iMage BY: qz.com
පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු වඩාත් ප්‍රචලිත මාතෘකාවක් වූයේ වහාබ්වාදය හා ඉස්ලාමීය අන්තවාදයයි. එයට හේතුව එදා මෙදා තුර යම් යම් මුස්ලිම් කොටස් විසින් නිර්වචනය කල පදනම් සහිත හා රහිත කරුණු කාරණා හා මුස්ලිම් නොවන කොටස් විසින් කල සාධාරණ හා අසාධාරණ නිර්වචනයන්ය. ත්‍රස්තවාදයට කරුණු බොහෝ තිබුණ ද ඒ සදහා ලේහෙසියෙන් බිල්ලට දීමට හැකි වහාබ්වාදය අද වඩාත් කතා බහට ලක් වෙමින් පවතියි. ඒ නිසා මේ පිලිබද පුලුල් සාකච්ඡාවක් අවශ්‍ය වන අතර ඒ පිලිබද කතා කිරිමට මැලි වීම හා බියක් තිබිම හේතුවෙන් මේ ප්‍රශ්නය උග්‍ර වෙමින් පවතින බවට පෙනෙන්ට තිබේ.
වහාබ්වාදය යනු සවුදියේ අබ්දුල් වහාබ් යන පුද්ගලයා විසින් අර්ථකතනය කල ඉස්ලාමිය ඉගැන්වීමයි. 18වන ශතවර්ෂයේ මැදපෙරදිග ඇතී වු සමහර සමාජ, ආර්ථික හා දේශපාලන සිදුවීම් වහාබ්වාදය නිර්මාණය වීමට හේතුවක් විය. මෙය හුදෙක් ආගමික මතයක් පමණක් නොවන්නේ ඒ නිසාය. වහාබ් වාදය ප්‍රචලිත උනේ සූෆීවාදය අභියෝග කරමින්ය. ඒ නිසා වහාබ්වරූන් හා සුෆීවරැන් අතර ඇත්තේ වාර්ගික අර්බුදයක්ය. සුෆී පාලකයන් වු ඔටෝමන්වරුන් පරාජය කිරීමට අබ්දුල් වහාබ් විසින් මෙම මතය යොදා ගැනීම මෙහිදී මතක් කල යුතු කරැණක්ය. ඒ අභ්‍යන්තර ගැටුම (conflict) අද කෙනෙකුගේ ආගම ඇදහීමේ නිදහසට බාධාවක් වන තරමට දේශපාලනීකරණය වී තිබීම තුලින් සාමන්‍ය මුස්ලිම් ජනතාව ඉතාම පීඩිත තත්වයකට පත් වෙමින් සිටියි. මේ තුලින් ආගමික ආධිපත්‍යයක් (religious supremacy) ඇති වී අනෙක් ආගමික මතයන් බිල්ලන් බවට පත් වේවි යන බිය සාමාන්‍ය ජනයා තුල දැකිය හැකිය. ඒ තුලින් එක් මුස්ලිම් කොටසක් විසින් තමන්ට එරෙහි තවත් කොටසක් පීඩාවට පත් කිරීමට හැකි බව මගේ අදහසයි.
වහාබ්වාදයේ අන්තවාදය, ත්‍රස්තවාදය යන්න බොහෝ අය විසින් පිලිගත් කරුණක්ය. වහාබ්වාදය පිලිගත් පමණින් කෙනෙකු ත්‍රස්තවාදියකු නොවන්නේ ඒ නිසාය. මේ ප්‍රවණතාව අනෙක් ආගම් හා කල්ලි වලට ද පොදු බව මගේ හැඟීමයි. මියන්මාරයේ හා ලංකාවේ බෞද්ධ ත්‍රස්තවාදය, ඉන්දියාවේ හින්දු ආගම පදනම් කරගත් ත්‍රස්ථවාදී කල්ලි මෙන්ම අනෙක් ආගම් පදනම් කර ගත් ත්‍රස්තවාදී කල්ලීන් බොහෝමයක් ඇත. කෙසේ වෙතත් වහාබ්වාදය ගැන වැඩි කතා බහකට ලක් වන්නේ කොලඹ සිටින ධනේශ්වර සූෆී මුස්ලිම්වරුන් හා දේශපාලන හස්තයෙන් පරණ කෝන්තර පිරිමැසීමට ආගමික විශ්වාසයන් යොදා ගනිම නිසාය. ඔවුන් ගලගොඩඅත්තේ ඥානසාර වැනී චීවරධාරීන් යොදා ගනිමින් තමන්ට විරුද්ධ වු මත හා ඒ මතයන් ප්‍රමුඛ කරගත් ආගමික සිද්ධස්ථාන හා අධ්‍යාපන ආයතන ඉලක්ක කර ගනිමින් සිදු කරන්නේ අනෙක් ආගම් ඉවසන්නේ නැති (intolerance/ අනෙක් ආගම්, සම්ප්‍රදායන් නොඉවසීම) ප්‍රවණතාවයක් සමාජය පුරා පැලකිරීමට උත්සහ කිරීමයි.
සුෆීවාදය යනු ආධ්‍යාත්මික මාර්ගයයි. එහි ප්‍රධානම අරමුණ මිනිසාගේ මනස දියුණු කර ඔවුන් චරිතවත් පුද්ගලයින් කිරීමයි. සුෆීවාදයේ අන්තවාදය දැකිය නොහැකි අතර ප්‍රචණ්ඩත්වය වුවද පසුකාලීනව ඒ මතය පිලිපදින පුද්ගලයන් විසින් කරන ලද සිදුවීම් මිස සුෆීවාදය පිලිගත් හෝ අනුමත කල මතයන් නොවේ.
සුෆීවාදය පිලිගත් කෙනෙකු ලෙස අද සුෆීවරැන් යැයි සැලකෙන සමහර ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් (මාධ්‍ය සාකච්ඡා, දේශපාලන අත ගැසීම්, ජාතිවාදී හස්තයන් යොදා ගැනීම) දෙස මා බලන්නේ සූෆීවාදයේ ඉගැන්වීම් වලට පටහැනි, ආර්ත්මාර්තකාමී හා හුදෙක් වාසි ලබා ගැනීම මත සමුහ මුස්ලිම් ජනතාව බිල්ලට දීමක් ලෙසයි. සුෆීවාදයට නොහැකි වු හා ඉඩ ප්‍රස්තා නොදුන්න බොහෝ කාරණා අනික් මතවාදයන් සාර්ථකව ඉටු කල බව මෙහිදි අවධාරණය කල යුතුයි. එවැනි මතවාදයන් තුලින් ඇති වු සමාජ විප්ලවයන් වලින් කිහිපයක් විදිහට ස්ත්‍රීන්ට පල්ලිවල යෑමට ඉඩ සැලසීම, ඔවුන්ට අධ්‍යාපනය ඇතුලු වෙනත් අංශ වෙත තම හැකියාවන් යොමු කිරීමට ඉඩ ලැබීම, නාගරික ප්‍රදේශ වලින් පිට මුස්ලිම්වරුන්ගේ සුභ සාධනය වෙත අවධානය යොමු වීම, පාලන පැලැන්තියෙන් තොර නිදහස් චින්තනයන් අනෙක් සමාජ පැලැන්තීන්ට ඇති කිරීම, ළමා විවාහ අවම වීම, ග්‍රාමීය මුස්ලිම් ජනයාගේ ආර්ථිකය ශක්තිමත් කිරීම ඇතුලු බොහෝ කරුණු ඉදිරිපත් කල හැක. මේ සමාජ වෙනස්වීම් වලට ලාංකීය සූෆී සමාජයේ දායකත්වය ඉතා අඩු මට්ටමක පවතියි. මෙවැනි තත්වයක් තුල ධනවත් හා කුලවත් යැයි සැලකෙන කොලඹ සුෆීවරුන් අනෙක් බහුතර මුස්ලිම් ජනතාව පීඩා කරමින් මාධ්‍ය හා ජාතිවාදී හස්තයන් හැසිරවීම සාමාන්‍ය ජනයා පිළිකුලෙන් යුතුව බලා සිටියි.
මුස්ලිම් සමාජයේ ප්‍රචණ්ඩත්වයේ භාෂාව මුලින්ම හදුන්වා දුන්නේ ද අද අනික් කල්ලීන් බිල්ලට දෙන සුෆීවරුන්ය. එය ඔවුන් කලේ වර්ගවාදය ද හදුන්වා දෙමින්ය. ඒ නිසා, කිසිම කල්ලියක බිල්ලන් මැවීම අනුමත කල නොහැකි බව හා එය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව ද සදහන් කල යුතුයි.
සහාරාන් ඇතුලු කල්ලිය ත්‍රස්තවාදීන් බව ලාංකීය මුස්ලිම්වරුන් පිළිගනියි. වහාබ්වාදය පිළිගන්නා ආගමික ස්ථානයන් පවා ඔහු පලවා හර ඇත්තේ ඔහුගේ උම්මත්තකභාවය නිසායි. ඒ නිසා ආගමික විශ්වාසයන් වලට වාරණයන්(censorship) පැනවීම නොව වහාබ්වාදය තුලින් අන්තවාදය හා ත්‍රස්තවාදය ඇති වීම වැලැක්වීමට කටයුතු කල යුතුයි. ඒ සදහා අවස්ථාවාදී සූෆී මුස්ලිම් කල්ලිය නොව වහාබ්වාදය පිළිගන්නා ආගමික නායකයන් යොදා ගෙන නොමග ගිය ඇතැම් කණ්ඩායම් ඔවුන් ලවා පුනරුත්තාපනය කිරීම අන්තවාදය නැවැත්වීමට එක් පියවරක් ලෙස සැලකිය හැක. මධ්‍යස්ථ මතධාරී වහාබ්වාදය පිළිගත් චරිත යොදා මේ කර්තව්‍ය කල යුතු අතර ඒ සදහා සුෆීවරූන් යෙදීම හා සුෆීවරුන් ඉදිරිපත් වීම බෞද්ධ අන්තවාදය පරාජය කිරීමට, කාඩිනල්තුමා ඉදිරිපත් වීමට සමාන වේ. ජාතිවාදී, ආගම්වාදී, වර්ගවාදීන් හා අවස්ථාවාදීන් ආගම් ඇදහීමේ නිදහසට බලපෑම් කිරීම හෙළා දැකිය යුතුයි. අන්තවාදය පරාජය කිරීමට වර්ගවාදයට නොහැකි අතර, වහාබ් බිල්ලන් මැවීම තුලින් ඇතිවන්නේ අන්තවාදය පරාජය කිරිම වෙනුවට එය ස්ථාපිත කිරීමයි.
තවද පාස්කු ඉරිදා ප්‍රහාරයට ඍජුවම වහාබ්වාදය මූලික වූවා යැයි සැලකිය නොහැක. එදා තිබුනු ජාතිවාදී, ආගම්වාදී හා දේශපාලන හස්තයන් ක්‍රමිකව එම අවස්ථාව සහරාන් හා කල්ලියට කිරීමට ඉඩ සලසා දුන් බව සාක්ෂි සහිතව ඔප්පු වී ඇත. මෙවැනි ත්‍රස්ත ක්‍රියා නැවැත්වීමට නම් අප නියම වරදකරුවන් හා ඒවාට හේතුන් සොයා බැලීම පසෙක තබා මතවාදයක් සමග පොර බැදීම කිසිම ප්‍රයෝජ්‍ය වටිනාකමක් නැති කාර්යයක් බව සදහන් කල යුතුයි.
ශිෆානා නියාස් | Shifana Niyas