iMAGE: Screenshot of a comment 

පසුගිය ජනාධිපතිවරණ මැතිවරණ සමයේ විදෙස් ගතව වෙසෙන ලාංකිකයින් සේම ශ්‍රමිකයින් ගණනාවක්ම වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා ජන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකාව බලා පැමිණ තිබුණි. බොහෝ දෙනෙකු එසේ පැමිණියේ “රණවිරු ගාය” හේතුවෙන් බව ලියා තිබුණි.

වත්මන් ජනාධිපතිවරයා තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වල ඒ අයට තමන්ගේ හෘදයාංගම ස්තුතිය පළ කොට තිබුණු අතර, එසේ පැමිණි ලාංකිකයින්ට සහයෝගය පළ කළ බොහෝ දෙනා ඒවා තම සමාජ ගිණුම් වල බෙදා ගෙන තිබුණේ අසීමිත භක්තියකින් හා උතුරා යන හැඟීමකිනි.

එසේ පැමිණි ලාංකිකයින් අතර “ඩයස්මි ඉතාලියේ සිට ආමි,“රණවිරු ගායෙන් දැඩිව පෙළෙමි, ගෝඨාභය දිනවනු රිසින් ලක්බිමට පැමිණියෙමි” යනුවෙන් වන සටහනක් ලියා ශ්‍රී ලංකා ජාතික කොඩියක් සහ රෝස පැහැති නෙළුම් පොහෝට්ටු  අතැතිව ගුවන් තොටුපල පරිශ්‍රය වැනි ස්ථානයක සිටගෙන සිටින තරුණයෙකුගේ පින්තූරයක් තිබුණි. එය සමාජ මාධ්‍ය තුළ සැරිසරන බොහෝ දෙනාට හුරු පුරුදු ඡායාරූපයක්  බව මම අමුතුවෙන් මෙහි ලිවිය යුතු නොවේ.

අද මා මේ සටහන ලියන්නේ ඩයස්මි නිසා නොවේ, එහෙත් ඩයස්මි නියෝජනය කළ ප්‍රජාව අපේ රටේ “ආර්ථිකය තුළ ” වැඩිම බර දරන පිරිසක් ලෙස යම් කළෙක දැඩ් ආදරය ලද ඔවුන්ට මේ මොහොතේ  අද අත්ව ඇති තත්වය නිසාය.  මේ සටහන තබන මොහොත වන විට කොරෝනා වෛරසය ආසාධනය හා පැතිර යාමේ සීග්‍ර වර්ධන වේගය හේතුවෙන් දකුණු කොරියාව සහ ඉතාලිය ආදී රටවල් සම්පුර්ණ වශයෙන්ම  බලපෑමට ලක් ව තිබේ. මෙම රවටල් දෙකම  විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වැඩි පිරිසක් සේවය කරන රටවල්  දෙකකි. ඒ අනුව ඒ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් ඉදිරියේදී නැවත මෙරට වෙත පැමිණෙනු ඇත.තවමත් ශ්‍රී ලංකාව තුළට එන ගුවන් ගමන් නතර කොට නැති අතර,  සංචාරකයින් රටට ඇතුළුවීම හා පැමිණීම අවලංගු කිරීම් කොට නැත. එවැනි තත්වයක් තුළ  ගනු ලබන පළමු පියවර ලෙස නැවත පැමිණීම අපට සිතිය හැකිය.

විශේෂයෙන්ම මේ රටවල තනිපුද්ගලයින් ලෙස රැකියාවේ නිරත වෙන මොවුන්ට එහි  හුදෙකළා වීම අත්හැර තම පවුල් වෙත පැමිණීම, පවුල් විසින් මේ මොහොතේ ඒ වෙනුවෙන් කෙරෙන ඉල්ලිම්, කලබලවීම්,මානසික බිඳවැටීම්, මැදිහත් වීම්, ආර්ථික තත්වය, බොහෝ විට රක්ෂණාවරණයක් නොමැති වීමත් ආදී මෙකි නොකී සාධක ද සහිතව අවසන් වශයෙන් තම රට වෙත පැමිණෙන්නේ  රටේ උණුසුම සහ ආරක්ෂාව පතා බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.  කෙසේ නමුත්  දකුණු කොරියාව, ඉතාලිය හා ඉරානයේ සිට පැමිණෙන සියලු මඟින් දින 14 ක් නිරෝධායනය නමින් කෙරෙන වැඩ පිළිවෙළ සෞඛ්‍ය අමාත්‍යංශය ගනු ලැබූ තීරණයක් අනුව අද (10 මෙම සටහන ලියන දින)  ආරම්භ කෙරුණි.

අද දෙරණ ප්රවෘත්ති විකාශය  එම රටවල් වල සිට පැමිණි මඟින් 181 දෙනෙකු ගුවන් තොටුපොලේදීම පෘෂ්ඨිය විෂබිජ හරණයකට ලක්කළ කොට බස් රථ මාර්ගයෙන් අනතුරුව පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් “බැටික්ලෝ කැම්පස්” ( මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය)  වෙත රැගෙන ගොස් තිබෙන බව මුලින් වාර්තා කළත් රාත්‍රි ප්‍රවෘත්ති ප්‍රකාශය තුළ එය පැමිණි පිරිසෙන් කොටසක් බවට සංස්කරණය වී තිබිණි.

කෙසේ වෙතත් ඒ වන විට  අද දින උදෑසන සිට එලෙස පැමිණි පිරිසට අවශ්‍ය නිසි පහසුකම් හෝ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන් නිසි ලෙස සපයා නොමැති බවට වන චෝදනාත්,  ඊට සාක්ෂි දරන විවිධ වීඩියෝ පටත්  සමාජ මාධ්‍ය වෙත නිකුත්ව තිබිම හේතුවෙන් එය තවදුරටත් එසේ නොවන බවද හෙළි නොකළ හැකි විය.එක් එක් පුද්ගලයාට තනි කාමර ලබා දෙන බවටත්, මඩකලපුව වෙත ගෙන යන බවටත්  කී  පිරිසෙන් තවත් පිරිසක්  කන්දකාඩුව හමුදා කඳවුරක් වෙත ගෙන ගොස් තිබෙන අතර ගුවන් ගමන් අවස්ථාවේ සිට තවමත් ඇඳිවත වත් මාරු කර ගත නොහැකිව ඔවුන් පසුවෙන බව මේ වීඩියෝ හොඳින්ම සාක්ෂි දරමින් තිබේ.

 

එකිනෙකාට මිටර් දෙකක දුරින් සිටීම අත්‍යවශ්‍යව තිබුණත් එය එසේ නොවන බවත්, නිරෝධායනය නමින් මේ කෙරෙන්නේ රෝගය බෝ කිරීමට පස සැකසීමක් බවත් මේ සියල්ල හොඳින් බැලු  විට නිරීක්ෂණය  වෙන සත්‍යකි. දැන් රජය මේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ ජනවාරි මස සිටම මේ තත්වයට සුදානම් වීමට මාස 3 ක් කාලය කුත් ලැබී තිබු වටපිටාවකය.

මේ සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ කමෙන්ටු පළ කොට ඇති බොහෝ දෙනෙකු ද නිරෝධායනය යන වචනය හෝ එහි අර්ථය වත් නොදන්නා බව පැහැදිලි වන්නේ පළ කොට ඇති අදහස් දෙස බැලු විටය.  ඇත්තෙන්ම ඒවා අප සමාජයක් ලෙස අප කෙරේ නැවත හැරි බැලීමක් සිදු කිරීමට පොළඹවන ඇස් ඇරිම්ය.

තවද පැමිණි පිරිසට රජය විසින් “ සෞඛ්‍ය නිර්දේශ” නමින් සඳහන් වන උපදෙස් ප්‍රතිකාවක් ගුවන් තොටුපළ පරිශ්‍රයේදීම ලබා දුන් බවත්, ඔවුන්ගේ ආහාර සඳහා රු: 7500 /- ක මුදලක් අය කිරීමක් කරන බවත් එහි සඳහන් කොට තිබේ.තවද තමන්ට අවශ්‍ය ජලය ආපන ශාලාවෙන් මිලදී ගත යුතු බව එහිද එහි සඳහන්ය. දෙරණ නාලිකාවේම නිවේදක මහත්මයෙකු විසින් මෙය මුල් වරට තම ෆේස් බුක් පිටුවේ “තහවුරු කර ගත් පුවතක්” ලෙස මුදා හැර තිබුණේ එම නාලිකාවේ නිල ලාංජනය ද සහිතවය. ඊට පසු රාජ්‍ය මාධ්‍ය ආයතනයද ඇතුලුව වෙනත් පුද්ගලික  මාධ්‍ය ආයතන ද මෙම පුවත් වාර්තා කොට තිබුණි. කෙසේ වුවද මේ කෙරේ ඇති වූ නොසන්සුන් භාවය වර්ධනය වෙත්ම ප්‍රකාශයක් සිදු කරමින් යුධ හමුදාවරයා කියා  තිබුණේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා කිසිදු මුදලක් අය නොකෙරෙන බවය. ඒ අනුව මිට පෙර පළ වී තිබු මාධ්‍ය වාර්තා විටින් විට වෙනස් වනු නිරීක්ෂණය කළ හැකි විය.

 

 

එසේ නම් දැන් මහජනතාව ලෙස අපට පැන නගින පලවෙනි ප්‍රශ්නය නම් ආණ්ඩුව ලෙස මේ සම්බන්ධව ගත් මුලික ප්‍රතිපත්තිමය තීරණය කුමක්ද යන්නය. මහජනතාවගෙන් පැමිණි විරෝධය මත මෙය හකුළා ගත බව ඉතා පැහැදිලිය. අවම වශයෙන් මේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් රජයට සැලැස්මක් එසේ නම් නැද්ද  යන්න අනෙක් ප්‍රශ්නයයි.

කෙවෙතත් කිසිදු මාධ්‍ය ආයතනයක් විසින් මේ නිරෝධායනය කිරීමට ගෙන යන පිරිස මුහුණ දී ඇති ඇති සත්‍ය තත්වය මේ වන තෙක් පෙන්වා නැති අතර එය ඉදිරියේදී පෙන්වීමට ද ඉඩක් තිබිය නොහැකිය.

ඒ අතර ගුවන් තොටුපල පරිශ්‍රයේ මගීන් පරික්ෂාව නමින්  සිදුවන අවිධිමත් ක්‍රියාවලිය ගැන විවිධ චෝදනා එල්ල වෙමින් තිබේ. ඇත්තෙන්ම නම් මෙතෙක් කලක් අප මේ ව්‍යසනයට ලක් නොවී ඇත්තේ අපේ භූ ගෝලීය පිහිටීම නිසා හෝ වෙන යම් හෝ වාසනාවකටම පමණි. (ලියුම්කරු සාංකල්පිය වශයෙන් “වාසනාව” යන්න  බැහැර කළද මේ මොහොතේ එම වචනය යොදා ගිනියි). අපට කිසිම කිසි සැලැස්මක් ඇති බවක් මේ සමස්ත ක්‍රියාවලිය තුළම නැත. පැමිණෙන සියලු මගීන් හමුදා කඳවුරු වලට ගොස් අත්හැර දැමීමෙන් ප්‍රශ්නය විසදෙන්නේ නැත. මේ ප්‍රශ්නයේ බරපතල බව මහජනයාට වැටහෙන්නේ ද නැත.

“උඹලා තියෙන විදියට හිටපල්ලා, සැප හොයන්නද ලංකාවට ආවේ, තොපි ගෙන්න ගත්ත එකයි වැරදි, පිනට කන්න දෙන්නද කියන්නේ, බල්ලෝ වගේ මැරෙන්න ගිය එවුන්ට ”

This slideshow requires JavaScript.

 

කියන ලාංකිකයින්ට මේ වෛරසය පැතිර යාම සම්බන්ධ අල්ප මාත්‍රයක දැනුවත් බවක් තිබේද ? ඔබේ හදවත ඇත්තේ කොහෙද?  බොහෝ දෙනෙකු තම දේශපාලන වහල් භාවය පෙන්වමින් මේ ක්‍රියාවලිය සාධරණය කරනු පෙනේන්නේ ඒ නිසාය. 181 දෙනෙකු කළමණාකරණයට අසමත් ආණ්ඩුවක් මුළු රටක් කළමණාකරණය කරන්නේ කෙසේද? එහි අක්‍රමවත්භාවය  ප්‍රශ්න කරන පිරිසට “උඹලා ගහක් යට හරි තියෙන විධියට නිරෝධායනය වෙයල්ලා” කියන්නේ කටින්ද? ඇත්තටම එය නිරෝධායනයද?

මහජනයා කියන්නාක් සේ මෙහි ඇත්තේ රටේ පහසුකම් පිලිබඳ ප්‍රශ්නයක්  නොවේ. එහි බැරෑරුම් බව භාර නොගත් රජයක පාලනය පිලිබඳ ගැටලුවකි.

කරුණාකර ඔබේ හදවතින් අහන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරයෙකු නඩත්තුවට දිනකට මේ රටේ මහජනතාව කෙතරම් මුදලක් වැය කරනවාද? දිනපතා 225 දෙනෙකු නඩත්තු කරන  ඔබට මේ පුරවැසියන් බරක් වෙන්නේ කොහොමද?

වසංගත තත්වයක් බවට වර්ධනය වීමට ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය මත පළ කරන කොවිඩ් 19 හේතුවෙන්  තවමත් අපට සැලකිය යුතු  බලපෑමක් සිදු වී නැත. ( එයින් එය නොවන බවට අදහස් කෙරෙන්නේ නැත)  එහෙත් ගත වූ මාස 3 ක කාලය තුළ ඒ සඳහා මුහුණ දීම සඳහා වන කිසිදු සාධනීය, දීර්ඝ කාලින පියවරක් ආණ්ඩුවක් ලෙස ගෙන තිබේ දැයි මහජනයා සැබවින්ම ප්‍රශ්න කළ යුතුව ඇත.

ඒ වෙනුවට මුදල් වියදම් කරමින් සංචාරකයින් මෙරටට ගෙන්වීමට වෙළඳ දැන්වීම් නිර්මාණය කොට  ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමේ අමන ක්‍රියාවලින් සිදු කොට තිබේ. එම දැන්වීමේ  මීට පෙර කොරෝනා ආසාධිතව සුව ව පිටව ගිය චීන ජාතික කාන්තාවට, ඇමැතිවරියක  “උම්මා”  දෙන දර්ශන ද  ඇතුළත් කොට තිබේ. කොරෝනාවට එන්න කියා සැබෑ අත්වැනීම් කර තිබෙන මොහොතක ඒවා දෙස බලමින් උජාරුවෙන් රට ගැන පාරම්භාන ඇතැමෙක් මේ රටේම මිනිසුන්ට කියන්නේ දිවි නහා ගන්නා ලෙසය.මැරෙන්නට අරින්නට කියාය. විශේෂයන්ම මෙරටට එන අනෙක් සංචාරකයින්, විශේෂයෙන්ම” චීනයෙන්”  පවා එන විදේශිකයින් නිරෝධානය ක්‍රියාවලියට භාජනය වීමක් හෝ මනා සෞඛ්‍ය පරීක්ෂණයකටත් භාජනය නොවෙන තත්වයක් තුළ මේ විදේශ ග්‍රමිකයින් පමණක් නිරෝධායනයට යොමු කිරීමෙන් අපේක්ෂිත රෝග නිවාරණ ක්‍රමවේදය කුමක්ද යන්නද පැහැදිලි නැත.(වෙළඳ දැන්වීම බලන්න )

දැන් ඉතාලිය නිදන නගරයක් බවට ක්ෂණයෙන් පත්ව තිබේ. අපට එවන් තත්වයක් ඇති වුවහොත් වෙන්නේ බකන් නිලාගෙන සිටිමටය, නැත්නම් හාමතේ මිය යාමටය. අපට ඇති සැලැස්මක් තියා අදහසක් වත් නැත.සියල්ලට විසදුම හමුදාව යයි සිතා සිටින ගාම්භීර උඩු රැවුල් නායකයා දන්නේ එපමණකි. දැන් අර සිරිසේනගේ පාණ්ඩු ආණ්ඩුව වගේද මේ ආණ්ඩුව යයි කිසිවෙකුත් කියන්නේ  නැත, එහෙම කියන්නට බැරි තරමටම මේ ආණ්ඩුව රෙද්දේ රෙවාගෙනය. ගු හත් තට්ටුවක් නා ගෙන සරමෙන් පිහිද ගැනීමට යාමේ පලක් නැත.

රෝහල් කාර්ය මණ්ඩල වෙත සියලු බර පටවා ඡන්දයක් ප්‍රකාශයට පත් කොට තිබේ.මහජනයා වෙත මේ සම්බන්ධ නිසි දැනුවත්වීමක් තවමත්  සිදු වී නැත. හදිසි අවස්ථාවකට රටක් ලෙස මුහුණ දීමට ආර්ථික සැලැස්මක් හෝ අවම වශයෙන් මුලෝපායක් ඇති බවක් අපට ජනතාව ලෙස පෙනෙන්නේ නැත. ඒ වෙනුවට දිනපතා අපට අසන්නට ඇත්තේ අතේ රෝල් වෙන ගොබ්බ  කතා පමණි. එකළ තිබු විවිධ ගායන්  දැන් බොහෝ දෙනාට සනීප වී ඇත. නුදුරේ ඕනෑ නම් ඒ අසනීප ආයෙත් හදා ගත හැකිය. දැන් තියෙන්නේ ඡන්දයේ ඊළඟ ගොඩ වැඩි කරගැනීමට කළ හැකි ගේම් සෙවීමය. කොරෝනා ඔවුන්ට වැඩක් නැත.

ඒ නිසා ඉහත කිව්වා සේම එකළ බැති සිතින් පිළිගත් විදේශ ශ්‍රමිකයින්ට අද රටේ මිනිසුන් දෙන්නේ අලි ටෝක්ස්ය. “එහෙන් හදන් මෙහෙට එන්න එපා , එකට අපි පළිද, අනේ පිල්ස් ඔයාලා ආවට එළියේ ඇවිදින්න එපා, අනේ තොපි හම්බ කළේ අපිටද ? කොරියාවේ ගියාම ලොකුද? තොපිට ඉන්න බැයි නම් පල ” ආදී එක එක කතාය.

Quarantine යනු ඔබේ හිතිවිල්ලේ තරම නොවන බව අප වටහා ගත යුතුය. Covid19  හි  incubation period අවම දින 14 ක් වන අතර එක පුද්ගලයකුගෙන් අවම සමාන්‍යයක් ලෙස තවත් තිදෙනෙකුට බෝ වීමේ හැකියාවක් මෙයට පැවතීම මෙහි බරපතල තත්වයකි.වෛරසය යම් කෙනෙකුට ආසාධනය වී තිබුණහොත්, දැනට මේ නිරෝධායනය සඳහා වෙන් කොට තිබෙන පරිසරය තුළ එය වඩාත් පහසුවෙන් පැතිරීම සිදු විය හැකියි. (විශේෂයෙන්ම airborne, 5m radius, තුළ එය highly contagious බව දක්වා තිබේ). ඒ සියල්ල එසේ  තිබියදී මෙහි පවතින අවධානම හඳුනා නොගෙන, එහි වගකීම භාර නොගෙන සිටින ආණ්ඩුව වෙත තම ඇගිලි දික් නොකරන බොහෝ දෙනා තම රට වෙත පැමිණි මේ පිරිස වෙත පළ කොට ඇත්තේ  හුදෙක්ම  අමානුෂික හා අකාරුණික බවය.

තවත් අතකින් නිරෝධායන මධ්‍යස්ථාන වලට එරෙහිව  රජයේ වගකිව යුතු කුඩු ඇමැතින් හා එකතුව චීවර, ලෝගු ධාරින්  හා මහජනතාව දක්වන විරෝධතා ද කණස්සලු දායකය. හෑදල සිදුවුයේ එවැන්නකි. කෙසේ වෙතත්  දැන් දෙමල හා මුස්ලිම් ජනයා බහුලව වෙසෙන ප්‍රදේශ වෙත මේ පිරිස කුමන හෝ හේතුවෙක් මත ගෙන යාමට තීරණය කොට ඇති අතර ඒ ජනයා ඒ තීරණයට එරෙහිව උද්ඝෝෂණ කළේ ද නැත.  ඉතින් අතකට මේ සියල්ල විහිළු සහගතය. අවම වශයෙන් රජයේ පිළිගත් ඇමතිවරයෙකුට වත් මේ වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන්  ඇති ඇටි කෙහෙල් දැනුමක් නැති බවට මෙය හොඳම සාක්ෂියකි. ඉතින්  මහජනයා ගැන කවර කතා ද? අනෙකා සැක කිරීමත්, ආත්මාර්ථයත් හැර ආරක්‍ෂිත ක්‍රියා මාර්ග වලට මහජනයා පෙළඹ වීම  අපට දැඩිව  අවශ්‍යව  තිබෙන මොහොතක අපි මිනිසුන් මානසිකව ප්‍රතික්ෂේප  කරමින් සිටිමු.

අනෙක් අතට අවශ්‍යම මොහොතක දී වත් රජය වෙනුවෙන් මේ සම්බන්ධයෙන් නිල නිවේදනයක් නිකුත් කරන්නට රජයේ සෞඛ්‍ය අමාත්‍යංශය, වැඩ බලන අමාත්‍යවරයා, ඒ හා අනුබද්ධ ආයතන,ලේකම්වරු හෝ සිවිල් නිලධාරින්, රජය වෙනුවෙන් වන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුද සිටියදී මේ සම්බන්ධව “යුධ හමුදාපතිවරයා” ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයිද යන්න සාමාන්‍ය   පුරවැසියෙකු ලෙස මට පැන නගින ගැටලුවකි. නෛතිකව එවැනි බලයක් තිබිය නොහැකි නමුත් එය අතිශය සාමාන්‍ය ලෙස අප පිළිගනිමින් තිබේ.

අනෙක් අතට මේ සම්බන්ධයෙන් නිල විමසීම් කරන්නට, පැමිණි පිරිසගේ නිවෙස් වල පිරිස් වෙත පවා මාධ්‍ය ඇද බාන බේගල් හැර  පැය  24 පුරා ඕනෑම ආකාරයකට ( ඔන්ලයින් හෝ ඔෆ්ලයින්)  සම්බන්ධ විය හැකි ව්වෘත මහජන තොරතුරු මධ්‍යස්ථානයක් හෝ මාධ්‍යට නිල තොරතුරු සැපයෙන විශේෂ  වගකිව යුතු තැනක් තවමත් ස්ථාපිතව නැත.

මිට අමතරව ප්‍රධාන රෝහල් වලින් එපිටට ඇති තත්වය කොතරම් නරක් විය හැකි දැයි අපට තක්සේරුවක් වත් නැත.මාධ්‍ය හරහා ප්‍රවෘත්ති වලින් මවා පාන බිල්ලන් හැර ජනතාව වෙත මේ කාරණය තුළදී රටක් ලෙස අප රැකගත යුතු  මානුෂිය ගුණාංගත් , මේ ප්‍රශ්නයට ප්‍රජාවක් ලෙස එකට මුහුණ දීමට බල කෙරෙන  ආරක්ෂණ ක්‍රමොපායන් පිළිබඳවත් කිසිදු  නිර්මාණශීලි උත්සාහයක් ගන්නා බවක් අපට නොපෙනේ. සමාජ මාධ්‍ය තුළ  විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ආදී ආයතන යම් සාධනීය මැදිහත් වීමක් කළත් ඒවා වෙන් වෙන්ව කරන  හුදෙකළා මැදිහත් වීම් නිසාම ඒවායෙන් විශාල පිරිසකට සම්ප්‍රේෂණය කළ හැකි බලපෑමක් නොවනු ඇත.

අනෙක් අතට අද දින සිදු වූ සිදු වීමෙහි  මතු කෙරුණු වැදගත්ම කාරණය නම් “මෙරටේ ආර්ථිකයේ ජීවනාලිය” වන විදෙස් ගත ශ්‍රමිකයන්ගෙන් දින 14 ක නිරෝධායන ක්‍රියාවලිය සඳහා ආණ්ඩුව  මුදල් අය කිරීම සම්බන්ධව ඔවුන් එල්ල කළ චෝදනාවය. ඇත්තටම රටක් ලෙස රටේ ආර්ථිකයේ මුලික පුරුක වන ඔවුන් වෙනුවෙන් මේ මොහොතේ අපට පෙනී සිටිය නොහැකි ද? එය ආණ්ඩුව විසින්  මුලික අදියරේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළදී දැඩිව සිතිය යුතුව තිබු කරුණකි.

මීට පෙර විවිධ  ගායන් ගැන කතා කළ  වුන්ද, තුන් බිය දුරු කරන්නට පිරිත් කියන ඇතැම් බුදු සව්වෝ ද, ප්‍රේමය ජීවිතය කර ගත් ඇතැම් දේව දරුවෝද දැන් අතුරුදන්ව තිබේ.සරන් කාරයට වඩා උඩු රැවුල් කාරයා හොඳ බව සිතු ජනතාවෙනි, ජාතික ආරක්ෂාවක් ගැන පාරම් බෑ උන් දැන් කියන්නේ  උන් බෑ ය.

ඇත්ත සත්‍ය නම් සමස්ත ලාංකීය  සමාජයම කුණු ගද ගහන බව  දකින්නට කොරෝනා කාලය අපට හොදොටෝම ඉඩ විවර කොට තිබෙනවාය  යන්නය. එහෙයින් අපට තදින් ඉගෙන ගන්නට යමක් තිබේ.අපි කොරෝනා කාලයේ වත් එකිනෙකාට  ආලය කරන්නට ඉගෙන ගත යුතුව ඇත. මනුස්සකම ඉගෙන ගත යුතුව ඇත. හෙට මේ මම ඔබ විය හැකි නොවේද? හෙට අඬන්නේ ඔබේ අම්මා, තාත්තා, බිරිඳ විය හැකිය. එහෙයින්  මනුස්සකම වෙනුවෙන් පෙනී හිටිය යුතුව ඇත. ඒ වෙනුවෙන් ආසාධාරණය වෙනුවෙන් නැගෙන හඬට ශක්තියක් විය යුතුය.මන්ද යත් අමනුස්සකමට වඩා  ව්‍යසනකාරී විය හැකි වසංගතයක් මිහිපිට දී මිනිසාට බෝ නොවීමට ඉඩ ඇති නිසාය. මා  ලිපිය අවසන් කරන තත්පරයේම මගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් ලැබුණි. මම එය බැලුවෙමි. “මෙරටින් පළමු කොරෝනා ආසාදිත ලාංකීකයා හමුවෙයි” එහි සටහන් ව තිබුණි. දැන් මාධ්‍ය බලා සිටි නිවුස් එකක් අපට ලැබී තිබේ. ඒත් ඒ ඇලට් එක තවම අපට තවමත් බර මදි දැයි මා දන්නේ නැත.එහෙයින් අපි කුණු හරුප කමෙන්ට් ලියමින් සිටිමු.

ඉතින්,ඩයස්මි දැන් නැවත ඉතාලියේ සිට ලංකාවට එන්න.ඔබ ආදරයෙන් වැළඳ ගන්න තවදුරටත් ඔබේ රටේ මිනිසුන්  සුදානම් ද බලන්න.

ඉෂාරා ධනසේකර | Ishara Danasekara