ජනාධිපතිවරණයට ඇත්තේ දින 3කි. අවම දින 4කින් ලංකාවට අලුත් ජනාධිපතිවරයෙක් දූපත්වාසී ජනයා විසින් තෝරා පත්කර ගනු ලබයි. දැනට අපේක්ෂකයන් 35ක් ඉදිරිපත් වී සිටිය ද, පවතින තත්ත්වයන් තුළ ප්‍රධාන අපේක්ෂකයින් 3දෙනෙක් සිටියි. ‘රාජපක්ෂ පවුල‘ නියෝජනය කරමින් ගෝඨාබය රාජපක්ෂත්, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාසත්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ප්රමුඛ කර ගත් ජාතික ජන බලවේගයත් ඒ ප්‍රධාන අපේක්ෂකයන් තිදෙනායි.
පවතින් මහපොළවේ යථාර්ථය මත අනුර කුමාර දිසානායක මේ රටේ බහුතර ජනයා විසින් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමට තරම් තත්ත්වයන් මෝරා නැත. සටන ඇත්තේ සජිත් සහ ගෝඨාබය අතරයි. ඒ සටන හි දිග පළල ගැන තක්සේරු කිරීමට යෑම මේ සටහනේ අරමුණ නොවේ. කෙසේ නමුත් සජිත් හෝ ගෝඨා යන අපෙක්ෂකයන් දෙදෙනාගෙන් එක් අයෙක් ජනාධිපති වීම නියතය.
දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශණ ආශ්රයෙන් වීමසීමේදී, ගෝඨාබය ‘ජාතික ආරක්ෂාව‘ ‘විනය‘ ප්රමුඛ කරගත් ‘ඉදිකිරීම් වැනි ක්‍රියාවලියක්’ පෙන්නුම් කරයි. නිවාස තැනීම්. සහණාධාර වැනි ‘සුභසාධන‘ මූලික කර ගත් ක්‍රියාවලියක් සජිත් පෙන්නුම් කරයි. අනෙක් පසින් විශේසයෙන් පෙර සිටම ගෝඨාබය රාජපක්ස පෙන්නුම් කරමින් සිට ඇත්තේ ප්රජාතන්ත්රවාදයට, මානව හිමිකම්වලට බර තබන ක්‍රියාවලියක් නොවේ. ඔහු මේ වන විටත් චෝදනාවලට ලක් වී ඇති අධිකරණවල නඩු පවා ඇති පුද්ගලයෙකි. මේවන විටත් ඔහුගේ ඇමරිකානු පුරවැසි භාවය පිළිබද විවිද අදහස් මතු වෙමින් තිබේ. ජාත්‍යන්තර ප්‍රජාව පවා ගෝඨාබය ගැන පැහැදිලි ස්ථාවරයක නැත. අනෙක් පසින්. නිවාස තැනීම, සුභසාධන කටයුතු, ආර්ථකය වර්ධනය හැරුණු විට රටකට අත්‍යවශ්‍ය ප්රජාතන්ත්රන්ත්රීය වෙනස්කම් සිදු කිරීමට සැලකිය යුතු බරක් සජිත් යොදා නැති අතර, මානව හිමිකම් වැනි සමාජයකට අත්‍යවශය සාධකයන්ට සිය නැඹුරුතාවය කිසි විටකත් සජිත් පෙන්වා නැත. විශේෂයෙන් ජාතික ප්‍රශ්ණය දේශපාලන විසදුමක් සම්බන්ධයෙන් ඒ තරම් පැහැදිලි අදහසක් ඔහු දක්වන්නේ නැත. හොදම උදාහරණය වන්නේ පසුගිය කාලය පුරාම දේශියවත් ජාත්‍යන්තරවත් ආන්දෝලනයට තුඩු දුන් ත්‍රස්ථවාදය වැලැක්වීමේ පනත අහෝසි නොකරන බව ඔහු පැවසීමයි. එසේම රටේ ප්‍රධාන ප්‍රශ්නයක් වන බිලියන ගණනක් වන ණය ගෙවීම පිළිබද පැහැදිලි, සාධනීය අදහසක් ගෝඨා සහ සජිත් පවසන්නේ නැත. ඒ නිසාම ඉදිරියේදී ජනතාව මිරිකා හෝ විවිද බදු ක්‍රම මගින් හෝ සුභසාධන කාර්යයන් කප්පාදු කරමින් හෝ ණය ගෙවිම් කිරීමට සිදුවන්නේය. එය වෙනස් කිරීමට ගෝඨා ට හෝ සජිත්ට මැජික් පෙන්විය නොහැකිය.
එබැවින් මේ දෙදෙනාගෙන් කවුරු බලයට පැමිණියත්, ආර්ථික නිදහස, අයිතිවාසිකම්, ප්රජාතන්ත්රීය ප්‍රතිසංස්කරණ පැත්තෙන් අර්බුධ ගණනාවක් පැන නගිනු ඇත. උදාහරණයකට ගෝඨාබය ජනාධිපති වුවහොත් ඇතිවන අතිමර්දනකාරී තත්ත්වයට එරෙහිව සාධනීය මැදිහත්වීමක් කිරීමට සජිත් හෝ රනිල් ප්රමුඛ එක්සත් ජාතික පක්ෂය කිසිවිටකත් කටයුතු කරන්නේ නැත. (උදාහරනයකට 2014 මහින්ද විරෝධී ව්‍යාපාර සිහිපත් කර ගන්න, එහිදී සජිත් ගේ මැදිහත්වීමද සිහිපත් කර ගන්න) සජිත් ජනාධිපති වුවහොත් උදාහරණයකට, ආර්ථිකය පැත්තෙන් සහ දෙමළ ජනතාවගේ දේශපාලන විසදුම්, පරිසරය, භුමිය වැනි සාධකයන්වලට බලපැමක් ඇතිවිය හැකිය(උදාහරණයකට එජාපය එකගවී ඇති ජාතික භෞතික සැලැස්ම බලන්න) එබැවින් මේ දෙදෙනාගෙන් කවුරු පැමිණිය ද ජනතාවට සිය අයිතිවාසිකම් දිනා ගැනීම සදහා මහ මග සටන් කරන්නට සිදුවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඒ සදහා විශාල මැදිහත් වීමක් කිරීමට සිදු වනු ඇත. කැපකිරීම් කිරිමට සිදුවනු ඇත.
ඒ සදහා ක්‍රියාශීලි, සාධනීය මැදිහත්වීමක් සිදුකල හැකි දැනට පෙනෙන ශක්තිමත් බලවේගය ජාතික ජන බලවේගයයි. එහි කාර්ය පරිගණයක Firewall එකකට යම්තාක් දුරට සමානය. ඉන් පැහැදිලි කරන්නේ විශේෂයෙන් පද්ධතියට පිටතින් පැමිණෙන අනාරක්ෂිත සංඥා දත්ත හෝ පද්ධතියට හානි කරන ඕනෑම දෙයක් එම හානිය වලක්වා ගැනීම සදහා අතර මද හක්තිමත් බිත්තියක් සේ ක්රියාකිරීමයි. මෙයින් පද්ධතිය ආරක්ෂා වනවා සේම එහි ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යයි. එම නිසා අපගේ අනාගත දේශපාලන පද්ධතියටත් එවැනි ආකාරයක Firewall එකක් අත්‍යවශ්‍ය වෙයි. ඒ ෆයර්වෝල් එක ජනතාවගේ අයිතිවාසිකම් පැත්තෙන් ඉතා වැදගත් වනු ඇත. ජනතාවට දිනා ගත හැකි යම් දේවල් වීද ඒ සදහා එය වැදගත් වෙයි. එය ජනතාවගේ අයිතිවාසිකම්වල ආරක්ෂාව පැත්තෙන් වැදගත් වෙයි. නමුත් ජනාධිපතිවරණයෙන් පසු දැන් ජාතික ජන බලවේගයේ තිබෙන ඇතැම් සාධනීය ගති ලක්ෂණ ජනතා විමුක්ති පෙරමුණ තුළ දිය වී පෙර තිබූ තත්ත්වයට වැටුන හොත් මා යෝජනා කරන ෆයර්වෝල් එකක ඇති වටිනාකම වැඩක් වන්නේ නැත. එබැවින් මේ මොහොතේ ඒ පිළිබදවත් යම් සිතීමක් දූපත්වාසීන් විසින් සිදු කරන්නේ නම් එය අනාගත ජීවිතය ගැන යහපත් ප්රවණාතාවයක් සේ දැක්විය හැකිය.
එම නිසා සජිත් හෝ ගෝඨාබය ගන් කුවුරු පැමිණියද Firewall එකක් නම් අත්‍යවශ්‍ය වන්නේය. ඒ ගැන සිතමු!
වසන්ත බණ්ඩාර | Wasantha Bandara