iMage;muvighost

පසුගියදාක සජිත් ප්‍රේමදාස තමා ජනාධිපති වූ විගස ස්ත්‍රී සනීපාරක්ෂක තුවා නොහොත් පෑඩ්,(එකී කාරණය සම්බන්ධයෙන් ස්ථිර විසදුමක් ලබා දෙන තුරු,) නොමිලයේ ලබා දීමට පියවර ගන්නා බවට දෙන ලද පොරොන්දුවක් දුන්නේ ය. වහාම රාජපක්ෂවාදී සමාජජාලකරුවෝ ‘ද පෑඩ් මෑන්” යයි නමක් ප්‍රේමදාසට පටබැඳ පෑඩයක් ඔසවා ගෙන සිටින පින්තූරයක් ද සාදා ප්‍රහාරයක් දියත් කළහ.

සමහර විට මෙම සමාජ ජාල ප්‍රහාරය දියත් කරන්නට ඇත්තේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ මුල් දිනවලදීම ‘ද මෑන් විත් ද වෑන්’ යනුවෙන් ලේබලයක් ගෝඨාභය රාජපක්ෂට පටබැදීමට ප්‍රතිචාරයක් ලෙස විය හැක. එම ලේබලයේ වෑන් යනුවෙන් හදුන්වන ලද්දේ ගෝඨාභය සමයෙහි විරුද්ධවාදින් පැහැර ගැනීමට භාවිත කරන ලද සුදු වෑන් ය.

පෑඩ් මෑන් යනු ඉන්දියාවෙහි දුගී ස්ත්‍රීන්ට පහසු මිලට සනීපාරක්ෂක තුවා සැපයීමේ ව්‍යාපෘතියකට මූලිකත්වය ගත් දකුණ ඉන්දියනු ජාතික අරුනාචලම් මුරුගනාදම් ගේ ජීවිත කතාව අළලා ඉන්දියාවෙහි හින්දි බසින් නිශ්පාදනය කරන ලද හාස්ය ජනක චිත්‍රපටයක නම ය. සජිත් ප්‍රේමදාස අපහාසයට පත් කරනු පිනිස රාජපක්ෂවාදීන් යොදා ගත්තේ ද පෑඩ් මෑන් චිත්‍රපටයේ ප්‍රචාරක පෝස්ටරය යි. ඔව්හු එහි ප්‍රධාන නළු ආක්ෂේ කුමාර් පෑඩයක් අත උස්සා පෙන්වන පොස්ටරයෙහි ඔහුගේ හිස වෙනුවට සජිත් ප්‍රේමදාසගේ හිස එක් කළහ. වැරදීමකින් හෝ මෙම ජනාධිපතිවරණ සටන පැවැතියේ දකුණූ ඉන්දියාවෙහි නම් සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණයට රාජපක්ෂවාදීන් විසින් සකස් කරන ලද එම පෝස්ටරය ම ප්‍රමාණවත් වෙන්නට තිබුණි. මන්ද යත් ‘පෑඩ් මෑන්’ අති සාර්ථක සිනමාපටයක් වී 2018 වසරෙහි දී වැඩිම ආදායම ලැබූ සිිනමා පට දහයෙන් එකක් බවට ද පත් වූ නිසා ය. එය 2018 වසරෙහි අනෙක් සමාජ ප්‍රශ්ණ පිළිබඳ හොදම සිනමා පටයට හිමි ත්‍යාගය ද දිනා ගත්තේ ය.

ස්ත්‍රීන්ගේ මාසික ඔසප්වීම පෙනෙන විදිහට රාජපක්ෂවාදී සමාජ ජාලකරුවන් සිතා සිටින්නේ දේශපාලන වේදිකාවෙහි කතා නොකළ යුතු මාතෘකවක් ලෙස ය.

ඇත්ත වශයෙන් ම පෑඩ් මැන් චිත්‍රපටය ද ගෙතී ඇත්තේ එවැනි ම කතාවක් වටා ය. එහි ප්‍රධාන චරිත දෙක ලක්ෂ්මී සහ ඔහුගේ බිරිද ගයත්‍රී ය. ලක්ෂ්මීට ඹසප්විම ගැන අවබෝධයක් තිබුණේ නැත. නමුත් සිය බිරිද මසකට වරක් සැඟව යන සිදුවීම සොයා බැලූ ලක්ෂ්මී සිය බිරිද කිළිටු රෙදි කඩවල් සිය සිරුරෙන් පිටවන රුධිරය අවශෝෂණය කර ගැනීමට යොදා ගන්නා බව දැක ගත හැකි වෙයි. ඒ නිසා ඔහු ඇයට වෙළදපළින් පෑඩ් මිලට ගෙනැවිත් දෙයි. මිල අධික පෑඩ් ගැනීමට මුදල් වැය කළ හොත් පවුලට කිරි මිලදී ගැනීමට මුදල් නැතිවනු ඇතැයි කැ ගසන ගයත්‍රී එම පෑඩ් යළි ගෙන ගොස් දෙන ලෙස ලක්ෂ්මිිට කියන්නේ ගෑනු කාරණාවලට මැදිහත් නොවන ලෙස කියමිනි. ලක්ෂ්මී අඩු වියදම් පෑඩ් නිපදවීමට කරන පර්යේෂන අවසන් වන්නේ ඔහු ලැජ්ජාවට පත් කරන අසාර්ථකත්වයන් මගිනි. තමා සෑදු පෑඩයක් පරීක්ෂා කිරීමට එලු ලේ පිරවූ බැලුමක් බඩ තුරෙහි තබාගන්නා ලක්ෂ්මිගේ කලිසම ලෙයින් නැහැවී ගොස් ගම්මුන් අතර අපවාදයට පත් වෙයි. ගයත්‍රීගේ පවුලේ උදවිය ඇය යළි රැගෙන යයි. දීර්ඝ හාස්‍ය ජනක සිදුවිම් ගණනාවක් මැදින් අවසානයේ දී ලක්ෂ්මී අඩු වියදම් සණිපාරක්ෂක තුවා නොහොත් පැඩ් සාර්ථක ලෙස නිෂ්පාදනය කරයි. වීරයකුගේ චරිතයක් බවට පත්වන ඔහු ගැමි කාන්තාවන්ට මහඟු සේවයක් සලස යි. ගයාත්‍රී ආපසු එයි.

ජනාධිපතිවරණ සටනෙහි සජිත් ප්‍රේමදාසගේ ප්‍රධාන තේමාව වන්නේ ද මෙරට දුගී ජනයා බලසතු කිරීම ය. එවැනි තත්වයක් යටතේ ‘ද පෑඩ් මෑන්’ යන නාමය තමාට පටබැදීම ගැන ඔහුට සතුටු විය හැකි ය. පෙනෙන විදිහට ඔහු දැනටමත් මෙම ප්‍රස්තුතය සිය මැතිවරණ වේදිකාවෙහි එක් අංගයක් බවට පත් කරගෙන තිබේ. එසේ වුවත් ප්‍රේමදාස ජනාධිපති තරඟයෙන් ජය ලැබුව හොත් සිය පොරොන්දු ඉටු කරනු ඇතැයි සහතිකයක් නම් නැත.

අනෙත් අතට ගෝඨාභයට පටබැද ඇති ‘මෑන් විත් ද වෑන්’ පට්ටම සොහාන් ළකුණකි. එය නපුරක් මිස යහපතක් නොහඟව යි. ගෝඨාභය රාජපක්ෂ ගේ පොරොන්දු මල්ල ද එන්න එන්නම ලොකු වෙයි. පසුගිය දා යාපනයේ දී ඔහු කියා සිටියේ මෙරට දරිද්‍රතාවයෙන් පීඩා විඳින සෑම පවුලකටම අඩුම ගණනනේ රජයේ එක් රැකියාවක් හෝ ලබා දීමට තමා කටයුතු කරන බවයි.

2018 ලෝක බැංකු වාර්තාවන්ට අනුව මෙරට ජන ගහණයෙන් සියයට 45ක දෛනික ආදායම වූයේ එක්සත් ජනපද ඩොලර් 6කි. එනම් රුපියල් දහසක් තරම් ය. මේ අනුව පවුල් දශලක්ෂ දෙකක් පමණ මෙම ආදායම් සිමාවෙහි ජිවත්වනු ඇතැයි උපකල්පනය කළ හැක. (දැනට මෙරට පවුල් පනස් ලක්ෂයක් පමණ ජීවත් වේ) ඉන් අදහස් වන්නේ ඉහත කී පොරොන්දුව ඉටු කිරීම සඳහා පමණක් ගෝඨාභයට රාජ්‍ය අංශයේ රැකියා විසි ලක්ෂයක් පමණ ඇති කිරීමට සිදුවනු ඇති බවයි.

රාජ්‍ය අංශය යනු මෙරට ඇති ඉතාම අකාර්යක්ෂම සේවා අංශය යි. එමෙන්ම ඉහළ වැටුප් ලබන අතලොස්සක් සේවා හැරුන විට පොදු වශයෙන් රාජ්‍ය අංශයේ වැටුප් ද අප්‍රමාණවත් ය. දැනටමත් මෙරට රාජ්‍ය සේවක සංඛ්‍යාව රටෙහි ආර්ථිකයට දරා ගත නොහැකි තරම් ය. ආර්ථික කළමණාකරන කෝණයෙන් බැලූ විට තව තවත් රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම එතරම් ඥානාන්විත පියවරක් නොවේ. ගෝඨාභයගේ මෙම පොරොන්දුව ද අපට පෙන් වන්නේ මැතිවරණ කාලයට වැයෙන පපර බෑන්ඩ් නාදය වන ‘ගොන්නු වරෙව් ඡන්දේ දියව්’ යන්න මිස අනෙකක් නොවේ.

යාපනයෙහි දී ඔහු තවත් පොරොන්දුවක් දුන්නේ ය. එනම් තවමත් රැදවුම්භාරයෙහි සිටින 270ක් පමණ වන දෙමළ එල්ටීටීඊ සැකකරුවන් සියලු දෙනා පුනරුත්ථාපනයට යොමු කර සමාජයට නිදහස් කරන බවයි. ඉන් අදහස් කැරෙන්නේ ඒ කිසිවකුට නඩු නොපවරණ බවයි. ගොඨාභයගේ අත්වැල් ගායකයින් වන වීරවංශලා සහ ගම්මන්පිළලා පසුගිය කාලය පුරාම කැ ගැසුවේ මෙළෙස අත්අඩංගුවෙහි සිටින එල්ටීටඊ සැකකරුවන් භයානක ත්‍රස්තවාදීන් බවත් ඔවුන්ට සමාවක් නොදිය යුතු බවටත් ය. එමෙන්ම ගෝඨාභය යාපනයේ දී නැග ගත් එක් වේදිකාවක නාම පුවරුවෙහි පොදු ජන පෙරමුණ යන්න සඳහන් කර තිබුණේ දෙමළ බසින් පමණි. යාපනය අන්තර් ජාතික ගුවන් තොටුපළ යන නාම පුවරුවෙහි ඉහළින් දෙමළ බස යොදාගැනීම ගැන ජාතිවාදී කරච්චලයක් ඇති කළ වීරවංශ දැන් පුස් පැටියකු මෙන් නිදි ය. තවද නැගෙනහිරට ගිය මහින්ද රාජපක්ෂ මුස්ලිම් ප්‍රදේශයකට වෙනම නගර සභාවක් ලබා දෙන බවට පොරොන්දු විය. ඒ් ගැන ද සරත් වීරසේකර ආදින් කටක් ඇර නැත.

ගෝඨාභයගෙන් පමණක් නොව සජිත් ප්‍රේමදාසගෙන් ඇසෙන්නේ ද ඉහත දී ‘ගොන්නු වරෙව් ඡන්දේ දියව්’ යන තාලයම බවත් කිව යුතුය. ඔහු කවර හෝ රැස්වීමක කතා කරන්නේ ද ඒ සෑම විටම පොරොන්දු තලියක් අත හරී. ඔහුගේ මෑත දෙන ලද පොරොන්දුවක් වූයේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට අත තැබිමට කිසිවකුට ඉඩ නොදෙන බවයි. ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ලෙස පත් කීරීම අන්තර් ජාතිකව කොතරම් විවාදාත්මක සිදුවිමක් බවට පත් වී ද යත් එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකා යුද සෙබළුන් සාම සාධක හමුදාවන්ට බඳවා ගැනීම අත්හිටුවීමට ක්‍රියා කළේ ය. ඔහුට විරුද්ධව ඇති චෝදනාවන්ට මුහුණ දී නිර්දෝශී පුද්ගලයකු වීමේ අයිතිය ශවේන්ද්‍ර සිල්වාට තිබේ. එනමුත් එවැනි චෝදනා සහිත පුද්ගලයින් නව තනතුරුවලට පත් කිරීම යුද්ධ වින්දිතයින්ට කරනු ලබන අවමානයකි. සජිත් ප්‍රේමදාසගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය තුල මානව හිමිකම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම ගැන කිසිදු සාකච්ඡාවක්වත් නැත්තේ මේ නිසා ය.

සියලු ප්‍රජාතන්ත්‍රවාදී සහ වාම බලවේග ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුවහොත් ඇති විය හැකි අධිකාරිවාදී සමහර විට ඒකාධිපතිවාදී පාලනය නතර කිරීම පිනිස සජිත් ප්‍රේමදාසට ඡන්දය දිය යුතුය යන තර්කය අසාර්ථක වීමට එක් හේතුවක් එයයි. එනම් ප්‍රේමදාසගේ දේශපාලනයට මානව හිමිකම් අදාළ නැති නිසා ය. ඊටත් වඩා එම තර්කය පිළිගතහොත් පෙනෙන මානයක දී විකල්ප ප්‍රජාතන්ත්‍රවාදී වාම දේශපාලනයකට ඉඩක් නැත. මෙම තර්කය පදනම් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ වාම බලවේග නැතිව ප්‍රේමදාසට හෝ එජාපයට ජනාධිපතිවරණයෙන් ජය ගත නොහැකිය යන පිළිගැනීම මත ය. මෙම තර්කයම තව දුරටත් ගෙන ගොස් මෙරට සුලුතර ජන ප්‍රජාව ද ගෝඨාභයගේ යුදවාදය පරාජය කිරිමට ප්‍රේමදාසට ඡන්දය දිය යුතුය යැයි ද කියැවේ.

අද මහ පොළවේ යථාර්තයට අනුව මෙම තර්ක දෙකම පුපුරා ගොස් තිබේ. ජාතික ජනබලවේගය තෙවැනි දේශපාලන බලවේගය ලෙස ඉස්මතුවීම අද අත්‍යවහ්‍ය මෙන්ම වැළැක්විය නොහැකි ය. දෙමළ දේශපාලනය ද කොළඹ දේශපාලනය වෙනුවට සිය ජනයාගේ උවමනා වෙනුවෙන් තින්දු ගැනීම කරා ගමන් කරමින් සිටිති.

රාජපක්ෂවරුන් බලයට පැමිණීම ඇති ඉඩ වැඩි සන්දර්භයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී සහ වාම බලවේග ද සුලුතර දේශපාලන පක්ෂ ද මුහුණ දෙන අභියෝගය දූෂිත එජාපප දේශපාලනය සමඟ ගැට ගැසීම නොව ස්වාධීන බලයක් ගොඩ නඟා ගැනීමයි.

ශ්‍රී ලංකාව ඉඩි අම්න් වර්ගයේ ඒකාධිපතිවාදයක් කරා කිසිවකුට ගෙන යා නොහැක. එක් අතටට අන්තර් ජාතික සාධකය ඊට බලපාන අතර වඩාම වැදගත් සාධකය වන්නේ දේශීය ප්‍රජාතන්ත්‍රවාදී, සුලුතර ජනවාර්ගික සහ වාම බලවේෙගයන් ය. අද අපේ කාරිය විය යුත්තේ එම බලවේග ශක්තිමත් කිරීමයි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya