iMage:Kanchuka/FB

“යම් කටයුතු පවතින ආකාරය එසේ වූ පමණින් ම ඒවා තිර ලෙස එලෙසම පවතින බවට සනාථ කල නොහැකිය” – Bertolt Brecht.

මෙම ලිපිය ලිවීමේ මුලිකම අරමුණ වන්නේ පවතින සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද විනාශ වීම නොදකින දෑස් පිලිබඳ විස්තර කිරීමටය. ආචාර්ය කංචුකා ධර්මසිරි විසින් රචිත නොදුටු ඇස් වේදිකා නිර්මාණයේ පෙරහුරුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ WUS වලේ සිට පසුගිය දිනක ම‍ම නරඹූූ වෙමි. නිර්මාණයේ තේමාව වුයේ, යුද්ධයේ කටුකත්වය සහ අමානුෂිකත්වය පුන පුනා විස්තර කිරීමත්, එවැනි යුද්ධයක් නැවත ඇතිවීම වළක්වා ගැනීමේ වැදගත්කමත්ය.

මෙම වේදිකා නිර්මාණය මා හට ‘සත්‍ය ‘ කුමක් දැයි සෙවීමේ අර්ථාන්විත බව නැවත පසක් කරන ලදී. මෙම සත්‍ය සෙවීම, මේ මොහොතේ මෙරට ගෙවෙන දේශපාලනය සමඟ සමපාත කරමි.

ශ්‍රී ලංකාව ජනාධිපතිවරණයක් වෙනුවෙන් සුදානම් වෙමින් පවතී. ශ්‍රී ලංකා දේශපාලනය ප්‍රධාන ලෙස ම පිතෘ මුලික ලිබරල්වාදී දෘෂ්ටිවාදය තුල, කේන්ද්‍රණය වී ඇත. ලිබරල්වාදයට මුවා වී, රාජ්‍ය ශක්තිමත් කිරීමට යෝජනා කරන නන්දසේන රාජපක්ෂ මහතාගේ දේශපාලනය මෙම ලිපිය තුළ අවධානය දිනා ගනී. එහි දී, රාජ්‍ය ශක්තිමත් කිරීම වෙනුවෙන් පුද්ගලකු අවශ්‍ය බවත්, රාජ්‍ය යනු පාලකයා බවත්, එම පාලක පුද්ගලයා ගේ චෛතසික භාවයන් රාජ්‍යයේ නීතියට ඉහලින් පවතින බවත්, එම චෛතසික සහ මනෝ භාවයන් රාජ්‍ය ආරක්ෂාව යටතේ සාධාරණිකරණය කරන ආකාරයත් දැකිය හැකිය. උදාහරණ ලෙස ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම රාජපක්ෂ දෘෂ්ටිවාදය විසින් සාධාරණිකරණ කරනු ලබනුයේ, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සිදුකරන ලද ක්‍රියාවක් ලෙසය. එපමනක් නොව රාජ්‍ය හමුදාව වෙත ස්ව කැමැත්තෙන් බාර වූ විමුක්ති කොටි සාමාජිකයන් සහ සිවිල් වැසියන් බලහත්කාරයෙන් අතරුදහන් කරනුයේ රාජ්‍ය ආරක්ෂාව ඔවුන් විසින් කරන ලඳ නිර්වචන සහ මනෝභාවයන් ප්‍රශ්න කිරීම වෙනුවෙනි. මෙසේ කරන ලඳ අතුරුදහන් කිරීම් පිලිබඳ ප්‍රශ්න කිරීමේ දී, නන්දසේන මහතාට සිනා පහල වන අතර එය සිනා බෝ වීමක් විය. එහිදී ඔවුන් සංකේත කරනු ලැබුවේ, ජාතික ආරක්ෂාව වෙනුවෙන් සිවිල් පුරවැසියන් අතුරුදහන් කිරීම සිහි කැඳ වීමත් හාස්‍ය උපදවන්නක් බවය.

නන්දසේන මහතාගේ දේශපාලන වේදිකා ප්‍රකාශන කේන්ද්‍ර ගත වන්නේ අතිශය බලයක් සහිත එක් පුද්ගල චරිතයක් බිහිකර ගැනීමත්, එමගින්, පවතින විෂමතා තුරන් කල හැකි බවත්ය. එසේම පවතීන ආරථික, සමාජ සහ දේශපාලන විෂමතා සපුරා ඉවත් කිරීමට රාජ්‍ය අත්‍යවශ්‍යයෙන් ම මැදිහත් විය යුතු බවත් ඔහුගේ දේශපාලනය විශ්වාසය වේ. රාජ්‍ය යනු, යුධ හමුදාව, පොලිසිය සහ වෙනෙත් ආකාරයේ පිඩක ආයතන රැසකගේ එකතුවක් වන අතර, එම පිඩක ආයතන මගින්, ‘පුද්ගලයා ගේ විනය’ සකස් කරනු ඇති බව හෙතෙම දැඩි ව කියා සිටි. ගැටලුව නම්, එම අතිශය බල භාවිතය ප්‍රශ්න කරන, සහ එම බල භාවිතය සමඟ විසම්මුතික වන පුද්ගලයන්ගේ ඉරණම ද තීරණය කරනුයේ මෙම බල අධිකාරීන් විසින් වීමය.

2012 දී මා, කොළඹ බොරැල්ල උමන් මාර්ගය තුල වූ වෙළඳ සලක හිමිකාර කාන්තාවක් සමඟ සංවාදයක සිටියෙමි. ඇයගේ වෙළඳසල අසල රඹූටන් ලෙලි කිහිපයක් වැටී තිබීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් රුපියල් 2500 ක දඩයක් නියම කරන ලදී. ඇයගේ ගැටළුව වුයේ, වෙළඳසල අසල වැටී තුබූ රඹූටන් ලෙලි වෙනුවෙන් දඩ නියම කිරීම සාධාරණ නොවන බවය. මෙවැනි අවිචාරවත්, අසාධාරණ නීති ක්‍රියාත්මක කරනු ලැබුවේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන ලේකම් වූ නන්දසේන ගෝටබය රාජපක්ෂ මහතා විසිනි.

එසේම 2012 ප්‍රසිද්ධ ස්ථානයන්හි බුලත් කෙල ගැසීම පවා මගින් තහනම් කර, පිරිසිදු රාජ්‍යක් වෙනුවෙන් රාජ්‍ය බලය අතිශය භයන්කාරිව යොදා ගනිමින් ගොඩ නගන ලද, විනය ගරුක සමාජයේ අසාර්ථක වීම හඳුනා ගත හැකි වන්නේ, 2017 දී කුණු කඳු නාය ගොස් මිනිසුන් අතුරුදහන් වීම සහ මිය යාමේ ඛේදවාචකයත් සමඟිනි. එසේ බලාත්කාර යටත්කරණයක් සහ අතිශය ලෙස රාජ්‍ය බලය යොදා පුද්ගලයා විනය ගරුක කිරීමට උත්සුක වූ පාලනයක් නැවත අවශ්‍ය වේද ?

මා දැඩි ලෙස ප්‍රිය වන ක්‍රිකට් ක්‍රීඩකයකු වූ මුත්තයියා මුරලිදරන් පැවසුවේ මිනිසුන්ට අවශ්‍ය තුන්වේල ආහාරය මිස ප්‍රජාතන්ත්‍රවාදය නොවන බවය. (http://www.themorning.lk/what-people-need-is-three-meals-not-democracy-muralitharan/). එයට දිය හැකි හොඳම පිළිතුර මම අජිත් පැරකුම් ගේ කේ පොයින්ට් (2018) පොතේ වූ අඛ්‍යනයෙන් සොයා ගතිමි. එහි 1989 ජනතා විමුක්ති පෙරමුණු කැරැල්ලේ සාමාජිකයන්, හමුදා ව විසින් මානසිකව, ශාරීරිකව සහ ලිංගිකව අමානුෂික පිඩනයට සහ දුෂණට ලක් කරන ආකාරය පෙන්වා දෙයි. එක් සංවේදී අවස්ථාවක් වන්නේ, කැරලි කරුවන්ට, වැසිකිලි යාමට ලබාදුන් මිනිත්තු 10 කාලය ඉක්මවා යමෙකුට වැසිකිලි යා නොහැකි අතර, තදබල අවශ්‍යතාවයක දී ඔවුන්, අසුචි පොලිතින් මලු වෙත රහසිගතව බැහැර කරයි. මා සිතනා ලෙස මුරලිදරන් මහතාට, ඔහු කැමති ආකාරයට ප්‍රජාතන්ත්‍රවාදය නොමැතිව, හමුදා පාලනයක් යටතේ, ජිවත් වීමට සිදු වුව හොත්, ඔහුට අවශ්‍ය අවස්ථාවේදී වැසිකිලියාමට පවා වන නිදහස ද නොමැති වනු ඇති අතර, එම අවශ්‍යතාවය ඔහුට අවශ්‍ය වෙලාවේ දී සිදුකර ගැනිම වෙනුවෙන් රහසිගතව, පොලිතින් උරයක් ආධාරයට ගැනීමට සිදු වනු ඇත. වඩාත් සිහිබුද්ධියෙන් හඳුනා ගත යුතු කරුන නම්, ප්‍රජාතන්ත්‍රවාදය නොමැති විට, තුන් වේල කෑමට හෝ ශිෂ්ට සම්පන්නව ජිවත් වීමට අවශ්‍ය කිසිදු හැකියාවක් හිමි නොවන බවය.

විනය ගරුක සමාජයක් යනු ශිෂ්ටාචාර වීම නොවේ. Michel Foucault ට අනුව විනය සමඟ බැඳෙන අනෙක් කරුණ නම් දඩුවම වේ. විනය උල්ලඝනය කිරීම දඩුවම් ලැබීමට හේතුවකි (http://criticallegalthinking.com/2019/02/26/michel-foucault-discipline/). මෙහිදී, විනය සහ දඩුවම තීරණ කරන්නේ කෙසේද ? කවුරුන් විසින් ද යන්න පිලිබඳ Foucault අවධායනය යොමුකර තිබේ. විනය උල්ලංඝනය කිරීම හේතුවෙන් මිනිස් ශරීරය වදහිංසා වට පවා ලක් වනු ඇති බවත්, එවැනි වධ හිංසා නීතියේ අවශ්‍යම කොන්දේසියක් බවත් පාලකයා තීරණය කරනු ඇත.

විනය යනු තමන්ගේ චරිතයේම පිලිබිඹුවක් විය යුතුය. නමුත් නන්දසේන මහතා ඇතුළු කණ්ඩායම අපේක්ෂා කරනුයේ, විනය ගොඩ නැගීමේ බලය තමන් සතු අතර එම විනය අනන්‍යයන් අනිවාර්යයෙන්ම පිළිගෙන අනුගමනය කළ යුතු බවය.

Jeremy Bentham මෙම අස්ථානය විග්‍රහ කිරීමට ගේ Panopticon සංකල්පය යොදාගනී. මෙම සංකල්පය තුල අන්තර්ගත වන ප්‍රත්‍ය නම්, සංන්නාහ සන්නද්ධ සෙබළුන් විසින් ආයතනික මධ්‍ය සිට නිරන්තරයෙන් ජනතාව පරික්ෂා කරනු ලබන අතර එය ජනතාව ආරක්ෂා කිරීමේ ක්‍රමයක් ලෙස හදුන්වා දෙයි. එසේම මෙම ක්‍රමවේදය යතාර්ථවාදී සත්‍ය ලෙස ජනයා වෙත ඒත්තුගන්වන අතර එහිදී නිරන්තර බල භාවිතය සාමාන්‍ය බවට ද පෙන්වා දෙය.(http://criticallegalthinking.com/2019/02/26/michel-foucault-discipline/).

විනය ගරුක වීම වෙනුවෙන් රාජ්‍ය ප්‍රචණ්ඩත්වය මුදාහැරිම සාමාන්‍ය බව පිළිගනු ලබන සමාජයක් යනු යමර දේශපාලන ක්‍රමයේ ආරම්භයකි. එවැනි සමාජයක තම අනෙකා මරා දැමීම, අතුරුදහන් කිරීම මහජනයා විසින් සාධාරණය කරනු ඇත. මෙම අනතුර නොදකින දෑස්, ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධ වේ. ඔවුන් යුද්ධය/ යටපත්කිරීම, ප්‍රචණ්ඩත්වය භාවිතා කිරීම හැර ප්‍රේමය, සාධාරණත්වය වෙත අවකාශයක් නොදේ. එවැනි සමාජයක, අප ජිවත් විය යුත්තේ, මනුෂ්‍යන් ලෙස නොව වස්තුන් ලෙස පමණි. එකී සමාජයක ස්ත්‍රියක් වේනම්, ඇයගේ ශරීරය පමණක් භාවිතා වීමට හැකියා ව ඇති අතර, ලිංගික වස්තුකරනයෙන් තොරව ස්ත්‍රිය මනුෂ්‍යකු ලෙස හඳුනා නොගනී. දෙමළා සහ අන් වාර්ගිකයන් යනු තව දුරටත් ස්ත්‍රිය සම වන වස්තුවක් පමණක් වන අතර ඔවුන් පාලනය කිරීම වෙනුවෙන් බලය යොදා ගැනීම, හුදකලා කිරීම සහ සතුරෙකු ලෙස පෙන්වා දීම වැනි රාජ්‍ය බල භාවිත ව්‍යපෘති දැක ගත හැකි වනු ඇත.

විනය ගරුක සමාජයක් අපේක්ෂිත ජනතාව අවසානයේ දී දඩුවම් සමාජයක් ලෙසට හැඩගැසෙනු ඇත.

අරුණි සමරකෝන් | Aruni Samarakoon