Anuradhapura, end of the War, Featured Articles, Features, Jaffna

ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද තත්වය යළි පරිකල්පනය කිරීම


ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් වී මසකට පමණ පසුව ඉන්දියානු ආණ්ඩුවේ හිටපු විශේෂ ලේකම් ආර්. ස්වාමිනාදන් අදහස් දක්වමින් කියා සිටියේ පශ්චාත් යුද ශ්‍රී ලංකාව තුළ සමගි සන්ධානය, යළි ගොඩනැගීම සහ පුනරුත්ථාපනය පිළිබඳ වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමේ දී දැඩි භාවයක් නො පැවතිය යුතු බව ය. ශ්‍රී ලංකාව අත්දුටු වර්ගයේ ගැටුමක් අවසන් කිරීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් වන්නේ ‛විශ්වාසනීය ලෙස ඉදිරිපත් වන’ දේශපාලන විසඳුමක් යැයි ද මෙයින් තොර වුව හොත් අනාගතය පෙනී සිටිනු ඇත්තේ බෙහෙවින්ම කැලඹිලි සහගතව යැයි ද ඔහු තව දුරටත් කියා සිටියේ ය. වඩා ස්වභාෂීය වචනවලින් වුව ද බ්ලොග් රචක සර්නෝ ප්‍රතිරාවය කළේ ද මෙම හැඟීම ම ය: “ශ්‍රී ලංකාව: දුෂ්කර කොටස ඇරඹෙන්නේ දැන් ය.” මෙය ඇත්ත වන්නට යන බව දැන් අපි සියලු දෙනාම දනිමු.

කිසිදු විවේචනාත්මක තර්කන ක්‍රියාවලියක කිසිදු මං පෙතකට ශ්‍රී ලංකාව තුළ ශාරීරික සතුරුකම් අවසන් වීම ජනවාර්ගික ගැටුම අවසන් වීම අදහස් කරන්නේ ය යන නිගමනයට එළඹිය නොහැකි ය. ඉදිරි මාවත වෙහෙසකර ද වේදනාකාරී ද ගමන් කිරීමට දුෂ්කර ද වනු ඇත. එහෙත් ඒ පිළිබඳව පූර්ණ වශයෙන් දැනුවත් නොවී එම ගමන ආරම්භ කළ නොහැකි ය. අපට වුවමනා කරන්නේ සැබෑ සමගි සන්ධානයක් සහ නිදහස, සාධාරණත්වය සහ සමානතාව පදනම් කරගෙන ගොඩනැගෙන සමාජයක් නම් ඉතිහාසය තුළ දී සෑම ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීමක දී ම මුහුණ පා ඇති සියලු ගැටලුවලට මුහුණ දීමට අප සූදානම් විය යුතු ය. අප සමාජය උදෙසා පවතින, අපගේ ආදරණීය දේශපාලනඥයන්ගේ නොගැඹුරු වාගලංකාර හැඩ ගස්වන, සිවිල් සමාජයේ බොහෝ සාමාජිකයන්ගේ – නොහොත් මගේ මිතුරෙකු වරක් නම් කළ පරිදි ‛සාම’ ව්‍යාපාරයේ – සටන ආවේශ ගන්වන පරමාදර්ශ ඒවා ය. මෙම පරමාදර්ශවල කිසි වරදක් නැත – ඒවා තහවුරු කරනු ලබන්නේ සමාජ සාධාරණත්වය සහ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය මිස අන් කිසිවක් ප්‍රාර්ථනා නොකරන ව්‍යාපෘතියක් තුළ ය. මෙයින් කියැවෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනවාදී ව්‍යාපෘති ප්‍රමිතියක් වශයෙන් යහපත් යැයි අප පිළිගන්නා බව ය යන්න අමුතුවෙන් කිව යුතු නැත.

අඩු ගණනේ ශාස්ත්‍රාලීය ලෝකය තුළවත් බොහෝ දුරට ප්‍රධාන ප්‍රවාහය බවට පත් වෙමින් පවතින ඒ සුලභ පැරණි සමාජවාදී මාක්ස්වාදී වල්පල් වැදගත් කොට සැලකීම ගැන මෙලහකටත් ඔබ මට සමච්චල් කරනු ඇත. මුළු මහත් ජවයෙන් යුතුව නව ලිබරල්වාදයට, ධනවාදයට සහ නූතනත්වයට පහර දීම පහසු කටයුත්තකි. එය අලුත් පන්නයට ද අයත් ය. මෙම පද්ධති ගොඩ නගනු ලැබුණේ යහපත්, බලගතු සදාචාරාත්මක, ක්‍රිස්තියානි පදනම් මත වුවත් ඒවා ඉතා පහසුවෙන් විනාශ වී නටබුන් වන බව කිව යුතු නැත. මා කතා කරන්නේ තුන් වන ලෝකයේ ව්‍යසනයන් ගැන පමණක් නො වේ. නිසැකව ම ගෝලීය ව්‍යසනයන් ද ගැන ය.

දේශගුණික විපර්යාසය පිළිබඳ විවාදය තුළ ක්‍රියාකාරීව සිටින විද්වත්තු දේශපාලනඥයන් අතින් මෙහෙයවෙන ආණ්ඩු වෙනුවට දැනුම් විශේෂඥයන් අතින් මෙහෙයවෙන ආයතනික අධිකාරවාදයක් උදෙසා තර්ක කරමින් සිටිති. මක් නිසා ද? ප්‍රජාතන්ත්‍රවාදය මනුෂ්‍ය වර්ගයා අසාර්ථක කර ඇති බැවිනි; එම නූතන අත්හදා බැලීම ජීවමාන කරන ආයතන, නීති, වෙළඳ පොළවල් සහ සමායතන (සංගත) සිය පණ නළ රැක ගෙන සිටින්නේ ව්‍යාකුලභාවයෙහි ගිලී අසංවිධානාත්මකව සිටින මානව සංහතියක් පිළිබඳ ප්‍රතිරූපයක් මත බැවිනි. එහි මූලධර්මවලින් අපගේ සාරධර්ම සහ දැනුම් පද්ධති සියල්ල විකෘත වේ. අප බෙදා වෙන් කිරීමට සහ එදිරිවාදීන් බවට පත්කිරීමට මග පෑදෙන්නේ විජිතවාදී දායාදවලින් ම පමණක් නො වේ; පුද්ගලවාදය කෙරෙහි යොමු වන, පුද්ගලයාගේ කේන්ද්‍රීය භාවය පිළිබඳ සහ සාමූහික සාරධර්මවලට එරෙහිව පෞද්ගලික සාරධර්ම පිළිබඳ උනන්දුව ආධිපත්‍යය දරන නූතනත්වයේ මූලධර්ම ඊට වැඩියෙන් අප බෙදා වෙන් කරයි. අප එදිරිවාදීන් බවට පත් කරයි. සමානතාව සහ නිදහස පිළිබඳව අපට කතා කරමින් බෙහෙවින්ම සැඟවුණු ආකාරයකින් අප මුහුණ දී සිටින සාමාජීය අනාරක්ෂිතතාවන් සහ භීතීන් ගසා කමින් සමාජය ඉහළින් ම කැබලි වී යමින් පවතී. මම මෙහි දී අලුත් හෝ හිතුවක්කාර තර්කයක් ඉදිරිපත් නොකරමි. ශ්‍රී ලංකාව තුළ දී ප්‍රජාතන්ත්‍රවාදී අත්හදා බැලීම අසාර්ථක වනු ඇත. මෙම යුද්ධය ‛විශ්වසනීය ලෙස ඉදිරිපත් වුණු’ අපක්ෂපාතී දේශපාලන විසඳුමකින් අවසන් වී තිබුණ ද මෙම තත්ත්වය ඇති විය හැකි ය.

මෙම රචනයෙහි අඩංගු වන අදහස් වරද්දා නොගන්න. රාජපක්ෂ පාලන තන්ත්‍රයේ නීච මැරවරකම්වලට හෝ ඔවුන් ගැටුම හෝ රට හසුරුවන ආකාරයට මගේ කිසිදු අනුග්‍රහයක් නැත. ඔවුන් ශ්‍රී ලංකාවට කරමින් සිටින හානිය චන්ද්‍රිකා කුමාරතුංග සහ රණසිංහ ප්‍රේමදාස ගැන පවා ඇල්මෙන් සිතන්නට මගේ බොහෝ මිතුරන් පොලඹවා ඇත. ක්‍රියාකාරී පාර්ලිමේන්තු දේශපාලනයෙහි නියැළී සිටින බෞද්ධ පූජ්‍ය පක්ෂයේ සාමාජිකයන් ගැන සිතා බැලීම සදාචාරාත්මක පිළිකුලක් දනවයි. ක්‍රිස්තියානි නායකත්වයේ දුබලතාව ගැන සඳහන් කිරීමට සිදු වීම යම් තරමක ලජ්ජාවට කරුණකි. ශාස්ත්‍රාලීය ලෝකයට හෝ ස්වාධීන චින්තනයට සහ කථනයට කිසි ඉඩක් නැත. මාධ්‍යයේ සහ සිවිල් සමාජයේ වඩා නිර්භීත සාමාජිකයන්ට මරණය හෝ බෙහෙවින් බරපතළ වධහිංසාවක් විනා සත්තකින් ම අන් කිසිවක් නොලැබේ. විපක්ෂයේ නායකයා වන රනිල් වික්‍රමසිංහට අදහස් ප්‍රකාශ කළ නොහැකි ය. එබැවින් ඔහු අදහස් ප්‍රකාශ නොකරනු ඇත. සැබවින් ම සිවිල් සමාජය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ද ආර්ථික සමෘද්ධිය ද යනාදිය උදෙසා ‛යහපත්’ සටනක යෙදී සිටියි. ශ්‍රී ලංකාවේ සැබෑ දේශප්‍රේමීන් ලෙස සලකා, ආණ්ඩුවේ වාගලංකාර නොතකා, මම ඔවුන් වෙත යොමු වෙමි. මෙම ‛සාම ව්‍යාපාරය’ පිළිබඳව මට පවතින තැවුල නම් බටහිර කෙරෙහි ද අප සියලු දෙනා අපගේ රටවල් තුළ ක්‍රියාත්මක කළ යුතු බවට විදේශීය සුපිරි බලවතුන් නියම කර ඇති පිළිවෙත් කෙරෙහි ද ඔවුන් තබා තිබෙන විශ්වාසය යි. ඔවුන් මත කුරිරු සංස්කෘතික යුද්ධයක් කර ගෙන යාම සඳහාත් සිංහල ජාතිකවාදයේ වඩා දුෂ්ට පැති ඇවිස්සීම සඳහාත් රාජපක්ෂ පාලන තන්ත්‍රයට සහ බෞද්ධ පූජ්‍ය පක්ෂයට එය බොහෝ පහසුවක් වේ.

ප්‍රජාතන්ත්‍රවාදී, නූතන පද්ධති අසාර්ථක වීම ද ආර්ථික සහ පෞද්ගලික උනන්දුකම් ආධිපත්‍යය දැරීම ද පිළිබඳව මා ඉහත ඉදිරිපත් කළ තර්කය නිසා ඔබ මෙන්ම මම ද වෙහෙසට පත්ව සිටිමි. මා කලින් ද කී පරිදි, විකල්පයක් ඉදිරිපත් නොකර පද්ධති සහ පිළිවෙත් විවේචනය කිරීම අතිශය පහසු ය. මෙම අවධානය යොමු කිරීමෙන් සිදු වන්නේ අපගේ චින්තනය සහ ලෝකය සංවිධානය කිරීම කෙරෙහි මෙම පද්ධති කේන්ද්‍රීය වන බව දැඩි ලෙස තහවුරු වීම පමණකි. මෙය වූ කලි නූතන ශාස්ත්‍රාලීය ලෝකය සහ ප්‍රතිපත්ති සම්පාදනය නොදන්නා පැතිකඩකි; එනම්, පද්ධති සහ ආයතන පිළිබඳව විවේචනාත්මක වීමට කැමති වන නමුත් ඒවායින් ඔබ්බට ගොස් විකල්පයක් පවතී ද යන්න විමසා බැලීමටත් නූතන දේශපාලනය පදනම් වන මූලික මූලධර්ම වන ‛වර්ධනය’ සහ ‛ප්‍රගතිය’ යන ආකෘතිවලින් ඈත් වුණු රැඩිකල් ප්‍රතිසංස්කරණ දෙසට නැඹුරු වීමටත් අප අකමැති ය. විකල්පයක් පිළිසිඳ ගැනීමට – ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නම්, මෙම මූලධර්ම මත පදනම් නොවන ස්වදේශීයව වැඩුණු විසඳුමක් පිළිසිඳ ගැනීමට – ඉඩක් තිබෙන්නේ ය යන්න පවා අපට සිතා ගත නොහැකි ය. මෙම විකල්පය කුමක් දැයි මේ දැන් මම නොදනිමි, ඒ නිසා එම විකල්පය නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කරන ආකෘතිය ඔබට සපයන්නට මට නොහැකි ය. ඒ කෙසේ වෙතත්, මෙය ඇසීමට මට ඉඩ දෙන්න. කවර හෝ න්‍යායික අවකාශයකට කදිමට පෑහෙන්නේ ශ්‍රී ලංකාව තුළ පවතින දේවලින් ස්වල්පයක් ය යන අදහස වසර ගණනාවකට පෙර ශ්‍රී ලංකාවේ දී මට හමු වුණු ශාස්ත්‍රඥයෙක් පළ කළේ ය. මෙය මෙසේ නම්, එම ප්‍රජාතන්ත්‍රවාදී, ධනවාදී අවකාශයටම ශ්‍රී ලංකාව පාහන්නට පරිශ්‍රම දරන්නේ ඇයි? සදාචාරාත්මක සහ තිරසර විකල්පයක් සොයමින් සිටින ලෝකයට ආදර්ශයක් වන ශ්‍රී ලංකාවක් දෙසට අප කරන සාකච්ඡාව, විවාදය සහ වැඩ කටයුතු යොමු නොවන්නේ ඇයි? සමහර විට අපගේ පා සලකුණු දිගේ ආපසු යාමට අපට සිදු විය හැකි ය, නූතන යුගයට පෙර සමය කරා යන සංවර්ධනාත්මක ආපසු ගමනකට භය නොවන්න. ලෝකය නමැති නගරයෙන් ඉවත් වී සිත නමැති ගම්මානය කරා අභීතව නව ගමනක් අරඹන්න. තව මත් හිරු බබළමින් පවතිද්දී සහ මධු විත නිදහසේ සහ අව්‍යාජව ගලා යද්දී මෙය කිරීම හොඳම දෙය යැයි මම සිතමි.

අනුපමා රණවන
[www.groundviews.org වෙබ් අඩවියේ මැයි 23 දා පලවු Re-imagining Sri Lanka post-war ලිපියේ සිංහල පරිවර්තනයයි]