iMage: businessinsider
දැන් කොරෝනා ගැන ‘දැනට’ අමුතුවෙන් කිව යුතු යමක් නැති සේයකි. ඒ තරමටම කොරෝනා ගැන විවිධ භාෂාවන්ගෙන්, විවිද පැතිකඩයන්ගෙන් විවිධ දේ ලියැවෙයි. නමුත් තවමත් සිංහල හෝ දෙමළ බසින් හරි හැටියට ඒ ගැන තේරුම් ගැනීමක් කරගන්න කිසිදු උත්සහයක් නොගන්නා බව ඇතැමුන්ගේ ක්‍රියාවන්ගෙන් පෙනි යයි. නමුත් දැන්, මේ දූපත්වාසීන්ට තමන් ට කැමැති ඕනෑම බසකින් වසංගතය ගැන ඉගෙන ගත හැකියි. එසේ කියන්නේ මෙහි ඇති ඉතා බියකරු බව තවමත් මහ පාරවල් වල රස්තියාදු ගහන දූපත්වාසීන්ට තවමත් නොදැනී ඇති බව දැනෙන නිසාවෙනි. එබැවින් දැන්වත්, මළමිනි ගනන් කරන්නට ඉඩ නොතබා, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ගෙදරට වී සිටීම අනිවර්යය වූවකි.
නමුත් මේ, කෙටි සටහන කොරෝනා වෛරසය ආසාධනය වීම හේතුවෙන්, මරණයට පත් වන අයගේ අවසන් කටයුතු සිදුකිරීම ගැන මේ වෙන විට ඇති වී ඇති තත්ත්වය ගැන කෙටි අදහසක් ලිවීම ය.
මේ සාකච්ඡාව සමාජය තුළ මතු වීමට පාදක වූයේ හිටපු අමාත්‍යවරයෙක් වන රවුෆ් හකීම් ගේ ෆේස්බුක් සටහනකි. ඔහු එයින් පවසා ඇත්තේ,
‘කෝවිඩ් 19 ආසාදනය වී මියගිය මීගමුව ප්‍රදේශයේ පුද්ගලයාගේ මෘතදේහය , අපගේ ආගමික විශ්වාසය අනුව මිහිදන් කිරීමට ඉඩ නොදී ආදාහනය කිරීම අවාසනාවන්ත , සෝචනීය හා වෙසෙසින්ම ගර්හා කටයුතු කරුණකි.’ යනුවෙනි.
මේ ප්‍රකාශය නිසා, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංවාදයක් මතුවිය. එහි බහුතර හරය වූයේ, මේ වසංගත අවදියේ හකීම් මෙවැන්නක් ප්‍රකාශ කිරීම හොද නැති, වැරදි, උන්මත්තත ක්‍රියාවක් බවත්, එය සෞඛ්‍ය අංශවලට බාර දී කට පියාගන සිටිය යුතු බවත් ය.
පවතින තත්ත්වය තුළ එම අදහසවලින් වැරැද්දක් පෙනෙන්ට නැත. විශේෂයෙන් මේ වසංගතය හමුවේ, පල්ලිවලට, පංසල්වලට, කෝවිල්වලට ඇතුලු ආගමික සංස්ථාවලට කිසිවක් කිරීමට නොහැකිය. එය යථාර්ථයකි. මේ වසංගතය පාලනය කරමින් එය නවතා දැමිය හැකි එකම උපකරණය විද්‍යාවයි. සෞඛ්‍ය අංශ විසින් දෙනු ලබන නිළ විද්‍යාත්මක උපෙදෙස් ය. කෙටියෙන් කිවහොත් ව්‍යෛ විද්‍යාවයි. එසේම මේ අවස්ථාවේ ගෝලීය වශයෙන් මේ ව්‍යසනය සදහා මාර්ගෝපදේශන සපයන එක තැනක් තමයි, ලෝක සෞඛ්‍ය සංවිධානය. ඔවුන් දන්නවා මිනිස්සු ආගමත් එක්ක කොච්චර බැදීමක් තියනවද කියලා. ඔවුන් දන්නවා, කොයි තරම් විද්‍යාත්මක කරුණු කිව්වත් මිනිසුන් උමතුවක් ලෙස තමයි සිය ආගම ගැන හිතන්නේ කියලා. ඒ නිසා තමයි මේ වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයෙක් ගේ, මළ මිනියක් අවසාන කටයුතු කරන්න අවශ්‍ය ‘විද්‍යාත්මක ක්‍රම’ ගැන උපදෙස් මාලාවක් ඔවුන් නිකුත් කරලා තියෙන්නේ. ඒවා විද්‍යාත්මකව පදනමකින් නිකුත් කල ඒවා නිසා ඒවාට අප වඩා හොදින් සංවේදී විය යුතුයි.
නමුත්, කුමන හෝ අවස්ථාවක, කුමන හෝ ක්‍රමයකින්, හේතුවකින්, මිනිසෙක් මිය ගිය හොත් බොහෝ ජන සමාජවල ඒ මළ මිනිය සදහා කරනු ලබන විවිද චාර්ත්‍රයන් පවතී. විවිද ආගමික විශ්වාසයන් අනුව සිදුකරන විවිධ ආචාරවිදි පවති. කිසිදු ආගමක් සම්බන්ධයෙන් විශ්වාසයක් නැති මට ඒවාවල කිසිදු විශ්වාසයක් නැති වුවත්, ඒ ජන සමාජයේ විශ්වාසයන් සහ ඇදහිලි වලට ගැරහීමටත්, ඒවා මර්දනය කිරිමටවත් මට අයිතියක් නැත. නමුත්, අද අප ගෝලීය වශයෙන් මුහුණ දි ඇති මේ අවධානම් තත්ත්වය මෙහිදි තේරුම් ගැනීමට ඉතාමත් වැදගත්ය. එම නිසා, අප පළමුව ආගමික විශ්වාසයන් හෝ දෙවියන් පිළිබද විශ්වාසයන් හෝ ඕනෑම නොපෙනෙන බලවේගයක් පිළිබද විශ්වාසයන් පසෙකට තැබිය යුතු වීම අනිවාර්යයකි. ඒ අන් කිසිවක් නිසා නොව, ඒ සම්බන්ධ කිසිදු බලවේගයකට කොරෝනා වෛරසය මර්ධනය සදහා කිසිවක් කිරිමට නොහැකි බව අද ලෝකය හමුවේ සනාථ වී අවසන් ව ඇති නිසාය.
නමුත්, මේ තත්ත්වය යටතේ යම් කිසි අයෙක් මිය ගියහොත් ඒ සම්බන්ධයෙන් ඒ ඒ සමාජවල තිබෙන සංස්කෘතික සහ ආගමික තත්ත්වයන් සලකා බැලීමත් අපට නොසලකා හැරිය හැකි වන්නේ නැත. ඒ වසර ගණනාවක් කිසියම් විශ්වාසයන් වල එලඹගත් මිනිසුන් ක්ෂණිකයෙන් එයින් ඉවත් කල හොත් ඔවුන් මානසික පීඩනයකට ගොදුරු විය හැකියි. එය පවතින මෙවන් ව්‍යසනයකදි තිබෙන තත්ත්වය තවත් ව්‍යාකූල කිරිමට මගපාදන්නක් විය හැකියි. එම නිසා, වෛද්‍ය විද්‍යාවට ප්‍රමුඛස්ථානය දෙමින්, ඔවුන්ගේ උපදෙස් සහ රීතීන් අභිබවා නොගොස්, සමස්ථ සමාජයම අවධානමකට ඇද නොදමා, තමන් ගේ විශ්වාසයන්, වෛද්‍ය විද්‍යාත්මක ආරක්ෂක උපදෙස් අනුව සිදුකරීමට අවස්ථාව සැලසීමත්, මෙවන් අතිශය අවධානම් මොහොතක වුව ද අපි කල්පනා කළ යුතුය.
ඉතා කෙටියෙන් කිවහොත් එය මේසේය.
අති දුෂ්කරම තත්ත්වයක වුව ද, කිසියම් ප්‍රජාවක් විශ්වාස කරන සංස්කෘතික කරුණු අනුව, ‘නිසි පරිදි ආරක්ෂක ක්‍රම අනුගමනය කරමින් (උදා.WHO ප්‍රමිතීන්)’ මළවුන්ට අවසන් ගෞරව දැක්වීම සදහා ඇති අවස්ථා ගැන සලකා බැලීමත්, එසේ පූර්ණ ලෙස විද්‍යාත්මක අධ්‍යනයකින් පසු, අනෙක් සමාජ කණ්ඩායමවලට කිසිදු ආකාරයක, කුඩා හෝ බලපෑමක් ‘නැති බවට’ තහවරු කර ගැනීමෙන් පසු, එම සංස්කෘතික චාරිත්‍රවලට ‘ඉතාමත් සීමා සහිත ලෙස‘ අවසර දීමත් වැදගත්ය.
එසේම අනෙක් වැදගත් කරුණ වන්නේ, මරණයට පත් වූ පසු තමන් අදහන ආගම හෝ කුමන විශ්වාසයක් මත හෝ පදනම්ව, ඉතා හොදින් පරලොව යාම හෝ ‘දෙවියන් ලගට යාම’ වැනි විශ්වාස නිසා, ආගම නියම කර තිබෙන ආකාරයට අවසන් කටයුතු සිදුකර ගැනීමට තිබෙන (අන්ධ) වුවමනාව නිසා, අදාල රෝගය සමාජයෙන් වසන් කර සිටිමට ඉඩ තිබේ. මෙය ඉහතින් දැක්වූ ආකරයට අවසන් කටයුතු සිදු කරනවාට වඩා බියකරු නොවන්නේද?
නමුත් විශේෂයෙන් මෙවැනි අවදානම් සුවිශේෂ අවස්ථාවල දී, ආගමික නායකයන් කල්පනා කල යුතු තවත් වැදගත් දෙයක් තිබේ. මුල්බැසගත් සංස්කෘතික කාරණා ප්‍රමුඛ කර ගනිමින්, සමාජයක් ලෙස තව තවත් අවධානම දෙසට ම තල්ලු කරනවාද, එසේත් නැතිනම් සංස්කෘතික කාරණා ඉටු කිරිම සදහා, කිසියම් විකල්ප ක්‍රම පිළිබදව කල්පනා කරනවාද යන්නය. එය එසේ වන්නේ මෙය දෙවියන් හෝ කිසියම් ආගමක භක්තිය සහ ගෞරවය පිළිබද ප්‍රශ්ණයකට වඩා සමස්ථ මානව වර්ගයාගේ ජීවිතය පිළිබද ප්‍රශ්ණයක් නිසා වෙනි. එසේම එය, අප වැනි ධ්‍රවීකරණය වූ සමාජයක දී, ජාතිවාදි සහ වර්ගවාදී කෝණයකින් මේ ඇතැම් ඉල්ලීම් දෙස බැලීමෙන් ඒවා ‘ලේ’ හැලීමක් දක්වා වුව ද මේ තත්ත්වයන් දිගු දුර යා හැකිය. එබැවින් මේ මහා ව්‍යසනය අස්සේ එවැනි තවත් ඛේදනීය තත්ත්වයකට අප සමාජය තල්ලු වීම වැලැක්වීම ද දේශපාලකයාගේ සිට පුරවැසියා දක්වා ඇති ඉතාම බරපතල වගකීමකි. ඒ නිසා ඒ ”සමාජ වගකීම‘ පෙරදැරිව දැන්වත් අප මනා සිහිබුද්ධියෙන් කටයුතු කල යුතුම වන්නේ ය.
වසන්ත බණ්ඩාර