iMage; Sharmi Kumar/fb
බොහෝ කලකට උඩදී, මට දැන් හරියටම නම මතක නැති ‘අම්මට සිරි ගජ’ වැනි නමක් ඇති චිත්‍රපටියක් ‘අසභ්‍ය දර්ශන’ නිසා තහනම් කලා. චිත්‍රපටිය බේරාගැනීමට යම් හඬක් මතුවනකොට ‘විදග්ද කඳවුරේ අය’ කිව්වේ ඔය වගේ කසිකබල් ජරා චිත්‍රපටි තහනම් කරන්නමයි ඕනේ… ඊටත් වඩා ඔය ඩිරෙක්ටරයා සවුත්තු පොරක් කියලා. සහයෝගය දුන්නේ නෑ. නමුත් කලා කෘතියක හෝ යමක ගුණාත්මකත්වය කියන්නේ වෙන ප්‍රශ්නයක් වන අතර ඒක විසදගන්න විචාරය සහ මාධ්‍ය ඇතුළු වෙනත් අවකාශයක් තියෙනවා. නමුත් ඒ තහණමට බලය දීම මුළු සිනමාවටම බලපානව.
ශාමි කුමාර් ව සිරභාරයට ගැනීම විදග්ධ, පීචං චිත්‍රපටි-කලා ගැටුමට තරමක් සමාන නමුත් එය ඊට වඩා අතිශය සංකීර්ණ කාරණා රැසක් සමඟ වෙලිලයි තියෙන්නේ. ඇගේ සිදුවීම වටා ඇති ඒ සංකීර්ණතා ලෙහා ගත් පසු ඇය සම්බන්ධව ඇති සියලුම චෝදනා සහ විවේචන වලට ද යටත්ව වුව ඇයව සරලව නොසලකා අරින්න බැරි කාරණා තියෙනවා.
ඇයට අනුව ලිංගික සේවය සහ ලිංගික තෘප්තිය, හොරා කරන්න අවශ්‍ය නැති, අනිත් සෑම තෘප්තියක් සහ සේවාවක් විදිහටම එක හා සමාන ගෞරවයෙන් විවෘතව ගන්නට සහ දෙන්නට පුළුවන් දෙයක්. ඇය එය කිව්වෙ ‘ඔවු මම ගණිකාවක් තමා’ කියාගන්නා ගමන් තමන් ද එතන ප්‍රායෝගිකව ඉඳ ගනිමින්. ඊට අමතරව ඇය තමන්ගේ පුද්ගලික ලිංගික ජීවිතය සමාන්‍ය කාන්තාවක් නොකරන ප්‍රමාණයට සමාජයට විවෘත කරමින් එය සාමාන්‍ය දෙයක් විදියට පිලිගන්නැයි කීවා. අපි මොහොතකට අන්න ඒක ඇගේ ප්‍රකාශය(කෘතිය) විදියට ගම්මු.
ඇයව විවේචනය කරන කිසිම කෙනෙක් ඇය එහෙම ප්‍රකාශ නොකලැයි, එනම් එවැනි කෘතියක් ඇය නිපදවූයේ නැතැයි කියන්නේ නෑ. නමුත් බොහෝ අයට තියන ප්‍රශ්නය ඇගේ ඒ ප්‍රකාශය (හෝ කෘතිය) පිලිගැනීමට බැරි වෙනත් ප්‍රශ්ණ තිබීමයි.
මොනවද මේ පිලිගන්න බැරි ප්‍රශ්ණ?
ඇය පුද්ගලයකු ලෙස කටයුතු කිරීමේදී ඇගේම ක්ෂේත්‍රයේ අනිත් අයට කැපිලි, කෙටිලි කරපු හා ඔවුන්ව පාවා දෙමින් හැසිරුන අමානුෂික අකාරය එකක්. (බොහෝ විට ඇයව අත්අඩංගුවට ගන්නට පසුබිම හැදෙන්න ඇත්තේත් මේ නිසා වෙන්න පුළුවන්.) එනම් ඇගේ පුද්ගලික භාවිතාවේ තියන, ඇය කියන දේට එරෙහිව තියන ප්‍රතිවිරෝධතා. අඩුවැඩි වශයෙන් මෙවැනි හෝ වෙනත් ප්‍රතිවිරෝධතාවයක් නොතිබුණ කිසිම මිනිසෙකු, ලෝකයේ කෘතියක් නිෂ්පාදනය කරලා ඇතැයි මම විශ්වාස කරන්නෙ නෑ.
ඒ වගේම කවුරුහරි හිතනවානම් කාල් මාක්ස්ගේ සිට සරච්චන්ද්‍ර දක්වා ඒ මහා නිර්මාණ කරල තියෙන්නෙ මානව දයාව උතුරා යාමේ ප්‍රතිඵලයක් විදිහට නම්, එය සංකීර්ණ මිනිස් විෂය අතිශය වැරදියට වටහා ගැනීමක්.
අපට ඒ කෘති ඉහළින් අගයන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒවා නිෂ්පාදනය කරපු මිනිසුන්ගේ අරමුණු හෝ පසුබිම මොනවද කියන එක මත නෙමෙයි කෘති වශයෙන් ඒවායේ තියෙන සාර්ථකත්වය හෝ බලපෑම නිසයි. එතැනින් එහාට කිසිම දෙයක් ගැන කිසිම මිනිහෙක් සම්බන්ධයෙන් අපිට හරියටම කියන්න බෑ. ඊට එතරම් ඈත යන්න අවශ්‍ය නෑ. අපේ රටේම සම්භාවනීය කලාකරුවන් යැයි කියන අය ගැහැණුන් අපයෝජනය කිරීම, ක්ෂේත්‍රයේම අනිත් උන් කපා දැමීම, මූල්‍ය වංචා ආදී, කොටින්ම ශාමි කුමාර් කරලා තියෙන සියලුම ‘අශිෂ්ඨ යැයි කියන වැඩ’ ඊට වඩා සූක්ෂමව මැද පන්තික ශික්ෂණයකින් කරල තියෙනවා. ඒ මිනිස්සුන්ව ප්‍රතිවිරෝධතා සඟවමින් වීරයින් බවට පත් කරලා තියෙන්නේ ඔවුන්ගේ වැඩ කියවපු සහ පාවිච්චි කරපු මිනිසුන්ගේ ව්‍යාපෘතිවල අවශ්‍යතාව මතයි. ඒ අර්ථයෙන් ගත්තහම මුළු මිනිස් ඉතිහාසය තුළම වීරයෙක් හිටියා ද යන්න සැක සහිතයි. ශාමි කුමාර් ද වැටෙන්නේ ඒ මිනිස් ඉතිහාසය තුළටම යි.
ඊළඟට කියන්නේ ඇය කරන දේ පිළිබඳව ඇයට කිසිම අවබෝධයක් නැති බවත්, ඇය අවස්ථාවාදී පිරිමින්ගේ පාවිච්චියට හසුවී කියවන බවයි. මේක නිතරම මෙවැනි කාන්තාවන්ව අවප්‍රමාණය කරන්න පහසුවෙන් යොදා ගන්නා තර්කයක්. ඒ අනුව කසාද බැදලා ගිහින් දරුවො හදල, ගෙවල් වලට වෙලා පිරිමින්ගේ වාසගම් පවා තමන්ටයි, දරුවන්ටයි දමාගෙන ඉන්න අති බහුතරයක් කාන්තාවන් පිරිමි පාවිච්චියට හසු නොවූ අය ද? ඔවුන්ට මීට වඩා ස්වාධීනත්වයක් තියෙනව ද? මතක තියාගන්න කසාදයේ සිට මාධ්‍ය භාවිතාව දක්වා සියලුම ස්ත්‍රී ක්‍රියාකාරකම් සිදු වෙන්නේ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරපු ‘පිරිමි විශ්වයක් තුල’ බව. ඇය ඒ මාධ්‍ය කරුවාට හසුවීමත් තවත් ගැහැණියක් තමන්ගේ කසාද පිරිමියාට හසුවීමත් අතර බරපතල වෙනසක් තියනවාද? ඇය ඇගේ මාධ්‍ය කරුවාට එකඟ වුණා, හරියට ඔබ ඔබේ මිනිහට එකඟ වුණා වගේ නම්, ඒ ඇගේ ස්වාධීන අදහස විදිහට ඇය දෙස අනුකම්පාවකින් නොබලා අපට එය පිළිගන්න සිද්ධ වෙනවා.
ඇගේ නිෂ්පාදනයෙන් පෙන්වන ස්ත්‍රීවාදීවාදී ක්‍රම පිළිබඳව ඇයට කිසිම අවබෝධයක් ශික්ෂණයක් දැනුමක් නැති බව අනිත් චෝදනාවයි. ඇත්ත වශයෙන්ම සමාජ පරිවර්තන සටන්වලදී දේශපාලන අනාරක්ෂිතභාවය මෙන්ම පුද්ගල ගෞරවය ආදිය බිල්ලට දී ඉදිරියට මුලින් යන්නේ, බොහෝ විට එසේ සටන් කරනවා හැර වෙනත් විකල්පයක් නැති කම්කරුවන්, ශිෂ්‍යයන්, ගොවියන්, ගණිකාවන් හා විවිධ ආන්තික ජනකොටස් ආදී බොහෝ විට මධ්‍යම පංතික දෘෂ්ඨියෙන්, අශිෂ්ට හැසිරීම් ඇති නිර්ප්‍රභූ ජන කොටස්. ඒක හරියට යුද්ධයේදී අගල් වලට බහින්නෙ පහළම සොල්දාදුවන් වගේ. ඔවුන් තමන් කරන ක්‍රියාකාරකම් වල ඇති දාර්ශනික දේශපාලනික සහ න්‍යායික තේරුම දන්නේ නැති අතර, බොහෝ විට ඔවුන්ව එතැනට පෙළඹ වෙන්නේ පාරිසරික තත්ත්වයන් විසින්. ඔවුන් ආවේගශීලී, අශිෂ්ට, ප්‍රතිවිරෝධතා සැඟවීමට නොදත් සමහර විට තවත් අයගේ යොදා ගැනීම් වලට පවා හසු වෙන පිරිසක්. ඔවුන්ගේ නූගත් ආන්තික හෝ පීඩිත පසුබිම හො අශිෂ්ට හැසිරීම හේතුවෙන් ඔවුන්ගේ නිෂ්පාදනය අවප්‍රමාණය කිරීමට ඔබට ඇති ශිෂ්ට සුදුසුකම් මොනවාද?
විවිධ ලිංගික මානසික සූරාකෑම්වලට ලක්වීම නිසා සම්මත මානසික සමබරතාවය පවත්වා ගැනීමට අපහසුතාවයන් පෙන්වන අජූත(Odd) හැසිරිම නිසා ඔවුන්ගේ නිෂ්පාදන මධ්‍යම පන්තික ශික්ෂණයකින් විනිශ්චය කර බැහැර කළ හැකිද? ඒ මොන මාක්ස්වාදී හෝ ස්ත්‍රීවාදී න්‍යායට අනුව ද?
එහෙත් ලිංගික අභ්‍යාස වල සිට උද්ගෝශන, විරෝධතා හා සියදිවි නසාගැනීම් ආදී විවිධාකාර ඔවුන්ගේ ප්‍රකාශන – අභ්‍යාස – නිෂ්පාදන සමාජ පරිවර්තන වලට අවශ්‍ය පාර කපන බව අපට ඉතිහාස සාධක වලින් පිලිගන්න වෙනවා.
එසේ ඒ පිරිස් ගිහිල්ලා තම ගෞරවය පවා කෙලසාගෙන කරන රැඩිකල් ක්‍රියාකාරකම නිසා සමාජයේ තියෙන අසාමාන්‍ය තත්වය සාමාන්‍ය තත්ත්වය බවට පත් වන විටයි, මධ්‍යම පන්තික ප්‍රභූවරුන් සිමොන් ඩි බූවාලා, රෝසා ලක්සම්බර්ග්ලා ගැන සාකච්ඡා කරමින් ඒ මාවත පිරිපහදු කරලා පෙන්නන්නේ. සාමාන්‍යයෙන් ඔවුන් බොහෝ දෙනෙක් තමන්ගේ සමාජ තත්ත්වය පවුල් ජීවිතය වගේ දේවල් එක්තරා මට්ටමකින් එහාට බිල්ලට දෙන්න යන්නෙ නෑ. එහෙත් දැනුම පිළිබඳව බලය ඇති ඒ ප්‍රභූ කොටස් තමයි අර ‘නිර්ප්‍රභූ’ අභ්‍යස හරහා මතුවුන නව අදහස් න්‍යායගත කරමින් ඉතිහාසය ලියන්නේ. මේ එය සාමාන්‍යයෙන් වෙන විදියයි. නමුත් න්‍යායික මුලපිරීම් ද තවත් පැත්තකින් බලපාන බව අපි අමතක නොකළ යුතුයි, ඒක හරියට කිකිළියි බිත්තරයයි වගේ.
අවාසනාවට ශ්‍රී ලංකාවේ නිර්ප්‍රභූ අධ්‍යනයන්(Subaltern Studies) ප්‍රමාණවත්ව කෙරිලා නෑ, හෝ ප්‍රමාණවත්ව ව්‍යාප්ත වෙලා නෑ. ශාමි කුමාර් (හෝ තවත් මෙවැනි කාන්තාවන් ඉන්න පුළුවන්) දැනුවත් හෝ නොදැනුවත්ව සමහර විට අවිඥාණිකව කරන ක්‍රියාකාරකම් හා නිෂ්පාදන ඒවායේ ඇති ප්‍රතිවිරෝධතා සහ න්‍යායික දුර්වලතා පුලුල් අර්තයෙන් හඳුනාගනිමින් ස්ත්‍රීවාදී දෘෂ්ඨියකින් කියවීම් දකින්නට ලබෙන්නේ නැති තරම්.
ඔබ ශාමි කුමාර් ස්ත්‍රීවාදීනියක් විදිහටවත්, මගපෙන්වන න්‍යායාචාර්යවරියක් විදිහටවත්, සමාජය වෙනුවෙන් මැදිහත් වන වීරවරියක් විදිහටවත් තේරුම් ගැනීමට අවශ්‍ය නෑ. එවැනි භූමිකාවන් සමඟ සංසන්දනය කර ඇයව අවප්‍රමාණය කිරීමට ද අවශ්‍ය නෑ. එය සිදුවීමක්. එය, ඇය අතින් සිදුවුණා. අපිට ඒක නෑ කියන්න බෑ. ඒක අපිට පිළිගන්න වෙනවා. ඉදිරියේදී වඩාත් පිළිගත් ස්ත්‍රීවාදිනියක් බොහෝ විට මීට වඩා ශිෂ්ට සම්පන්න විදිහට හා මීට වඩා සවිඥානිකව මේ දේම කරන බවට කිසිම සැකයක් නෑ. අවම වශයෙන් ඊට අවශ්‍ය සුළු හෝ බියක් දැන් නැති වෙලා නැතිමයි අපට කියන්න බෑ.
ගැහැනිය සහ ලිංගිකත්වය සම්බන්ධයෙන් අපේ සමාජයේ ඇති පටු ආකල්ප නැති වී අවසානයේ මීට වඩා යහපත් මනුෂ්‍ය සම්බන්ධතා ඇති සමාජයක් උදෙසා ස්ත්‍රීවාදයේ සිට මානව අයිතිවාසිකම් දක්වා ගෙනියන පුළුල් සටනේ දී, ඒ කතිකාවේදී ශාමි කුමාර්ලා යනු නොසලකා හැරිය යුතු භූමිකාවන් ලෙස අපි හිතන්නේ නම් එය විශාල වැරදීමක්. ඉතිහාසය ගැනම ඇති අනවබෝධයක්.
ධනංජය කරුණාරත්න | Dhananjaya Karunarathne