iMage courtesy :counterpoint.lk

රටක තරුණ පරපුර යනු අනාගතයේ එම රට ගමන් කරන දිශාව තීරණය කරන සමාජ ස්ථරයකි. ශ්‍රී ලංකාව වැනි රටක, නිදහස් අධ්‍යාපනය සමග ඇති තරගකාරී ක්‍රමය තුළ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල් වන්නේ එම අවදියේ සිටින ඉතාම දක්ෂ සිසුන්ය. එම නිසා මෙම සිසුන් creme de la creme හෙවත් විශිෂ්ඨයන් අතරෙන් අති විශිෂ්ඨයන් යැයි පැවසිය හැක. එම හේතූන් ගත් කල, ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුල් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සමාජයේ පිළිගැනීමක් මෙන්ම ගෞරවයක් ද මෑතක් වනතුරු දකින්නට ලැබුණි. ඒ වගේම දේශපාලන හා සමාජ අංශයන් ද විශ්ව විද්‍යාලය කෙරෙහි විමසිල්ලෙන් පසු වූයේ අනාගතයේ තම ප්‍රතිපත්ති, වැඩසටහන් හා අරගලයන් මෙහෙය වීමට ජවය හා දැනුම ඇති තරුණ පරපුරක් ඒක රාශි කර ගත හැකි වෙනත් ස්ථානයක් රට තුළ නොමැති වීමයි.

එසේම එදා මෙදා තුර ශිෂ්‍ය ව්‍යාපාර සමාජ අරගල වලට විශිෂ්ඨ දායකත්වයක් සපයා ඇත. එහෙත් අවාසනාවකට අද විශ්ව විද්‍යාල හා එහි අදාලත්වය ගැන කතා බහක් කිරීමට සිදු වී ඇත්තේ එම ශිෂ්‍ය ව්‍යාපාර ඇතුලු විශ්ව විද්‍යාල පද්ධතිය වල ඇති දුර්වලතා නිසාය.

පසුගිය සතියේ ශ්‍රී ජයවර්ධනපුර (ජ’පුර) විශ්ව විද්‍යාලයේ සිසුවෙකු මාරාන්තික තුවාල ලබා රෝහල් ගත කර තිබුණු බව පුවත් පත් හා සමාජ ජාලා වලින් ප්‍රචාරය විය. එය නවක වදය නිසා, නොව ටයරයක් පෙරලීම නිසා යැයි පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත.

මෙම සිටුවීමෙන් අනතුරුව විවිධ කතිකාවන්, විවිධ අරමුණු වලින්, විවිධ මත දරන අය විසින් සමාජ ගත කිරීමට ගත් උත්සහය නිසා මේ ලිපිය ලිවීමට අවශ්‍ය බව මට වැටහිනි. මම ඡ’පුර කලමණාකරණ පීඨයේ ඉගෙනුම ලත් උපාධිධාරිණියක් වන නිසා මේ ගැන අවබෝධයක් හා කතා කිරීමේ අයිතියක් මා සතුව ඇත.

මේ සමාජ මතයන් හා සාකච්ඡාවන් අතර වඩාත් ප්‍රචලිත මාතෘකාව නම්, නවක වදයයි.

නවක වදය යනු කුමක්ද?

එය (ragging) ජේෂ්ඨ සිසුන් විසින් නවක සිසුන්ට කරන අතවර, නින්දා හෝ හිරිහැරයන්ය. මෙය කායික, මානසික හෝ ලිංගික හිංසන විය හැකිය. බලෙන් කියවන සිංදුවේ සිට කොහෙද යන්නේ යන ප්‍රශ්න ද, නවකයින්ට නිදි වර්ජනය කර පැය ගනන් නේවාසිකාගාරය වල සිටවා තැබීමත්, ඇදුම් සියල්ල ගලවා ලිංගික අවයවයන් ගැන කරන කතා ඇතුලු විවධ දේවල් වලින් ලිංගිකව කරන අඩන්තේට්ටම් යන සියල්ල එකම මට්ටමේ හිංසනයන්ය. ඒ සියල්ල මානව අයිතීන් උල්ලංඝනය කරන දරුණු අපරාධ නිසා ඒ සදහා දඩුවම් ලබා දිය යුතු බව අමුතුවෙන් කිව යුතු නොවේ.

පහත විඩියෝ දර්ශන (common ragging) නවක වදය ගැන තවත් පැහැදිලි කරයි.


ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතිය උප සංස්කෘතියක් ලෙස නවක වදය සමහරුන් හදුන්වයි. උප සංස්කෘතියක් යනු කුමක්ද? යන්න මෙහිදි අර්ථ නිරූපනය කිරීම වැදගත්ය. ප්‍රධාන සංස්කෘතියක් තුළ සිටින, එහෙත් වෙනම සාරධර්ම, විශ්වාසයන් හෝ උනන්දූන් නිසා, එම සංස්කෘතිය සමග වෙනස් වන සංස්කෘතින් උප සංස්කෘතිය නමින් හැදින් විය හැක. හිංසයන, පීඩනය, මර්ධනය සමග පණ පොවන ක්‍රරෝධය, ඉරිසියාව හා අස්ථානගත අරමුණු බලෙන් උගන්වන නවක වදය, ශ්‍රී ලංකාවේ උගත් හා විශිෂ්ඨ සමත්කම් ඇති තරුණ පරපුරකට උප සංස්කෘතියක් කිරීමට කිසිම අවශ්‍යතාවක් නැත. තවද එය උප සංස්කෘතියක් වන්නේ කෙසේද යන්න මට තවමත් තේරුම් ගත නොහැක. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සංස්කෘතිය තුළ පලස්තීන අරගල කණ්ඩායම, වර්ණවාදයට එරෙහි කණ්ඩායම්, සමාජවාදී හා ධනවාදී ආකල්ප ඇති කණ්ඩායම්, සම ලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් වලට සහය දෙන කණ්ඩායම්, විවිධ ආගමික කණ්ඩායම්, ජාතික කණ්ඩායම්, දේශපාලන හා සමාජ මත දරණ කණ්ඩායම් ඇත. එම කණ්ඩායම් උප සංස්කෘතීන් ලෙස හැදින් විය හැකි අතර ඔවුන් නවකයන් බදවා ගැනීම ඇතුලු සමාජ අරගල ගණනාවකට සහය පල කරයි. විශිෂ්ඨ ගණයේ සමාජ හා අන්තර්ජාතික දායකත්වයක් ඔවුන් තම සිසුන්ගේ දායකත්වය ලොවට දායාද කරයි. බොහෝ රටවල් වල නායකයින් ද මෙම විශ්ව විද්‍යාලයේ කතා පවත්වන අතර එය ඔවුන් සලකන්නේ තමන්ට ලැබුනු දුර්ලභ අවස්ථාවක් හා ගෞරවයක් ලෙස. ඔක්ස්ෆර්ඩ් යුනියන් හී හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කල කතාවෙන් එය තවත් පැහැදිලි වෙයි ( https://youtu.be/gOgw0k_cbDk ) දැන් මෙය ශ්‍රී ලංකාවට අදාල කර විචාරණය කර බලමු. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය ලොව අංක 1ට සිටියි. ලෝක ශ්‍රේණිගත කිරීම් වලින් අංක 1895 පේරාදෙණිය විශ්ව විද්‍යාලය, අංක 2112 කොලඹ විශ්ව විද්‍යාලය, අංක 2806 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ද ලබා ගෙන ඇත. (https://studentlanka.com/2020/02/05/webometrics-world-ranking-of-sri-lankan-universities-2020/amp/).

මෙසේ ඛේදනීය තත්වයක් ඇති ලාංකීය අධ්‍යාපනය හා විශ්ව විද්‍යාල පද්ධතීන් තුළ ධනාත්මක වෙනස්කම් කර, අනාගතයේ ඇති අභියෝග ජය ගැනීමට සමත් ශිෂ්‍ය පරපුරක් වෙනුවට අප අද හිංසනයෙන් තොර අවකාශයක් ගැන සාකච්ඡා කිරීමට සිදු වීම ඉතාම කණගාටුදායක තත්වයකි. තවද මා ඡ’පුර දුටු උප සංස්කෘතීන් නම්, නවක වදයට නැඹුරු සමාජ පැලැන්තිය හා ඊට විරුද්ධ සමාජ පැලැන්තියයි. බොහෝ අවස්ථා වලදි පංති බේදයක් මුල් කරගත් අදහස් හා ආකල්ප මෙයින් ඉස්මතු වුනා යැයි කීම නිවැරදි යැයි සිතමි. හීනමානයන් සිටින පිරිසක් තමන්ට වඩා පෞරුෂයක් ඇති නවකයින්ට ඊර්ෂාව නිසා හා ලිංගික / සමාජ කුහකත්වය නිසා කරන අතවර හා හිංසනයන් නවක වදය තුළින් දැකිය හැකිය.

සාමාන්‍යයෙන් ගත් කල ඡ’පුර නවක වදයට විරුද්ධ වු ශිෂ්‍යයන් (බොග්ගු හෙවත් සරසවි ශිෂ්‍ය සංගමය) අතර පොදු සාධක කිහිපයක් දකින්නට ලැබුනා. නාගරික පාසැල් වලින් විශ්ව විද්‍යාල අවකාශය ලබා ගත් මොවුන්, ඉංග්‍රීසි භාෂාව ද යම්තාක් දුරකට නිපුණ කර හිටියා. බොහෝ විට මෙම කණ්ඩායමේ සිටියේ ආර්ථික මට්ටමෙන් මධ්‍යම හා උසස් පාංතිකයන් ලෙසය. තවද මොවුන්ගේ දෙමාපියන් ද අධ්‍යාපනයක් ලද අය විය. මෙම සිසුන් විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ නොසිටින අතර යැපුම් මානසිකත්වයක් ද නැති බව ද සදහන් කල යුතුයි. මෙම කණ්ඩායම නවකයන් ලෙසත් නවක වදයට එරෙහිව සටන් කිරිම මා දුටුවෙමි.

බොග්ගුන්ට හාත් පසින්ම වෙනස් කණ්ඩායමක් ‘රැල්ලෝ’ ලෙස හඳුන්වමින් නවක වදය මෙහෙයවයි. මහා ශිෂ්‍ය සංගමය ද මොවුන්ගේ අතකොලුවකි. ගම්බද පළාත් වලින් විශ්ව විද්‍යාලයට පිවිසෙන මෙම තරුණ තරුණියන් බොහෝ විට ආර්ථික මට්ටමෙන් අඩු, දිළිදු සමාජය පංතීන් නියෝජනය කරයි. මුදල් අගහිඟකම් නිසා මේ කණ්ඩායමේ සිසුන් බොහෝමයක් විශ්ව විද්‍යාල නේවාසිකාගාරවල සිටිති. මෙහිදි සිදු වන්නේ අසරණව සිටින තරුණ තරුණියන්ට ජේෂ්ඨයින් විසින් යල්පැන ගිය සංකල්ප හා අරගල වෙත මොවුන් යොමු කරවීමයි. සමාජය ගැන අවබෝධයක් නැති මෙම සිසුන්ගේ මනසට විෂබීජ එකතු කර, ඔවුන්ගේ සමාජ/ආර්ථික ස්ථාවරය අපයෝජනය කර, ගතානුගතික සම්ප්‍රදායන් අඛණ්ඩව ඉදිරියට ගෙන වහලුන් පිරිසක් නිර්මාණය වීම මෙයින් සිදුවේ. වරක වින්දිතයන් වූ කොටසක් පසුව වින්දිතයන් බිහි කිරිමේ යාන්ත්‍රණයක් ලෙස මෙය හැදින්විය වරදක් නොවේ.

නවක වදය යනු sadism යැයි ඉංග්‍රීසියෙන් කිව හැක. එනම් අන්‍යයන්ට වේදනාව, දුකක් හෝ නින්දාව කිරීම තුළින් කෙනෙකු ලබන මානසික වින්දනය (සමහරුන්ට මෙම හිංසන ලිංගික තෘප්තියක් ද ලබා දෙයි). ලෙස අර්ථ දැක්විය හැකිය.

තවද නවක වදය කරන බොහෝ සිසුන්ට ඇත්තේ තම අතීතයේ සිදු වු සිදුවීමක්, තමන්ට අහිමි දෙයක්, තමන්ට වඩා පෞරුෂයක් ඇති කෙනෙක් ඉලක්ක කර ගත් හිංසන ජාලාවක් නිර්මාණය කිරිමයි. සමහරුන් පාසැලේ තමන්ට නොලැබුණු කීර්තිය රැග් එකෙන් ලබා ගැනීමට තැත් කරයි. තවත් කෙනෙකුට තමන්ට වඩා උසස් සමාජ පැලැන්තියක සිටින කෙනෙකු සමග කුහකත්වය හා ක්‍රෝධය පිරිමසා ගැනීමක් විය හැකිය. වෙන කෙනෙකු අසරණව සිටින තම පංතිය නියෝජනය කරන කෙනා රිදවා අසාමාන්‍ය සතුටක් විදීමකි. කුමන කෝණයකින් මෙය නිරීක්ෂණ කළත්, එහි ඇත්තේ හිංසනයයි.

නමුත් මෙය සාධාරණීකරණය කරන පිරිස පවසන්නේ මෙයින් පෞර්ෂය ගොඩා නගා ගැනීමක් සිදු වන බවයි. ඔවුන් පවසන්නේ නවක වදය තුලින් සමාජයේ ඇති පීඩන වලට මුහුණ දිය හැකි ආකල්ප ගොඩ නගා ගත හැකි බවයි. තවද “බැච් ෆිට්” එක හෙවත් නවකයින් අතර සමගිය හා අනෙකා අතර සුහදත්වය ඇති වන බවයි. මෙය කියවන්නාට හාස්‍ය ජනක වුවද නවක වදයට ගොදුරු වු හා නවක වදයට සිසුන් ගොදුරු කරගත් සිසුන් මෙය පවසයි. වහල් මානසිකත්වය හා වහලුන් පීඩනය නිසා තම සමූහය සමග වූ බැදියාව ගැන නම් මොවුන් පවසන්නේ, එසේ විය හැක. තවද මෙම යන්ත්‍රණය වහලුන් විසින් වහලුන් ඇති කරවයි.

නවක වදයට විරුද්ධව සටන් කල කෙනෙකු වශයෙන් මට වැටහුනු කරුණක් නම් විශ්ව විද්‍යාලයේ ඒ සදහා අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ඒ ව්‍යුහයෙන්ම සලසා ඇති බවයි. එයට සමහර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ද සෙසු කාර්ය මණ්ඩලයේ ද ආශිර්වාදය ලැබෙන බව නොරහසකි. කෙසේ වුවද මීට එහා ගිය දේශපාලන හස්තයන් ද විශ්ව විද්‍යාල පද්ධතිය මෙහෙය වන බවට සාධක ඇත.

කුමාර් ගුණරත්නම් (පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පක්ෂය) ප්‍රසිද්ධ මාධ්‍යකට පැවසු පරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍ය කණ්ඩායම් සමග ඔවුන් ඉතා සමීපව ඇසුරු කරන බවය. ජනතා විමුක්ති පෙරමුණ ද තම අවශ්‍යතා සදහා ශිෂ්‍ය ව්‍යාපාර යොද ගනියි. තවද එක්සත් ජාතික පක්ෂය ඇතුලු අනෙකුත් දේශපාලනය පක්ෂ ද කුඩා සිසු කණ්ඩායම් විශ්ව විද්‍යාල තුළ මෙහෙය වමින් පවතින බව කවුරුත් දන්නා සත්‍යකි. එසේ තිබිය දී, විශ්ව විද්‍යාල තුළ ආචාර්යවරුන් හා කාර්ය මණ්ඩලය ද විවිධ පෞද්ගලික හා දේශපාලන අරමුණු මත සිසුන් යොදා ගත් බව නොරහසකි.

2002 අවුරුද්දේ ජ’පුර විශ්ව විද්‍යාලයේ කලමණාකරණ පීඨයට ඇතුල් වන්නට අවස්ථාවක් ලැබුනු මම, පළමුව තවත් ජ’පුර විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙනෙකු ගෙන් තොරතුරු විමසූවෙමි. මට දැන ගැනීමට අවශ්‍ය වූයේ නවක වදය යනු කුමක්ද ,එය කවුරුන්, කෙසේ කරන්නේද යන්නයි. නාදුනන තැනකට යාමට ඇති බිය හා කෙනෙකුගෙන් ඇති විය ඇති මානසික හා කායික හිංසනය ගැන දැඩි පිළිකුලකින් සිටි මට විශ්ව විද්‍යාලයේ හමු වන්නේ මා වැනි තවත් ශිෂ්‍ය කොටසක් යයි සිතූහ. 2002 සිට 2007 දක්වා සිදු වූ සිදු වීම් මම මෙහි සනිටුහන් කරන්නෙමි. එම සිදුවීම් තුළින් වර්තමාන තත්වය ගැන නිගමනයකට එලබීමට හැකි වනු ඇතැයි විශ්වාස කරමි.

2002 වර්ෂයේ ජ’පුර විශ්ව විද්‍යාලයේ කුලපති වුයේ මහාචාර්ය D.S එපිටවත්ත හා කලමණාකරණ පීඨය භාරව සිටියේ මහාචාර්ය හිලරි සිල්වා ය. 2002 වසර වන විට කලමණාකරණ පීඨයේ ජේෂ්ඨ සිසුන් අතර කුඩා කණ්ඩායමක් නවක වදයට විරුද්ධව එක් වී සිටියා ය. ඔවුන්ගේ එකතු වන ස්ථානය බොග කැන්ටිම විය. 2002 වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වු කෙනෙකුට නවක වධයෙන් බේරීමට නම් බෝග කැන්ටිමට යා හැකිය. තවද හැකි සෑම විටම නවකයින් රැග් එකෙන් මුදවා ගැනීම මෙම බොග කණ්ඩායම විසින් සිදු කළේ තම දිවි පරදුවට තබා බව සදහන් කල යුතුයි. එසේ අකාලේ මරා දැමු සිසුවෙකු ලෙස සමන්ත විතානගේ මරණය සැලකිය හැකිය. සමන්ත ඇතුලු කිහිප දෙනෙකුට මහා ජ’පුර ශිෂ්‍ය සංගමය සමග නවක වදය නැවැත්වීම ගැන කතිකාවක් සදහා කලමණාකරණ පීඨයට පැමිණෙන ලෙස දන්වා තිබුණා ය. එම ස්ථානයට ගිය සමන්ත ඇතුලු කණ්ඩායමට 200ට අධික ඡනතා විමුක්ති පෙරමුණ නියෝජනය ශිෂ්‍යයන් පිරිසක් විසින් පහර දුන්නේ සාකච්ඡාව අතරතුරය. මෙයින් සමන්ත මරා දැමීමට ඔවුන් සමත් වූ අතර අනෙක් සිසුන් මාරාන්තික තුවාළ ලබා සිටියහ. අලෙවිකරණ අංශාධිපති මහාචාර්ය නෙවිල් වර්ණකුලසුරිය ද මෙයින් තුවාළ ලැබුවේ සටන නැවැත්වීමට ගත් උත්සහයකදි ය. අවාසනාවන්ත කරුණ නම්, සමන්ත එම සාකච්ඡාවට ගියේ එවකට මහා ශිෂ්‍ය සංගමයේ නායක සුජිත් කුරුවිට සමග වීමත්, ඔහු මිය ගියේ සුඡීත් විසින් පරිගණකයකින් සමන්තගේ ඔලුවට ගැසීම නිසා සිදු වු මාරාන්තික තුවාලය නිසාය. https://ceylontoday.lk/columns-more/660 / https://www.wsws.org/en/articles/2002/12/jvp-d02.html

මේ මරණය සම්බන්ධව ශිෂ්‍යයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුන ද සුජිත් කුරුවිට ට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාදාමයක් සිදු නොවීය. Colombo Telegraph පවසන පරිදි දේශපාලන බලය නිසා ඔහු අදත් චෝදනා නොමැතිව නිදහසේ සිටියි.
https://www.colombotelegraph.com/index.php/sri-lankan-universities-in-dire-straits/ / http://archives.dailynews.lk/2002/11/11/new01.html

මෙම මරණය විශ්ව විද්‍යාලය තුළ මහත් කැලබීමක් ඇති කිරිමට සමත් විය. පලමු වසර සිටි අප, බොග්ගුන් වීම හා ඔවුන් සමග සබඳකම් පැවැත්වීමත් නිසා, මේ මරණය මත තව මිනී ගොඩ ගැසීමට තැත් කල මහා ශිෂ්‍ය සංගමයේ උත්සහය, එවකට සිටි කුලපති හා පීඨාධිපති විසින් වලක් වනු ලැබුවාය. ඒ සදහා අප ඔවුන්ට සදා ණය ගැති බව මෙහි සදහන් කළ යුතුමය. නමුත් මෙම අරගලය හා අර්බුදය මෙතනින් අවසන් නොවිණි. සෑම විභාගයක් අවසානයේ හෝ නිවාඩුවකට පෙර රැල්ලෝ (ජ’පුර ශිෂ්‍ය සංගමය ඇතුලු නවක වදයට මෙහෙය වන) විසින් ඔවුන්ට එරෙහිව මත දරණ බොග්ගුන්ට (නවක වදයට විරුද්ධ) ප්‍රහාර එල්ල කළහ. ඔවුන් තමන්ට විරුද්ධ මතයන් හා පුද්ගලයින්ට එරෙහිය උග්‍ර අභ්‍යන්තර මර්ධනයක් දියත් කළහ. එසේ කළ ප්‍රහාර වල ඡායාරූප පහත දැක්වේ. මෙය මා මිත්‍රයෙක් සමග ඒ දිනවල ගත් ඡායාරූප ය.

තවද, විවිධ තනතුරු හා වරප්‍රසාද වලට කෑදර කමින් සිටි ආචාර්යවරුන් හා සේවක පිරිසද රැල්ලෝ සමග එකතු වී, හිංසනය හා පීඩනයට එරෙහි ආචාර්යවරුන්ට හා කාර්ය මණ්ඩලයට බලපෑම් කලා පමණක් නොව, ඔවුන්ට නතු නොවු කල විශ්ව විද්‍යාලයෙන් නෙරපලා දැමීමට පවා සමත් විය. එසේ නවක වදයට එරෙහිව සිටි ඡ’පුර කුලපති D.S එපිටවත්ත නෙරපීම එක් උදාහරණයක් ලෙස සදහන් කල හැක.

2002/2003 වසරේ සමන්තගේ මරණයෙන් බැට කෑ මහා ශිෂ්‍ය සංගමයට ඇතුලු රැල්ලන්ට තවත් පසුබට වීමක් සිදු විය. එනම් උපකුලපති එපිටවත්ත හා පීඨාධිපති හිලරි යන මහාචාර්යවරුන් එක් වී 2003 වසරේ නවක වදය කලමණාකරණ පීඨය තුළ නැවැත්වීමයි. තවද 2003 ශිෂ්‍ය සංගමයේ සාමාජිකත්වය සදහා තිබු ඡන්දයෙන් ජවිපෙ ඇතුලු සමාජවාදී පක්ෂයට සහය දුන් රැල්ලන් දිනුවේ කුඩා ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙනය. මෙම සිදුවීම් ඔවුන් දුටුවේ තමන්ට හා තම මතයන්නට එල්ල කල ප්‍රහාරයක් ලෙසටයි.

එම නිසා මහාචාර්ය එපිටවත්ත නෙරපීමේ කුමන්ත්‍රණයක් දියත් විය. ආචාර්ය NLA කරුණාරත්නට විභාග ප්‍රශ්න පත්‍රය මුදා හැරීමේ චෝදනාවක් එල්ල වුයේ මේ කාලයේදී ය. මෙම චෝදනාවට පරීක්ෂණ ආරම්භ කිරීමට උපකුලපති ගත් උත්සහය සාර්ථක වීමට ප්‍රතම, ආචාර්ය NLA කරුණාරත්න මාරාන්තික උපවාසයක් ජ’පුර සුමංගල ශාලාව ඉදිරී පිට ආරම්භ කළේය. (http://www.island.lk/2003/12/04/news08.html) ඔහුගේ ඉල්ලීම නම් උපකුලපත ඉවත් කිරීම ය. එයට මහාචාර්ය සුනිල් ආරියරත්න ද සහභාගි වන්නේ තමන්ට අහිමි වු සිංහල අංශයේ අංශාධිපතිකම නිසාත්, උපකුලපතිතුමා සමග තිබු කෝන්තරතක් නිසාත්ය. සමාජයට අද වෙස් මුහුණක් බැද සිටින මොහුගේ එදා ක්‍රියා කලාපය ඉතාම නින්දිත බව සදහන් කල යුතුය. (එවකට සිංහල අංශය භාරව සිටියේ මහාචාර්ය තිස්ස කාරියවසම්).

තවද මහා ශිෂ්‍ය සංගමයට හිතැති, බොග්ගුන්ට විරුද්ධව සිටි තව කෙනෙකු නම් මහාචාර්ය E.A වීරසිංහ නම් එවකට ආර්ථික විද්‍යා අංශයේ, අංශ ප්‍රධානීයා විය. උපකුලපති වීමට සිහින ලත් ඔහු 2002/2003 ඒ සදහා ඉදිරිපත් වුවද ඡන්ද දෙකක් පමණක් ලබීම නිසා එම සිහිනය බොද විය. එවකට සිටි පීඨාධිපතිට උපකුලපති සහයෝගය දැක්වු නිසා තමන්ට අහිමි වූ පීඨාධිපති සිහිනයේ කොන්තරය පිරිමැසීමට ඔහු ද කලමණාකරණ පීඨයෙන් මේ උපවාසයට සහභාගි විය. මේ තත්වය යටතේ යන එන මං නොමැතිව සිටි මහා ශිෂ්‍ය සංගමය ඇතුලු රැල්ලෝ සියල්ල මෙම උපවාසයට සහයෝගය පළ කළේ ඔවුන් තුළ තිබූ අනයොන්‍යය අවබෝධය නිසාය. අවසානයේ සිදු වූයේ, එවකට අගමැතිව සිටි මහින්ද රාජපක්ෂ පැමිණ NLA කරුණාරත්නට වතුර පොවා, උපකුලපති එපිටවත්ත එම ධුරයෙන් පහ කිරිමයි. ඉන්පසු මෙතෙක් නවක වදය නැවැත් වීම මෙන්ම විශ්ව විද්‍යාලයට නව මුහුණුවරක් දීමට සිටි පෙරටුගාමී අදහස් හා ආකල්ප ඇති සිසුන්ගේ භූමිකාව, නැවතත් සමාජවාදී පක්ෂ ප්‍රමුඛ ශිෂ්‍යයන් විසින් පැහැර ගැනීමයි.

අද මහාචාර්ය එපිටවත්ත ජීවතුන් අතර නැත. එදා ඔහුට කිරීමට හැකියාවක් තිබු නවක වදය නතර කිරීම ඇතුලු බොහෝ කර්තව්‍යයන් කිරීමට මහින්ද රාජපක්ෂ ඇතුලු විවිධ සමාජවාදී යැයි කියා ගන්නා කණ්ඩායම් නිසා නොහැකි වුයේ සිසුන්ගේ අවාසනාවකටය. එම නිසා ජ’පුර අදත් සිසුවෙකු මාරාන්තික ලෙස තුවාළ ලබා ඇත. හේතුව නවක වදය නොවුවත් එහි මුලාරම්භය නවක වදය තුළිල් ලැබුණු පන්නරයයි. කිසිම කෙනෙකු ටයරයක් අනෙකාට එල්ල කරන්නේ ආදරේට නොව හිංසා කිරිමය. එය සාදයකදී වූ සිදුවීමක් වුවත් එහි පසු පස ඇත්තේ ජේෂ්ඨ සිසුන් විසින් නවකයින්ට කරන මිලේච්ඡ ප්‍රහාරයයි.

විශ්ව විද්‍යාල තුළ මිලිටරීකරණය ගැන ද මේ දවස් වල තවත් කතිකාවන් ආරම්භ වී ඇත. 2003/2004 වසරෙහි ද හමුදාව හා පොලිසිය ඡ’පුර භුමියේ යොදා තිබුනාය. ඊට හේතුව සමන්තගේ මරණයට පසු සිදු වු තවත් මරණයක් නිසාය. මිලිටරිය යෙදීම තුළින් එදා නම් සිදු වූ දෙයක් නැත. නවක වදය එදාට වඩා අද දරුණුව සිදු වනවාය. හමුදාව යොදා පාලනය කල හැක්කේ විශ්ව විද්‍යාල පරිසරයයි. නමුත් නේවාසිකාගාරවල මෙම හිංසනයන් ඔවුන්ගේ පාලනයේ නැත. හමුදාව ස්ථානගත කිරීම තුලින් විශ්ව විද්‍යාල තුළ නවක වදය තාවකාලිකව අත්හිටුවීමක් මිස මුලින් උපුටා දැමීමක් සිදු නොවේ. එම නිසා, වෙනත් පරමාර්ථ සදහා , විශ්ව විද්‍යාල ගැන සමහරුන්ට ඇති කුහකත්වය හා ඊර්ෂාව නිසා මෙවන් යෝජනා ඉදිරිපත් කිරීම කිසිසේත් ප්‍රායෝගික නැත. කිසි විටක විශ්ව විද්‍යාල තුළ ශිෂ්‍ය මර්දනයක් සිදු නොකල යුතුය. මිලිටරීකරණය තුළ්න් එය සිදු විය හැකිය. තවද ශිෂ්‍යයන් විසින් ශිෂ්‍යයන් මර්ධනය කල ද රජය විසින් කරන ශිෂ්‍ය ව්‍යාපාර මර්ධනය කළ ද, ඒ දෙකෙන්ම සිදු වන්නේ නිදහස් චින්තනයන් වාරණය වීමයි. එය එක් මර්දනයක් වෙනුවට තව මර්දනයක් තෝරා ගැනීමයි. හිසරදය කොට්ටය මාරු කිරීමක් වැනිය.

නවක වදය විසින් තව තවත් ශිෂ්‍යයින්ගේ ජීවිත බිලි ගැනීම නතර කිරීමට නම්, පරිපාලනයේ සිට නවක වදය දෙන ශිෂ්‍යා දක්වා ඉතාම දැඩි ක්‍රියාවලියක් දියත් කල යුතුයි. එසේ චෝදනා ලත්, සාක්ෂි සහිතව ඔප්පු වු සිසුන් විශ්ව විද්‍යාල පද්ධතියෙන් නෙරපීම හා ඔවුන්ට සෘජුව හෝ වක්‍රව සහය දුන් ඕනෑම සිසුවකු හෝ පරිපාලනයේ කෙනෙකු සිටියේ නම්, ඔවුන්ට ද විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර වැටුප් ද නොමැතිව නෙරපා හැරිමට නීතී රීති සංස්කරණය කළ යුතුය. මෙවැනි දැඩි පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් හැර කිසි විටක නවක වදය විශ්ව විද්‍යාප පද්ධතියෙන් බැහැර කිරිමට හැකියාවක් නැත. තවද රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපති “Talk with Chatura” සමග කල සාකච්ඡාව නරඹන ලෙස ඉල්ලමි. එයයි අද යතාර්ථය.

තවද විශ්ව විද්‍යාලයට වරම් නොලද පිරිස් විසින් ශිෂ්‍යයන්ට හා එම පද්ධතියට කරන පදනම් විරහිත අපහාස ගැන ද සදහන් කල යුතුමය. ඡ’පුර මහා ශිෂ්‍ය සංගමයේ නියෝජිතයන් කළ කතාව කිසි සේත් සාධාරණීය කල නොහැකි වුව ද, සමාජ ජාලා හරහා ඔවුන්ගේ භාහිර ස්වරූපයට, කතා විලාශයට හා ඇදුම් වලට අපහාස කරන සමහරුන් පෙන්නුම් කරන්නේද, ඔවුන් එරෙහි වනවා කියන “හිංසනය” හි තවත් එක් පැතිකඩකි. ඔවුන්ගේ හැසිරීම ද නවක වදය තිබෙන කාල වකවානුවේ රැල්ලන්ගේ හැසිරීමේ ද සමානකමක් තිබේ. සමාජයක් ලෙස තුරන් කල යුත්තේ ද එයයි.

අවසානයේ කීමට ඇත්තේ, අප ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල වලින් ඉගෙන ගත් විශිෂ්ඨයන් අතරින් බිහි වු අති විශිෂ්ඨයන් බව නොරහසකි. එය කිසිම විවාදයකින් තොරව බොහෝ අය පිළිගනී. මේ වෑයම එම අති විශිෂ්ඨත්වය හෑල්ලු කිරීම නොව, තවත් එහි දියුණුවක් දැකීමයි. මම එදත් සාඩම්බරයෙන් ඡ’පුර කීවෙමි. අදත් එසේම ඡ’පුර යැයි පවසමි. වෙනස් විය යුත්තේ වෙනස් විය යුතු තැන් පමණි.

ශිෆානා නියාස් | Shifana Niyas