iMage: Facebook/MilindaRajapaksha
අභිනව ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ මහතා සිය ජනාධිපතිධුරය භාර ගැනීමෙන් පසු අනුරාධපුරයේදී සිදුකල කතාව හි එක් ප්‍රධාන අංගයක් වූයේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්ද’ ප්‍රධාන කර ගත් කතාවක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති ගෝඨාබය මහතා වැනි අයෙක් එසේ කතා කිරීම අමුතු, අලුත් දෙයක් වන්නේ ද නැත. ඔහුගේ කතාවේ මූලික හරය වූයේ, ඔහු ජයග්‍රහණය කලේ ‘බහුතර සිංහල ජනතාවගේ ඡන්දයෙන්’ බවත්, එය තමා විසින් කල් තියාම දැන සිටි බවත්, එසේ වුවත් මුස්ලිම් සහ දෙමළ ජනයාගෙන් විශේෂ ඉල්ලීමක් කළ බවත්, නමුත් ඔවුන් ඒ සදහා ජනාධිපතිවරණයේදී, දී ඇති ප්‍රතිචාරය පිළිබද එතරම් සතුටු විය නොහැකි බවත් කීවේය.
නමුත්, ගෝඨාබය රාජපක්ෂගේ අනුගාමිකයන් සේම ඇතැම් භික්ෂූන් ද එම කතාවෙන් අල්ලා ගත් සුවිශේෂී කෙටසක් තිබුණේ ය. එය ගෝඨාබය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වචනයෙන් කියන්නේ නම්, “…මේ ජයග්‍රහණයේ ප්‍රධාන සාධකය වන්නේ රටේ සිංහල බහුතර ජනතාව බව අප මුල සිටම දැන සිටියා. සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ගැනීමට හැකි බව මා දැන සිටියත් මා දමිළ හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා ඔබත් ඒ ජයග්‍රහණයේ කොටස් කරුවන් වන්නට කියා. එයට ප්‍රතිචාරය නම් මා අපේක්ෂා කළ මට්ටමට තිබුනේ නැහැ.’’
මේ නිසා ගෝඨානුගාමිකයන්, විසින් එතෙක් කල් මතුරමින් සිටි ‘සිංහල පමණයි’ ‘සිංහල රට’ ‘සිංහල නායකයෙක්’ වැනි අනෙක් ජනයා වේදනාවටත්, කොන් කිරීමටත් පත්කරන, ව්‍යාපෘතියට නිළ බවක් ලැබුණි. එබැවින් ගෝඨානුගාමිකයන්ගේ මන දොල පිරී ගියේය. ඒ අනුව ඔවුන්, ඔවුන්ගේ සිතැගි අනුව මෙන්ම, ඒ කතාව තමන්ට වැටහෙන ප්‍රමාණයට අර්ථකතනය කර ගත්හ. ඒ අනුව ගෝඨානුගාමිකයන් තමන් විසින් අර්ථකතනය කර ගැනීමෙන් නොනැවතී විවිධ වර්ගයේ ‘ස්වයං ක්‍රියාකාරකම්වල’ නිරත විය. ෆේස්බුක් වැනි සමාජ ජාල වල, ‘සිංහලයාගේ තරම පෙන්නුවා. දැන ගනියව්’ ‘පරයෝ දැන්වත් දැන ගනිල්ලා, මේ රටේ මහජාතිය මැරිලා නෑ කියලා. එක පෙලට තියලා තොපිලා පැරැද්දුවේ’ ‘සුලු ජාතීන්ගේ ඡන්ද නැතුව කිසිදා ජයග්‍රහණය කළ නොහැකි බවට තිබූ මිත්‍යාව පුස්සක් කල අභිමානවත් මහා ජාතිය සිංහල’ වැනි අන්ත පසුගාමී අන්තර්ගතයන් වේගයෙන් සංසරණය විය. අද දක්වාම එය නැවතී නැත. ඇතැම් භික්ෂූන් ද ඊට නොදෙවෙනිව ‘සියලු සත්ත්වයෝ’ වෙනුවට ‘සිංහල ඡන්ද වලින් දිනුවා’, ඒක කරා වැනි, ප්‍රකාශ සිදුකරමින් සිංහල නොවන ජනයා තව තවත් රිදවීම්වලට ලක් කරමින් සිටින්නේ චීවරය ද දරා ගෙනය. (https://www.youtube.com/watch?v=7f6bgIXaNko 25M – 27M)
තත්ත්වය එතැනින් නතර වූයේ නැත. ඇතැම් ප්‍රදේශවල සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ප්‍රදර්ශණය කර තිබූ නාම පුවරුවල ‘දෙමළ’ භාෂිත නම කඩා බිද දැමීමට ඇතැම් පිරිස් උත්සහා ගෙන තිබිණි. ඒවා සමාජ මාධ්‍යන් තුළ ද වේගයෙන් පැතීරි ගිය අතර ඒවාට විවිධ අර්තකනයන් ද එක්විය.
දැන් එම නාම පුවරුවල දෙමළ භාෂාවෙන් ඇති කොටස ගලවා දමන අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස, අභිනවයෙන් පත් කළ අගමැති මහින්ද රාජපක්ෂ විසින් පොලීසියට උපදෙස් දී ඇති බවට, ගෝඨාබය රාජපක්ෂ මහතාගේ හිටපු මාධ්‍ය සම්බන්ධීකාරකවරයා සිය ෆේස්බුක් ගිණුමෙහි සහ ට්විටර් ගිණුමෙහි අද සටහනක් තබා ඇත. (මේ සටහන ලියන මොහොත වන විට ඇතැම් ස්ථානවල කඩා දැමු ඇතැම් පුවරු යළි සකස් කර ඇති බවත් වාර්තා විය)
මෙම නාමපුවරුවල දෙමළ කොටස හිතාමතාම ගලවා දැමීම කුඩා මෙන්ම ස්වයං ක්‍රියාවලියක් යැයි යමෙක්ට කිව හැකි වුවත්, එම ක්‍රියාවලියෙන් මතු කරන සංඥාව ඉතාමත් බියකරු මෙන්ම අශීලාචාර එකක්ය. ඒ බව, 88/ 89 වකවානුවේ ලංකාවේ මිනිස් අයිතිවාසිකම් කඩවීම් ගැන කියන්න ජිනීවා යෑමට උත්සහා කළ මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.(http://dbsjeyaraj.com/dbsj/archives/15968) එසේම ප්‍රේමදාස ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ප්‍රගතිශීලි කණ්ඩායම් සමග පාගමන් ගිය රාජපක්ෂ මහතාට අමුතුවෙන් කියා දිය යුතු නොවේ. කෙසේ නමුත්, දැන් ‘සිංහල පමණයි’ යන්න ගෝඨානුගාමිකයන්ගේ ඔලු ගෙඩිවල ට නිළ මුද්‍රාවක් වැදී තිබේ. එයට ප්‍රධානම හේතුව රටේ ප්‍රධාන පුරවැසියාගේ එදින කතාවේ තිබු ආන්දෝලනාත්මක කොටස් ගොඨානුගාමිකයන් විසින් දිරවා ගත් අන්දමය. කෙසේ නමුත්, දැන් ඒ දිරවීම පිටව ගොස් ඇත්තේ පාරවල් වල, නම් වලින් දෙමළ නම ඉවත් කිරීමෙන් පමණි. නමුත් මේ අශීලාචාර උන්මාදය ඉදිරියේදී වෙනත් ස්ථානවලින් ද ගලා යෑමට ඉඩ තිබේ. එබැවින් අගමැතිවරයා විසින් මේ දෙමළ භාෂිත පුවරු ඉවත් කරන අයව අත්අඩංගුවට ගන්නට නියෝග කිරීම වැදගත් පියවරකි. නමුත් ‘තල වපුරා මුං ලැබෙන්නේ නැති’ බව අප සිහි තබා ගත යුතුය.
අප කල්පනා කල යුතුවන්නේ ‘මේ රට සිංහලයන්ගේ පමණයි’ යන නරුම අදහස්වලින් පිරුණු ජාතිවාදීන්ගේ අතට ගල් දුනහොත්, ඔවුන් එම ගල් භාවිතා කරන විලාසය හෝ ඉලක්කය කිසිවෙකුටවත් පාලනයට කිරීමට නොහැකි බවය. එම නිසා ජාතිවාදී උන්මත්තක පිරිස් අතට ගල් ලබා දී, පසුව ඔවුන් ගල් ගැසූ පසු ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට නියෝග කරනවාට වඩා, පෙර සිටම ඔවුන්ගේ අතට ගල් ලබා නොදීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය නොවේද? නමුත් ‘විනය ගරුක’ රටකට එවැන්නක් අවශ්‍ය නොවන්නේ දැයි දන්නේ නැත.
මේ ඉතිහාසයත් නැවත වරක් මතක් කර ගැනීම වටි
1956 දී එස්. ඩබ්. ආර්, ඩී. බණ්ඩාරණායක විසින් දේශපාලන බලය තමන් වෙත ලබා ගැනීමේ අශ්ලීල උපක්‍රමයක් ලෙස ‘සිංහල භාෂාවට මුල් තැන දෙනවා’(සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරනවා) යැයි කියමින් දුන් පොරොන්දුව මගින් සිංහල සමාජය තුළ ඇති කරන ලද ‘අශිලාචාර උද්දීපනය’ නිසා, ජාතීන් අතර ඇති වූ බෙදීම අවසාන වූයේ දහස් ගණනක් මේ පොළව යට වැළලීමෙන් පසුවය. නමුත් ඒ වේදනාවන් තවමත් නිවී ගොස් නැති මෙන්ම, එම ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් පේන තෙක් මානයකවත් නැති තත්ත්වයක් තුළ, මෙවැනි අශිෂ්ට ක්‍රියාවන්ට දුටු සැනින් විරෝධය දක්වා ඔවුන් නීතිය හමුවට ගෙන ඒම බලධාරින්ගේ ප්‍රමුඛ වගකීමකි. මෙහිදී ජාතිවාදී උන්මත්තක මෙම හැසිරීම්වලට එරෙහිව සිය ක්‍රියාශිලී මැදිහත්වීම් සිදුකිරීමට මේ රටේ පුරවැසියන් ද පෙරට ආ යුතුය.
සම්පත් සමරකෝන් | Sampath Samarakoon