iMage: elements.envato.com

දරුණු රෝගාබාධ පිළිබඳ වෛද්‍යවරුන් දක්වන මතය යළි සිහිපත් කරගැනීම මෙතැනදී වැදගත් වනු ඇත. ආරම්භයේදී එවැනි රෝගාබාධවල මූලය අනාවරණය කරගැනීම අපහසු වනු ඇති මුත් රෝගයට කිසියම් හෝ බෙහෙතක් ලබාදීම අපහසු නොවනු ඇත. නමුත් කල් ගතව රෝගය පැතිර යද්දී රෝග මූලය හදුනාගෙන නොතිබුනහොත් රෝගය කුමක්දැයි දැනගන්නවා විනා එයට නිසි පරිදි ඖෂධ ලබාදීම කිසිසේත් සිදුකළ නොහැකිවනු ඇත. මැකියාවෙලි – The Prince ග්‍රන්ථය

යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක 2015 වසරේදී අධිකරණය ඉදිරියේ වරදකරු වූයේ 2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනයේ මුරුසවිල් ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී දෙමළ සිවිල් වැසියන් 08 දෙනෙකු සාපරාධී ලෙස ඝාතනයකිරීමේ වරදටය. සැරයන් සුනිල් රත්නායක අතින් ඝාතනය වූ පුද්ගලයන් අට දෙනා යුද්ධය හේතුවෙන් සිය මුල් වාසස්ථාන අහිමිව ගිය අයවලුන් විය. ඔවුන් අතරින් තිදෙනෙකු පිළිවෙලින් වයස අවුරුදු 5, 13 සහ 15 යන වයස්වල අය විය. මෙරට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් පවා යටකී චෝදනාවන්ට සැරයන් සුනිල් රත්නායක වරදකරු යැයි තීරණයකොට ඔහුට එරෙහිව දඩුවම් පමුණුවා තිබියදී ජනාධිපතිවරයා විසින් ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කර ඇති බව 2020 වසරේ මාර්තු 26 වන දා වාර්තා විය.[1] ජනාධිපතිවරයා විසින් සුනිල් රත්නායකට ජනාධිපති සමාව දීමට කටයුතු කරනු ඇති බවට රාවයක් පසුගිය මාස කිහිපයක් මුලුල්ලේම පැතිර තිබිණි. කෙසේ වෙතත් අවසානයේ එකී රාවය සත්‍යයක් බවට පත්වූයේ ගෝලිය වසංගත තත්ත්වයක් පාලනය කිරීම පිණිස පනවනු ලැබූ සාමාන්‍ය නොවන නීතිරීති මත මෙරට සාමාන්‍ය ජන ජීවිතය අහෝසි කර දමා තිබෙන, එසේම රාජ්‍යයක සාමාන්‍ය සුපුරුදු ක්‍රියාකාරීත්වය දැකිය නොහැකි කාලයකය. ජනාධිපතිවරයාගේ මේ පියවර සම්බන්ධයෙන් වඩාත් පුලුල් සාකච්ඡාවකට එළැඹීමට පෙර ඉහත කී ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගයේ වැදගත් සංසිද්ධීන් කිහිපයක් දෙස පසුවිපරමක් සිදුකර තිබීම වැදගත් වනු ඇත.

සුනිල් රත්නායක විසින් බාලවයස්කාර දරුවන් තිදෙනෙකු ද ඇතුලුව පුද්ගලයන් 08 දෙනෙකු මාර දැමීමට කටයුතු කළ ආකාරය පිළිබඳව ශේෂ්ඨාධිකරණය මෙසේ පවසයි. ‘ඒ ඒ මියගිය පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයේ ඉදිරි කොටසෙහි අඟල් දෙකක පමණ ගැඹුරට විහිදී ගිය තනි කැපුම් තුවාලයක් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කර තිබිණි. ඒ අනුව මියගිය පුද්ගලයන්ගේ මරණ ඔවුන්ගේ ගෙල ප්‍රදේශයට සිදුවූ අදාළ කැපුම් තුවාල නිසා සිදුවූ කම්පනය සහ අධික රුධිර වහනය නිසා සිදුව ඇතැයි වෛද්‍යවරයා තීරණය කර තිබිණි.’

මෙම ඝාතන සිදුකළ පුද්ගලයා විසින් අදාළ ඝාතන සැඟවීම සඳහා ගනු ලැබූ උත්සාහයන් පිළිබඳ අවධානය යොමුකරන අධිකරණය ‘යට කී ඝාතන සිදුකරන ලද පුද්ගලයා හෝ පුද්ගලයන් එම ඝාතන සඳහා ගිනි අවි භාවිත නොකර හඬ නොනැගෙන පරිදි යටකි ඝාතන සිදුකිරීමට තරම් සැලකිලිමත් වී ඇත. මෙය අදාළ අවස්ථාවේ එම ඝාතන සිදුවූ ප්‍රදේශයන්හි තිබූ අස්ථාවර පසුබිම තුළ සටන්කාමී කණ්ඩායම්වල අවධානය තමන් වෙත යොමු නොවන පිණිස සිදුකළ උපක්‍රමික ක්‍රියාවකි. මෙම තත්ත්වය යටකී ඝාතන සිදුකළ පුද්ගලයන් තමන් අවට ප්‍රදේශයෙහි ස්වභාවය පිළිබඳ පැහැදිලි අවබෝධයකින් සිටිමින් කටයුතු කළ බවටත් තම ක්‍රියාවන් තුළින් ඇතිවිය හැකි ශබ්ද හරහා තමන් වෙත අවධානය යොමුවීම වැලක්වා ගැනීම පිණිස ප්‍රවේශම් සහගත වූ බවටත් සාධකයකැයි උගත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා විසින් කරුණු දක්වා ඇත.’

නඩු විභාගයේදී සාක්ෂි දෙනු ලැබූ සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳ අදහස් දක්වන අධිකරණය ”ණචෝනාවට ලක්ව තිබෙන අභියාචනාකරු හෝ වෙනත් පාර්ශවයක් ‍දෝෂ ගත චෝදනාවකට හසුකිරීමේ කවර හෝ අවශ්‍යතාවයක් මහේසවරන් සතුවූ බවට ඉඟියක් හෝ නොතිබිණි.” යැයි ප්‍රකාශකරයි.

ඉහතකී ඝාතනයන්ගෙන් පසු ඝාතනයට ලක්වූවන්ගේ සිරුරු සොයාගත් ආකාරය පිළිබඳව – උදාහරණයක් වශයෙන් සුනිල් රත්නායක විසින් යටකී සිරුරු තිබෙන ස්ථානය පෙන්වා දුන් ආකාරය පිළිබඳව අධිකරණය විසින් පහත ප්‍රකාශය සිදුකර ඇත. ‘චූදිත අභියාචනාකරු (රත්නායක) විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අනුව මෙම සාක්ෂිකරු සහ හමුදා පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ ඝාතන සිදුවී යැයි සැලකෙන ප්‍රදේශයට පැමිණ ඇත. පළමු චූදිතයා වන අභියාචනාකරු විසින් පෙන්වා දුන් පරිදි අදාළ ප්‍රදේශයට පැමිණිමෙන් පසු පිරිස පදුරු සහිත කැලෑබද ප්‍රදේශයකට පැමිණ ඇති අතර චූදිත අභියානාකරු විසින් අත දිගුකර එක්තරා ස්ථානයක් පෙන්වා ඇත. ඉන් අනතුරුව කන්කසන්තුරේ පොලිස් බල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සහ චූදිත අභියාචනාකරු විසින් පෙන්වාදුන් ප්‍රදේශය පරීක්ෂාකරන ලෙස පොලීසියට නියෝග ලබා දුන් මහේස්ත්‍රාත්වරයා ද එම ස්ථානයට පැමිණ ඇත. ඒ අනුව ඝාතනයකර දමා තිබූ පුද්ගල මළ සිරුරු 08 ක් සොයා ගෙන ඇත. අනතුරුව එම ස්ථානයට පැමින සිටි ඝාතනය වූවන්ගේ ඥාතීන් විසින් මෙම සිරුරු හදුනාගෙන ඇති අතර ඒවා පිළිවෙලින් මෙම ඝාතන සම්බන්ධයෙන් වන අභිචෝදනා පත්‍රයේ නම් දක්වා ඇති පුද්ගලයන්ගේ බවට තහවුරු කරගන්නා ලදි. මෙම කාලය තුළ චාවකච්චේරි දිස්ත්‍රික් උසාවියේ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ ප්‍රේමශංකර් මහතා විසින් ලබාදුන් සාක්ෂියට අනුව මෙම මළසිරුරු සොයාගන්නා ලද්දේ චූදිත අභියානාකරු සහ මේජර් සොයිසා විසින් පෙන්වා දුන් භූමි ප්‍රදේශයෙන් බව පැහැදිලිය.’

යටකි ඝාතන සම්බන්ධයෙන් වගකිවය යුතු සියලුම පාර්ශව නීතිය ඉදිරියට පමුණුවා නැතැයි දක්වන අධිකරණය ‘තනි පුද්ගලයෙකු විසින් ඉහතකී සියලු ඝාතන සිදුකළා යැයි පැවසිම විය නොහැකි සහ කළ නොහැකි කාර්යයකි.’ එසේ හෙයින් මෙම ඝාතන පුද්ගලයන් කණ්ඩායමක් විසින් සිදුකළ ඝාතනයැයි සිතීම සාධාරණය.

වරප්‍රසාද සහ අගතීන් – ජනාධිපති සමාව ප්‍රදානය කරන ආකාරය.

සමාව ප්‍රදානය කිරීම යනු යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ කිසියම් අනර්ථයකට ලක්වූ පුද්ගලයෙකුට හෝ අතිශය සාධාරණ හේතු මත සමාව හිමිවිම යුතු වරදකරුවෙකුට සහන සැලසීම සඳහා වන ක්‍රියාවලියකි. නිදසුනක් වශයෙන්, ඇතැම් අපරාධ සහ වැරදි ඒවා සිදුවන පරිසරයේ එන නොයෙක් තත්ත්වයන්හි පෙළඹවීම නිසාවෙන් සිදුවූ ඒවා විය හැක. එවැනි අවස්ථාවක එකී අපරාධය හෝ වරද සිදුකළ පුද්ගලයා / පුද්ගලයන් මුහුණ දුන් සමාජ තත්ත්වයන් මෙන්ම අපරාධය සිදුවූ පසුබිම ද නියත වශයෙන්ම සැලකිල්ලට ගත යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ දැක්වෙන පරිදි සමාව ප්‍රදානය කිරීමේ සම්පූර්ණ බලය විධායක ජනාධිපතිවරයා සතුවේ. එසේම ජනාධිපතිවරයාට ඕනෑම වරදක්, අපරාධයක් හෝ සිරකරුවෙක් සම්බන්ධයෙන් සමාව ප්‍රදානය කිරීමට හැකියාව ඇත. අධිකරණ ක්‍රියාවලියක් මගින් වරදකරුයැයි තීරණයකරනු ලැබ මරණ දඬුවම නියමවූ අපරාධකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට පෙර ජනාධිපතිවරයා විසින් මූලික කාර්යයන් දෙකක් ඉටු කළ යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) අනු ව්‍යවස්ථාවේ දැක්වේ.

■ ජනාධිපතිවරයා විසින් යටකී අපරාධකරු සම්බන්ධයෙන් වන නඩුව විභාග කරන ලද විනිශ්චයකාරවරයාගෙන් එම නඩුව සම්බන්ධයෙන් වාර්තාවක් ලබා ගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, එම නඩුව පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ද යටකී විනිශ්චයකාරවරයාගේ වාර්තාව ද යන මේවා අධිකරණ විෂයභාර අමාත්‍යවරයා වෙත යැවිය යුතුයැයි නියම කර ජනාධිපතිවරයා විසින් ඉහත වාර්තාව නීතිපතිවරයා වෙත යැවිය යුතුය.

■ ඉන්පසුව අදාළ විෂයභාර අමාත්‍යවරයා විසින් සිය නිර්දේශ ද සමග එම වාර්තාව ජනාධිපතිවරයා වෙත එවිය යුත්තේය.

සුනිල් රත්නායක හට ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය තුළ ඉහතින් දක්වා ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය විධිවිධාන ක්‍රියාත්මක වූයේද යන වග මෙම සමස්ත ක්‍රියාවලියේම විනිවිදභාවය වෙනුවෙන් මහජනතාවට හෙළි කළ යුතුය. එසේ ඉහත කී ක්‍රමවේදය අනුගමනය කර ඇත්නම්, එකී ඒ ඒ අවස්ථාව තුළ ඉදිරිපත්වූ වාර්තාවන් මහජනතාවගේ දැනගැනීම පිණිස ප්‍රසිද්ධ කළ යුතුය. සුනිල් රත්නායකට විරුද්ධව මුල් අවස්ථා අධිකරණ විසින් පනවනු ලැබූ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලදුව වසරක් හෝ ගතවීමට පෙර මෙම සමාව ලබාදීම සිදුව ඇති හෙයින් ඉහතකී තොරතුරු හෙළි කිරීම අතිශය වැදගත් වේ. එවැනි කෙටි කාලයක් තුළ ඉහතකී දඬුවමින් අපේක්ෂා කළ පරිදි අදාළ පුද්ගලයාගේ පුනරුත්ථාපනයට ඉඩක් නොතබාම දැන් ජනාධිපතිවරයා විසින් ඔහු නිදහස් කර ඇත. දින කිහිපයකට ඉහත මෙම සිදුවිම් මාලාව සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ[2] පැවති වැඩසටහනකට එක්වූ සුනිල් රත්නායකගේ බිරිඳ ජනාධිපතිවරයා මීට වසර 04 කට ඉහතදී සුනිල් රත්නායකට නිදහස ලබාදීමට ප්‍රතිඥා දුන්නේ යැයි සඳහන් කරයි. ඉන් අනතුරුව ඇය වරදකරුවන්ට සමාව ලබාදීමේ ජනාධිපතිවරයාගේ කාර්යය සම්බන්ධයෙන් ඉටුකළ හැකි කවර හෝ රාජකාරීමය දායකත්වයක් නොමැති රාජ්‍ය නිලධාරීන් පිරිසකට සිය සැමියාට නිදහස දිනාදීම සම්බන්ධයෙන් ස්තූතිය ද පළකර සිටී.

ඓතිහාසිකව ගත්කල නිසි ක්‍රමවේදයක් අනුගමනය කිරිමක් නොමැතිව, විනිවිදභාවයෙන් තොරව සහ අත්තනෝමතික ලෙස විධායකය විසින් ජනාධිපති සමාව ප්‍රදානය කළ අවස්ථා ශ්‍රී ලංකාව තුළ සුලබය. එසේ හෙයින් ජනාධිපති සමාව ප්‍රදානය කිරීමේ ක්‍රියාවලිය තවදුරටත් ක්‍රමවත් කළ යුතුව ඇත. එසේම එය අපරාධකරුවන් පුනරුත්ථාපනය වැනි සිර දඬවමකින් අපේක්ෂාකරන අරමුණු යම් තාක් දුරකට හෝ ඉටුවීමෙන් පසුව පමණක් වරදකරුවන්ට සමාව ලබාදෙන ක්‍රමයක් බවට පත්කළ යුතුය.

මෙම තත්ත්වය තුළ, වරදකරුවනට අනුකම්පාව ඉල්ලාසිටීමේ පෙත්සම් (Mercy petitions) වශයෙන් හැඳින්වෙන අපරාධකරුවන්ට සමාව ලබාදෙන ලෙස කෙරෙන ඉල්ලීම්වලට අදාළව ඉන්දීය විධායකය ගනු ලබන තීරණ සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය සතු පසුනිරීක්ෂණ බලය සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම වැදගත්වේ. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය සතූ යටකි පසුනිරීක්ෂණ බලය 1980 වසරේ විභාගවූ මාරු රාම් එදිරිව ඉන්දීය ජනරජය නම් නඩුවේ තීන්දුවෙන් නිර්ණය කරනු ලද්දකි. එසේම එය ධනන්දෝයි චැටර්ජි හෙවත් ධනා එදිරිව බටහිර බෙංගාල ප්‍රන්ත රජය, ස්වරන් සිං එදිරිව උත්තර ප්‍රදේශ් ප්‍රාන්ත රජය, සහ K.M. ඥානවතී එදිරිව බොම්බේ ප්‍රාන්ත රජය යන නඩු තින්දු හරහා තවදුරටත් තහවුරුකරන ලද බලයකි. ඉන්දීය රජය යටකී නඩු තීන්දු හරහා වරදකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් වන විධායක බලය යනු සානුකම්පාව පදනම්වූ පරිපාලන ක්‍රියාවක් බවත් එය අයිතිවාසිකම් පිළිබඳ වන ගැටලුවක් වශයෙන් නොසැලකිය යුතු බවත් තීරණය කරන ලදි. කෙසේ වුවත් වරදකරුවනට සමාවදීමේ කාර්යය විධායකය විසින් ඉටුකළ ආකාරය අත්තනෝමතිකද යන වග විමසා තීරණයකිරීමේ අධිකාරී බලය සහ වගකීම තමන් සතුව ඇති බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත නඩු තීන්දු හරහා නැවත නැවතත් අවධාරණය කරන ලදි. ඉහත නඩු තීන්දු හරහා තහවුරු කරන ලද ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ යටකී මතය එපූරූ සුධාකර් සහ අනර් එදිරිව ආන්ද්‍රා ප්‍රදේශ ප්‍රාන්ත රජය සහ තවත් අය යන නමින් 2006 වසරේ නිර්නය වූ අතිශය වැදගත් නඩු තීන්දුව සඳහා සෘජුවම හේතුවන ලදි. වරදකරුවන්ට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඉදිරිපත්වන පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට හෝ ඒවා අනුව යමින් අදාළ පුද්ගලයන්ට සමාව ප්‍රදානය කිරීමට ඉන්දීය ජනාධිපතිවරයා ලබා දෙන නියෝග අභියෝගයට ලක්කිරීම සඳහා වන නෛතික පදනම ඉහතකී තීන්දුව හරහා සකස්විය. ඒ අනුව –

■ අදාළ නියෝගය එම නියෝගය අදාළ වන්නාවූ තත්ත්වයන් පිළිබඳ නිසි අවධානය දැක්වීමකින් තොරව සිදුකර ඇති අවස්ථාවන්හි,
■ අදාළ නියෝගය අනිසි අරමුණු සහිතව එනම් අසත්භාවීව නිකුත්කර ඇති අවස්ථාවන්හි,
■ අදාළ නියෝගය අදාළ නොවන හෝ පරිබාහිර සාධක මත පදනම්ව නිකුත් කර ඇති අවස්ථාවන්හි,
■ අදාළ නියෝගය සඳහා පාදක කරගත යුතු මූලාශ්‍ර නිසි පරිදි අවධානයට ලක් නොකර එම නියෝගය නිකුත් කර ඇති අවස්ථාවන්හි,
■ අදාළ නියෝගය අත්තනෝමතික ලෙස ගනු ලැබී තීරණයක් මත පදනම්ව ඇති අවස්ථාවන්හි,

වරදකරුවනට සමාව ප්‍රදානය කිරීම පිලිබඳ වන ඉන්දීය ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කළ හැක.

මෙයට අමතරව, 2005 වර්ෂයේදී එවකට ඉන්දීය ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළ අබ්දුල් කලාම් මහතා ද මේ සම්බන්ධයෙන් සුවිශේෂී පියවරක් ගනු ලැබීය. ජනාධිපති සමාව ප්‍රදානයකිරීම සම්බන්ධයෙන් ඉන්දීය ව්‍යවස්ථාවෙන් ජනරජයේ ජනාධිපතිවරයා වශයෙන් තමන්ට පැවරී ඇති බලය ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව නිර්ණායක කිහිපයක් තමන් විසින්ම පනවාගෙන ඒ අනුව කටයුතුකිරීමට ජනාධිපති අබ්දුල් කලාම් එහිලා කටයුතු කළහ.

සුනිල් රත්නායක සම්බන්ධයෙන් ජනාධිපති සමාව ප්‍රදානයකිරීමේ නිසි ක්‍රියාවලිය, එසේ නැතහොත් එවැනි නිසි ක්‍රියාවලියක් මෙරට තුළ නොමැතිවීම, සම්බන්ධයෙන් ඉහතින් පළ කළ අදහස් තරම්ම වැදගත් වනුයේ අදාළ සමාව ප්‍රදානයකිරීම කවරම තත්ත්වයක් යටතේ වුව අවශ්‍ය වූ එකක්ද යන්නයි. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් යලි යලිත් ප්‍රකට වන පරිදි ඉහතකී ඝාතකයන් අතිශය අමානුෂිකය. ඔවුන් විසින් මෙම ඝාතන සිදුකිරීමට මෙන්ම එකී ඝාතනවලින් අනතුරුව ඒවා හෙළිවීම වැලැක්වීමටද කාලය ගතකර දැඩි සේ උත්සාහ කර තිබිණි. මෙම ඝාතන යනු අහම්බයන් නොව සිතා මතා සැලසුම් කර සිදුකළ ඒවාය යන වග ඒ හරහා තහවුරු වේ. මේ ඝාතන සම්බන්ධයෙන් සුනිල් රත්නායක කිසිදු හෝ අවස්ථාවක මොනයම් හෝ පසුතැවීමක් ප්‍රකට කර නොමැතිවීම අනෙක් වැදගත්ම කාරණයයි. ඝාතනයට ලක්වූවන්ගේ මළ සිරුරු සඟවන ස්ථානය පෙන්වා දුන්නේද ඔහු විසින් වුවද මෙම ඝාතන සම්බන්ධයෙන් වරද භාරගැනීමට ඔහු කිසිදු අවස්ථාවක කටයුතු නොකළහ. නඩු විභාගය අවසානයේදී තීන්දුව දීමට පෙර විත්තිකරු විසින් විත්ති කූඩුවෙහි සිට සිදුකරන ප්‍රකාශයේදී (Dock statement) නැවත ද වතාවක් තමන්ට මෙම ඝාතන සම්බන්ධයෙන් කිසිදු හෝ සම්බන්ධයක් ඇතැයි පිළිගැනීම ඔහු විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඔහු විසින් සිදුකළ යටකී ප්‍රකාශය මුලුමනින්ම ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය ගනු ලැබූ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද අනුමත කරන ලදි. තිස් වසරක දීර්ඝ යුද්ධයක් තුළ සිදුවූ සිය දහස් ගණනක් වන මානව හිමිකම් උල්ලංඝණයන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට රජයේ පාර්ශවය දිගින් දිගටම අසමත්ව තිබේ. එවැනි පසුබිමක් තුළ මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනයට ලක් කළ – විශේෂයෙන්ම ගැටුම්කාරී පරිසරයක් තුළ මානව හිමිකම් උල්ළංගනය කළ අපරාධකරුවෙකු, නීතිය ඉදිරියේ වරදකරුවෙකු කරනු ලැබූ මෙරට ඉතිහාසයේ අතිශය දුර්ලභ අවස්ථාවක් දැන් යළි ආපසු හරවා තිබේ. එය යුක්තිය සහ සාධාරණත්වය අතින් ගත් කල දරුණු පරාජයකි. එසේම එය අතීතයේ සිදුවූ වැරදි සම්බන්ධයෙන් සාධාරණය ඉටුකිරීම පිළිබඳව ද රජය සහ දෙමළ ජනතාව අතර මෙන්ම ඒ ඒ ජනවර්ග අතර විශ්වාසය ඇතිකිරීම සම්බන්ධයෙන් ද ගත් කළ අතිශය අනර්ථකාරී තත්ත්වයකි.

සමාජ තත්ත්වයන් සහ අනතුරාසන්න බව

ඕනෑම සමාජයක නිශ්චිත මිනිසුන් කණ්ඩායමක් හෝ කිහිපයක් සෑම විටම පාහේ ඓතිහාසික වශයෙනුත්, ක්‍රමානුකූල සහ සැලසුම් සහගත වෙනස්කොට සැලකීම්වලටත් ලක්වේ. එබැවින් එවැනි කණ්ඩායම් ප්‍රචණ්ඩත්වයටත් සූරාකෑමටත් ගොදුරුවීමේ ප්‍රවනතාවය වැඩිය. ශ්‍රී ලංකාවේ සුලුතර ජන කණ්ඩායම් යනු පහසුවෙන්ම මේ වර්ගිකරණයට වැටෙන්නන්ය. ඉහතකී අනතුරාසන්නභාවය හේතුවෙන් මෙම ජනවර්ග තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් භුක්තිවිඳිමට හෝ ඒවා නිසි පරිදි භාවිතකිරීමට හෝ අවස්ථාවක් නොලබන්නන්ය. අනෙක් අතට එකී අයිතිවාසිකම් අහිමිවීම නිසාම ඔවුන් තවදුරටත් ප්‍රචන්ඩත්වයේ ගොදුරුබවට පත්වේ. තමන්ට මුහුණදීමට සිදුවන ප්‍රචණ්ඩ අතෝරයන් සම්බන්ධයෙන් යුක්තිය හෝ සාධාරණය ඉටුකරගැනිමට ඔවුනට ඇති අවස්ථාවන් පවා දිගින් දිගටම සීමා සහිතවේ.

මුරුසවිල් සමූළ ඝාතනය සම්බන්ධයෙන් ගත්කල එයින් ජීවිත අහිමිවූවෝ යනු ශ්‍රී ලංකාවේ ගැටුම් නිසා සිය මුල් වාසස්ථාන අහිමිවූවෝය. බොහෝ විට යුද්ධය නිසාවෙන් අවස්ථා කිහිපයකදීම ඔවුනට සිය උන්හිටි තැන් අහිමිවන්නට ඇත. ඒ නිසාවෙන්ම ඔවුන්ගේ දේපළ ද ජීවිකාව පවත්වාගෙන යාමේ ක්‍රමවේද ද ඔවුනට බොහෝ කලකට පෙර අහිමිව යන්නට ඇත. එනිසාවෙන් අදාළ සිද්ධිය සිදුවන අවස්ථාව වනවිට සිය ජීවිත හෝ ආර්ථිකය පිළිබඳ කවර හෝ අනාගත බලාපොරොත්තුවක් නොමැතිව ඔවුන් ජීවත් වෙමින් සිටින්නට ඇත. නඩු විභාගයේදී කියවුනු පරිදි ඔවුන් සෑම දිනකම තම දේපළ පිහිටි භූමි භාගයට පැමිණීමත් ඒ ඉඩම්වල පිහිටි කවර හෝ පළදාවක් හෝ ගතහැකි යමක් ලබාගෙන නැවත සවස 4.00 ට පෙර එතැනින් ඉවත්වීමට කටයුතු කිරීමත් හරහා කියවෙනුයේ මේ මිනිසුන් අත්විඳි ආර්ථික පරිහානියේත් සිය ජීවිතවල සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වූ අවිනිශ්චිතභාවයේත් තරමය. ඉහතකී සියලුම ලක්ෂණ මේ මිනිසුන් තව තවත් ප්‍රචණ්ඩත්වයේ ගොදුරු බවට පත්කළ සමාජ තත්ත්වයන්ය. දැන් ඉහතකී තත්ත්වයන් තවදුරටත් ඔවුන් වෙනස්කොට සැලකීම්වලටත්, සාමාජයිය වශයෙන් ආන්තීකරණයට ලක්කර සලකනු ලැබීමටත් සලස්වා පහසුවෙන් අනතුරට ලක්වන්නන් බවටත් පත්කර ඇත. දැන් මේ සියල්ලක් නිසාම තමන්ට සිදුවූ අසාධාරණයන් සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනිමට ඔවුන්ගේ පවුල්වලට තිබූ අවස්ථාවන්ද අහිමිව ගොස් ඇත. මේ ලිපියෙහි පළමු ඡේදයේදීම ඝාතනයට ලක්වූවන්ගේ ජනවර්ගය විශේෂයෙන් නම්කිරිම අත්‍යවශ්‍ය වනුයේ මේ පසුබිම තුළය. ඒ හරහා ඇතැම් සමාජ තත්ත්වයන් විසින් ජන කණ්ඩායම් මත ඇතිකර ඇති නොයෙක් ආකාරයේ අවිනිශ්චිතතාවයන් පැහැදිලිවනු ඇත.

ඉහත කී ඝාතනයන්ගෙන් දශක දෙකක් ගතවී ඇති අද්‍යතනයේ පවා කවර හෝ නිසි ක්‍රමවේදයක් අනුගමනය කළ බවට සංඥාවක් හෝ නොමැතිව, එසේම අපරාධකරුවන්ගේ පුනරුත්ථාපනය හෝ තමන් කළ වැරදි සම්බන්ධයෙන් ඔවුන් තුල පසුතැවීමක් ඇතිවූවාද යන්න පිළිබඳ නොසිතාම විධායකය විසින් අපරාධකරුවනට සමාව ලබා දේ. එසේ සිදුවෙද්දී ඒ පිළිබඳ ඇතිවූ මහජන විරෝධය අතිශය කුඩා සහ සුලු එකකි. සුනිල් රත්නායකට සමාව දීම පිළිබඳ යටකී සමස්ත සිද්ධිය සම්බන්ධයෙන් ඇතිවූ සුලු මහජන විරෝධය අපට ඉතිරි කරන ප්‍රශ්නය නම් ඇතැම් ජිවිතවලට කිසිදු හෝ වටිනාකමක් නැතිබව නොවේද ? ඇමරිකානු දර්ශනවේදිනියක වන ජූඩිත් බට්ලර් වරක් සඳහන් කළ පරිදි “අප” යුද්ධයකට මැදිව ජීවත් වෙමින් සිදුකරනුයේ වඩාත් වටින්නේ කාගේ ජීවිතයද? ශෝකවිය යුත්තේ කාගේ ජීවිත වෙනුවෙන් ද? වැළපිය නොහැක්කේ කාගේ ජීවිත වෙනුවෙන්ද? යන වග අසමිනි. යුද්ධය යනු රටක මිනිසුන්ගේ ජීවිත ශෝක විය යුතු ජීවිත සහ ශෝක නොවිය යුතු ජීවිත හිමි අයවලුන් වශයෙන් බෙදා වෙන්කරන ක්‍රියාදාමයක් වශයෙන් අප විසින් තේරුම්ගත යුතුව ඇත. ඒ අනුව වටිනාකමක් ඇත්තේ එක් කාණ්ඩයක ජීවිතවලට පමණි. වටිනාකමක් නොමැති ජීවිත කිසිදා ජීවත් නොවන්නන් බැවින් එවැනි ජීවිත අහිමිවීම වෙනුවෙන් ශෝක නොවිය යුතුය. ඒවා හිමිව තිබුනේ කිසි දිනෙක ජීවිතයක් වශයෙන් වටිනාකමක් හිමි නොවූවන්ටය. ඉහත සිදුවීම් නිසා අහිමිව ගිය ජීවිත 08 පිළිබඳ කිසිවෙකුට හෝ තැකීමක් නොමැතිනම් ජූඩිත් බට්ලර් පවසන ආකාරයට එය එසේ වන්නට ඇත්තේ අප අවට ඇති ලෝකය පිළිබඳ අපි අවබෝධ කරගන්නා ආකරය මත අපට යමක් දැනෙන ආකාරය බොහෝ සේ වෙනස්වන නිසා විය හැක.

අප විසින් සංවේදනය කරනා හැඟීම් දැනීම් අප ඒවා තේරුම්ගන්නා ආකාරය මත වෙනස්වීම අනිවාර්යය. එසේ හෙයින් ඉහත මිය ගිය පුද්ගලයන් 08 දෙනා හුදෙක්ම රටේ උතුරෙහි වාසයකිරීම නිසා හෝ ඔවුන් දෙමළ වීම නිසා ඇතැමුන් ඔවුන් තේරුම් ගනු ඇත්තේ ත්‍රස්තවාදීන් වශයෙනි. එසේ හෙයින් අහිමිව ගිය ඒ ජීවිත 08 ට වටිනාකමක් නොමැත. ඒවා අවම වශයෙන් ජීවිත ද නොවන්නේය. මේ සමස්ත තත්ත්වය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය[3] විසින් 2015 දී සිදුකළ අධ්‍යනයකින්ද පැහැදිලිවිය. මෙම අධ්‍යනය යටතේ අවධානයට ලක් කෙරුණු Saving Sunil නමින් වූ ෆේස්බුක් පිටුවක සුනිල් රත්නායක නිදහස් කරගැනිමේ ක්‍රියාවලිය සාධාරණය කරගැනීමේ මූලික උපාය වූයේ සුලුතර ජනවර්ගවලට එරෙහිව වෛරය පැතිරවීමයි. එහිදී සියලුම දෙමළ ජනතාව යනු කොටි ත්‍රස්තවාදීන් වශයෙන් හදුන්වනු ලැබූ අතර ඒ අනුව ත්‍රස්තවාදීන් 08 දෙනෙකු මරා දැමූ සුනිල් රත්නායක සාධාරණීකරනය කරනු ලැබිනි. අපරාධයක වින්දිතයන් අනුකම්පාව ලැබීමට නුසුදුසු, ශෝක නොවිය යුතු ජීවිත ලැබූවන් වශයෙන් දැක්වීම තුළ ඔවුන්ට එරෙහිව සිදුකළ අපරාධ සාධාරණ ක්‍රියාවන් බවටත්, අපරාධ නොවන ක්‍රියාවන් බවටත් පත් කර ඉන් අනතුරුව එකී ක්‍රියාව සිදුකළ පුද්ගලයා වීරයෙකු බවට පත් කළේය.

අර්බුද කාලයක පුරවැසි වගකීම

Covid-19 වෛරසය සහ ප්‍රජාතන්ත්‍රවාදය විෂයෙහි එහි බලපෑම පිළිබඳ යුවාල් නෝවා හරාරි විසින් ලියන ලද නවතම ලිපියකට අනුව කොරෝනා වෛරසය යනු පුරවැසියන් සම්බන්ධයෙන් වන පරීක්ෂණයකි. වසංගත කාලයක් තුළ වෛරසය පාලනයට අත්‍යවශ්‍ය යැයි හුවා දක්වමින් රජය විසින් අනුගමනය කරන නොයෙක් ක්‍රියාමාර්ගයන්හි පළමු ගොදුර අදහස් ප්‍රකාශකිරීමේ නිදහසට ඇති අයිතිය විය හැක. එහිදීත් විශේෂයෙන්ම රජයේ ක්‍රියාමාර්ග හෝ එහි අසමත්වීම් විවේචනයකිරීමට ඇති නිදහස බරපතල ලෙස තර්ජනයට ලක්විය හැක.

ශ්‍රී ලංකාව තුළ අපගේ ඉතිහාසය පුරාවටම නිදහසේ සිය අයිතින් භුක්තිවිදීමට මිනිසුනට ඇති අයිතිය අවස්ථා ගණනාවකදීම සීමාකිරිම්වලට ගොදුරුව ඇත. එවැනි සීමාකිරීම්වලට ලක්වූ ප්‍රධානතම අයිතියකි අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. කෙසේ වුවද අර්බුදකාරී කාලවලදී පවා සත්‍ය කතා කිරීමටත් විධායකයේ තීරණ විවේචනය කිරීමටත් යනාදියට ඇති අයිතිය යනු පුද්ගලයෙකුට සිය පුරවැසියභාවය ක්‍රියාවේ යෙදවීමට ඇති ආකාරයන්හි වඩාත් ප්‍රමුඛතම ප්‍රවේශයක් බව අප විසින් අවබෝධ කරගත යුතුව ඇත.

ජනාධිපතිවරයා විසින් සුනිල් රත්නායකට සමාව දීමේ ක්‍රියාවලිය, ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින්නන්, සහ නිහඬව නොසිටින්නන් විසින් කියන්නේ කුමක්ද යන මේ සියල්ලෙන්ම පැහැදිලිව පෙනෙනුයේ නන්විධ සමාජ, ආර්ථික සහ දේශපාලන තත්ත්වයන් යටතේ ඒ ඒ පුද්ගලයාගේ අදහස් ප්‍රකාශකිරීමේ නිදහස දරුණු ලෙස බලපෑමට ලක්වන බවයි. උදාහරණයක් ලෙස මෙම සමාව ප්‍රදානයකිරීම නිසා බරපතල කම්පනයට ලක්වූ එහෙත් පළිගැනීම්වලට ලක්වීමේ බිය නිසා ඒ පිළිබඳ විවෘත සමාජයේදී කතාකිරීම ප්‍රතික්ෂේප කරන ඇතැමුන් මා සමග ඒ බව පවසා ඇත. මගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වූ මගේ ඇතැම් මිතුරන් සහ වෘත්තීය සඟයන් මේ ලිපිය තුළ මා විසින් ලිවිය යුත්තේ සහ නොලිවිය යුත්තේ මොනවාද යන්න පිළිබඳ මා හට අනතුරු හඟවන ලදි. ඒවාට අනුව, මේ ලිපිය ලියන ආකාරය අනුව මා ද්‍රෝහියෙකු හෝ රටට විරුද්ධ අයෙකු හෝ මට පහර ගැසිය හැකි වෙනත් ඕනෑම ලේබලයකින් හෝ මා හැදින්වෙනු ඇත. එසේ හෙයින් මේ මොහොතේ අපරාධකරුවනට සමාව දීම පිළිබඳ ජනාධිපතිවරයාගේ බලය පිළිබඳ බියකින් තොරව විවෘතව හා නිදහස්ව සංවාද කළ හැකි පරිසරයක් මෙරට තුළ තිබේද යන්න අර්බුදකාරී කාලයක් තුළ වුව විකල්ප මත දැරීමට අපට අයිතියක් තිබේද යන වගත් පුරවැසියන් වශයෙන් අපගේ කාර්යය නිදහස්ව සහ සම්පූර්ණව ඉටුකිරිමට අපට හැකියාව තිබේද යන්නත් පිළිබඳ පරීක්ෂණයක් වනු ඇත.

අම්බිගා සත්ගුනනාදන් | Ambika Satkunanathan

*ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් අම්බිගා සත්ගුනනාදන් විසින් Groundviews වෙබ් අඩවියට ලියන ලද Justice in the time of a pandemic ලිපිය සිංහලට පරිවර්තන කලේ ප්‍රගීත් ලියනාරච්චි විසිනි.

ග්‍රව්න්ඩ්වීව්ස් විසින් පළ කල ලිපියේ සිංහල පරිවර්තනය උපුටා ගැනීම ‘සමබිම’ වෙබ් අඩවිය.

[1] Sergeant Ratnayake was sentenced to death, a punishment which has been recognized in international human rights law as torture and has to be abolished. This article shall not discuss the reasons the death penalty should be abolished but will focus only on the use of the Presidential pardon.

[2] Interview with Mrs. Ratnayake on Hiru TV https://youtu.be/1c_vGELr5qY

[3] Roshini Wickremesinhe & Sanjana Hattotuwa, ‘Saving Sunil: A study of dangerous speech around a Facebook page dedicated Sgt. Sunil Rathnayake’, Centre for Policy Alternatives, 2015 at https://www.cpalanka.org/wp-content/uploads/2015/10/SS-Final-RW-SH-formatted.pdf

[4] Yuval Noah Harari, ‘The World After Coronavirus’, 20 March 2020 at https://www.ft.com/content/19d90308-6858-11ea-a3c9-1fe6fedcca75