයාට ඡන්දය දීමට පෙර දෙපාරක් සිතන්න
‘ ,
‘ගෝඨාබයද? ගෝඨා බයද?’
වැනි සටහන් විශාල ප්‍රමාණයක් සංසරණය විය.
ඒ සියලු දෙයින්ම කියැවුනේ ගෝඨාබයගේ ‘බිය’ ‘පොදු සංවාදයට ඇති නොකැමැත්ත’ ආදී දේවල්ය. ඩලස් අලහප්පෙරුම නම් ගෝඨාබයගේ අනුගාමික මංත්‍රීවරයා ඒ ෆේස්බුක් සටහන් අමාරුවෙන් හරි කියවා ගැනීම වටී. එසේ නැතිනම් මීට වසර ගනනාවකට පෙර තමන්ගේ මාධ්‍ය ජීවිතය ගැන හීනෙන් හරි බැලුවහොත් අලහප්පෙරුමගේ විශ්‍රාම දිවිය හෝ ‘පුරවැසි ජීවිතයක්’ බවට පත්කර ගත හැකිය.
ගෝඨාබය සහ ප්‍රජාතන්ත්‍රවාදය
ගෝඨාබය රාජපක්ෂ යනු හමුදා නිළධාරියෙක් බව රටම දන්නේය. ඒ 88, 89 කාල වකවානුවේ මාතලේ විජය විද්‍යාලයේ පවත්වාගෙන ගිය ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙක් ලෙසය. එකල එම ස්ථානය ඉතාමත් කුප්‍රකටය. තමන්ගේ ගෙදර ප්‍රශ්ණයක් නිසා නොව සමාජයේ ඇති විෂමතාවයන් නිසා පීඩාවට පත් තරුණ තරුණියන් විසින් ඇරඹි අරගලය(විවේචනද තිබේ) රාජ්‍ය හමුදාව යොදා කුඩු පට්ටම් කලේය. ඒ ආර්. ප්‍රේමදාස හෙවත් වර්තමාන ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ පියාණන් විසින් රාජ්‍ය පාලනය කල සමයේය. එහි දී ගෝඨාබය රාජපක්ෂ විසින් ප්‍රේමදාස පාලනය ඉල්ලා සිටි මර්දනය අකුරටම දියත් කළ හමුදා නිළධාරියෙකි. එහි ප්‍රතිපල ලෙස සිය ගණනක් තරුණ තරුණියන් ටයර් සෑයවල් වල පිළිස්සුනු අතර බොහෝ දෙනෙක් තවමත් සිටින්නේ අතුරුදහන් ලැයිස්තුවේය. විජය විද්‍යාලයේ පැවති හමුදා කදවුරේ සංග්‍රහ කෙසේද යත් මාපට ඇගිලි, අගල් 2කකින් විතර දික් වූ ඇගිලි සහිත තරුණයින් තවමත් මාතලේ ප්‍රදේශයෙන් සොයා ගත හැකිවිය. මේ ගෝඨාබය රාජපක්ෂලා ගේ වත් පිළිවෙත්ය. ප්‍රශ්ණවලට විසදුම් සොයන ආකාරයය. පසුව ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් දූරයට පත් වූ පසු, උතුරේ අරගලය බිමට සමතලා කරන ලද්දේ ඊනියා මානුෂික මෙහෙයුම නම් මුග්ද ක්‍රියාවලිය හරහාය. එයින් ඇති කල කම්පනයට අද දක්වාම පිළිතුරක් සොයා ගැනීමට ලාංකීය රාජ්‍ය අසමත්ව ඇත. ඒ අසමත් වීමේ එක් ප්‍රතිඵලයක් ලෙස උතුරේ මව්වරුන් සහ පියවරුන්, ඇතුරුදහන් කළ සහ හමුදාවට බාර දුන් සිය සමීපතමයන් ඉල්ලා දින 1000කට ආසන්න කාලයක් මහපාරවල් වල සුසුම් හෙළමින් සිටී. එයට රාජපක්ෂා දුන් නම ‘විජයග්‍රහණයයි’. ඒ ගෝඨාබය ඇතුලු රාජපක්ෂලාගේ මානුෂිකත්වයේ තරමය.
එපමනක් ද නොවේ ගෝඨාබය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටිය දීම දේශපාලන වේදිකාවලට නැග දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටියේය. ඒ රාජ්‍ය සේවකයෙක් ලෙස ලංකාවේ නීතියට ගරු කල එක් ආකාරයකි. රාජපක්ෂ ආණ්ඩුව යටතේම ප්‍රවීණ පුවත් පත් කතුවරයෙක් වූ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමේන පසු, ‘කවුද ලසන්ත කියන්නේ’…. යනුවෙන් කීමට පවා ප්‍රජාතන්ත්‍රවාදී සිතිවිලි තිබූණේද මෙ ගෝඨාබයට ය. එබැවින් ගෝඨාබය රාජපක්ෂ සහ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම්, නිතියේ පාලනය, විද්වත් සංවාද වැනි මාතෘකා සම්බන්ධයෙන් කතා කර විට ඉහත කී ලැයිස්තුව තවත් දිගුය. එය මේ රටේ ඇස් කන් ඇරගෙන සිටි ඕනෑම අයෙක්ට සාක්ෂි සහිතව සොයා ගත හැකිය. නමුත් වහල් මානසිකත්වයක් ඇති අනුගාමිකයන්ට ඒවා පෙනෙන්නේ නැත.
එවැනි භාවිතාවක් ඇති ගෝඨාබය රාජපක්ෂ වැනි අයට පොදු මහජන වේදිකාවන් වල කෙරෙන විද්වත් සංවාදයන් හුරුපුරුදු දේවල් නොවේ. එම වේදිකාවන්වලට ගොඩ වීම සදහා ඔවුන්ට ශක්තියක් ඇත්තේ ද නැත. එසේම ගෝඨාබය සංවාද භාෂාව දන්නේ ද නැත. ඒවාට ගොඩ වී වෙනස් මතයන්, අවම වශයෙන් අසාගෙන සිටීමට හෝ ශක්්‍යතාවයක් ඔහුට නැත. එය එසේ වන්නේ ගෝඨාබය රාජපක්ෂ වැන්නන් පුරුදු වී ඇත්තේ තනි කාමරවල, තම මතයට එකග අනුගාමිකයන් සමග පමණක් විනෝද වීමටය. එපමණක් ද නොවේ. සුවිශේෂීම කාරනය වන්නේ, ගෝඨාබය වැන්නන්ගේ සුපුරුදු භාවිතාව ලෙස පසුගිය කාලය පුරාම දක්නට ලැබුණේ තර්ජනයෙන් සහ මර්දනයෙන් අදාල ගැටලුවට පිවිසීමත්, ඒ අර්ථයෙන්ම එය විසදීමට උත්සහ කිරීමත්ය. ඒ සදහා ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ඔවුන්ට වැඩක් වන්නේ නැත. මානව හිමිකම් හෝ විද්වත් කතිකාවන් ඔවුන්ට අවහ්‍ය වන්නේ නැත. අවම ලෙස හෝ ශිෂ්ටත්වයේ ලක්ෂණ ඔවුන්ට අවශ්‍ය වන්නේ නැත. හලාවත ඇන්ටනී, කටුනායක රොශේන් චානක, වව්නියේව නිමලරූබන් මෙන්ම රතුපස්වලදී අප අත් දුටුවේ ඒ ගෝඨාබය රාජපක්ෂලාගේ ‘මහජන වේදිකාවන්වල’හැසිරීම්ය. එම නිසා ඊයේ පැවති ‘මහජන වේදිකා’ වැනි ප්‍රජාතන්ත්‍රීය අවකාශයන් ගෝඨාබය රාජපක්ෂට ඇලජික්ය. ඇලජික් හදා ගැනීමට ගෝඨාබය රාජපක්ෂට අවශ්‍ය නැති නිසා ගෝඨාබය පැමිණියේ නැත. එම නිසා ගෝඨාබය නොපැමිනීම සාධාරණය.
එබැවින් මාර්තු 12 ව්‍යාපාරය යෝජනා කරන ප්‍රජාතන්ත්‍රවාදී ‘මහජන වේදිකා’ ගෝඨාබය රාජපක්ෂලාට අවශ්‍ය නැත. ඒ ඉහතින් දැක්වූ ආකාරයට ගෝඨාබය මොඩලය මර්දනයේ මොඩලයක් විනා, ප්‍රජාතන්ත්‍රවාදී මොඩලයක් නොවන නිසාය. ඒ නිසා ඔහු වැන්නන්ට ආරාධනා කිරීමට පෙර සිතිය යුතුය.
මේ ඔහුගේ අනුගාමිකයෙක් වන මධුමාදව අරවින්ද විසින් ඔහුගේ ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනකි. එය රාජපක්ෂ මොඩලය තේරුම් ගැනීම සදහා තවත් එක් කැඩපතකි.