iMage:Blog_usaid

සමකාලීන ශ්‍රී ලංකාවේ දේශපාලන හැඩ ගැසීම් වටහා ගන්නට නම් අපගේ තියුණු විචාරාක්ෂිය යොමු විය යුත්තේ නව ආණ්ඩුව (government) වෙතට නොවේ; පියවරෙන් පියවර ගොඩ නැගෙමින් තිබෙන නව පාලනාධිකාරය(regime) වෙතටය. වෙනත් වචනවලින් කිවහොත්, අප විමසා බැලිය යුත්තේ රාජ්‍යයේ මර්දනීය උපකරණ සේම දෘෂ්ටිවාදී උපකරණද හසුරුවන සැබෑ බලය කේන්ද්‍රගත වන්නේ කොතැනකද යන කාරණයයි; එම බලය සංවිධානය වන්නේ සහ හැඩ ගැසෙන්නේ කවර ස්වරූපවලින්ද යන්නයි. මගේ අදහස නම් මේ දිනවල සිදුවෙමින් පවතින්නේ ඉතාම තීක්ෂණ තෝරා බේරා ගැනීමකින් යුතුව සහ ඉතාම සැලසුම් සහගතව නව පාලනාධිකාරයක් ගොඩ නැංවීම බවයි. එහි බල යාන්ත්‍රණය ජාතික, පළාත්බද සහ ගම් නගර මට්ටම්වලින් සංවිධානය වීම බොහෝවිට ඉදිරි මහා මැතිවරණයෙන් සහ පළාත් සභා මැතිවරණවලින් පසුව අපට දැක බලා ගන්නට හැකි වනු ඇත. නමුත්, දැනටමත් එහි මූල ආකෘතිය සැකසෙමින් පවතී.

පළමුව, 19 වන සංශෝධනය තුළ කුමක් ප්‍රකාශ වුවද තවමත් රාජ්‍ය බලයේ කේන්ද්‍රීය ආයතනය විධායක ජනාධිපති ධූරය බැව් දැන් ප්‍රායෝගිකව සනාථ වෙමින් පවතී. මෙය පොදුවේ ලිබරල් ව්‍යවස්ථාවාදය(liberal constitutionalism) ලැබූ පරාජයකි. සමාජයීය සහ දේශපාලනික වශයෙන් ගොඩ නැගෙන ඓන්ද්‍රීය බල ව්‍යාපෘතියක් හුදෙක් නෛතික හෝ ව්‍යවස්ථාමය රැහැන් පටවලින් බැඳ නැවැත්විය නොහැකිය. අර්නෙස්ටෝ ලැක්ලාවූගේ වචනයෙන් කිවහොත්, තරඟයේ නීතීන්ට අනුව දේශපාලනයේ නියැලෙන ලෙස අයැද සිටින ලිබරල්වාදීන් නොතකා හරින්නේ තරඟයේ නීතීන් නිර්මාණය කිරීම නොහොත් වෙනස් කිරීම යනුද දේශපාලනයේම රැඩිකල් මානයක් බවයි. දැන් අපට නිරීක්ෂණය කළ හැකි පරිදි තරඟයේ නීතීන් වෙනස් කිරීමේ රැඩිකල් ජාතිකවාදී දේශපාලන ප්‍රවාහයක් ගෝලීයවත් ස්වදේශිකවත් ඉස්මතු වෙමින් පවතී. එය ලිබරල්-ප්‍රජාතාන්ත්‍රික සමාජ ගිවිසුම නැවත අර්ථකථනය කරයි; එම නව ගිවිසුමට සරිලන පරිදි ආණ්ඩුක්‍රමය සහ රාජ්‍යය නැවත හැඩ ගැස්වීමට අදිටන් කර ගනියි; එය නීතිය සහ ව්‍යවස්ථාව නැවත සකසයි. අප මේ දිනවල ප්‍රායෝගිකව සාක්ෂි දරමින් සිටින දේශපාලන පරිවර්තනය මෙබඳුය.

නව සමාජ ගිවිසුම

මෙරට ලිබරල් ව්‍යවස්ථාවාදීන් පෙනී සිටියේ විධායකයේ බලතල අඩු කිරීම වෙනුවෙන් වුවද බහුතර ජනතාවක් ඉල්ලා සිටියේ ශක්තිමත් පාලකයෙකි. පසුගිය වසර කිහිපය තුළදී ආර්ථිකයේ එක තැන පල්වීම සහ ආණ්ඩුකරණයේ බිඳ වැටීම හමුවේ ශක්තිමත් සහ ස්ථාවර පාලනයක් පිළිබඳ අදහසට වලංගුතාවක් හිමි වීම පුදුමයට කරුණක් නොවේ. පාස්කු ඉරිදා ප්‍රහාරය සමග ආර්ථික සහ සමාජ අනාරක්ෂිතතාවට විසඳුමක් ලෙස පළමුව ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුය යන මතය කුළු ගැන්විණ. ඒ සමගම ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධනය රාජ්‍යයේ ප්‍රමුඛ නිෂ්ටාවක් විය යුතුය යන පිළිගැනීමද කාලාන්තරයක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ පොදු ජන අවබෝධයේ කොටසක් වී පවතී. නමුත්, මෙරට අධිපති ජාතිකවාදී කතිකාව තුළ ආර්ථික සංවර්ධනය සේම සමාජ ආරක්ෂාවද අර්ථකථනය වන්නේ ජනවාර්ගික සහ ආගමික බහුතරවාදී දෘෂ්ටියක් තුළිනි. නව සමාජ ගිවිසුම සමන්විත වන්නේ ඉහත කී ආර්ථිකමය, දේශපාලනමය සහ දෘෂ්ටිවාදී පැතිමාන වලිනි. එය බහු-පංතික ගිවිසුමකි; ඒ අතරම ජනවාර්ගික සහ ආගමික ලෙස බෙදුණු ගිවිසුමකි.

දැන් සිදුවෙමින් පවතින්නේ එම නව සමාජ ගිවිසුමට අනුව මෙරට රාජ්‍යය සහ ආණ්ඩුකරණය නැවත හැඩ ගැසෙමින් පැවතීමයි. ඒ කෙසේද යත්, නව ජනාධිපතිවරයා තම ධූරයේ දිව්රුම් දීමෙන් අනතුරුව නිල වශයෙන් තම කාර්යාලයේ වැඩ භාරගැනීමටත් පෙරම ආරක්ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කළද තවමත් ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍යවරයෙකු පත් කොට නොමැත. ඔහුගේ දිව්රුම් දීමේ උත්සවයේදී කළ කතාවෙන් ගම්‍ය වූයේ ආරක්ෂක අමාත්‍ය තනතුර විධායක ජනාධිපතිවරයා විසින්ම දැරිය යුතු යැයි ඔහු අපේක්ෂා කරන බවයි. අමාත්‍යංශ විෂයන් පිළිබඳව නිකුත් වූ ගැසට් නිවේදනයට අනුව රාජ්‍ය ආරක්ෂාව යන විෂය යටතට ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂාව පිළිබඳ දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියද අයත්ය (පසුගිය ආණ්ඩුව යටතේදී පොලීසිය පැවතියේ නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍යාංශය යටතේය); තවදුරටත් එයට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සහ තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළු ආයතන 31ක් අයත්ය. වැඩිම රාජ්‍ය ආයතන සංඛ්‍යාවක් එනම් ආයතන 68 ක් අග්‍රාමාත්‍යවරයාගේ විෂය පථයට අයත් වේ. දැනටමත් මාධ්‍ය මගින් අවධාරණය කොට ඇති පරිදි ඇතැම් වැදගත් අමාත්‍යංශ ලේකම් තනතුරු සඳහා විශ්‍රාමික හමුදා නිලධාරීන් පත් කොට තිබේ. (ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අමාත්‍යාංශ ලේකම්වරුන් මාර්ගයෙන් සැබෑ විධායක බලය හැසිරවීමේ ක්‍රමවේදය හඳුන්වා දෙනු ලැබූයේ ජේ.ආර් ජයවර්ධන විසිනි). ඒ අතරම තම අමාත්‍යාංශ යටතේ ඇති සංස්ථා සහ දෙපාර්තමේන්තු සඳහා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ හැකියාව ඇමතිවරුන්ට අහිමි කරනු ලැබ ඇති බව පෙනේ. ඒ සඳහා දේශපාලන විධායකයේ කේන්ද්‍රයට සෘජුව වගකියන විශේෂඥ කමිටුවක් පත් කොට තිබේ. අමාත්‍ය කාර්ය මණ්ඩල සීමා කිරීමෙන් සහ අමාත්‍යාංශ සඳහා නව නියාමන ක්‍රම හඳුන්වා දීමෙන් (වැඩ සැලසුම් ඉදිරිපත් කිරීම සහ ප්‍රගතිය වාර්තා කිරීම වැනි) දේශපාලකයින්ගේ බලයට යම් සීමා පැනවීමක් සිදු කෙරෙන බවක් නිරීක්ෂණය කළ හැකිය. මීට සමාන්තරව දේශපාලන විධායකයේ කේන්ද්‍රයට සෘජුව සම්බන්ධ වූ නිළධර තන්ත්‍රයේ බලය සාපේක්ෂව ඉහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකිය. (මෙය නැගෙනහිර සහ අග්නිදිග ආසියාතික සංවර්ධනීය රාජ්‍ය මාදිලියේද ප්‍රධාන ලක්ෂණයකි). එසේම යම් විශේෂඥ නිළධර ශ්‍රේණියක් විසින් මෙහෙයවනු ලබන ආර්ථික සැලසුම් සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වූ මධ්‍යගත ආයතනයක් ගොඩ නැගීමද ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය. ජපානයේ ජාත්‍යන්තර වෙළඳ සහ කාර්මික අමාත්‍යාංශය (MITI), දකුණු කොරියාවේ ආර්ථික සැලසුම් මණ්ඩලය (EPB), සිංගප්පූරුවේ ආර්ථික සංවර්ධන මණ්ඩලය (EDB) සහ තායිවානයේ ආර්ථික සැලසුම් සහ සංවර්ධන කොමිසම (ECPD) මෙවන් ආර්ථික සැලසුම් ආයතන සඳහා නිදසුන්ය.

දේශපාලන විභවතා

මගේ අදහස නම් මෙම නව පාලනාධිකාරය ගොඩ නැගෙමින් පවතින්නේ ආණ්ඩුවෙන් පමණක් නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අයත් පක්ෂ සංධානයෙන්ද සාපේක්ෂ ස්වායත්තතාවක් සහිතව බවයි. එය ආණ්ඩුව තුළත් පොහොට්ටු පක්ෂ සංධානය තුළත් විවිධ ආතතීන් නිර්මාණය කරමින් තිබෙන්නේ එහෙයිනි. මා ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපි කිහිපයකදීම පෙන්වා දුන් පරිදි පොහොට්ටු පක්ෂ සංධානය බලයට පත්වූ සංධර්භයකදී ඒ තුළ සිටින පැරණි වමේ සහ ශ්‍රීලනිපයේ සමාජ ප්‍රජාතාන්ත්‍රික මූලයන් ඇති කොටස් දේශපාලනික වශයෙන් ආන්තික වී යාමේ විශාල විභවතාවක් පවතී. දැනටමත් පැරණි වමේ ඇතැම් නායකයින්ට ආණ්ඩුකාර පදවි වැනි දෑ පිරිනමා තිබීමෙන් හැඟවෙන්නේ ඔවුන් පාර්ලිමේන්තු දේශපාලනයෙන් ක්‍රමානුකුලව බැහැර කිරීමක් විය හැකිය. කෙසේ වුවත්, වඩාත් දරුණු ඉරණමකට මුහුණ දීමට ඉඩ තිබෙන්නේ ශ්‍රීලනිපයේ කොටස්ය. ශ්‍රීලනිපයේ ඇතැම් නායකයින් කල්පනා කරන බව පෙනෙන්නේ තමන් පොහොට්ටු සංධානය සමග එක්ව පොදු ලැයිස්තුවකින් ඉදිරි මහා මැතිවරණයට තරඟ කිරීම තමන්ට වාසිදායක බවය. නමුත්, එවන් පොදු ලැයිස්තුවක සිටින ශ්‍රීලනිප අපේක්ෂකයින්ට අසීරු අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇත. එනම්, ඔවුනට 2015 අගෝස්තු මැතිවරණයේදී සිදු වූවාක් සේ පොහොට්ටු පාක්ෂිකයන්ගේ මනාප නොලැබීමෙන් පරාජයට පත් වීමේ අනතුර එල්ල වීමයි. ඔවුනට එරෙහිව පසුගිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය පුරාම පැවති හූ කීමේ ව්‍යාපාරයේ සංඥාව වන්නේ එයයි. 2015 දී ජනතා ජන්දයෙන් පරාජයට පත්වූ ඔවුන්ව ජාතික ලැයිස්තුවෙන් නැවත පත් කිරීමට ජනවාරි විප්ලවයේ වීරයා වූ හිටපු ජනපතිවරයා කටයුතු කළද වත්මනෙහි බලයට පත්ව සිටින සැබෑ යහපාලන ජනපතිවරයා කෙසේවත් එසේ නොකරනු ඇත! (අනෙක් අතට, ධනවාදී සංවර්ධනය සඳහා සැලසුමක් ඇති ජනපතිවරයෙකුට ජාතික ලැයිස්තුවෙන් ගත යුතු වඩා වැදගත් වැඩ තිබේ).

ඉදිරි මහා මැතිවරණයේදී සේම ඇතැම්විට පළාත් සභා මැතිවරණවලදීද ගෝඨාභය ව්‍යාපෘතියේ ඓන්ද්‍රීය බුද්ධිමතුන් වන වියත්මග සංවිධානයේ ක්‍රියාකාරීන්ට නාම යෝජනා ලැබීමේ විශාල ඉඩ කඩක් තිබේ. ඒ සඳහා පොහොට්ටු සංධානයේ යම් පිරිසකගේ අවස්ථාව කැප කරන්නට සිදු වීම වැළැක්විය නොහැක. විශේෂයෙන්ම පසුගිය කාලයේදී දූෂිත දේශපාලකයින්ට එරෙහිව ජන සමාජය තුළ ගොඩ නැගුණු පොදු විරෝධය දේශපාලනිකව ආයෝජනය කිරීමක් මෙහිදී අපේක්ෂා කළ හැකිය. වියතුන් හා වෘත්තීයිකයන් සඳහා ජනවරමක් ඉල්ලා සිටීමේ ප්‍රබල දෘෂ්ටිවාදී ආමන්ත්‍රණයක් ඔස්සේ නාගරික මධ්‍යම පංතික කොටස්වල ආකර්ෂණය දිනා ගන්නට ඔවුනට හැකියාවක් තිබේ. වෙනත් වචනවලින් කිවහොත්, හොඳ කැබිනට් එකක් හැදීමට කළුවර, තේක්ක සහ බුරුත ලී ඉල්ලා සිටීමේ ආමන්ත්‍රණය පාවෙන ජන්දදායකයින් අතර වැඩ කරන්නට ඉඩ තිබේ. මේ ව්‍යාපාරය සාර්ථක වුවහොත් එය වැඩෙන ධනේශ්වර තාක්ෂණ කළමනාකරණ පංති ස්තරය දේශපාලන සමාජය තුළට ඇතුලත් කරගැනීමක් වනු ඇත. මේ අනුව, ගොඩ නැගෙමින් පවතින නව පාලනාධිකාරයේ අභිලාෂයන්ට සරිලන පරිදි ඉදිරි ව්‍යවස්ථාදායකයේ සංයුතියෙහිද යම් යම් වෙනස්කම් සිදු වීමේ විභවතාවක් පවතී.

තරඟකාරී ජාතිකවාදය

ඉහත ක්‍රියාවලියට සමගාමීව එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව කණ්ඩායම් කිහිපයම සිටින්නේ කිසිදු විපාක්ෂික දැක්මක් හෝ වැඩ පිළිවෙලක් නොමැතිව තුෂ්නිම්භූත වූ ස්වරූපයෙනි. ජවිපෙටද අලුතින් සවි කළ පැරණි යහපාලන බුද්ධිමය හිස තමන්ව දේශපාලන අගාධයක් වෙත රැගෙන ගොස් ඇති බව තවමත් වටහාගත නොහැකි වී ඇත. ජවිපෙ පූර්ණකාලීන ක්‍රියාධරයින් දැන්වත් පක්ෂයේ බුද්ධිමය නායකත්වය භාරගෙන ජාතික ජන බලවේගයේ බුද්ධිමතුන් තමන්ට පෙන්වූ ලිබරල්වාදී මග වෙනුවට වාම සහයෝගීතා මාවතක් තෝරා නොගතහොත් මේ අගාධයෙන් ගොඩ ඒමට ඔවුනට අසීරු වනු ඇත. තමන්ට අසාර්ථක දේශපාලන උපායක් යෝජනා කළ පඬිවරුන්ගෙන්ම එම අසාර්ථකත්වයේ හේතු විග්‍රහ කර දෙන ලෙස ඉල්ලා සිටීමෙන් පලක් නොමැත. මා ජනාධිපතිවරණයට පෙර ලියූ ලිපියකදී විමසූ පරිදි ඔබ අවට ලෝකය නොපෙනෙන්නට තදින් දෑස් පියාගෙන සිටී නම්, ඔබ අතෙහි මාලිමාවක් තිබීමෙන් ඇති පලය කුමක්ද? (මේ කරුණ සවිස්තරාත්මකව සාකච්ජා කිරීම ඉදිරියට තබමි).

විපක්ෂ දේශපාලනයේ වඩාත් සරදම්ජනක කාරණය නම් එජාපයේ වික්‍රමසිංහ පාර්ශවය තමන්ට සිංහල බෞද්ධ ජන්ද අහිමි වූ බව පවසමින් වැඩි වැඩියෙන් සිංහල බෞද්ධ වීමේ බංකොලොත් උපායක් යෝජනා කරමින් සිටීමයි. මේ තරඟකාරී ජාතිකවාදය පිළිබඳව කිව යුත්තේ එය කිසිසේත්ම සාර්ථක නොවනු ඇති බවයි. 1950 දශකයේ අග භාගයේදී සහ ’60 දශකයේදී බණ්ඩාරනායකගේ සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ එම දෘෂ්ටිවාදී වේදිකාවේම තරඟ කොට ජය ලබන්නට ඩඩ්ලි සේනානායක සමත් විය. නමුත්, සමකාලීන අධිපති ජාතිකවාදය තරඟකාරී බලවේගයකට ඉඩක් නොතබන සමස්තතාවාදී එකකි. එය ට්‍රම්ප්ගේ එක්සත් ජනපදයේද, ජොන්සන්ගේ එක්සත් රාජධානියේද, මෝඩිගේ ඉන්දියාවේද එසේය. අප ජීවත් වන්නේ වෙනස් යුගයකය. රූපිකමය අරුතින්, වඩා හොඳ සීසර් කෙනෙකු වීමට කරන තරඟයකින් කිසිවෙකුටත් සීසර්ව පරාජය කළ නොහැකිය. අනෙක් අතට වැඩියෙන් සිංහල බෞද්ධ වීමට ප්‍රයත්න දැරීමෙන් එජාපයට අත්පත් කරගත හැකි උපරිම දෙය වනු ඇත්තේ දැනට තමන්ට සහාය දෙන දෙමළ, මුස්ලිම් සහ ක්‍රිස්තියානි කොටස්ද තමන්ගෙන් දුරස්ථ කරගැනීම පමණි.

මෙම තරඟකාරී ජාතිකවාදයේ මග යෝජනා කරන්නන් නොතකා හරින වැදගත් කාරණා අඩු තරමින් තුනක් තිබේ. පළමුවැන්න නම්, පසුගිය ජනාධිපතිවරණයේදී මතුපිටින් ප්‍රකාශ වූ ප්‍රධාන සටන් පාඨය වූයේ ජාතික ආරක්ෂාව වුවත්, ඒ සටන් පාඨය සාර්ථක වීමට බලපෑ ආර්ථික සහ සමාජ අනාරක්ෂිතතාව පිළිබඳ පසුබිමයි. එම ආර්ථික සහ සමාජ අනාරක්ෂිතතාවට විශාල වශයෙන් වගකිව යුත්තේ වික්‍රමසිංහගේ නව ලිබරල් සංස්ථාපිතයයි. දෙවැන්න නම්, ගෝඨාභය ව්‍යාපෘතිය පදනම් වන්නේ ජනවාර්ගික සහ ආගමික දෘෂ්ටිවාදයක් මත පමණක් යැයි කල්පනා කිරීම ඒ පිළිබඳ අතිසරල තේරුම් ගැනීමක් බවයි. එම ව්‍යාපෘතිය පදනම් වන ප්‍රබල ආර්ථික දෘෂ්ටිවාදයක්ද තිබේ. සරලව, රට නැවත ගොඩ නැගීම යන්නෙහි ආර්ථිකමය අරුතක්ද තිබේ. නව පාලනාධිකාරය ගොඩ නැගෙන්නේ ජාතික චින්තනවාදීන් සිතා සිටින පරිදි යම් ජනවාර්ගික ජාතිකවාදී ව්‍යාපෘතියක් දිනවීම සඳහාම නොවේ; යම් දේශපාලන ආර්ථික වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම සඳහාය. තෙවනුව, වත්මනෙහි ගෝලීයවත් ස්වදේශිකවත් අන්ත-දක්ෂිණාංශික ජාතිකවාදයේ නැගීමට එරෙහිව සංවිධානය වෙමින් පවතින්නේ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය අරමුණු කරගත් ව්‍යාපාර මිස තරඟකාරී ජාතිකවාදයන් නොවේ.

ඇසෑමයේ සහ ස්කොට්ලන්තයේ පාඩම්

මේ දිනවල ඇසෑමයේ සිට ස්කොට්ලන්තය දක්වා දිවෙන වෙනස් දේශපාලන ප්‍රවණතා විසින් අපට උගන්වනු ලබන පාඩම එයයි. ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ජන්දය දුන් බහුතර ජනයා අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ට දෙන පණිවිඩය වන්නේ ඔබට යුරෝපා සංගමයෙන් ඉවත් වීමට වුවමනා නම් අපට එක්සත් රාජධානියෙන් ඉවත්වීමට සිදු වන බවයි. ඇසෑමයේ සිට ඉන්දියාව පුරා හමා යන ප්‍රජාතාන්ත්‍රික ශිෂ්‍ය සහ ජනතා අරගල රැල්ල අග්‍රාමාත්‍ය මෝඩිට දෙන පණිවිඩය වන්නේ අපට අවශ්‍ය ඔබගේ හින්දූත්වවාදී ඉන්දියාව නොව නේරු සහ අම්බෙඩ්කාර් ගොඩ නැගූ අනාගමික එක්සත් ඉන්දියාව බවයි. අනාගමිකවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉන්දීය උරුමයකි.

ආසියාවේ පැරණිතම සහ අඛණ්ඩ ප්‍රජාතාන්ත්‍රික රාජ්‍යය වන ශ්‍රී ලංකාව එය තම උරුමයක් ලෙස නොගත යුතුද? පකිස්තානයේ, බංගලාදේශයේ, ඇෆ්ගනිස්තානයේ, දකුණු කොරියාවේ, ඊජිප්තුවේ, බුරුමයේ, ඉන්දුනීසියාවේ හෝ උප-සහරාන් අප්‍රිකානු රටවල් බහුතරකගේ මෙන් මිලිටරි පාලනයක් මෙරට කිසිදාක පැවතී නොමැත. සිංගප්පූරුවේ, ඉරාකයේ, මැලේසියාවේ, ජපානයේ, චීනයේ, තායිලන්තයේ, වියට්නාමයේ හෝ සිරියාවේ මෙන් දිගුකාලීන තනි පක්ෂ පාලනයක් පැවතී නොමැත. අප රටේ නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය සහ රාජ්‍ය සුබසාධන සංස්කෘතිය ගොඩ නැගුණේ සර්වජන ජන්ද බලයේ ප්‍රතිපලයක් ලෙසය. අප ගෝලීය දකුණේ රටක් ලෙස ඉහළ සාක්ෂරතාවක් සහ ජීවන තත්ත්වයක් අත්පත් කරගත්තේ එහි ප්‍රතිපලයක් ලෙසය. සැබවින්ම මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටළු සහ දුර්වලතා රැසක් පවතී. නමුත්, අධිපති ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයන් විසින් මතු කෙරෙන අභියෝගයට මුහුණ දිය හැක්කේ මේ ප්‍රජාතාන්ත්‍රික උරුමය ආරක්ෂා කිරීමේ සහ රැඩිකල්කරණය කිරීමේ මග ගැනීමෙන් මිස තරඟකාරී ජනවාර්ගික ජාතිකවාදයක් වෙත හැරීමෙන් නොවේ.

සුමිත් චාමින්ද | Sumith Chaminda