iMAGE: Screenshot ( Madhumadhava Aravinda FB page)
ගෝඨාභය ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබා ගැනීම පසුපස ඇති අක‍්‍රමිකතා ප‍්‍රශ්න කරමින් මේ ලියුම්කරු සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර අභියාචනාධිකරණය ඉදිරියේ ගොනු කළ රිට් පෙත්සම පසුගිය සිකුරාදා (5) ඒකමතිකව නිශ්ප‍්‍රභ විය. එදා රටේ බොහෝ පෙදෙස්වල රතිඤ්ඤා පත්තු විය. ගෙවල් කිහිපයක් ගිනිබත් විය. ඒ අතර, රාජපක්ෂ පවුල් සමාගම ජයපැන් බීවේය. අභියාචනාධිකරණය තුළමත්, විනිශ්චයාසනය ඉදිරියේම ප‍්‍රීති ඝෝෂා පැවැත්විණ.
පෙත්සමේ විනිශ්චය ප‍්‍රකාශයට පත්වී පැයක් ගතවීමටත් කලින් මට තර්ජනාත්මක දුරකථන ඇමතුමක් ලැබුණි. එය ‘ලංකාවට ආදරය කරන දේශපේ‍්‍රමියෙකුගෙනි’. ඇමතුම ආවේ ඇමරිකාවෙනි. ලංකාවේ ‘දේශපේ‍්‍රමය’ අද ඔදවඩන්නේ ඇමරිකානුවෙකු විසින් නිසා එයින් මම පුදුමයට පත්නොවීමි. අද දක්වාමත්, තේනුවරටත්, මටත් සමාජ මාධ්‍ය ජාල හරහා තර්ජන, ගර්ජන, නින්දා අපහාස ගලා එමින් තිබේ. මධුමාධව අරවින්ද නමැති පුද්ගලයා, ‘එක්නැලිගොඩ පාරේ යාමට වියන්ගොඩට සුබ පතන’ බව තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කොට තැබීමට වගබලාගත්තේය. අප වැනියවුන් ඝාතනය කළ යුත්තේ එක වර නොව, දස වධ දී අඟපසඟ සිඳලීමෙන් අනතුරුව බව එක් කාන්තාවක් ලියා තිබුණාය.
මේ අතර ‘විදග්ධ’ ගණයේ අපවාදත් තිබේ. අද (10) ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේ ලිපියක් ලියන, දැනට ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වන හිටපු මහාචාර්යවරයෙකු කියන්නේ ‘අනවශ්‍ය කලබලයක් ඇති කළ’ මේ රිට් පෙත්සම ‘ළදරු වලිප්පුවක්’ බවයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන පුද්ගලයෙකු වැළැක්වීමට තැතනීම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ක‍්‍රියාවක් බව ඔහුගේ අදහසයි. ‘‘ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපති අපේක්ෂකත්වයට කෙනෙකුට එරෙහි විය හැකි වෙතත්, ඔහුට ජනාධිපතිවරණයට තරග කිරීමට ඇති ‘අයිතියට’ කෙනෙකු එරෙහි විය යුතු නැති’’ බව ඔහුගේ ආස්ථානයයි. ‘මහින්ද දේශප‍්‍රිය ගෝඨාට පක්ෂපාතීත්වය දක්වයි’ මැයෙන් පසුගිය සැප්තැම්බර් 7 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ ලිපියක් හේතුවෙන් ඇවිස්සී ගොස් මේ රිට් පෙත්සම අප ගොනු කරන්නට ඇතැයි තමා සිතන බව ඔහු කියයි. ඔහුට අනුව, අපේ පෙත්සමේ මූලික කරුණු දෙකක් තිබේ. එකක් වන්නේ, ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය නිසියාකාරයෙන් අත්හැර නැති බවයි. දෙවැන්න වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ සහෝදරයා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් කොට ලබාදන ලද ගෝඨාභයගේ ලංකාවේ පුරවැසි සහතිකයට නීතීමය පදනමක් නැති බවයි.
මේ මහාචාර්යවරයාගේ ‘විචාරය’ ගැන තක්සේරුවක් කිරීමට කලින් ඔහුගේ පැටිකිරිය පාඨකයා දැන ගැනීම ප‍්‍රයෝජනවත් ය. මොහු පැරණි මාක්ස්වාදියෙකි. කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වශයෙන් සිටින කාලයේ මහින්ද රාජපක්ෂට හා ගෝඨාභය රාජපක්ෂට ඞී. ලිට්. (ගෞරව උපාධියක්) පිරිනැමීමට විශ්ව විද්‍යාල සනාථන මණ්ඩලයේදී යෝජනා ඉදිරිපත් කෙළේ මොහු ය. එය වැළැකුණේ, මහින්දත් ගෝඨාභයත් එම උපාධිය පිළිගැනීම ප‍්‍රතික්ෂේප කළ නිසා ය. ඒ සමග, රාජපක්ෂවරුන්ගේ පියා ගැන වර්ණනාත්මක චරිතාපදානයක් ඔහු ලීවේය. ඒ සියල්ල කොට, ඕස්ටේ‍්‍රලියාවේ තානාපතිකම ඔහු බලාපොරොත්තු විය. යම් හේතුවක් නිසා ඒ අපේක්ෂාව අසාර්ථක වූ තැන ඔවුන්ව නිර්දය ලෙස විවේචනය කිරීමට ඔහු පටන්ගත්තේය. අනතුරුව වර්තමාන ජනාධිපතිවරයා වර්ණනා කරමින් ‘යහපාලන ආණ්ඩුවෙන්’ එය ලබාගැනීමට වර්තමාන ආණ්ඩුවට ඔහු ආවැඩුවේය. එයත් නිෂ්ඵල වූ පසු වර්තමාන ආණ්ඩුවත් ඔහු විවේචනය කිරීමට පටන්ගත්තේය. එනිසා, මීට කලින් කී හුදී ජනයාගේ සියලූ ගර්හා අපහාස අව්‍යාජ ඒවා වශයෙන් සලකන මා, මේ මහාචාර්යවරයාගේ අවලාදය සලකන්නේ කුඩුකේඩු අවස්ථාවාදී කමක් වශයෙනි.
මේ රිට් පෙත්සමට පූර්වාසන්නයේ සහ එය විභාග කෙරෙන දින කිහිපයේ සමාජ මාධ්‍ය ජාල හරහා අපට පක්ෂව සහ එරෙහිව පළවූ මතවාද, විවේචන ආදිය ගැන මගේ සැලකිල්ල යොමු විය. විනිශ්චය ප‍්‍රකාශයට පත්වීමට පෙර අපේ ක‍්‍රියාව විවේචනයට ලක්කළ නාමධාරී යමෙකු වීද, එම පුද්ගලයන්ගේ විවේචන සමඟ මගේ එකඟත්වයක් නැතත්, ඒ පුද්ගලයන්ට මගේ ගෞරවය හිමි වෙයි. එසේම, විශේෂයෙන් අධිකරණයේ ‘පරාජයෙන්’ පසුව අපගේ පුරවැසි ක‍්‍රියාව අගය කළ, නාමධාරී සහ එසේ නොවන අති විශාල පිරිසටත් මම කෘතඥ වෙමි. අනිත් අතට, විනිශ්චය ප‍්‍රකාශයට පත්වීමට මත්තෙන් කිසිවක් කීමෙන් වැළැකීමට වගබලාගත් සහ විනිශ්චය තුළින් අප ලද ‘පරාජයෙන්’ පන්නරය ලැබ අපට විමුක්තිකාමී දේශපාලනය උගන්වන්ට පසුව පැමිණි ‘ශාස්තෘවරුන්’ ගැන මම අනුකම්පා කරමි. (මේ මිනිසුන් කතා කරන්නේ කිසිවෙකුට නොතේරෙන භාෂාවක් වීම රටේ වාසනාවකි). ඉන් එක් අයෙකු, මා අශූචි තවරා ගැනීමේ ශූරයෙකු බව, විනිශ්චයෙන් පසුව ලියා දන්වා තිබුණි. පැසිස්ට්වාදයට එරෙහි ක‍්‍රියාන්විතය තුළ ජීවිත අහිමි කරගත් ලසන්ත වික‍්‍රමතුංග, ප‍්‍රගීත් එක්නැලිගොඩ, ලලිත් සහ කුගන් ආදීන්ට සාපේක්ෂව, අතපය කඩාගත් පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් සහ කීත් නොයාර් වැන්නවුන්ට සාපේක්ෂව, මා ‘අශූචි තවරා ගත්’ ළදරුවෙකි. ඒ ගැන විවාදයක් නැත. එහෙත් පැසිස්ට්වාදය තුළ ළදරුවා ඇවිදින්ට පටන්ගත් විට අශූචි තවරයි. දුවන්ට පටන් ගත් විට කකුල් කඩයි. හයියෙන් කතා කරන්ට පටන්ගත් විට සදහට නිශ්ශබ්ද කරයි. එහි අදහස වන්නේ, පැසිස්ට්වාදය යනු, කෙනෙකුගේ ඇෙඟ් අශූචි තවරා අතහෝදාගෙන අයින් වෙන දෘෂ්ටිවාදයක් නොවන බවයි. දැනට හිරේ සිටින සියලූ ‘රණවිරුවන්’ එළැඹෙන නොවැම්බර් 17 වැනි දාට නිදොස් කොට නිදහස් කරන බව පෙරේදා (9) ගෝඨාභය රාජපක්ෂ කීවේය. ඔහු මේ කතා කරන්නේ දරුවන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් මරා දැමූ අපරාධකාර ‘රණවිරුවන්’ ගැනයි. ලසන්ත වික‍්‍රමතුංග සහ ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කළ අපරාධකාර ‘රණවිරුවන්’ ගැනයි. එනම්, එළැඹෙන නොවැම්බර් 17 වැනි දා සිට මේ රටේ ඝාතනය කිරීමේ සහ සුදු වෑන් එවීමේ අවසර පත‍්‍රය යළිත් වරක් තමා අතට ගන්නා බව නොවේද මේ කියන්නේ? එබැවින්, මේ මොහොතේ අප උත්සාහ කරන්නේ, ‘අශූචි නාගෙන’ හෝ ගෝඨාගේ ඒ කියන නොවැම්බර් 17 වැනි දා එළඹෙතැයි කියන අඳුරු ඉරණම වැළැක්වීමටයි.
රිට් පෙත්සමේ වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි, අධිකරණ විනිශ්චයෙන් පසුව ගිය සතියේ තමාගේ ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තිබුණි: ‘‘වියන්ගොඩ, තේනුවර: මේ නිහඬ බව බිඳින්න, තව මොනවා හරි කරන්න.’’
‘හඬ’ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික ලක්ෂණයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තුළ නිදහස සහ නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ එයයි. ෆැසිස්ට්වාදය යනු නිශ්ශබ්දතාව ඇති කරවන්නකි. හඬට ඉඩක් නැති ෆැසිස්ට්වාදය තුළ සමස්ත සමාජයම ගොළුවන් බවට පත්කෙරේ. ඉහත කී ගීත ඛණ්ඩය ජනාධිපති නීතිඥවරයා උපුටා දක්වා ඇත්තේ අපේ හඬ කෙරෙහි වන උපහාසයෙන් යුතුව බව පැහැදිලි ය. ඔහුගේ උපහාස රසයට පවා ෆැසිස්ට්වාදයක් තුළ අවසර නැති බව සමහරවිට උගත් නීතිඥවරයා නොදන්නවා ඇති. දොස්තර ෂාෆිට එරෙහිව නැගූ ජාතිවාදී ම්ලේච්ඡ හඬ, අප ඇතුළු මේ රටේ යුක්තිය අගයන සකල ප‍්‍රගතිශීලී විරෝධතාවේ හඬ නොවන්නට, එදා ජයගන්නට ඉඩ තිබුණි. දොස්තර ෂාෆි අභූත සහ අමානුෂික චෝදනාවෙන් නිදහස් වී ඇති අද, එදා දොස්තර ෂාෆිට එරෙහිව මාරාන්තික උපවාස කළ අතුරලියේ රතන භික්ෂුව අලි සබ්රිගේ සේවාදායක ගෝඨාගේ කඳවුරට මාරු වී ඇති අද, මේ උගත් නීතිඥවරයා කියන්නේ කුමක්ද? දොස්තර ෂාෆි 4000 ක් කාන්තාවන් වඳ කළ කතාව පොහොට්ටුව පැළ කළ ප‍්‍රබන්ධයක් බවයි. මේ ‘අවබෝධය’ එතුමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශයට පත්කිරීමට මෙතෙක් පමා වීම හේතුවෙන් වෛද්‍ය ෂාෆිට විශේෂ අනතුරක් සිදුව නැත. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ෆැසිස්ට්වාදය පිළිබඳ ප‍්‍රශ්නයේදී දවසක පමාවක් වුව අතිශය තීරණාත්මක ය. එනිසා, ගොළුවන් බවට මේ සමාජය පත්කිරීමට කලින්, නිහඬ බව බිඳීම සඳහා නැගිය හැකි සෑම හඬක්ම අප නගන බව ලියා දැන්විය යුතුය.
ඉහත කී මහාචාර්යවරයාගේ ප‍්‍රකාශය ගැන තවදුරටත්: මුලින්ම, ඔහු මේ රිට් පෙත්සමේ නඩු නිමිත්තවත් නිවැරදිව තේරුම්ගෙන නැත. ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ඇමරිකානු පුරවැසි භාවය නිසියාකාරයෙන් අත්හැරගෙන නැති බව අප මේ පෙත්සමෙන් මොන විදිහකින්වත් කියා නැත. අප ප‍්‍රශ්න කොට තිබුණේ, ඔහු ලංකාවේ ද්විත්ව පුරවැසි භාවය ලබාගැනීමේ අක‍්‍රමිකතාවන් හේතුවෙන්, 2005 සිටම ඔහු ඇමරිකානුවෙකු මිස ලාංකිකයෙකු නොවුනු බවයි. අනික, ජනාධිපතිවරණයට තරග කිරීමට කෙනෙකුට ඇති ‘අයිතිය’ අප ප‍්‍රශ්න නොකළ යුත්තේ ඇයි? යමෙකු ලාංකිකයෙකු නොවන්නේ නම්, ඔහුගේ අපේක්ෂකත්වය අප ප‍්‍රශ්න කළ යුතු නැත්ද? උදාහරණයක් වශයෙන් කෙනෙකු වයස අවුරුදු 35 ට අඩු පුද්ගලයෙකු නම් ඔහුගේ අපේක්ෂකත්ව ‘අයිතිය’ අප ප‍්‍රශ්න කළ යුතු නැත්ද? අප ප‍්‍රශ්න කෙළේ, දේශපාලනික කාරණයක් නොව, නෛතික කාරණයකි. අනීතික ඕනෑම දෙයක් ප‍්‍රශ්න කිරීමේ නෛතික, දේශපාලනික සහ සදාචාරමය සෑම අයිතියක්ම පුරවැසියෙකුට ඇති බව අපේ විශ්වාසයයි.
(නෛතික කාරණයක් පිළිබඳ ප‍්‍රශ්න කරන්නේ දේශපාලනික අරමුණු පෙරදැරිව නොවේදැයි කෙනෙකු ප‍්‍රශ්න කළ හැකිය. මේ කොලමේ ඉඩකඩ පිළිබඳ ප‍්‍රශ්නය නිසා, ඒ ගැන වෙනත් කොලමක ලිවීමට බලාපොරොත්තු වෙමි)
ඊළඟට, තමාගේ ද්විත්ව පුරවැසි සහතිකයේ පිටපතක් සාක්ෂියක් වශයෙන් ඉදිරිපත් කරන මේ මහාචාර්යවරයා එදා ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග ඊට අත්සන් කොට ඇති බව අපට පෙන්වයි. මහාචාර්ය මිනිසුන් තර්ක ඥානයෙහි ලා මොන තරම් දිළිඳු ද/ ගිය ඔක්තෝබරයේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති සිරිසේනගේ ‘අත්සන’ තිබුණි. එහෙත් එම අත්සන ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව නිශ්ප‍්‍රභ කෙළේය. හේතුව? ඕනෑම අත්සනකට කලින්, වලංගු සහ නීත්‍යානුකූල කි‍්‍රයාපටිපාටියක් සහ වෙනත් නෛතික කොන්දේසිද සපුරාලීමට ඇති බැවිනි. උක්ත මහාචාර්යවරයාගේ ද්විත්ව පුරවැසි සහතිකය සඳහා චන්ද්‍රිකා කුමාරතුංගේ අත්සනට කලින් තිබුණු එකී වලංගු සහ නෛතික ක‍්‍රියාපටිපාටිය, ගෝඨාභය රාජපක්ෂගේ සහතිකයේ අත්සන පසුපස නැති බවයි අපේ චෝදනාව වුණේ. අභියාචනාධිකරණය අපේ ආස්ථානය ප‍්‍රතික්ෂේප කිරීම වෙනම කාරණයකි. ඒ විනිශ්චයට එළැඹීම සඳහා ගරු අධිකරණය සැලකිල්ලට ගත් කරුණු කවරේදැයි තවම අප වෙත ලැබී නැත. එහෙත්, මහාචාර්යවරයෙකු තමාගේ ද්විත්ව පුරවැසි සහතිකයටත් ජනාධිපතිවරියක් අත්සන් කර තිබූ පමණින්, ගෝඨාභය රාජපක්ෂගේ සහතිකයටත් ජනාධිපති අත්සනක් ඇති නිසා අප නඩු නොයා සිටිය යුතුව තිබිණැයි කීම අමනෝඥ ය.
ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda