2019 ඔක්තෝබර් 20 වනදා ගල්කිස්ස දී පැවැති ‘අන්නාසි සහ කඩලගොටු’ සාහිත්‍ය උත්සවයේ (AK Lit Fest 2019) ආරම්භක සංවාදයට නිමිත්ත වූයේ සාහිත්‍යය වාරණය කළ යුතු ද යන්නයි. එහි දී නිර්මාණකරුවන් වෙනුවෙන් කතා කළේ තරුණ ලේඛක සහ නිදහස් මාධ්‍යවේදී ශක්තික සත්කුමාර යි.
ශක්තික සත්කුමාර, සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රය තුළ කවියෙක්, කෙටිකතාකරුවෙක් පමණක් නොවෙයි විචාරකයෙක් ලෙස තම ලකුණ සටහන් කළ ලේඛකයෙක්. කළු මකරා (2010), පතොක් කටු (2012), මිනී කපන්නාගේ හෘද සාක්ෂිය (2015), වැලි (2016) සහ කූඩු (2018) යනුවෙන් කෙටිකතා සංග්‍රහ රැසක් පළ කර තිබෙන ශක්තික, එම නිර්මාණ සඳහා ජාතික මට්ටමේ සම්මාන කිහිපයක් ද හිමි කර ගත්තා.
මේ වසරේ ශක්තික දෙස් විදෙස් අවධානයට ලක් වූයේ ඔහු සිය ෆේස්බුක් ගිණුමේ බෙදා ගත් ‘අර්ධ’ නැමැති කෙටිකතාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමත් සමගයි. 2019 අප්‍රේල් 1 වනදා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු ඔහු අගෝස්තු 8 වනදා ඇප පිට නිදහස් කරනු ලැබූවත්, ඔහුගේ නඩුව හමාර වී නැහැ.
AK සාහිත්‍ය උළෙලින් පසු ශක්තික සමග මා සංවාදයක යෙදුණා.
දින 130 පුරා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ඔබ සිදු කළා යයි චෝදනා කැරෙන වරද කුමක්ද?
‘කෙටිකතා නිර්මාණයක් මගින් බුදු දහම හා භික්ෂු ශාසනයට අගෞරව කිරීම’ යන චෝදනාව.
දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ පමණක්, ඔබේ ෆේස්බුක් ගිණුමේ පමණක් ප්‍රකාශිත ‘අර්ධ’ කෙටිකතාව, එම මුල් අදියරේදී කී දෙනෙක් පමණ කියවන්නට ඇත්ද?
සිය දෙනෙක් පමණ කියවන්නට ඇති.
මෙම කෙටිකතාව ‘බුදු දහමට අපහාස කරනවා’ යැයි නැගෙන චෝදනාවට නිර්මාණකරුවා ලෙස ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
ඕනෑම ප්‍රබන්ධ නිර්මාණයක අපට හමු වන්නේ ලේඛකයාගේ අත්දැකීම් හා පරිකල්පනය යන දෙකෙහි සංකලනයක්. පරිකල්පනය කියන්නේ බොරුවක්; සිතින් මවා ගැනීමක්. අපි දන්න අත්දැකීමකට බොරු ටිකක් එකතු කරනවා. නිර්මාණයක් කියන්නේ යථාර්ථයත් ෆැන්ටසියත් අතර දෙයක්. එබැවින් නිර්මාණයකින් කිසිවකු සිත රිදවා ගත යුතු නැහැ! පරිකල්පනය මගින් සිදු කරන නිර්මාණ බොහෝ විට සත්‍යයට සමීප වන්නේ නැහැ. ඒ නිසා එවන් නිර්මාණයකින් ආගමකට අපහාසයක් කරන්න බැරි බවයි මගේ අදහස.
කලා නිර්මාණයකින් යම්කිසි කෙනකුගේ සිත රිදෙනවා නම්, එබන්දක් පළ කිරීමට ඉඩ දිය යුතුද? ප්‍රකාශන සහ නිර්මාණ නිදහසේ යම් සීමාවන් තිබෙනවා නේද?
මිත්‍යා මතයක් හෝ ආගමික විශ්වාසයක් දරා ගෙන සිටින කෙනකුට සිත රිදීමක් ඇති විය හැකිය කියා කලාකරුවන්ගේ නිර්මාණකරණයට යම් සීමා පැනවීම අතිශයින් විවාදාත්මකයි. අපි උදාහරණයක් ගනිමු. එක්තරා ආගමික විශ්වාසයක් තිබෙනවා මිය ගිය පුද්ගලයකු එම ශරීරයෙන්ම නැවත මළවුන්ගෙන් නැගිටින බවට. මෙම උට්ඨානය පිළිබඳ සංකල්පය ලොව පුරා බිලියන ගණනක් භක්තිකයන් පිළිගන්නවා. එහෙත් ජීව විද්‍යාත්මකව සහ වෛද්‍ය විද්‍යාත්මකව එබන්දක් කෙසේ සිදු වේද යන්න සිතා ගත නොහැකියි. එය එසේ විය හැකිද යන්න අපට ප්‍රශ්න කළ හැකි විය යුතුයි. මරණයෙන් පසු පුනර්භවයක් තිබේ ද යන්න ද අපට ප්‍රශ්න කළ හැකියි. එසේ ප්‍රශ්න කළ විට ඇතැම් බැතිමතුන්ගේ සිත රිදිය හැකි වුවත්, ඒ ගැන නැවත සිතා බැලීමටත් ඉඩක් ලැබෙනවා.
ආදරය තම ආගම බවටත්, මනුෂ්‍යත්වය තමන්ගේ රට බවටත් සලකමින් නිර්මාණකරණයේ යෙදෙන්නට ලේඛකයන්ට හැකි නම් කෙතරම් අපූරුද? කලාකරුවා මිනිසුන්ට ආදරය කරනවා නම්, පරිසරයට ආදරය කරනවා නම් ගැටලු ඇති වන්නේ නැහැ.
සංවිධානගත ආගමික සංස්ථා විසින් ජනතාවගේ ප්‍රකාශන නිදහස සීමා කිරීමට උත්සාහ කිරීම පිළිබඳ ඓතිහාසික පසුබිම කුමක්ද?
සිංහල සාහිත්‍යය ආරම්භයේ සිට එයට බුදු දහම මගින් එල්ල කරල තිබුණෙ යම් බලහත්කාරයක්. අනුරාධපුර යුගයේ දි පළමුවන සේන රජතුමා දණ්ඞීන්ගේ කාව්‍යාදර්ශය සියබස්ලකර නමින් සිංහලට පරිවර්තනය කර, ඉන් පස්සෙ ගොඩ නැගෙන සාහිත්‍ය පදනම් වන්නේ එය මතයි.
සියබස්ලකරෙ තියෙනවා ‘පෙදෙන් බුදු සිරිතැ – බසින් වත් සිරිත් ඇ’ … යනුවෙන් පාඨයක්. මේකෙන් කියවෙන්නේ පද්‍යයෙන් නම් අනිවාර්යෙන්ම බුදු සිරිතම වැනිය යුතු බව. පසු කාලීන ගද්‍ය පද්‍ය සාහිත්‍ය බිහි වන්නේ ඒ අනුව. අනුරාධපුර යුගයෙන් පස්සෙ පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල ආදී වශයෙන් රාජධානි මාරු වුණත් මේ රීතිය වෙනස් වෙන්නේ නෑ.
ඒක යම් ප්‍රමාණයකට හෝ වෙනස් වන්නෙ මහනුවර යුගයේදී. ඊට හේතු වන්නේ සිවුරු හරින ලද පුද්ගලයන් හට පන්හිඳ පත්වීමයි. නමුත් නූතනය වන තෙක්ම බුදු දහමේ යම් බලහත්කාරයක් සිංහල සාහිත්‍ය මත පතිත කර තිබෙනවා. එවන් ඓතිහාසික පසුබිමක තමා ලෞකික නිර්මාණවලට මෙවැනි චෝදනා එල්ල වෙන්නෙ.
වර්තමානයේ නිර්මාණකරුවන් අරභයා ආගමික සංස්ථා කරන බලපෑම් පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
ලෝකයට යමෙක් අලුත් අදහසක් ඉදිරිපත් කරපුවහාම බොහෝ විට සිදු වන්නේ පවතින ආගමික සංස්ථා ඊට එරෙහි වීමයි. බොහෝ විට රාජ්‍ය බලයත් හසුරු වන්නේත් ආගමික සංස්ථා නිසා, අලුත් අදහසක් මතු කරන පුද්ගලයාව ‘රාජ්‍ය විරෝධියෙක්’ බවට පත් කරනවා. සොක්‍රටීස්ට වස දීමේ සිට වර්තමානය දක්වාම මේ අරගලය පැවතෙනවා.
මෙරට වාරණයට ලක්වුණු සාහිත්‍ය කෘති සලකන විට අන්තවාදී ආගමික සංස්ථා ඒ සඳහා ඍජුවම මැදිහත් වෙලා තිබෙනවා. ටෙනිසන් පෙරෙරාගේ ‘දැති රෝදෙන් උපන් බුදුන්’ සහ මංජුල වෙඩිවර්ධනගේ ‘මේරි නම් වූ මරියා’ කියන කෙටිකතා සංග්‍රහ දෙක එයට හොඳම නිදසුන්. මාර්ටින් වික්‍රමසිංහගේ ‘බවතරණය’ කෘතියටත් එකල භික්ෂූන් වහන්සේලා විශාල විරෝධයක් ගෙන ගියා. කේ. කේ. ශ්‍රීනාත්ගේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතියටත් භික්ෂු විරෝධය එල්ල වුණා. මේ සෑම අවස්ථාවකම වන්නේ නිර්මාණකරුවා අසරණ වෙන එකයි. ඔහු මානසිකව කඩා වැටෙන එකයි. මේ මොහොතේ එකී යථාර්ථය මම අත්දකිමින් සිටිනවා.
ඔබට චෝදනා ගොනු කොට තිබෙන්නේ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥප්තිය (ICCPR) පනතේ (3) (1) වගන්තිය යටතේයි. දණ්ඩ නීති සංග්‍රහයේ 291 (අ) වගන්තිය යටතේ ආගමික හැඟීම්වලට රිදවීමේ ඒකාන්ත අදහසින් සන්නිවේදන කරන අයට එරෙහිව පියවර ගත හැකියි. අවශ්‍ය නම් ඒ යටතේ හෝ 1958 අංක 41 දරන ආගමික අපහාසකාරී පනත යටතේ ඔබට චෝදනා ගොනු කළ හැකිව තිබුණා. එහෙත් ඒ වෙනුවට වෛරීය ප්‍රකාශ (hate speech) සම්බන්ධ නීතියක් යටතේ චෝදනා රාමු කිරීමට හේතුවක් ඔබ දකිනවාද?
ඒක තනිකරම දේශපාලනික වුවමනාවක් කියලයි මං හිතන්නෙ.
ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලින් සහ රටේ මේ ව්‍යවස්ථාවෙන් ද සහතික කොට තිබෙන ප්‍රකාශන නිදහස ඇතුළු මානව අයිතිවාසිකම් සුරැකීම පිළිබඳ වගකීම දරන්නේ ශ්‍රී ලංකා රාජ්‍යයයි. පොලිස් දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව ඔබේ ප්‍රකාශන අයිතිය වෙනුවෙන් ඇති තරම් පෙනී සිටියා යයි සිතනවාද?
ඔවුන් සිදු කළේ මගෙන් ප්‍රකාශන අයිතිය උදුරා ගැනීමක්.
ඔබ රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු මෙරට ලේඛක ප්‍රජාව සහ කලාකරුවන් ඇති තරම් ඔබ වෙනුවෙන් පෙනී සිටියාද?
ප‍්‍රවීණ නිර්මාණකරුවන් මා වෙනුවෙන් පෙනී නොසිටි තරම්. නමුත් නූතන පරපුරේ නිර්මාණකරුවන් මා වෙනුවෙන් පෙනී සිටියා. මා බන්ධනාගාර ගත වන්නේ 2019 අප්‍රේල් 1දා. නමුත් මේ ගැටලුව ඊට පෙර පැන නැගපු දෙයක්. මේ පිළිබඳව 2019 මාර්තු 17 ඇත්ත පුවත්පතට සඳුන් ප‍්‍රියංකර විතානයන් ‘ලේඛක ශක්තික ආගමික අන්තාවාදයේ දංගෙඩියට යැවීම ඉවසමුද?’ කියලා මුල්ම ලිපිය ලියනවා. එතැන් පටන් මට ඇප ලැබුණු අගෝස්තු 8 වෙනිදා දක්වාම මේ සටනේ පෙරමුණ ගන්නේ සඳුන්.
මගේ එක කුස උපන් සහෝදරයෙකුටත් වඩා සඳුන් ප‍්‍රියංකර මේ අරගලය සඳහා විශාල කැපකිරීමක් කරනවා. ඔහු තරුණ නිර්මාණකරුවන් සංවිධානය කර ගෙන ප‍්‍රකාශනයේ නිදහස උදෙසා එකමුතුව නමින් පෙරමුණක් හදනවා. සමන් ජයකොඩි, කත්‍යානා අමරසිංහ, විමල් කැටපෙආරච්චි, අසංක සායක්කාර, චමින්ද ජයසූරිය මේ පෙරමුණේ ක‍්‍රියාකාරී සාමාජිකයෝ. මාව නිදහස් කර ගන්න ඔවුන් කරපු කැප කිරීම් අපමණයි.
දේශපාලනික වශයෙන් වමේ ව්‍යාපාර මගේ ප‍්‍රශ්නයට සාධනීය මැදිහත්වීමක් කරනවා. සමාජවාදී සමානතා පක්ෂය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ඒ අතර වෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා මාධ්‍යවේදීයෝ (JDS), PEN ඉන්ටර්නැෂනල් සහ ඇමිනෙස්ටි ඉන්ටර්නැෂනල් යන ජාත්‍යන්තර සංවිධාන මේ ප‍්‍රශ්නය සඳහා ලෝක ප්‍රජාවගේ අවධානය යොමු කරනවා.
ජයන්ත කහටපිටිය, අශෝක චන්ද්‍රසේකර සහ වෛද්‍ය ආසිරි මුණසිංහ කියන මගේ සහෝදරයෝ තුන්දෙනා බන්ධනාගාරේ හිටපු මට ඔක්සිජන් ගෙනත් දෙනවා. අධිකරණ ක‍්‍රියාවලියේ දී නීතිඥවරු 20 දෙනෙක් මා වෙනුවෙන්, ශ්‍රේෂ්ඨාධිකරණයේ, කුරුණෑගල මහාධිකරණයේ සහ පොල්ගහවෙල දිසා අධිකරණයේ අභීතව සහ ස්වෙච්ඡාවෙන් පෙනී සිටිනවා. වෙබ් අඩවිවල සහ මුහුණු පොතේ විසිදහසකට වැඩි පිරිසක් මාව නිදහස් කර ගැනීමේ අරගලයට පණ පොවනවා. ඉතිං මේ හැමෝටම මම ණය ගැතියි.
ඔබ මෙරට සිංහල ජනමාධ්‍ය ගණනාවකට ලිපි සහ නිර්මාණය සැපයූ ලේඛකයෙක්. චෝදනා එල්ල වූ මොහොතේ පටන් මෙරට ජන මාධ්‍ය ඒ පිළිබඳ වාර්තා කළ හැටි සහ ඔබේ හඬට ලබා දුන් ඉඩ පිළිබදව තක්සේරුවක් කළ හැකිද?
මුල පටන්ම රාවය, ඇත්ත, අනිද්දා, ලංකා සහ රැස පුවත්පත් මේ ප‍්‍රශ්නය ජනතාව අතරට ගෙනි යනවා. ඉංග්‍රීසි පුවත්පත් සමහරක් ද මෙය මැදහත්ව සහ සාවධානව වාර්තා කළා. ඒ හැරුණු කොට බහුතරයක් ජනමාධ්‍ය එක්කෝ මගේ සිරගත වීම නොදැක්කා සේ සිටියා. නැත්නම් මට එරෙහිව ගොනු කරන ලද අසාධාරණ චෝදනා එලෙසින්ම සහ අවිචාරශීලීව වාර්තා කළා. ඔවුන් එසේ කළේ මන්දැයි මා දන්නේ නැහැ. සමහර විට ප්‍රකාශන නිදහස සහ නිර්මාණ නිදහස වෙනුවෙන් හඬ නැගීමට වඩා ඔවුන්ගේ ආගමික ගැතිභාවය ප්‍රදර්ශනය කිරීම වඩා වැදගත් යයි කතුවරුන් හා මාධ්‍යවේදීන් සිතන්නට ඇති.
බන්ධනාගාරගතව සිටියදී ඔබ ලේඛන කටයුතු නතර නොකළ බව AK සාහිත්‍ය උළෙලේ කතා කරමින් ආවර්ජනය කළා. ඒ ගැන ටිකක් විස්තර කළොත්?
කියමනක් තිබෙනවානේ සිදුවීම් සිදු වන්නේ සිනාසීමට හෝ හඬා වැටීමට නොව අවබෝධ කර ගන්නටය කියා. රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් මා අත්දැකීම් සමුදායක් ලැබුවා. ඇතැම් විට හිතෙනවා විශ්ව විද්‍යාලයේ වසර හතරක් ගත කිරීමෙන් ලද අත්දැකීම්වලටත් වඩා මේ දින 130 මට ජීවිතය ගැන ඉගැන්නුවා කියා.
මාව රඳවා තැබුණේ කෑගල්ල බන්ධනාගාරයේ. පර්චස් 40ක පමණ බිම් ප්‍රමාණයක තනා තිබෙන එහි, අවම පහසුකම් යටතේ සිරකරුවන් 200 පමණ සිටිය හැකියි. එසේ වුවත් අප්‍රේල් 21 ප්‍රහාරයන්ගෙන් පසු සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරුණු විශාල සංඛ්‍යාවක් එක්වරම එහි එනවා. සිරකරුවන් ගණන 800 දක්වා ඉහළ යනවා. එතකොට මතු වන ප්‍රශ්න, ඔබට එකවර සිතා ගත නොහැකි තරම් උග්‍රයි. අපිට එතැනින් එළියට එන්නට හැක්කේ පැය දෙක තුනකට පමණයි. අටසිය දෙනෙකුට වැසිකිලි තිබෙන්නේ හයයි. එය මහා විශාල වදයක්. ඒත් මං එයින් අත්දැකීම් ගන්නවා. මොකද එතන ඉන්නෙත් මිනිස්සුනේ.
අනිත් එක තමයි මම කොහොම හරි ඇතුලේ සිටියදීත් දිගටම ලිව්වා. මෑතකදී පල කළ ‘සිර ගත කළ කතාවක්’ නම් කෙටිකතා සංග්‍රහයත්, ‘අසම්මත හීනයක්’ නමැති පොතත් මා ලිව්වෙ ඇතුළෙ සිටියදී.
‘වරද පිළිගෙන සමාව ගතහොත්’ චෝදනා ඉවත් කර ගන්නා බවට විටින් විට ඔබට දැනුම් දුන් බවත්, ඔබ එයට එකග නොවූ බවත් AK උළෙලේදී ඔබ පැවසුවා. මෙහි පසුබිම කුමක්ද?
පිළිගන්නට කිසිදු වරදක් මා සිදු කොට නැහැ. ආන්දෝලනයට ලක්ව තිබෙන මගේ කෙටිකතාව, කිසිවකුට අපහාස කිරීමේ චේතනාවකින් නිර්මාණය කළ එකක් නොවෙයි. මේ මොහොතේ නොකළ වරදක් පිළිගතහොත් නිර්මාණකරුවන්ගේ ප්‍රකාශන නිදහස අනාගතයේ තවත් සීමා වීමේ ලොකු අවදානමක් තිබෙනවා.
‘අද ශක්තික – හෙට වෙනත් ඕනෑම නිර්මාණකරුවකු විය හැකියි’ යන්න ඔබ බන්ධනාගාරගතව සිටියදී ඒ ගැන හඬ නැගූ අය පෙන්වා දුන් යථාර්ථයක්. මෙය දැනටමත් සැබෑ වෙමින් තිබේද?
මගෙන් පසුව මාධ්‍යවේදී කුසල් පෙරේරා සහ තරුණ ලේඛක සහ චිත්‍රපටකරු මාලක දේවප්‍රිය යන දෙපළටත් ICCPR පනත යටතේම ක්‍රියා කරන්නට යම් උත්සාහයන් ගෙන තිබෙනවා. මේ නිසා ප්‍රකාශන නිදහස සහ සියලු මානව අයිතීන් පිළිබඳ උනන්දුවක් ගන්නා හැමදෙනාම බෙහෙවින් අවදියෙන් සිටිය යුතු මොහොතක් මෙය.
ඔබේ ඉදිරි නිර්මාණ කටයුතු මොනවාද?
අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට පහළම ක්ෂේත්‍රය දක්වා බොහෝ පිරිසක් විශ්වාස කරන්නේ මේ රටේ විශාලම ව්‍යසනය මත්ද්‍රව්‍ය කියලා. නමුත් මම හිතනවා හෙරොයින්වලටත් වඩා මේ රටේ පවතින ආගමික අන්තවාදය රට විනාශයට ඇදගෙන යනවා කියලා. කුඩු අල්ලන නිලධාරීන්ටත් ඒ ගැන ලියන පිිරිසටත් රටෙන් හිමි වන්නේ මල්. හැබැයි ආගමික අන්තවාදවලට එරෙහි වන පුද්ගලයින්ට රටේ බහුතර ජනතාවගෙන් ලැබෙන්නේ ගල්.
අද දේශපාලනඥයෝ වගේම රටේ ඉහළම වෘත්තිකයෝ වන වෛද්‍යවරු, ඉන්ජිනේරුවරු, සිවිල් නිලධාරීන් පවා ආගමික අන්තවාදයේ ගොදුරු බවට පත්වෙලා. ඔවුන් ක්‍රියා කරන්නේ නිදහස් චින්තනයකින් නොවේ. කුල සහ දේශපාලනික සමාජ බෙදීම්වලට වඩා ආගමික බෙදීම් හරිම තිරස්චීනයි. මේ සියලු කරුණු අත්දකිමින් සිටින මම ‘නිරාගමික කතාවක්’ නමින් නවකතාවක් ලියන්න පටන් ගත්තා. මේ දවස්වල එහි වැඩ කරගෙන යනවා.
නාලක ගුණවර්ධන | Nalaka Gunawardana
[email protected]