කොරෝනා වෛරසය ආසාධන තත්ත්වය පාලනය කිරීම සදහා වන එක් පියවරක් ලෙස රට පුරා ඇදිරි නීතිය බලපැවැත්වෙයි. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට සියලු දෙනා නිවෙස් වලට වී සිටින්නට සෞඛ්‍ය අංශ උපදෙස් දෙන්නේ, තමන්ගේ මෙන්ම, සමස්ථ සමාජයේම ආරක්ෂාවට බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම උපදෙක් පිළිපැදීම සමස්ථ ජනතාවගේම මූලික යුතුකමක් සේම වගකීමකි.
කෙසේ නමුත, මේ තත්ත්වය තුළ ඊයෙ(10) බේරුවල ප්‍රදේශයේ ‘රා’ විකුණමින් සහ ඒවා පානය කරමින් සිටි පිරිසක් පොලීසිය විසින් වටලා, අත්අඩංගුවට ගැනීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය විය. එම වීඩියෝව තුළ සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරියෙක් ‘රා’ විකුණු පුද්ගලයෙක්ගෙන් මෙසේ අසයි. ‘දැන් විකුණනාවා යැයි කියන්නේ මොකද්ද? දැන් උඹ සල්ලි ගත්තද? ‘ගත්තා’ රා විකුණුවා යැයි කියන පුද්ගලයා පිළිතුරු දෙයි. ‘සල්ලි ගත්තා, බඩු දුන්නද?’ සිවිල් ඇදුමින් සැරසුණු නිළධාරියා අසයි. ‘දුන්නා මහත්තයා’ රා විකුණුවා යැයි කියන පුද්ගලයා කියයි. ‘ඒකට තමයි විකුණනවා කියන්නේ’ යැයි කියමින් අදාල නිළධාරියා එම ‘රා’ විකුණාවා යැයි කියන පුද්ගලයාට පහර දෙයි.
එම පහර දීම ‘දෙරණ’ නම් රූපවාහිණී නාලිකාව විසින් ප්‍රචාරය කරයි. පහර දීමත්, සිවිල් ඇදුමින් සිටි නිළධාරියාගේ ප්‍රශ්න කිරීමත්, කොරොන්ටයින් වී සිටීන සියලු දෙනා විනෝදයෙන්, චිත්‍රපට ජවනිකාවක් මෙන් නරඹනු දැකිය හැකිය.
පොලීසිය මිනිසෙක්ට පහර දීම සහ එය වීඩියෝ කර පෙන්වීම
ඔව්! ‘රා’ විකුණු මිනිසා කර ඇත්තේ නීති විරෝධී වැඩකි. ‘රා’ බීමට පැමිණි අයත් කර ඇත්තේ නීති විරොධී වැඩකි. ඒ ‘නිරෝධායන ඇදිරි නීතිය’ තුළ එසේ හැසිරීමත්, වගේම නීත්‍යානුකූල නොවන මත්ද්‍රව්‍ය විකිණිම සහ ඒවා පරිබෝජනය කිරීමත් ආදී කරුණු නිසා, ඔවුන් සියලු දෙනා නීතියට අනුව වැරදි කරුවන්ය.
නමුත්, දැන් මේ බොහෝ අයට ‘විනෝදය’ දනවන රූප රාමුව හි පෙනෙන, එහෙත් නොපෙනෙනවා යැයි සිතන දෙයක් තිබුණත් එය ප්‍රශ්ණ කරනු ලබන්නේ මේ සමාජයේ ඉතාම සුලුතරයකි. එය නම් ලංකාවේ පොලීසිය හෝ ඕනෑම ආරක්ෂක අංශයකට පුරවැසියෙක්ට පහර දීමට හැකියාවක් ඇත් ද යන්නයි.
කුමන හෝ පුද්ගලයෙක් වැරැද්දක් සිදුකල හොත් කල යුතු වන්නේ ඔහු හෝ ඇය අධිකරණයක් වෙත යොමු කිරීමයි. බොහෝ විට එම නීති විරෝධී කටයුතු සිදුකල අය අධිකරණය වෙත යොමු කරන්නේ පොලීසිය විසිනි. නමුත්, අප අත්දකින සත්‍ය නම් අධිකරණයට යොමු කිරීමට පෙර පොලීසිය හෝ අදාල ආරක්ෂක අංශවල සාමාජිකයන් විසින් එම පුද්ගලයන්ට පහර දෙනු ලැබීමය. එනම් දඩුවම් කිරීමයි. නමුත් ගුටි නොකා සිටීමේ නැතිනම් වද බන්ධනයට ලක් නොවී සිටිමේ අයිතියක් ලංකවේ නීතියෙන්ම තහවරු කර ඇති බවත් බොහෝ දෙනා දන්නා කරුණයි. 1994 අංක 22 දරණ වද හිංසාවට එරෙහි ජාත්‍යන්තර සම්මුතිය ශ්‍රී ලංකාවේ නීතියට ඈඳෑ ගැනීමේ පනත අනුව වද හිංසාව අපරාධයක් බවයි. (1994 අංක 22 වධ දිම හා අනෙකුත් කෲර, අමණුෂික හෝ අවමන් සහගත සැලකීම හෝ දඩුවම් වලට එරෙහි වූ සම්මුති පනත)
එය පමණක් නොවේ. අධිකරණයට හැර කිසිදු ආයතනයකට පුරවැසියෙක්ට දඩුවම් කිරීමේ බලයක් නැත, යන්නත් මේ සමාජයේ බොහෝ දෙනා දන්නා කරුණක් වුවත්, ඔවුන් සිටින්නේ නිශ්ක්‍රිය තත්ත්වයේ ය.
නමුත් මේ සියලු නීතින් දැන සිටි අදාල නිළධාරියා ඒ මිනිසාට පහර දෙයි. නමුත් පහර දීමට කිසිදු බලයක් තමන්ට නැති බවට මේ නිළධාරියා නොදන්නේ ද? නැත. එසේ නොදන්නේ නම් ඔහු එම තනතුරට සුදුස්සෙක් වන්නේ ද? නැත. නමුත්, දැන් අර ‘රා’ විකුණු මිනිසාට දඩුවම් හිමි වනු ඇත. නමුත් ඒ මිනිසාට පහර දුන් නිළධාරියා දඩුවම් හිමි වෙනවාද? අප හමුවේ ඇති ප්‍රශ්ණය එයයි. නමුත් නීතිය ආරක්ෂා කිරීමට බැදී සිටින එම නිළාධාරියාටත් ලංකාවේ නීතිය අනුව දඩුවම් හිමි විය යුතුමය. නමුත් එවන් දේ සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි.
එයට හොදම උදාහරණයක් කොරෝනා කාලයේම අප හමුවේ පෙනෙන්ට තිබිණි.
එනම් වසර ගණනාවක නඩු කටයුත්තකින් පසු, වයස අවුරුදු 5ක දරුවෙක් ඇතුලු නිරායුද මිනිසුන් 8 දෙනක් මරා දැමීමේ වරදට, මරණිය දණ්ඩනය නියම වී, බණ්ධනාගාර ගත කර සිටි, සුනිල් රත්නායක නම් හමුදා සාමාජිකයාට ජනාධිපති සමාව හිමි වීමයි.
එබැවින් එවැනි තත්ත්වයක් තුළ, මෙම පහර දීම සිදුකල නිළධාරීයාට දඩුවම් හිමිවේ යැයි සිතා ගන්නට හැකියාවක් තිබේද? එහි අනෙක් පැත්ත වන්නේ ‘අයියෝ පොඩි ගුටියක් නේ’ වැනි අදහසක් සමාජයෙන්ම නිර්මාණය වී, අදාළ නිළධාරීයා සාධාරණීයකරනය කිරීමට සමාජය පෙළඹවී සිටීමයි. ඇත්තටම කිවහොත් ඒ තත්ත්වයට ලාංකීය සමාජය මේ වන විට හැඩගසා ඇත. ඒ මේ මොහොතේ පවතින දේශපාලන ව්‍යාපෘතියේම එක් කොටසකි. ඉතින් අපි, වැරැද්ද ‘පොඩි’ සහ ‘ලොකු’ ලෙස දකිමු. තවත් වැරදි හෙවත් අධිකරණයෙන් දඩුවම් නියම කර සිටි වැරදි ‘හමුදාවෙ නේ, එයා රණවිරුවෙක් නේ’ යැයි කියා සාධාරණියකරනය කරමු.
ඒ වගේම, පොලීසිය කියනා පරිදි, ‘රාජකාරී විවේචනය කරමින්, සහ නිලධරයන්ගේ සුළු අඩුපාඩු මතුකර පෙන්වමින් ඉතා බරපතල ලෙස එම රජයේ සේවකයින්ගේ රාජකාරියට බාධා කරමින් සහ ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රකාශ ඇතුලත් වීඩියෝ දර්ශන සහ වෙනත් පලකිරීම්, අන්තර්ජාලය තුළ ප්‍රසිද්ධ කරන බව වාර්තා වී ඇත.’ එම අයට තදින් නීතිය ක්‍රියාත්මක කර බවටත්, අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කර බවටත් පොලීසිය නිවේදනය කරයි. බලන්න
දැන් එම නිවේදනයට අනුව මේ පොලිස් නිළධාරියා කරන්නේ ‘පොඩි වැරැද්දක්’ යැයි අර්ථරූපණය කළ හැකිය. නමුත් එම ‘පොඩි වැරැද්ද’ ඉතාමත් ‘බරපතල වැරැද්දක්’ සහ එය අදාළ පුද්ගලයාගේ ‘මූලික අයිතිවාසිකම්’ උල්ලංගනය කිරීමක් යැයි පවසමින් මේ සටහන ලියන ලියුම්කරු අත්අඩංගුවට ගැනීමට, ඉහත දැක්වූ මාධ්‍ය නිවේදනයට අනුව හැකියාවක් නැත්තේ ද නොවේ. නමුත් කවුරුන් හෝ නීතිය අභිබවා යමින්, අනීතික ලෙස හැසිරෙයි නම් එය විවේචනය කිරීමටත්, එයට විරුද්ධ වීමටත් අයිතියක් පුරවැසියෙක්ට තිබේ. එහී දි එම වරද සිදුකරන්නාගේ තරාතිරම හෝ වෙන කිසිවක් ආදල වන්නේ නැත. එය පුරවැසි අයිතියකි. එය කුමන හෝ දුෂ්කර තත්ත්වයක වුවද කිසිවෙක්ටවත්, කුමකින්වත් මර්දනය කිරීමට නොහැකිය. විශේෂයෙන් ‘වසංගත තත්ත්වයට’ මුවා වී එසේ මර්දනය කිරීමට සැරසෙනවා නම් ඔවුන් සිදුකරන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උදුරා ගැනීමකි. මූලික නීතියට විරුද්ධව ක්‍රියා කිරීමකි. එම නිසා පොලීසියට හෝ කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙක්ට මූලික නීතියට විරුද්ධව ක්‍රියා කල නොහැකිය. එය පවතින වසංගත තත්ත්වය තුළද එය එසේමය.
අප වටහා ගත යුතු අනෙක් සුවිශේෂි කරුණ නම්, කුමන දුෂ්කර තත්ත්වයක වුව ද නීතියෙන් පිට දඩුවම් කිරීම, පුරවැසි අයිතිවාසිකම් යටපත් කිරීම, ශිෂ්ට සමාජයන් හී නොකරන දෙයක් සේම, එවැනි දේට උනන්දු කරන්නේත් නැත. එය එසේ වන්නේ, එම ක්‍රියාවලින් විසින් එම සමාජය අනාගතයේදී ගැඹුරු අශිලාචර තත්ත්වයකට ඇද දමන නිසාය.
නමුත්, පොලීසිය ඇතුලු ආණ්ඩුව තේරුම් ගත යුතු ප්‍රධාන දෙයක් ඇත. එනම්, ඔනෑම රටක ප්රජාතන්ත්රවාදය, මානව හිමිකම්, මාධ්‍ය නිදහස ඇතුලු රටේ පුරවැසියන්ට අත්‍යවශය මූලිකාංග ආරක්ෂා කරමින් ඒවා ප්‍රවර්ධනය කරන්නේ ද යන්න හොදින්ම පරීක්ෂනයට භාජනය කළ යුතු තත්ත්වයක් වන්නේ එම රට අර්බුධයට යමින් හෝ අර්බුධයට ගොස් සිටින අවස්ථාවකය. එම නිසා ශ්‍රී ලංකාව එම අයිතිවාසිකම් කොරම් දුරට ආරක්ෂා කරමින් ප්‍රවර්ධනය කරනවා ද යන්න හොදින්ම තේරුම්ගත හැකි කාලය වන්නේ මේ ‘කොරෝනා වසංගත’ තත්ත්වයයි.
එම නිසා, මේ කාලය තුළ වසංගත තත්ත්වය පාලනය කිරීම වගේම, මිනිසුන්ගේ අයිතිවාසකම් ආරක්ෂා කිරීමත් එකසේ වැදගත් බව, පාලකයන් කෙසේ වෙතත් රටේ පුරවැසියන් තේරුම් ගැනීම ඉතා වැදගත්ය.
එය එසේ වන්නේ, කොරෝනා වසංගතය තව ටික කලකින් අවසන් වනු ඇත. නමුත්, වසංගත තත්ත්වය උපයෝගී කර ගනිමින් මිනිසුන්ගේ අයිතිවාසිකම් පාගා දැමීමට උත්සහ කරන තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත්, සහ එයට සමාජයේ අනුග්‍රහය හිමි වුවහොත්, සිදුවන්නේ, පුරවැසි අයිතීන්ගේ මිනීවල, පුරවැසියන් විසින්ම කපා ගැනීමකි. එබැවින් කොරෝනා පරාජය කරනවා සේම, මානව අයිතිවාසිකම් පාගා දමන්නට ගන්නා සියලු උත්සහයන් ද මේ මොහොතේ පරාජය කළ යුතුමය.
එය පශ්චාත් කොරෝනා ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇත. ඒ ‘ශිෂ්ටත්වය’ අර්ථයෙන් මිසක්, ‘මිලිටරීකරණ’ අර්ථයෙන් නොවන බවත් අප වටහා ගත යුතුව ඇත.