‘‘මගේ පුතා හිටියේ සංවිධානේ තමයි. එයා අවුරුදු 4ක්ම හිටියා. අපි ඔක්කොම එයාට ආදරේ කලා. ගෙදර එන්න කියලා කිවුවා. එයා හැමදාම කිව්වේ ඉක්මනට එන්නං කියලා. ඒත් එයා ආවේ නෑ. එක දවසක් සංවිධානෙන් ඇවිල්ලා කිව්වා එයා නැති උනා කියලා. අපිට උහුල ගන්න බෑ. ඊට පස්සේ එයාලා අපේ පුතා සිහිවෙන්න සොහොනක් හැදුවා. අපි අවුරුද්දේ විශේෂ දවස් වලට සොහොනට ගිහිල්ලා එයා සිහිකරනවා. ඒත් දැනට අවුරුදු 4කකට වගේ කළින් එයාගේ සොහොනත් එක්කම ඔක්කොම ඩෝසර් කරලා. අපිට අපේ පුතා සිහි කරන්න තිබ්බ එකම තැන..දැන් මේ ගේ ඇතුලේ තමයි අපි පුලුවන් විදිහට එයාව මතක් කරන්නේ. ඒත් ඒකත් බයෙන්. ඒ අපේ පුතා………………………‘‘

උතුරේ මවක් සිය පුතා ගැන සිහි කරමින් කතා කළේ කදුලු සිය දෑසේ පුරවාගෙනයි. මොහොතකින් වැටුනු කදුලුවල ජාතියක් තිබුණේ නෑ වගේම හැම අම්මා කෙනෙක්ගේම තිබුණ රතු වුනු දෑස් ඇයගෙත් තිබුණා.

මේ 2015 වසරේ නොවැම්බරයේ ඊයේ(27) වැනි දිනක ලියු සටහනක කොටසක්ය. ඒ උපුටා ගැනීම වසර 4කට පසුවත් ඒසේම සටහන් කිරීමම කෙතරම් ඛේදවාචකයක්ද? යුක්තිය ඉටු නොවුනු ඒ දැස් තව කොපමණ කලක් බලා සිටින්නද? හදවතක් නැති මිනිසුන්ගේ මුග්ධ ක්‍රියාමාර්ග නිසා අදටත් වේදනාවෙන් කදුලු සලන්නේ ඒ අසරණ මිනිසුන් ය. නමුත් මේ බිමේ බහුතරයකට ඒ බව ඇසනේනේවත් නැති සේයකි. එය කෙතරම් ඛේදවාචකයක්ද?

එහි එදවස තවදුරටත් මේසේ ලීවේමු.

ඇගේ දරුවාගේ සොහොන්කොත ඉදිකර තිබුණේ කෝපායි පිහිටා තිබුණු සුසාන භූමියේ ය. 2000කට ආසන්න සොහොන්කොත් ප්‍ර‍මාණයක් තිබුණු එම සුසාන භූමිය යුද හමුදාව විසින් බුල්ඩෝසර් කර එහි යුදහමුදා යාපන අණදෙන මූලස්ථානය ඉදි කලේ ය. ඒ 2011 වසරේ මාර්තුවේදීය. යුද්ධයෙන් මිය ගිය තරුණ තරුණියන් සිහි කිරීම සදහා උතුරේ සහ නැගෙණහිර ඉදිකර තිබූ සොහොන් කොත් දහස් ගණනක් විනාශ කර ඒ මත ඊනියා යුද ජයග්‍ර‍ණයේ සංඛේත සේම සුඛෝපභෝගී මහල් ඉදි කලේ දෙමළ ජනයාගේ මතකයන් රාජ්‍ය බලය යොදා සදහටම මර්දනය කිරීමේ මුග්ද අරමුණින්ය.

එපමණක් ද නොවේ. මානුෂික මෙහෙයුමක් යැයි කියමින් සංහාරික යුද්ධයක් කළ ලංකා හමුදාවෝ විසින් යුද්ධයෙන් මියගිය දෙමළ තරුණයින් සිහිකිරීමට සකසා තිබූ සියලු සොහොන් භූමි බුල්ඩෝසර් දමා විනාශ කළේ ගෝත්‍රිකත්වය ලොව හමුවේ දිගහරිමිනි. ඇතැම් සොහොන් භූමි විනාශ කරමින් ඒ මත විවිද ඊනියා සැමරුම් ස්මාරකයන් ද තැනුවෝය.

එසේ තැනූ ස්මාරකයන්වලින් සමන්විත, හමුදාව ‘කෞතුගාරයක්‘ ලෙසින් හදුන්වන විශාල භුමි ප්‍රදේශයක විහිදුනු ස්ථානයක් මඩකලපුවේ, කුඩුම්බිමලේ පර්වතයට ආසන්නව(මෙය හමුදාව විසින් හදුන්වන්නේ තොප්පිගල යනුවෙනි) තාරාවිකුලම් හි ඉදිකර තිබේ. ත්‍රිවිද හමුදාව, පොළීසිය සහ යුද්ධය, යුද්ධය ක්‍රියාත්මක කළ ආකාරය උත්කර්ශයට නැංවීම සදහා ඉදිකර ඇති මෙය ඉදිකර තිබෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වනාන්තරයකය.

එපමණක් ද නොවේ. මෙය ඉදිකර තිබෙන්නේ, එම ස්ථානයට ආසන්නයේ මිය ගිය දෙමළ තරුණ-තරුණියන් සිහිකිරීම සදහා තනා තිබූ සොහොන් භූමියක් සම්පූර්ණයෙන්ම විනාශ කරමිනි. හමුදාව විසින් එම සොහොන් භූමිය විනාශ කරන විට එහි සොහොන්කොත් 3000කට වඩා තිබුණු බව ගමිවැසියන් පවසයි.

‘‘මට මතකයි අතන සොහොන් 3000කට වඩා හදලා තිබුණා. ඒවා ඔක්කොම ආමි එකෙන් බුල්ඩෝසර් කරා. දැන් එතන මුකුත් නෑ. එතන ඔක්කොම වළලා තිබුණේ අපේ දරුවො.‘‘ ඒ හඩ මහලු වී ගියත් නිදහස පිළිබද ව වූ ධෛර්යය දරාගෙන මරා දැමුණු දෙමළ තරුණයෙක් ගේ පියෙක්.

දෙමළ කවි කෙතෙහි සැගවුනු සුකුමාර් නම් කවියා ‘තවත් ඇටකටු‘ නමින්, ප්‍රබළ කවියක් ලියයි. එය මෙසේ ලියා තබමි.(උපුටාගැනීම-සහෝදර පියාපත්/නිලාර් එන් කාසිම්)

මා දොරට සන්කොට
කිසිත් නාසව
මා නිවස මරණයෙන් දරදඩු ය.
මේ දවස්
කාකි යක්ෂයන්ගෙන් පාලිතය
අද
මල් වැල් ද
දරුවන්ගේ මදහස ද
සියොත්හු ද
අගනෝ ද දැවුණෝ හ.
මා දොරට සන්කොට කිසිත් නාසව
අද
මිනිසෙකු ව හිදීම ද බරපතල වරදක්ය.

Main Image:tamilguardian (ඊයේ(27 උතුරේ පැවති සිහිකිරිම්)

සම්පූර්ණ සටහන සදහා පිවිසෙන්න