විය යුත්තේ කුමක්ද? සිදු වන්නේ කුමක්ද? ඊට අපි කෙසේ ප්‍රතිචාර දක්වන්නෙමු ද? මේ කරුණු අනාගතයේ එවැනි අවස්ථාවන් සිදුවීමට උත්තේජනයක් ලෙස හෝ බාධකයක් ලෙස තිබෙනු ඇත.

මීට ටික කලකට පෙර සමාජ ජාලා තුළ වයස අවුරැදු 6ක දැරියක් අපයෝජනය කරන වීඩියෝවක් සංසරණය විය. අපයෝජනයට පත් වූ දැරියගේ ජාතකය සෙවීමට කිසිවෙකු සිතුවේ නැත. දූෂකයා එසේ කිරීමට හේතුන් හා ඒවා සාධාරණීකරණය කලේ ද නැත. එපමණක් නොවේ, දූෂකයාට දඩුවම් ලබා දීමට සමස්ථ සමාජය ම සටන් කළේය.

සේයා දැරිය දුෂණය කර ඝාතනය කළ පුද්ගලයාගේ ජාතිය හා ආගම එම අපරාධකරුවා සෙවීමට සහ ඔහුට දඩුවම් කිරීමට ඉදිරියට ආවේ නැත. ඝාතකයාට දඩුවම් දෙනතුරු සියලු දෙනාම සටන් කළ බව පමණක් මතකය.

අවුරැදු 5ක් වූ දරුවෙකුගේ ගෙල සිද මරා ඇත:(මීට වසර ගණනාවකට පෙර) එය සහගහන අපරාධයකි. ඒ දරුවා ද්‍රවිඩ ජාතිකයෙක්: එසේ නම්, දිස්ත්‍රික්කයේ ගැන අවධාරනය කළ යුතුයි. උතුරේ කෙනෙක්: ජාති ආලය, ජාතිවාදය, ජාතිකත්වය හා සියලු බෙදුම්වාදී අදහස් මෙතනින් පටන් ගැනේ. එනම්, දැන් එම දරුවා මැරීමට හේතුවක් සමහර විට ඇති බව කුහක සිත කියයි. දරුවා ඝාතනය කර ඇත්තේ හමුදා සෙබලෙක් විසින්? එසේනම්, දරුවාගේ වයස අනවශ්‍යයි, ඔහු කොටියෙකු ලෙස ලේබල් ගසා, එම ඝාතනය සාධාරණීකරණය කිරීමට බොහෝ දෙනෙක් පෙළඹී අවසානයි.

5 හැවිරිදි ගෙල සිද මරපු දරුවාගේ ඝාතනය එසේ සාධාරණීකරණය වී, ඝාතකයා වීරයෙක් විය. හමුදාවට නිදහසේ ඕනෑම කෙනෙකු මරා දැමීමට මෙන්ම සුලු ජාතිකයින් නම් ‘කොටියා’, ‘ඉස්ලාම් අන්තවාදියා’ යන ලේබල් ගසා එයින් කීර්තියට පත් විය හැකි බව මෙම සිද්ධිය කදිම උදාහරණයකි. මෙය මිරුසවිල් ඝාතනය පිළිබද ව වන සමාජයේ සාරාංශයයි.

කිසිදු රටක මේ වන විට තම රටේ සිවිල් ජනයා මරා දැමු හමුදා නිලධාරියෙකු නිදහස් කර තිබේද යන්න සැක සහිතය.(සාධාරණ සහ අපක්ෂපාතී දීර්ඝ නඩු ක්‍රියාවලියකින් පසුව…) ඇෆ්ගනිස්තානයේ සිවිල් ජනයා මරා දැමු ඇමරිකානු යුධ භටයින් ද ජීවිතාන්තය දක්වා සිර දඩුවම් විදිති. ඔවුන් නිදහස් කිරීමට කිසිදු දේශපාලන හස්තයක් ඉදිරියට නොපැමිණෙන්නේ, ඒවා ‘අපරාධ’ බව පිළිගත් නිසා ය.

නමුත් ජනාධිපති ගොඨාභය රාජපක්ෂගේ 2019 ඡන්ද පොරොන්දුවක් ලෙස, සිරකර සිටින හමුදා සෙබලුන් නිදහස් කරන බව පැවසිණි. මෙය ඉතාම බරපතල ප්‍රකාශයක් බව විවිධ මානව හිමිකම් සංවිධාන පැවසුවත් ජාතිවාදය මත ක්‍රියාත්මක වු එම ඡන්ද ව්‍යාපාරයේ මානව හිමිකම්වලට සවන් දීමට ඉඩකඩ නොතිබුනි. ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ පණිවිඩය නම් සිරකර ඇති සියලු සෙබලුන් “යුද්ධය කිරීම නිසා” සිර කර ඇති බවයි. මෙයින් වඩා කතාබහට ලක් වුයේ මිරුසවිල් සමූහ ඝාතකයා වූ සුනිල් රත්නායක විය. මොහු 2000 වසර ජනාධිපතිව සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග කාලයේ අත්අඩංගුවට ගෙන පසුව ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ යුගයේ නඩු ක්‍රියාවළියකට මුහුණ දී පසුව මරණ දඩුවම් හිමිව බන්ධනාගාර ගත කර සිටි පුද්ගලයෙකි.

සුනිල් රත්නායක විසින් සිවිල් වැසියන් 8 දෙනෙකු ඝාතනය කළේ ගෙල සිද දමමින් ය. නඩු වාර්තා වලට අනුව ඔහු වෙඩි නොතබා ගෙල කපා දමනුයේ වෙඩි හඩ අසා තම බල ඇණියේ අනෙකුත් සෙබලුන් එම ස්ථානයට පැමිණිය හැකි නිසාය. එනම් ඔහුගේ පරමාර්ථය “ඝාතනය” කිරීමයි. එසේ ඝාතනයට ලක් වූයේ යාපනය ප්‍රදේශයේ ජීවත් වූ නිරායුද සිවිල් වැසියන් 8 දෙනෙකි. එම 8 දෙනා අතර වයස අවුරුදු 5 ක දරුවෙකු වු ප්‍රසාද් ද ඔහුගේ සොහොයුරා වු 13 හැවිදි ප්‍රදීපන් හා 15 හැවිරිදි ශාන්තන් ද විය. මොවුන්ගේ එකම වරද 5හැවිරිදි ප්‍රසාද් හට පේර කඩා දීමට මග නැවතීමයි. එම වරදට වන්දි ලෙස සිය ජීවිත පූජා කලහ.
මෙහි නඩුවේ විස්තර පහත ලින්ක් එකෙන් ලබා ගත හැක.

http://www.supremecourt.lk/images/documents/sc_tab_1_2016.pdf?fbclid=IwAR2HkTExautwCIs7M9WYCgv9uiuZz7kmXHuk8UFD038wM-t0BQF6CssJ4Bs

හමුදාවේ සෙබළෙක් තමන් රාජකාරි වෙලාවේ කළ සියලුම කාර්යයන් වෙත නිළ හමුදා සාමාජිකයෙක් ලෙස වග කිව යුතුයි. එය ජාත්‍යන්තර නිර්ණායක අනුව අප බැදී ඇති සම්මුතීන් වලින් එකකි. අපරාධයක දඩුවම සමාජ මතය අනුව තීන්දු වන දෙයක් නොව සාධාරණ සහ අපක්ෂපාතී අධිකරණ ක්‍රියාවලියකින් පසුව දෙනු ලබන තීන්දුවයි. එපමණක් නොව, අධිකරණය මෙම නඩු ඉතා සූක්ෂමව, සාක්ෂි සහිතව සිදු කරන අතර, ඒ ක්‍රියාවලිය ගැන අසතුටුයි නම් ශ්‍රේෂ්ඨාධිකරණ දක්වා අභියාචනා කල හැක. මෙම ක්‍රියාවලිය තුළ චූදිතයා හා වින්දිතයා යන දෙපාර්ශ්වයටම යුක්තිය ලබා ගත හැක. එසේ දිගු කලක් විමර්ශන කර ලබා දුන් නඩු තීන්දුවක්, ජනාධිපති සමාවකින් ආපසු හැරවීම, එම රටේ උත්තරීතර අධිකරණය හෑල්ලුවට ලක් කිරීමක් පමණක් නොව ජනාධිපති විසින් තම බලය අවභාවිතා කිරීමක් ද වෙයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මුතීන් වලින්, පසුගිය දා ඉවත් වූ රජය, දේශීය යාන්ත්‍රණයක් තුළින්, අපරාධකරුවන්ට දඩුවම් ලබා දෙන බව පසුගිය මානව හිමිකම් කවුන්සිලයේ රැස්වීමේදී කළ ප්‍රකාශයේ ‘හාස්‍ය’ දැන් ජාත්‍යන්තරයට ද වැටහී තිබෙනු ඇත. එන නිසා මෙම සිද්ධිය සම්බන්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ ප්‍රකාශක, රූපට් කොල්විල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරන ලදී.

“මෙය, දශක ගණනක් පැවති යුද්ධයේ දී වූ සිදුවීම් අතර චෝදනා ඔප්පු කළ හැකි වූ විරල මානව හිමිකම් නඩුවලින් එකකි. ජනාධිපති සමාව, වින්දිතයින් අවමානයට ලක් කරන්නකි. එසේම යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ අනෙකුත් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් පිළිබඳව ප්‍රමාණවත් වගකීමක් ඇති කිරීමට ඇති අන්තර්ජාතික මානව හිමිකම් බැඳියාවන්ට අනුගතවීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම පිළිබඳ මෙය තවත් එක් නිදසුනකි.” Full Statement here

තවද මෙය අපේ රටේම ඡන කොටසක් වූ දෙමළ ජනතාවට සිදු කළ තවත් අපහාස කිරීමකි. රජය මෙයින් කියා සිටින්නේ යුක්තිය යනු දෙමළ ජනතාවට පමණක් අහිමි සංකල්පයක් බවයි. අධිකරණය අභිභවා ඡාතිවාදය හා දැනට සක්‍රීයව ක්‍රියාකරන මිලිටරීකරණය මගින් දෙමළ ජනතාවට හිමි යුක්තිය හා එම යුක්තිය සදහා වූ අයිතිය, ඕනෑම අවස්ථාවක දී උල්ලංඝනය කල හැකි බව ද ජනාධිපතිවරයා මෙයින් ඔප්පු කර පෙන්වා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී M.A සුමන්දිරන් මහතා විසින් මේ පිලිබද පහත ප්‍රකාශනය නිකුත් කළේය. “සුනිල් රත්නායකට එරෙහිව කිසිම සාක්ෂියක් හෝ සාධකයක් නොතිබුනේ නම්, ඉහල අධිකරණ දෙකක් විසින් මරණ දඩුවම ඔහුට නොදෙනු ඇත”. තවද ඔහු කියා සිටියේ මෙය ජනාධිපති විසින් දෙමළ ඡනතාව ඔහුට ඡන්දය නොදීම නිසා ඔවුන්ට කළ දඩුවමක් ලෙසයි. මෙම තීරණය ඔහු ක්‍රියාත්මක කළේ කොරෝනා වෛරසය නිසා ජනතාව කම්පා වී, ඇදිරී නීතිය ද දමා ඇති කාලය තුළ බවත්, මෙය වසර 13ක් විභාග වූ නඩු තීන්දුවක් බවත් ඔහු මතක් කළේය.

විශේෂයෙන් බහුතර සිංහල හා සුළුතර මුස්ලිම් ජනතාව හමුදාව ගැන ඇති ආකල්ප වලින් පෙනෙනුයේ ඔවුන්ගේ අනාවබෝධයයි. හමුදාව යනු ගොඩබිමේ සටන් කිරීම සඳහා සන්නද්ධව සංවිධානය කර ඇති රාජ්‍යට අයත් බලකායකි. ඔවුන්ගේ කාර්යය එම කාලයේ සිටින තම නායකයාගේ අණ පිළි පැදීමයි. 1989 වර්ෂයේ ප්‍රේමදාසගේ කුලී මිනීමරුවන් ලෙස නම් දැරූ හමුදාව, සිංහල ජාතික තරුණ තරුණියන් දහස් ගණනින් මරා දැමූ බව කවුරුත් දන්නා කරුණකි. අද මාතලේ ඇතුලු අනෙක් දිස්ත්‍රික්ක වලින් හමු වූ සමූහ මිනීවලවල් තුළ සිටින්නේ එදා මෙම හමුදාව ඝාතනය කල බහුතර සිංහල ජනතාවයි. යුද්ධයක් මෙහෙය වීමට හැකි හමුදාවට නියෝග ලැබුනහොත් 2016 දී රතුපස්වල මෙන් තම දකුණේ ජනයා මර්ධන කිරීමට වෙඩි තැබීමට සිදු වේ. එම නිසා, හමුදාව ගැන ඇති ගෞරවය කිසි විටක අන්ධ භක්තියක් නොවිය යුතුය. ඒ වගේම අවි අමෝරා ගත් ඔවුන් තුළ සිටින අපරාධකරුවන් ආරක්ෂා කිරීමත් කිසි විටක නොකල යුතුය. ශිෂඨ සමාජයක ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එයයි.

තවද හෙට දිනයේ දී පාස්කු දින ප්‍රහාරයට මුල් වූ පුද්ගලයින්ට ද ජනාධිපති විසින් මෙසේ සමාවක් ලබා දුන්නේ නම්, සමාජය එය පිළිගැනීමට සුදානම් ද? එම ප්‍රහාරයට සම්බන්ධ මහා මොළකරු සහාරාන් හට වත්මන් ජනාධිපති පඩි ගෙවපු බව නොරහසකි. මෙසේ සියලු රාජ්‍ය අපරාධකරුවන් නිදහස් කර පොල් ගෙඩියක් හෝ කුස ගින්නට යමක් සොරකම් කළ අය පමණක් සිර කදවුරුවල රදවා, අප පතන සමාජ සාධාරණත්වය කුමක්ද? තවද අපරාධයක් සාධාරණීය කිරීම, එය සාමාන්‍යකරණය කිරීමක් වේ නම්, එය බූමරංගයක් මෙන් කවදා හෝ අප ලුහු බැද එනු නියතය. දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දී සිට සමාජයක්, අවම වශයෙන් මේ නියත ස්වාභාවය වටහා ගන්නේ නම් අනාගතයට යහපතක් වන්නේය.

අවසන් වශයෙන්, සිවිල් වැසියන් ඝාතනය කළ කෙනෙකු යුධ හමුදාවේ සිටීම, එම ඝාතනයන් සමාව දීමට හේතුවක් හො මෙම ඝාතනයන් යුද්ධය කිරීමට හේතුවක් යැයි කියා කෙනෙකු සිතු වේ නම්, එම පුද්ගලයා යථාර්ථයෙන් බැහැරව ඇති බව පැවසිය යුතුයි. තවද සුනිල් රත්නායකට රණවිරු පට්ටම බදින අයට පැවසීමට ඇත්තේ, ඔහු වීරයෙකු නොව මුග්ධ ඝාතකයෙක් බවය. නිරායුධ සිවිල් වැසියන් හා කුඩා දරුවන් ගෙල සිද මරන්නේ මුග්ධ ඝාතකයන් මිසක ශිෂ්ට මිනිසුන් නොවේ.

ශිෆානා නියාස් | Shifana Niyasa