2019 වසරේ අපේ‍්‍රල් 21 වෙනිදා පාස්කු ඉරිදා දවස, දශක තුනක ම්ලේච්ඡ යුද්ධයක නිමාවෙන් පසුව ශ‍්‍රි ලංකාව ඉතිහාස ගතකළ ආකාරුණික ම කුරිරු ම ‘උදාව’ විය. දැරිය නොහැකි තරමේ, මිනිය නොහැකි තරමේ ජීවිත හා දේපල හානි සිදුවිය. සමාජීය වශයන් වින්දිත පාර්ශවය වටා දුක, වේදනාව, කළකිරීම මෙන්ම වෛරී හැගීම් ශේෂ වු අතර ඉන් එපිට සමාජය තුළ දැඩි අවිශ්වාසය, වෛරය, පළිගැනීම බුර බුරා නැගෙන්නට විය. ප‍්‍රහාරය අන්තවාදි කණඩායමක් විසින් දියත් කළ ද, ගැඹුරු ප‍්‍රචණ්ඩත්වය සහ දෝෂදර්ශණය නැමති දරුණු ප‍්‍රතික‍්‍රියාවට මුහුණ දෙන්නට සිදුවුයේ රට පුරා විසිරි සිටින සමස්ත මුස්ලිම් ප‍්‍රජාවට යි.

එහෙත්, ඉන් ඔබ්බට, සිදුවෙන්නට පිඹුරුපත් සැකසුණු දරුණු ඝනයේ ආගමික සහ වාර්ගික බිහිසුණු කැලඹීමක් සහ සංහාරයක් නවතා දමන්නට කිතුණු ආගමික නායකත්වයන් සමත් වුහ. එකී ජනතාවගේ ඉවසීම, උසස් ආධ්‍යත්මික සංයමය සහ තේරුම්ගැනීම යනාදි උතුම් ගුණාංගයන් වියුරුවැටුණු සමාජය මේච්චල් කරන්නට ප‍්‍රබල ශක්තියක් වුවා යැයි ද ඒ පිළිබඳව කිතුණු නායකත්වයට සහ ප‍්‍රජාවට ගෞරවයත්, ප‍්‍රණාමයත් පිදිය යුතු යැයි ද කොළඹ ඉස්ලාමීය දේවධර්මාචාර්ය, හස්මි පදනමේ සභාපති සහ අන්තර් ආගමික සාම පදනමේ භාණ්ඩාගාරික මවුලවි ලෆීර් මදනි ප‍්‍රකාශ කරයි.

වසරක ඇවැමෙන් පසුව පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන තවමත් ඔබට මොනවද හිතෙන්නේ?

ඒ සිද්ධිය ඉතාම කුරිරුයි. අමානුෂිකයි. ඒ කුරිරු සිද්ධි දාමය ගැන සෑබෑවට ම සිතට ගිය කිසිම කෙනෙකුට දීර්ඝ කාලයක් යන තුරු කිසිම ආකාරයකින් ”පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප‍්‍රහාරය” කියන සිද්ධිය අමතක වෙන්නේ නැහැ. අමතක කරන්නත් බැහැ, මොකද ඒ ප‍්‍රහාරය එල්ලකරන කොට දේවස්ථානවල වේවා හෝටල්වල වේවා හිඳිමින් සිද්ධියට ගොඳුරුවුණු ඒ සියලූම දෙනා ඉතාම අහිංසක බලාපොරොත්තු එක්ක ඒ උදැසන ගතකරමින් හිටිපු මිනිස්සු. ඒ වගේම දේවස්ථානවල හිටපු අය තමන්ගේ දෙවියන් සමග එකමුතුවෙලා ජේසුස්වන්සේ් මළවුන්ගෙන් උත්ථානවීම සිහිපත් කරමින්, ආශිර්වාදය ලබමින් සිටිය ඉතාම ගෞරවනීය, භක්තිමත් උදැසනක් ඒ මොහොත. ඒ නිසා මේ සිද්ධිය පහසුුවෙන් මිදෙන්න පුලූවන් එකක් නෙවෙයි. මගේ හිතවත්ම මිත‍්‍රයෙකුගේ පුත‍්‍රයා ගේ මුළු පවුලම ත් කටුවාපිටිය දේවස්ථානයේ දී එදා ජීවිත පූජා කළා.

ඒ ම්ලේච්ඡ සිද්ධිය නිසා ක්‍ෂණිකව මතුවුණු කෝපය, වේදනාව, අවිශ්වාසය, පිළිකුල සහ කලකිරීම සම්පුර්ණ වශයෙන් තවම දෝංකාර දෙනවා. සමාජය මේ සිද්ධිය දුටුවේ, නැතිනම් භාරගත්තේ කෙසේද යන්න ගැන ඔබේ අදහස කුමක්ද ?

ඔව්, මේ ම්ලේච්ඡ ප‍්‍රහාරය එල්ල කළේ එක්තරා අන්තවාදි මුස්ලිම් තරුණ කණ්ඩායමක්. නමුත්, ක්‍ෂණිකව සමාජයේ් බහුතරය මෙය ග‍්‍රහණය කරගත්තේ සමස්ත මුස්ලිම් ප‍්‍රජාව විසින් මෙහෙයවුවක් බවටයි. ”මුස්ලිම්” කියන නමට මේ ඛේදවාචකය බැරකළා. ඒ නිසා සමස්ත මුස්ලිම් සමාජයට ඉතාම දරුණු විවේචන වලට මුහුණ දෙන්න සිදුවුනා. දැරිය නොහැකි තරමේ වධ හිංසා, අපවාද, ජීවිත හානි සහ දේපල හානි වලට මුස්ලිම් ජනතාවට දිගටම මුහුණ දෙන්න සිදුවුණා. එල්ලවුණු මුස්ලිම් විරෝධී හිංසාවන්, ප‍්‍රචණ්ඩත්වය මැඩපවත්වන්න රාජ්‍ය ආරක්‍ෂාව පිළිබඳ ක‍්‍රියාවලිය සවිමත් ව ක‍්‍රියාත්මක වීම ආරම්භ කළාට පසුව, ගොඩනැගුණු ප‍්‍රචණ්ඩත්වය කෙමෙන් අවම වුණා. ඒවා මෙහෙයවපු කල්ලි කණ්ඩායම්වලට ඔවුන්ගේ අපේක්‍ෂිත සාපරාධි ඉලක්කයන් කරා මේ රට ගෙනයන්නට නොහැකි වුණා. එය රටේ ආරක්‍ෂක අංශයේ සාර්ථක උත්සාහයක් කියලා අපි දකිනවා.

මෙම ප‍්‍රහාරය පිටුපස ඇති සැබෑ බලවේගයන් මොනවාද, ඔවුන්ගේ අරමුුණු මොනවාද, අවසාන මොහොත දක්වා නැවත නැවතත් ලැබුණු අනතුරු ඇඟවීම් නොසළකා හැරියේ මන්ද? යන අත්‍යවශ්‍ය කාරණා සම්බන්ධයෙන් බොහෝ විමසීම් ආරම්භ කළ ද, ඒ කිිසිවක් මහජනතාව බාලාපොරොත්තුවෙන් සිටින පලදායි පිළිතුරු වුයේ නැහැ. මෙම ප‍්‍රහාරයන් සම්බන්ධයෙන් වර්තමානයේ්දි ක‍්‍රියාත්මක වෙමින් පවතින නීතිමය ක‍්‍රියාදාමය පිළිබඳව ඔබේ තක්සේරුව කුමක් ද ?

ප‍්‍රහාරයට වසරක් ගෙවීගෙන යන මොහොතේ රජය දියත්කළ පරීක්‍ෂණ වල නවතාවයක් අපි දුටුවා. මරාගෙන මැරන ප‍්‍රහාරකයින් සමඟ යම් යම් සම්බන්ධතා තිබෙන බවට චෝදනා කරමින් ඇතැම් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමක් සිදුවෙමින් පවතින අතර, ඒ තුළින් නුදුරු අනාගතයේදි යුක්තිය ඉටුවනු ඇතැයි ජනතාව අතර නව බලාපොරොත්තුවක් ඇති වි තිබෙනවා.

ජුනි මාසේ 20 වෙනිදාට මහ මැතිවරණය පවත්වන බවට රජය තීන්දුකර තිබෙන නිසා, පාස්කු ප‍්‍රහාරයේ විමර්ශන කටයුතු, මැතිවරණ අපේක්‍ෂාවන් වෙනුවෙන් වෙන් නොවී, දේශපාලන මෙහෙයවීමකින් තොරව සහ යම් පිරිසකට එරෙහිව වෛරය වැපරවීම් වලින් තොරව විමර්ශන කටයුතු ක‍්‍රියාත්මක වේවි යැයි සියලූම දෙනාම ඉතා ජ්වලිතව බලාපොරොත්තු සහගතව බලා සිටිනවා.

මේ දරුණු ප‍්‍රහාරය සහ ඉන් අනතුරුව ඉතිරිවු තත්ත්වය පාලනය කිරීමෙහි කිතුණු නායකත්වය පිළිබඳව ඔබේ හැඟීම කුමක් ද?

ඇත්තෙන්ම ශ‍්‍රි ලංකාවේ කතෝලික ප‍්‍රජාවගේ නායකත්වය අපි අගය කළයුතුයි. ඒ අර්බුදය කළමණාකරනය කිරීමට දැක්වු අසාමාන්‍ය දැක්ම, ධෛර්ය හා ක‍්‍රියාමාර්ග ප‍්‍රශංසනීය යි. එදා සිදුවීමේ සිට කිතුණු ප‍්‍රජාවේ නායකත්වය, කාදිනල් හිමිපාණන් විසින් ඇතිවෙන්නට ගිය අසාමාන්‍ය, ප‍්‍රකෝපකාරි තත්ත්වයන් ඉතාම කල්පනාකාරිව බුද්ධිමත්ව සහ දියුණු ආධ්‍යාත්මීක සංයමයකින් යුතුව මැඩපවත්වා ගත්තා.

අති උතුම් කාදිනල් හිමිපාණන් ඇතුළු පුජක පියතුමන් දැක්වු ඒ සංයමය, ඉවසීම, බුද්ධිමත්භාවය සහ කාදිනල් හිමිපාණන්ගේ ඉල්ලීමට කිතුනු ප‍්‍රජාව දැක්වු කීකරුකම ගැන ඒ කිතුණු නායකත්වයට වගේම කිතුනු ප‍්‍රජාවටත් අපි කොයිකාගෙත් ප‍්‍රණාමය හිමි විය යුතුයි. මොකද, ඔවුන්ගේ ඒ උදාර හික්මීම උසස් අධ්‍යාත්මීක සංයමය නොතිබුුණානම් , අවංකවම මුළු දිවයිනම ජනවාර්ගික සහ ආගමීක කැලඹීම් සමූහයකට ගොඳුරු වෙනවා. එ වගේම තමයි ඔවුනට ලැබුණු විශාල මූල්‍යමය ආධාර උපයෝගි කරගනිමින් විපතට පත්වෙච්ච සියලූම දෙනාව, තනි පුද්ගලයාගේ පවා දැඩි අවධානය යොමුකරමින් එදා සිට අද වෙනතුරු ඉතාම ඕනෑකමින් රැකබලා ගැනීම.
පුරා වසරක් තුළ මේ භාරදුර කර්තව්‍ය දියත් කිරීමේදි විවිධ විද්වතුන් ගේ උපදෙස් සහ සේවාවන් ලබාගෙන, විවිධ වු ක‍්‍රමෝපායන් භාවිතා කරමින් දැඩි කැපවීමකින් යුතුව විපතට පත්වු ළමා වැඩිහිටි වයෝවෘද්ධ සියලූම දෙනාගේ් ආධ්‍යාත්මික කඩාවැටීම නැවත ගොඩනංවන්නට වගේම ජීවත්වීමේ සියලූ ශක්තීන් අහිමි වු සැමදෙනාට ම ආර්ථීක ශක්තියක් ලබාදෙන්නට කටයුතු කිරීම, තුවාල ලබා සිටින සියලූම දෙනාව සුවකරගැනීම සඳහා කළයුතු සියලූ ප‍්‍රථිකාර, ශෛල්‍යකර්ම සියල්ලක් වෙනුවෙන් පූර්ණ දායකත්වය ලබාදෙමින් ඔවුන් සියලූම දෙනාව රැකබලාගැනීම සඳහා දියත් කළ කතෝලික සභාවේ ඒ සද්කාර්යය ඉතාම ප‍්‍රශංසනීයයි. කවුරුත් විසින් අගය කළ යුතුයි.

”අන්තවාදය” කියන වචනය ගැන ඔබේ දරණ අදහස කුමක්ද ?

ඇත්තෙන්ම ඔය වචනයේ තිබෙන බරපතලකම නිසා තමයි අද යම් යම් පීඩාවන් අපේ රටතුළ සැරිසරන්නේ. ඒ නිසා, ඕනෑම ආකාරයක අන්තවාදය අතුගා දැමිය යුතුයි කියන තැන මම ඉන්නේ. පූජනීය ස්ථානවලට අගෞරව කරන, බුදු පිළිමවලට හානි කිරීම, දේවස්ථානවලට බෝම්බ දමන, යාච්ඤා මධ්‍යස්ථානවලට, මුස්ලිම් පල්ලිවලට ප‍්‍රහාර එල්ලකරන, අහිංසක මිනිස්සුන්ට තලා පෙලා ඝාතනය කරන, ප‍්‍රචණ්ඩත්වය වපුරුන ත‍්‍රස්තවාදින් බිහිකළ සහ තවදුරටත් බිහිකරන අන්තවාදයේ අමුද්‍රව්‍ය තාමත් අපේ සමාජය තුළ ක‍්‍රියාශීලියි. මෙය අප විසින් පරාජය කළ යුතුයි. සමස්ත තරුණ පරපුර මේ අන්තවාදි මතවලින් මුදවා ගැනිමට මුස්ලිම් ප‍්‍රජාවේ නායකත්වය අවංකව හා නිහතමානිව කටයුතු වගකීමක් සහිත කාලීන කාර්යභාරයක්.

ඒ වගේම සියලූම ආකාරයේ වර්ගවාදි, ජාතිවාදි ප‍්‍රචණ්ඩත්වයට සහ දුප්පත්කමට එරෙහිව සටන් කොට නව සමාජ චින්තන රටාවක් ඇති කිරීමට සියලූම නායකයින් අත්වැල් බැඳගැනීම යුගයේ අවශ්‍යතාවයක් බව අවධාරණය කරන්න කැමතියි.

##

කොච්චිකඬේ සහ කටුවාපිටිය දේවස්ථානවල ඇවිලී ගිය බෝම්බ වලින් විපතට පත් පවුල් සංඛ්‍යාව, කටුවාපිටිය 260ක් සහ කොච්චිකඬේ 121 වශයෙන් 381කි. කතෝලික සහ කතෝලික නොවන නැසීගිය පිරිස 115 දෙනෙක් කටුවාපිටිය සහ 56 ක් කොච්චිකඬේ වශයෙන් සමස්තය 171 දෙනෙකි. ඉන් දරුවෝ පමණක් කටුවාපිටියේ 32 ක් සහ කොච්චිකඬේ 10දෙනෙකිි. තවත් පවුල් 222 ක් කටුවාපිටියේ සහ 91පවුල් කොච්චිකඬේ වශයෙන් සමස්ත රෝගීන්වු පවුල් 313 කි. පුද්ගලයින් ලෙසට 441දෙනෙකි. ඒ රෝගීන් 302 කටුවාපිටියේ සහ 139 දෙනෙකු කටුවාපිටියේ ය. කිසිඳු ආකාරයක සුවයක් නැතිව ඔත්පලව සිටින තවත් රෝගීන් 10 දෙනෙක් ජීවත්වෙති. ඒ 7 දෙනෙකු කටුවාපිටිය සහ 3 දනෙක් කොච්චිකඬේ වශයනි. එමෙන් ම තවමත් ප‍්‍රතිකාර ලබන ප‍්‍රධාන රෝගි ලක්‍ෂණ තිබෙන තවත් ශෛල්‍යකර්මවලට මුහුණ දෙන්නට සිටින රෝගීන් 50 දෙනෙකු සිටිනවා. ඉන් 23 දෙනෙකු කටුවාපිටියෙත් තවත් 27 දෙනෙකු කොච්චිකඬේ සිටිනවා. දේවස්ථාන දෙකෙහි ම දෙමාපියන් අහිමිව දරුවන් සිටින පවුල් 14 ක් තිබෙනවා. (කටුවාපිටිය මීසම පාලක ගරු මංජුල නිරෝෂන් පියතුමා විසින් 2020 අපේ‍්‍රල් මස 30 වෙනිදා කටුවාපිටිය දේවස්ථාන රැස්වීම් ශාලාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදි.)

[සංවාද සටහන] මෙලනි මානෙල් පෙරේරා | Melani Manel Perera