iMage:Ishara S. Kodikara/Agence France-Presse — Getty Images
යුද්ධය යනු සැදැ සාදයක් නොවන බව අප අත්දැකීමෙන් දනිමු. කුමන පැත්තේ උවද ජීවිතයක් අහිමි වීම අනුමත කල නොහැකි අතර ඒ සදහා හේතු අනවශ්‍ය බව මගේ අදහසයි. තම සතුරා සිංහල මිනිසා කියා සිතු LTTE සියදිවි නසාගත් තරුණිය තම ඡීවිත පරිත්‍යාගයෙන් දෙමල ජනතාවගේ සටන ජය ගනී යැයි විශ්වාස කලා විය හැක. එසේ සිතීමට ඇයට අතීත සිද්ධීන් තිබුණද ඇය සිතුවා නම් තම සටන සිංහල ජනයා සමග නොව ජාතිකවාදී, ධනවාදී, ඡාතිවාදී ආණ්ඩුවක් හා ආණ්ඩු ක්‍රමයක් සමග බව, අදත් ඇය ජීවතුන් අතරය.
ත්‍රස්ත කල්ලියක් බවට පත් වු LTTEය අහිංසක ජනයා ඝාතනය කර විට අපරාධයක් ලෙස අප හඩ නගා කී විට අත්පුඩි ගසන ජනතාව අනෙක් පාර්ශවය අමු අමුවේ මිනි මැරූ විට එය ඝාතනයක් ලෙස හැදින්වූ අවස්ථාවේ අපට චෝදනා කරන දෙබිඩි පිලිවෙතක් බොහෝ අයගෙන් පෙන්නුම් කරයි. අවුරුදු 30කට වඩා සමාජ, මාධ්‍ය හා සංස්කෘතික හේතුන් මත දෙම ජනතාව පොදුවේ තම සතුරා යන මතයේ සිටින සමාජ ස්ථරයන් තවමත් යුධ මානසිකත්වයෙන් මිදී නැත. එයට උදාහරණ ලෙස පසුගිය අවුරුදු කිහිපය තුල සිදු වු 1989 ජූලි කලබලයට සමානව දියත් කරන ලද මුස්ලිම් විරෝධී කෝලාහල සැලකිය හැක. මෙයට සිංහල සමාජයට සෘජුව චෝදනා කිරිම සාධාරණ නොවේ. නිකලෝ මැකියවෙලී පැවසු පරිදි බිය (fear) යනු පාලන තන්ත්රය විසින් සමාජය තමන්ට රිසි සේ පාලනය කිරීමට යොදා ගත හැකි ප්‍රබල ආයුධයකි. එය එදා හිට්ලර් සිට ගෝඨාභය රාජපක්ෂ දක්වා මනාව ප්‍රයෝජනයට ගෙන ඇත. එම නිසා සිංහල සමාජය ප්රචණ්ඩත්වය කරා යොමු කරන පාලකයන් හා එම ප්රචණ්ඩත්වය පාලනය කල නොහැකි අසාර්ථක පාලනය ක්‍රමය මෙම ඝාතනයන් හා දේපල හානි වලන වග කිව යුතුයි.
එහෙත්, ඒ ගැලූ රුධිරය රතු පැහැති අතර, මිය ගිය ඒ ශරිරය පොලොවේ ජරාජීර්ණය විය. ලංකාවේ මහ පොලොව ජාතියක් ආගමක් ගැන නොතකා මිය ගිය සියල්ලන් සමානව සලකයි. හැගීම් නැති මහා පොලොවට හැකි එම සමානාත්මතාවය, හැගීම් ඇති මිනිසාට නොමැත්තේ ඇයි?
ඔනෑම හමුදාවක් යනු මිනීමැරීමට නීතියෙන් අවසර ලත් ඝාතන යන්ත්‍රයක් (killing machine) ය. ආණ්ඩුව කියන කෙනාට වෙඩි තැබීමට ඔවුන් බැදී සිටි. ප්‍රශ්න අසන්නට නොහැකි ඔවුන්ට අණ නොතකා සිටිමට ද නොහැක. ඒසේ කලේ නම් ඔවුන් court martial කර දඩුවම් කරීමට හමුදාව මැලි නොවනු ඇත. එසේ තිබිය දී මුල්ලිවායිකල් හිදී 2009 වසරේ දහස් ගණනක්, දෙමළ ජනයා මරා දැමීමට අණ දුන් හා එම අණ ක්‍රියාත්මක කල අය සමූල ඝාතකයන් නොවේද? අත්අඩංගුවට ගත් පසු අතුරුදහන් කළ මිනිසුන්ට, වත්මන් ජනාධිපති ගෝඨාභය විසින් මරණ සහතික නිකුත් කරන බවට ප්‍රකාශ කිරීම යුක්තිය සහ සත්‍ය සෙවීම පිළිබද ප්‍රශ්ණයක් නොවේද? එසේම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කලේ යැයි චෝදනා ලත්, තමන්ගේ 58 වැනි බලකායට ආයුධ බිම තබා භාර වු LTTE සමාජිකයන් ද මරා දැමූ බවට චෝදනා ලත්, එම බලකාය භාර ශවේන්ද්‍ර සිල්වා එම අපරාධවලට අණ දුන්නෙක් නොවේද?
ශවේන්ද්‍ර සිල්වාට අත්පුඩි ගසන දෙබිඩි පිලිවෙතක සිටින මිනිසුන් අසන ප්‍රශ්නයක් නම්, ඇයි LTTEයට සමූල ඝාතන චෝදනා නොමැත්තේ යන්නය. සමූල ඝාතනය යනු එක ජාතික හෝ දේශීය කොට්ඨාශයකට අයත් මිනිසුන් “බොහෝ දෙනෙකු” ඝාතනය කිරීමය. එය mass extinction හෙවත් සමූල විනාශයක් ලෙස සැලකිය හැක. එම නිසා LTTEයේ ක්‍රියාකලාපය ‘ත්‍රස්තවාදී’ ලෙස නම් කල හැකි වුවද සමූල ඝාතනයක් ලෙස සැලකිය නොහැක. මෙය LTTEය හෝ එහි ක්‍රියාවන් සාධාරණීකරණය නොකරන බව අවධාරණයෙන් කිව යුතු අතර LTTEයේ සාහසික මිනීමැරුම් හා හමුදාවේ මිනීමැරුම් කල ක්‍රමවේදයන් වල වෙනස පැහැදිලි කිරීමක්ය. තවද අද රාජපක්ෂ පාලනයේ තුරුල්ලේ රජ සැප විදින කරුණා අම්මාන් හා KP යනු යුධ අපරාධකරුවන් බවට කිසිම සැකයක් නැත. කාරණා අම්මාන් විසින් අරන්තලාවේ භික්ෂුන් මෙන්ම කාතාන්කුඩි පල්ලියේ සිදුකල මුස්ලිම්වරුන් ඝාතනයන් ද කල LTTE කණ්ඩායමේ නායකත්වය ගෙන සිටි අයෙකි. ශවේන්ද්‍ර සිල්වා හා ඔහු එක රැනේ කුරුල්ලන්ය. ඔවුන් අද එක පාලන තන්ත්රයක් යටතේ වරප්‍රසාද හා නිලයන් ගෙන එකට සිටියි. ලාංකීය නීති යටතේ ඔවුන් දෙදෙනාටම නඩු නැත.
ඇමරිකාව ද යුධ අපරාධ වලට චෝදනා ලද රටක්ය. ජෝර්ජ් බුෂ් හා ටෝනි බ්ලෙයාර් විසින් මැද පෙර දිග විනාශ කලේ මිලියනයකට අසන්න වු මිනිසුන්ද මරා දමමින්ය. පසුව පාලනයට පැමිණි බැරැක් ඔබාමා ද ඔවුන්ගේ එම ඝාතන රැල්ල නොනවත්වා ඉදිරියට ගෙන ගියේය. එම නිසා ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකානු වීසා නොදීම හාස්‍ය ජනක සිදුවීමක් බව මගේ අදහසයි. යුධ අපරාධ චෝදනා ලත් රටක් බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබද චෝදනා ලත් කෙනෙකුට වීසා නොදීම එම රට ගැනත් ,එම පුද්ගලයා ගැනත් කුමක් කියන්නේද යන ප්‍රශ්නයක් ඇත.
බෙන්ඡමින් නෙතන්යාහු නම් ඊශ්‍රායලයේ අගමැති හට පලස්තීනුවන් සමූල ඝාතන චෝදනා තිබුන ද ඔහු ඇමරිකාවේ ජනාදරයට පත් පුද්ගලයෙකි. ශවේන්ද්‍ර සිල්වාට මෙන් වාරණය ඔහුට නොමැත. එහෙත් ඔහුට හෝ ජෝර්ජ් බුෂ්ට වාරණයක් නොමැති නිසා ශවේන්ද්‍ර සිල්වාට වාරණයක් නොතිබිය යුතුයි යන තර්කය ද පිලිගත නොහැක. සිදු විය යුත්තේ චූදිතයන් සියල්ලන්ටම දඩුවම් ලබා දීම මිසක එක පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාගේ නීතිමය තත්වය අනුව නිදහස් කිරීම නොවෙයි.
අවසාන වශයෙන්, සිවිල් සමාජය සෑම ඝාතකයෙකුටම දඩුවම් ලැබෙනතුරු තම සටන ක්‍රියාත්මක කල යුතුය. හිට්ලර් ද ඡන්දයකින් පත් වූ අයෙකි. ඔහු ද මිනී මරන තෙක් බලා සිට සාධාරණීකරණය කල ජනතාවක් එකල ද සිටියේය. නමුත් ඉතිහාසය ඔහු වීරයෙකු ලෙස නොව ඝාතකයෙක් ලෙස පිලිගනී. අද නොවුවත් හෙට දින ඉතිහාසය විසින්, අපේ රටේ ඝාතකයන්ද එලෙස පිළිගනි යැයි ඉතිහාසය දන්නා අය විසින් නොපිළි ගන්නේ නැත.
ශිෆානා නියාස් | Shifana Niyas