මේ ඡායාරූප කිහිපය මගේ කැමරාවට හසුවූයේ අප දැනට වෙසෙන ජර්මනියේ, කොරෝනා ආසාධිතයන්ගේ සංඛ්‍යාව 110,000ට ඉතාම ආසන්නව ද, මරණ සංඛ්‍යාව 2000කට වැඩියෙන් ද වාර්තා වී තිබුණු මොහොතක ය.
එහෙත් එය ඉරක් හෝ පැහැදුල් අහසක් හරිහමනකට නොදැක ගෙවුණු මාස ගණනකට පසු උදා වූ හොඳින් ඉර පෑයූ, නිල්වන් අහස් කුසක් දිස්වූ, තරමක් උණුසුම් දවසකි.
සතියකට වැඩි කාලයක් ගේ අස්සේ හිරවී සිටි අපි ද එළියට බැස්සෙමු. නගර මධ්‍යයේ උද්‍යානයකට වී සිහිල් බීර ඔඩමක රස බැලීමු. මේ ඡායාරූප මගේ කැමරාවේ සටහන් වූයේ ඒ අතරතුර ය.
වෙනත් වසරවල වසන්තයේ පළමු උණුසුම් හිරු කිරණ සමගින් උද්‍යානවල රොදබඳින මහ මිනිස් රංචු මෙවර මෙතෙක් නොදිටිමු. පවත්නා තතු යටතේ, දකින්නට ලැබෙතැයි ද නොසිතමු. දෙදෙනකුට වැඩියෙන් එක්රැස් වූ කණ්ඩායම් එහි නොවූ තරම් ය.
මේ මහා වසංගතය නොතකා ඔවුන් මෙසේ එළිබැස්සේ වසරේ පළමු උණුසුම් හිරුරැස් දහර ගත-සිත පුරා උරාගැනීමේ තෘෂ්ණාව විසින් ඇතැම් විට ඔවුන් ගේ මරණබිය පවා මොහොතකට පලවා හැරි නිසා වන්නට පිළිවන.
එය එසේ නම්, සදා හිරු කිරණින් දෙවුණු උණුසුම් මව්බිමකින් විසි වී ආ අපි ද මේ ආගන්තුක රටේ, වසංගතයක පහර කා, මිනිසුන් දහස්- සියදහස් ගණනින් ඇද වැටෙද්දී, හදිසියේ උණුසුම් හිරු කිරණකට ලොබ බැඳ මෙසේ එළි බැස සිටින්නෝ වන්නෙමු.
සනත් බාලසූරිය