‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ කියලා පොස්ටරයක් ඊයේ(01) සමාජ ජාල වල පැතිරී ගියා. මම දන්න රම්සි කෙනෙක් නැති නිසා ටිකක් හොයලා බැලුවා. ‘අර මොනවද ෆෙස්බුක් එකේ ලිව්වා කියලා තමයි ඇරෙස්ට් කරලා තියෙන්නේ’ යළුවෙක් කිව්වා. තවත් යාළුවෙක් කිව්වේ, ‘මොනවද ලියලලු නේද?. පොලීසිය ඇවිල්ලා අරන් ගිහිල්ලා’ කීප දෙනෙක් විවිද දේවල් කිව්ව නිසා ටිකක් එබුනා ෆෙස්බුක් එකට. ඔහුව හොයන්න.

අමාරුවෙන් ඔහු ගේ ෆෙස්බුක් ප්‍රොෆයිලය හොයා ගත්තා. අමු ම අමු ‘ශුද්ධ සිංහලෙන්’ තියන ෆේස්බුක් එකක්. රම්සි විසින් ම දැමූ පෝස්ටුවක අවසාන දිනය ලෙස සදහන් වී තිබුණේ අප්‍රේල් 3වනදා. එහි තිබුන දේ ටිකක් වෙනස්. මෙන්න එකෙන් කෑල්ලක්.

‘චින්තන අරගලය ideological war සම්බන්ධයෙන් මම පලකල පෝස්ටුවත් සමගම අපගේ ප-ජාතිකවාදීන් සහ රට විරුවන් බොහෝ සේ කලබලයටත් කෝපයටත් පත්වී ඇති බව පෙනේ. ඔවුන්ගෙන් දිගින් දිගටම මට මරණ තර්ජන එල්ලවෙමින් තිබේ. කාලාන්තරයක් තිස්සේ දියත් වෙමින් පවතින සැලසුම් සහගත මුස්ලිම් විරෝදී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචන්ඩත්වයෙන් තොරව පෑන සහ කී-බෝඩය හසුරුවමින් මතවාදී අරගලයක නිරතවිය යුතු බවට මා දැක්වූ අදහස් සමහරුන්ට අනුව අන්ත ජාතිවාදී ප්‍රකාෂයක් වී ඇත.’

‘අර මොකද්ද ජිහාඩ් කියලා සීන් එකක් තමයි මුල් වෙලා කියලා කියන්නේ පොරව ඇරෙස්ට් කරන්න’ ඔය අතර තවත් මිතුරෙක් කීවේය. මම ජිහාඩ් කතාව මීට පෙර අසා තිබුණි. එහි ලංකාවේ පොළවේ සාකච්ඡාවට වඩා එහා කියවීමක් ඇති බවත් හොයා ගත්තේ මීට ගොඩක් කාලෙකට පෙරය. නමුත් අපේ රටට එය ‘අවුල්’ වචනයක් විදිහට ගනිමින් තියන බවක් පෙනෙන්නට තිබුණි. නමුත් ඇත්ත එය නොවන බව බුද්ධිමතුන් පවා පවසයි.

කෙසේ නමුත් අදාල පෝස්ටුව හෙව්වෙමි. අමාරුවෙන් හොයාගත් පෝස්ටුවයි මේ.

‘ශ්‍රී ලාංකික මුස්ලිම් සමාජය චින්තන යුද්ධයකට ideological war මුහුණ පා ඇත. රට තුළ ක්‍රියාත්මක වන ජාතිවාදී කල්ලි ඉතාමත් සූක්ෂම ආකාරයට දියත් කරනු ලබන මෙම චින්තන යුද්ධයට මුහුණ දීමට නොහැකි ආකාරයට මුස්ලිම්වරු හතරවටින්ම වටකරනු ලැබ ඇත.

දියත්වන ප්‍රබල බුද්ධි ප්‍රහාරයට එරෙහිව කිසිත් කල නොහැකිව මුස්ලිම් සමාජය ඒ දෙස තුෂ්නිම්භූතව බලා සිටී.
ජාතිවාදී සතුරන් සාර්ථකව ඔවුන්ගේ අරමුණ කරා ලඟා වෙමින් සිටී. මේ ප්‍රබල බුද්ධි ප්‍රහාරය හමුවේ මුස්ලිම්වරු පරාජය වෙමින් සිටී.

මුස්ලිම්වරු වහාම චින්තන ජිහාදයකට (මතවාදී අරගලය) සූදානම් විය යුතුය. එය මුලු මහත් ශ්‍රී ලාංකික පොදු සමාජය වෙනුවෙන් ඔවුන්ගේ කරමත පටවා තිබෙන ආගමික වගකීමකි. රට සහ එහි සියලු පුරවැසියන් වෙනුවෙන් පෑන සහ කී-බෝඩය අවියක් කරගනිමින් චින්තන ජිහාදයක (මතවාදී අරගලය) ට සූදානම් වීමට කාලයයි මේ. රටේ තවත් ජනකොටසක් වන මුස්ලිම්වරුන්ට එරෙහිව ගෙනයන වෛරී ප්‍රචාරණයට මුහුණ දීමට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඇතුළු පවතින සෑම අවකාශයක්ම යොදාගනිමින් ගනිමින් මතවාදී අරගලයක් මගින් ජනතාවට සත්‍ය වටහාදීම පිලිබඳව මේ අවස්ථාවේ මුස්ලිම්වරු වඩාත් අවදානය යොමුකල යුතුය.
නොහැක්කක් නොමැත.’

මොහු ලියා ඇති සමහර අදහස් සමග මා එකග නැත. එකක් නම් ‘ආගමික වගකීමක්’ යන්නය. ආගම කියන්නේ පුද්ගලික දෙයක්. ඒක තම තමන් කර ගන්න. මගේ අදහස ඒකයි. නමුත් එසේ කියා මට ඔහුගේ අදහස් දැරීමේ නිදහසට විරුද්ධ වීමට අයිතියක් නැත. ඒ ප්‍රචණ්ඩ නොවන, වෛරී නොවන වෙනත් මත, අදහස් සමාජයක ප්‍රගමණයට හේතුවක් විය හැකි නිසාය. ඒ වගේම කෙනෙක්ට ‘අදහසක් දැරීමේ නිදහස’ මා පිළිගන්නා නිසාය.

මගේ පුංචි මොළයට තේරෙන දෙය නම්, මුස්ලිම්වරුන්ට විරුද්ධව ගෙන යන වෛරී ප්‍රචාරණයට එරෙහිව ප්‍රචණ්ඩත්වය භාවිතා කරන්න යැයි මෙහී දී ඔහු යෝජනා කරන්නේ නැත. අයුධ වලින් පිළිතුරු සොයන්නට යැයි ඔහු යෝජනා කරන්නේ නැත. අඩුම තරමින් ගල් කැටයක් හෝ හෝ භාවිතා කරන්නට යැයි ඔහු යෝජනා කරන සංඥාවක් හෝ ඔහුගේ මේ ප්‍රකාශයෙන් රම්සි විසින් යෝජනා කරන්නේ නැත. ඉහත ඔහුගේ ප්‍රකාශයෙන් මට තේරුණේ එයයි.

‘ගහන්න ඕන’ යැයි ප්‍රසිද්ධ රූපවාහීනි නාලිකාවක් වන දෙරණ හි වැඩසටහනකදී චතුර නම් පුද්ගලයා කියන විට දී, ෆේස්බුක් හී සටහනක් ලියමින් රම්සි විසින් යෝජනා කරන්නේ ‘අදහස්වලින්’ පමණක්, වෛරී සහ අනිකුත් වෙනස්කොට සැලකීම් පරාජය කළ යුතුය යන්නය.
ඔහු යෝජනා කරන්නේ ඔහුගේ වචනයෙන් කියන්නේ නම් ‘මතවාද අරගලයකි’. එයට ඔහු චින්තන ජිහාදය යැයි නමක් ද දමා ඇත. ඇතැම් අය බිය වී ඇත්තේ එම නමට විය හැකි ය. නමුත් සාම්ප්‍රදායික ඉගැන්වීම්වල ‘ජිහාදය’ මෙළෙස අර්ථ ගැන්වෙන බව සදහන්..

‘ජිහාද් වර්ග 3ක් තියෙනවා.
1)තමන් සමග වූ ජිහාදය (මත්පැන් වලින් හෝ මත්කුඩු වලින් ඈත් වීමට කරන උත්සාහයන්, අධ්‍යාපනය ඉවර කිරීමට කරන කැප කිරීම්, තම ධනය බෙදා ගැනීම, තමන්ට එරෙහි වු කෙනෙකුට සිත නොරිදවීම, කේන්තිය පාලනය කිරීම)
2)සමාජයේ වැරදි සමග වූ ජිහාදය (මත්කුඩු වලට එරෙහිව සටන, දරිද්‍රතාවය එරෙහිව කරන වැඩසටහන්..etc)
3)සතුරන්ට එරෙහි ජිහාදය (ඒකාධිපතියකුට විරුද්ධව කතා කිරීම හා අරගල කිරීම, ආත්මාරක්ෂාව, තම සමාජයේ හා රටේ ආරක්ෂාව වෙනුවෙන් ඉදිරිපත් වීම, දුෂිතයින්ට විරැද්ධ වීම, සාධාරණය වෙනුවෙන් පෙනී සිටිම වගේ දේවල් මේකට අඩංගු වෙනවා.’

දැන් අපි මේ ඉහත තේරුම්කිරීම මදකට පැත්තකට දැම්මත්, ඉහත රම්සි විසින් ලියන ලද ඔහුගේ ‘සම්පූර්ණ ලිවීම තුළ’ කිසිදු තැනක ප්‍රචණ්ඩත්වයක් හෝ වෛරයක් පිළිබද කිසිදු අදහසක් ව්‍යංගයෙන්වත් යෝජනා කර නැත.

කොහොම උනත් මේ පිළිබද පැමිණිලි කර තිබෙන අය පැමිණිල්ලේ කුමක් සදහන් කළත්, ඒ ගැන විර්ශණය කරන අය විසින් එම සමස්ථ ප්‍රකාශයම සලකා බැලිය යුතුයි නේද?. එසේ නැතිව එහි තිබෙන කෑල්ලක් පමණක් හුදකලාව අරගෙන ඒ ගැන වැරදි අර්ථ නිරූපනයන් ලබා දී තීරණ ගැනීම මම හිතන්නේ අශිලාචාරයි. නීතියටත් පටහැනියි.

‘අත්අඩංගුවට ගැනීම පිළිබද පැහැදිලි සමාලෝචනයක් කරන්න’ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පොලීසියට නිර්දේශ කර තිබුණේ ද ඒ නිසා විය යුතුය.

අනෙක් කරුණ නම්, ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලය සැහෙන අන්තර්ගතයන් ප්‍රමාණයක් පිරික්සීමේදී ඔහු විසින් කිසිදු තැනක අනෙක් සමාජ කොටස් වෙත වෛරය මුදා හැරීමට කිසිදු උත්සහයක් ගෙන නැත. නමුත් ඔහු මතවාදී අදහස් ගෙනහැර දක්වමින් දැනුම සහ බුද්ධිය තුළින්, ප්‍රචණ්ඩ නොවන ක්‍රියාවලීන් යෝජනා කරයි. එය ඉතාමත් වැදගත් නොවන්නේද? කෙනෙක් ප්‍රචණ්ඩ නොවන නිතීයානුකූල, අදහස් ශීලාචාර අන්දමින් ප්‍රචාරය කිරීම අපේ සමාජයට අවශ්‍යයි නේද?

අනෙක මා විසින් නිරීක්ෂනය කළ කිසිදු පොස්ටුවක්, මාගේ දැනුමේ හැටියට, ෆේසබුක් හී ප්‍රජා ප්‍රමිතීන් උල්ලංඝනය කරන්නේ ද නැත.

කුමන හෝ සමාජ තීරුවක් දිගින් දිගටම පීඩාවට පත්කරනවා නම් එම පීඩාවට පත්වෙන සමාජ තීරුවෙන්, කුමක් හෝ ප්‍රතිචාරයක් එන බව කියන්නට රොකට් විද්‍යාවක් අපට අවශ්‍ය කරන්නේ නැත. නමුත් එම එන ප්‍රතිචාර විවිධ ස්වරූප ගනී. ලංකාවේ පසුගිය වසර 70 පිළිබද යම් විමසීමේදී එය තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. නමුත් රම්සි විසින් දක්වන ලද අදහස්, ප්‍රතිචාරවල බුද්ධිමය සහ ශීලාචාර ගතියක් සමග සමාජ එකමුතු භාවයක් ද අන්තර්ගත වී තිබිණි. එහි ඇතැම් තැන්වල සාමූහකත්වය පිළිබද ඉතා වැදගත් යෝජනාවන් ද වෙයි.

බලන්න,

“කුමක් කියම් ද ?
කොරෝනාවට වගේම බඩගින්නටත් ජාතියක්, ආගමක් නැත. නමුත් බඩගින්නට පංතියක් ඇත.
අපි හැමදෙනාටම අසල්වැසියෙක් සිටී.
ඔඛේ කෑම වෙලාවේදී ඔබේ ඒ අසල්වැසියා ගැනත් සිතන්න. කල හැකි දෙයක් ඔවුන් වෙනුවෙන් කරන්න. පවතින තත්වය නිසා කෙනෙක් වේලක් හෝ බඩගින්නේ සිටීනම් ජාතියක් වශයෙන් අප සියලූ දෙනා ඒ ගැන ලැජ්ජා විය යුතුය. “

සමස්ත සමාජය තුළ සංකීර්ණ තත්ත්වයක් ඇති වූ කොවිඩ් 19 සැදී සිදුවන මරණවල අවසන් කටයුතු පිළිබද රම්සි මේසේ ප්‍රතිචාර දක්වයි. බලන්න…

‘’…. ඉස්ලාම් යනු පිච්චීම හෝ වැලලීම නොවේ. මා දන්නා ඉස්ලාමය සකල ලෝකවාසීන් ට යහපතකි, සාන්තියකි. මානව වර්‍ගයාට අයහපත් වන කිසිවක් ඉස්ලාමය අනුමත නොකරයි. රෝගී වී මියගිය පුද්ගලයකු මිහිදන් කිරීම මිනිසාගේ සෞඛ්‍ය ට අහිතකර බවට වෛද්‍ය විද්‍යායානුකූලව තහවුරු වුවහොත් හෝ සමස්ත ජනයාගේ යහපත වෙනුවෙන් එසේ මිහිදන් නොකල යුතුබවට රජයක් විසින් සාධාරණ තීරණයක් ගතහොත් සමස්ත සමාජයේ යහපත වෙනුවෙන් එයට අවතතවීම මුස්ලිම්වරයෙකුගේ අනිවාර්යය වගකීමක් බවට මගේ දහමින් මට උගන්වා ඇත.
මේ අනුව මම හෙට කොරෝනාවෙන් මියගියත් මගේ දේහය මිහිදන් නොකර එය ආදාහනය කිරීමට මම විරුද්ධ නොවෙමි.’’
‘මෘතදේහයක් පවතින නීතියට යටත්ව තමන්ගේ ආගමික චාරිත්‍ර අනුව සිදුකිරීමට කරන ඉල්ලීමක් පවා ජාතිවාදයකට හරවගන්නා රටක ජීවත්වීමට සිදුවීම ගැන අවංකවම කණගාටුවෙමි.’

මෙවැනි අදහස් දියුණු අදහස් බව මාගේ හැගීමය!

දැකලාවත් නැති, කිසිම දිනක කතාවත් කර නැති කෙනෙක් ගැන ඔහුගේ ෆේස්බුක් ප්‍රොෆයිලය සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් පස්සේ මේ ටික ලිව්වේ අත්අඩංගුවට ගෙන ඇති අයෙක් ‘නිදහස් කරනු’ සදහන් පෝස්ටරය දැකීමෙන් ඇති වූ කුතුහලය නිසාය.

තවත් දෙයක් කිව යුතුය. අපේ රටේ කුමන හෝ අර්බුද අවස්ථාවක අනිවාර්ය ලෙස පීඩාවට පත්කරන පාර්ශවයන් කිහිපයක් සිටී. ඒ නම් සිංහල නොවන මිනිසාය. ඒ මුස්ලිම් මිනිසාය. වරෙක දෙමළ මිනිසාය.

‘ඇයි යකෝ තෝ මුස්ලිම් කඩෙන් කන්නෙ’ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පස්සේ මා මිතුරන් විසින් කීප වරක්ම මට කීවේය. මා වසර ගණනාවක් කෑම කාපු ඒ කඩේ මුදලාලිගේ ඇස් මම දුටුවෙමි. තව ඕනෑ තරම් උදාහරණ තියනවා. නමුත් දැන් අපි සියලු දෙනාම අයෙත් ඒ මුස්ලිම් කඩෙන් කන්නට යෑම මා සිත ට සියුම් සතුටක් එක් කරන්නේය.

‘අරුත් කොටින්ට උදව් කරනවා වෙන්න පුලුවන්’ එකට ෆුට් බොල් සෙල්ලං කරපු දෙමළ මිතුරා ගැන, 2007/2008 කාලවලදී ඇතැම් මා මිතුරන් කතා කළා අද වගේ මතකය. නමුත් අදටත් තෛයි පොංගල් දවසේ ගෙදරටම එන පොංගල් වල රහ බලන්න සැදී පැහැදි ඉන්න මා මිතුරන් දැක්කම ඝාතනයට විරුද්ධව අපි කළ පොඩි හෝ වැඩ ඵලදායකයි කියලා හීං සතුටක් එනවා.

නමුත් ඒ සියලු දේ ඇතුලේම ජාතිවාදයට විරුද්ධව, මරනවාට විරුද්ධව අදහස් බෙදාගත්ත බොහෝ දෙනෙක් හිටියා. ඔවුන් ලියපු, කියපු ඒවා වල කිසි තැනක වෛරය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් ගෑවිලාවත් තිබුණේ නෑ. කොයි තරම් පීඩනයක දී උනත් එහෙම ලියපු, කියපු… මුස්ලිම්, දෙමළ යාලුවො මට හිටියා. ඒ නිසා ම අපි අදත් ඒ ගැඹුරු සහෝදරත්වය වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ ආදරය වෙනුවෙන් පෙනී ඉන්නවා.

නමුත් ඒ කිසිවක් ජාතිවාදය මතින් බලය උදුරා ගන්න ඉන්න (අ)දේශපාලන ගන්දබ්බ දේශපාලක යැයි කියන කිසිදු අයෙක්ට වැඩක් නෑ. ඒ අදේශපාලන දේශපාකලයා විසින් දෙන ඕනැම අණක් ක්‍රියාත්මක කරන්න ඉන්න පොලීසිය ඇතුලු ආරක්ෂක අංශවලටද වැඩක් නෑ.

ඒ නිසාම, වෛරය සහ ප්‍රචණ්ඩත්වය, අන්තවාදය ගැන කිසිදු අවස්ථාවක සිය ෆේස්බුක් හී කිසිදු දෙයක් නොලියපු, අන්තවාදයට, ජාතිවාදයට විරුද්ධව පෙනී සිටි ‘රම්ස් රසීක්’ අද ඉන්නේ අත්අඩංගුවේ.

මෙය ශිලාචාර සමාජයක විය යුත්තක් නොවේ.

ශීලාචාර පාලනයක් නම්, අන්තවාදීන් බඩපිනුම් ගහනකොට අන්තවාදයට විරුද්ධව සිය අදහස් වපුරවන ‘රම්සිලා’ එම රාජ්‍ය විසින් රැකබලා ගත යුතුයි. ශිෂ්ට පුරවැසියන් නම්, ශිෂ්ටය සමාජයක් නම් රම්සි ලා වැන්නවුන් වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.

ඒ අන් කිසිවක් නිසා නොව, ඕනෑම සමාජයක් ඉදිරියට ගමන් කරනවා යැයි කියන්නේ ජාතිවාදයට, අන්තවාදයට සහ ප්‍රචණ්ඩත්වයට විරුද්ධව ඒ සමාජයේ පුරවැසි ක්‍රියාකාරීත්වය කොයි තරම් ප්‍රභලව හඩනගනවාද කියන එකත් සමගය.

එබැවින්, ජාතිවාදයට සහ අන්තවාදයට විරුද්ධව නැගෙන ‘හඩ’ වෙනුවෙන් පුරවැසියන් පෙනී සිටිය යුතුය. ශිෂ්ට දේශපාලන සංස්කෘතියක් බලාපොරොත්තු වන දේශපාලන පක්ෂ පෙනී සිටිය යුතුය. එසේම ජාතිවාදයට සහ අන්තවාදයට විරුද්ධව නැගෙන ‘හඩ’ සිරගත කිරීමට එරෙහිව පෙනී සිටිය යුතුය.

‘ප්‍රචණ්ඩත්වයට සහ අන්තවාදයට විරුද්ධව අදහස් දැරීම නිසා අත්අඩංගුවට ගත් රම්සි රසීක් ඇතුලු සියලු දෙනා නිදහස් කරනු’ යන්න වගේම ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමද වැදගත් වන්නේ ඒ නිසාය.

වසන්ත බණ්ඩාර