iMAGE: LAKE HOUSE MEDIA LIBRARY

පසුගිය මාර්තු මස 2 වන දින මාධ්‍යම රාත්‍රියේ ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පැවති පාර්ලිමේන්තුව විසිරවනු ලැබිය. පැවති පාර්ලිමේන්තුවට  වසර 4 1/2 පිරිණු දිනට පසු දින ඔහු ප්‍රකාරව ඇති බලතල අනුව එම විසුරුවිම කරන ලද අතර,මාර්තු මස 19 වන දින මහමැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීමටත්, අප්‍රේල් 25 වන දින මැතිවරණය පැවැත්වීමටත්, මැයි මස 14 වන දින නව පාර්ලිම්නේතුව රැස් වීමටත් එමඟින් නියෝග කොට තිබුණි.

එහෙත් නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව මැතිවරණ කොමිසන් සභාව විසින් ගෝලීය වසංගතයක් බවට තිබෙන කොවිඩ් 19 ත්ත්වය හේතුවෙන් එල්ල වී තිබෙන සෞඛ්‍ය තර්ජන සලකා බලා ජන්දය පැවැත්වීම කල් තබන ලද අතර, පසුව ජුනි මස 20 වන දින එය පැවැත්වීම සඳහා දින ප්‍රකාශයට පත් කොට තිබේ. කෙසේ වෙතත් දිනෙන් දින කොවිඩ් 19 අසාධිතයින්ගේ ප්‍රමාණය වර්ධනය වෙමින් පවතින අතර ( මේ සාකච්ජාව පළ කරන මොහොත වන විට සෞඛ්‍ය  අමාත්‍යංශය මඟින් නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛන වලට අනුව තවවුරු කරන ලද රෝගීන් ගණන  981  කී)  තවමත් කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීති තත්වය දිගටම පවත්වා ගෙන යමින් තිබේ. අනෙකුත් දිස්ත්‍රික්ක වල කාල පරාසයකට යටත්ව එය සිදු කෙරෙමින් තිබේ. ජන ජීවිතය යථා තත්වයට පත් කරලීම සම්බන්ධ ගැටලුව හා සෞඛ්‍ය තර්ජනය මත ජන්දය පැවැත්වීමට උත්සාහ ගැනීම සම්බන්ධව විවිධ මත පළ වෙමින් පවතින අතර, අත්‍යවශ්‍යම කාල පරාසයක මාස 2 කට අධික කාලයක් පාර්ලිමේන්තුව රැස් නොවීම සම්බන්ධව අවධානය යොමු වී පවතින අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එසේ කළ හැකි අවම කාලය වන මාස 3 ක කාලය ජුනි 2 වන දිනෙන් අවසන් වීමට නියමිතය.

 ඒ අතර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිර වීම සහ ජුනි 20 වන දින මහමැතිවරණය පැවැත්වීම අහියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මුලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් ඉදිරිපත් වී තිබෙන අතර, ඒවා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මැයි 18 වන විභාග කිරීමට නියමිතව තිබේ.

මේ සියලු තත්වයන් හමුවේ පුරවැසි යහපත වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ගත හැකි  වඩා ප්‍රායෝගික ක්‍රියාමාර්ග සහ මෙවන් මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයේ අති අවශ්‍ය කුළුණක් වන ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව පැවතීමේ අවශ්‍යතාවය කෙබඳු වේදැයි මෙරට සිටින ප්‍රමුඛතම නීති විශාරදයෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතාගෙන් විකල්ප විමසිමක් කළේය.ඒ අනුව ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා සමඟ විකල්ප කළ සම්පුර්ණ සාකච්ජාව මෙසේ පළ කරමු.

 

1.මාර්තු මස 2 වන දා මධ්‍යම රාත්‍රියේ ජනාධ්පතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මඟින් පාර්ලිමේන්තුව විසිර වීමට නියෝග කරනු ලැබුවා, එහි සඳහන් ආකාරයට ජන්දය අප්‍රේල් මස 25 වන දින පවත්වා, නැවත නව පාර්ලිමේන්තුව මැයි මස 14 වන දින කැඳවිය යුතු බව සඳහන් වුණා. එම ගැසට් පත්‍රයේ සඳහන් කරන ලද සියලු දින පසු වී ඇතත්,තවමත් පාර්ලිමේන්තුව කුමන ආකාරයකින් හෝ මේ වනතෙක් රැස් වී නැහැ. ජනාධ්පතිවරයා ප්‍රකාරව ඇති කිනම් බලතල යටතේද මේ විසිරවීම සිදු වුණේ  සහ එයට පසුබිම් වූ නෛතික කාරණා මොනවාද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කාලය අවුරුදු 5 යි. 19 වන සංශෝධනය මගින් එය 6 සිට 5 දක්වා අඩු කරනු ලැබුවා. ඒ වගේම වැදගත් පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමේ  එක ක්‍රමයක්  හැටියට වගන්තියක් ඇතුලත් කරනු ලැබුවා පලවෙනි අවුරුදු 4 හමාර තුළ ජනාධිපතිවරයාට තමන්ගේ හිතු මතේට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බෑ. පාර්ලිමේන්තුව 2/3  ඉල්ලා සිටියොත් මිස. ඒ අනුව මාර්තු 1 වෙනිදා  ඉවර වුණා ඒ කාලය. එනම්  අවුරුදු 4 හමාරේ කාලය. මොකද අපි පළවෙනි පාර්ලිමේන්තුව ඉස්සෙල්ලා රැස්වුණේ 2015 සැප්තැම්බර් 1 වෙනිදා. ඒ නුව මාර්තු 2 වෙනිදා සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තනි බලය ජනාධිපතිවරයටා තිබුණා. ඔහු ඒක ක්‍රියාත්මක කළා එදාම. මැතිවරණ දිනය නියම කළා අප්‍රේල් 25 ලෙස. පාර්ලිමේන්තුව රැස් වන දිනය නියම කෙරුවා මැයි 14 ලෙස. දැන් වැදගත්ම දෙයක් තමයි අපේ පාර්ලිමේන්තුව නැතුව ආණ්ඩුකරණයක් කරන්න පුළුවන් වෙන්නේ  මාස 3 ක් විතරයි. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාදායක බලය, විධායක බලය හා අධිකරණ බලයෙන්. ව්‍යවස්ථාදායක බලය එන්නේ පාර්ලිමේන්තුව හා ජනමත විචාරණයක් හරහා.එතකොට රටේ රාජ්‍ය පවතින්නේ මේ විශාල කුළුණු තුන උඩ. දැන් අධිකරණය එතරම් ශක්තිමත් ආයතනයක් නෙවේ. එසේ කීම අපහාස කිරීමක් නොවෙයි.මොකද අධිකරණයට ප්‍රශ්නයක් යොමු කරනන් ඕනි. අහන ප්‍රශ්නයට විතරයි උපදෙස් දෙන්නේ, වෙනත් අහපු අහපු නැති උපදෙස්  අවශ්‍ය නම් ඒවාට පිළිතුරු දෙන්න උසාවිය මැලි වෙනවා. ඒ නිසා එය ශක්තිමත් ආයතනයක් නොවෙන බව කවුරුත් පිළිගන්න දෙයක්. ඉතිරි වෙන්නේ එතකොට විධායකය සහ පාර්ලිමේන්තුව.

දැන් එතකොට පාර්ලිමේන්තුව කියන්නේ නීති හැදීමේ ආයතනය විතරක් නෙවෙයි. ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට තමයි ජනාධිපතිවරයා වග කියන්නේ.පාර්ලිමේන්තුව කියන්නේ ජනාධිපතිවරයා වග වෙන ආයතනය. ඉතින් එම ආයතනය නැතුව යන්ඩ පුළුවන් කාලය මාස 3 කට සීමා කර තිබෙනවා. ඊළගට පාර්ලිමේන්තුව කියන්නේ නීති හැදීමේ ආයතනයට අමතරව රාජ්‍ය මුල්‍ය පාලනය කිරීම, සියලු මුදල් වියදම් කිරීම් පාර්ලිමේන්තුවේ  අනුමත කිරීමට යටත්ව කෙරෙන්නේ. ඊළඟට ඉතාමත් වැදගත් වෙනවා විධායකය අධීක්ෂණය කිරීමේ බලතල තියෙනවා. විධායකය කටයුතු කරන්නේ කෙසේද? එක එක දෙපාර්තමේන්තු කටයුතු කරන්නේ කෙසේද? සංස්ථා කටයුතු කරන්නේ කෙසේද? පළාත් සභා පිළිබඳව.මේ විවිධ ආයතන පිලිබඳ අධීක්ෂණයක් පාර්ලිමේන්තුවට තියෙනවා. එය කරන්නේ කමිටු මාර්ගයෙන්.මුල්‍ය  කමිටුව තිබෙනවා, ඊළඟට කෝප් කමිටුව තිබෙනවා රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳව. රාජ්‍ය අංශයේ දෙපාර්තමේන්තු පිළිබඳව විශේෂ කමිටුවක් තිබෙනවා;  කෝපා කියන එක. ඊළඟට තිබෙනවා එක එක කේෂ්ත්‍ර තුළ විවිධ ආංශික කාරක සභා. ඒ මඟින් විධායකය හා පරිපාලනය කරන කටයුතු පිලිබඳ යාම අධීක්ෂණයක් කෙරෙනවා. ඒ අනුව ඒ අධීක්ෂණය කරලා ඒ බව වාර්තා කරනවා පාර්ලිමේන්තුවට. මුළු රටම බලාගෙන ඉන්නවා. පහුගිය කාලේ දැක්කා ඒ කමිටු වල රැස්වීම් ප්‍රසිද්ධියේ මාධ්‍යට නිරාවරණය කොට තිබුණා.

මේ දවස් වල කොරෝනා වෛරස එක ගත්තොත් එය මැඩලීමට කරන කටයුතු වල කිසිම අධීක්ෂණයක් නෑ.මම කියන්නේ නැහැ මේවා හොඳට කෙරෙන්නේ නෑ කියලා, ඒක නෙවෙයි මම කියන්නේ,ඒක නෙවෙයි ප්‍රශ්නය එක පාර්ලිමේන්තුවේ අධික්ෂණයක් නැතුව කෙරෙන එක, මුදල් වියදම් කිරීම පිළිබඳව ආදිය පිළිබඳව.හරියට කෙරෙනවද? නැද්ද? මේ පාලනය කිරිමේදී ජනතාවට සමහර වෙලාවට සිදුවෙනවා අපහසුතා, ඒ අපහසුතා වළක්වා ගැනීමට පුලුවන්ද ? නැද්ද ? ඊළඟට සහන ලැබිය යුතු කොටස් වලට සහන ලැබෙනවද ? පාර්ලිමේන්තුව තිබුණා නම් ඒ සියල්ලම පාර්ලිමේන්තුව තුළ හා ඒ කමිටු තුළ සාකච්ජා වෙනවා.එතකොට දුර්වල කම් තිබෙනවා නම් ඒවා මග හරවා ලැබීමට ඉඩක් ලැබෙනවා. ඒ නිසා තමයි මාස 3 කට වඩා පාර්ලිමේන්තුව යන්න බෑ කියලා ව්‍යවස්ථාවේ  කියන්නේ.

2.දැන් ඔබ ඔය කියපු තර්කයම අරගෙන, ඒ කියන්නේ මාස 3 කට වඩා පාර්ලිමේන්තුව නැතුව අපිට යන්න බැහැ කියන අදහස මත ජන්දය ඉතා ඉක්මනින් පැවැත්විය යුතුයි, එසේ පවත්වලා නව පාර්ලිමේන්තුව ඉක්මනින් පත්කර ගත යුතු බවට වන මතය ජනතාව අතරට මේ වන කොට ගෙන යමින් තිබෙනවා. ඒක මේ වෙනකොට ජනමාධ්‍ය ඔස්සේත් දකින්න ලැබෙනවා. එහෙත් පවතින කොවෝඩ් 19 තත්වය තුළ වඩා යථාර්ථවාදී වෙන්නේ අපි ඉක්මන් ජන්දයටකට ගිහින් අලුත් පාර්ලිමේන්තුවක් කැඳවන එකද? නැත්නම් පවතින වසංගත තත්වය හමුවේ, ව්‍යවස්ථාවෙන් අපට විශේෂ ප්‍රවේශයක් දීලා තියෙනවද අපිට පැරණි පාර්ලිමේන්තුවම නැවත කැඳවන්න? නැත්නම් අපිට පවතින තත්වය මත යන්න පුළුවන් වඩා ප්‍රායෝගික විකල්ප මොනවද?

පාර්ලිමේන්තු මැතිවරණයක් ඉක්මනින් තැබිය යුතු බවට අපි ඔක්කොම එකඟයි. නමුත් ඒ පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් විය යුතුයි. සාධාරණ හා නිදහස් මැතිවරණයක් තියන්න වාතාවරණයක් තියෙනවද කියලා බැලුවොත්, එක හොඳටම පැහැදිලියි, එසේ කරන්න බැහැ. මැතිවරණ කොමිසම ඔවුන්ට මැතිවරණය පැවැත්වීමේ කටයුතු  ටිකවත් සංවිධානය කර ගන්න  බැහැ කියලා මේ තියෙන තත්වය හමුවේ. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් අඩුම තරමේ ඉදිරි සති කීපය තුලදී වත් තියන්න බැහැ. එතකොට මතුවෙනවා පාර්ලිමේන්තුව නැතුව යාම කියන ගැටලුව. පාර්ලිමේන්තුව නැතුව යන්න පුළුවන් කාලය ජුනි 2 වෙනිදට ඉවර වෙනවා. එතකොට ඔබ අහන ප්‍රශ්නය , විකල්පයක් තියෙනවද ? ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. විකල්පයක් තියෙනවා. ඒ විකල්පය තමයි පැරණි පාර්ලිමේන්තුව කැඳවීම. පැරණි පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන් තුන් ආකාරයකට. එකක් තමයි පාර්ලිමේන්තුව විරුවා හැරීමේ අඥාව  සම්පුර්ණයෙන් ඉවත් කර ගැනීම ආණ්ඩුව එකට කැමති නෑ. දෙවැන්න තමයි හදිසි නීතිය ප්‍රකාශ කිරීම,  දැන් හදිසි තත්වයක් තිබුණට හදිසි නීතියක් නෑ.මහජන ආරක්ෂාව පනත යටතේ හදිසි නීතිය  පනවලා නෑ.ආණ්ඩුව හිතනවා ඇති එසේ කිරීම නොකළ යුතුයි කියලා. ඒකට තව හේතුවක් තියෙනවා හදිසි නීතිය ප්‍රකාශ කරපු ගමන්ම පාර්ලිමේන්තුව නිකන්ම කැඳවෙනවා.දවස් 10 ක් ඇතුළත ජනාධිපතිවරයා කැඳව්වේ නැත්නම් පාර්ලිමේන්තුව නිකන්ම දහවෙනි දවසේ රැස්වෙනවා.මොකද පාර්ලිමේන්තුවට ගිහිල්ලා ඒ ප්‍රකාශනය අනුමත කරගන්න ඕනි.සමහර විට ඒකට කැමති නැතුව ඇති ආණ්ඩුව, තුන්වෙනි එක තමයි හදිසි නිතිය ප්‍රකාශ කරන්නේ නැතිව තිබෙන හදිසි තත්වය සලකා බලා 70 වන වගන්තියේ 7 වන උප වගන්තියේ යටතේ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්. එතකොට හදිසි නීති ප්‍රකාශය අනුමත කිරීමේ ප්‍රශ්නයක් මතු වෙන්නෙත් නෑ.එතකොට පාර්ලිමේන්තුව රැස් කරලා පාර්ලිමේන්තුවේ කටයුතු සිමා සහිතව කරන්න පුළුවන්.විරුද්ධ පක්ෂය දැනටමත් කියලා තියෙනවා. හැමදාම රස වෙන්න අවශ්‍යත් නෑ.225 දෙනාම යන්ඩත් අවශ්‍ය නෑ.අපි එකඟ වෙලා හැම පක්ෂයම නියෝජනය කරමින් අවම නියෝජනයක් ලැබෙන විදියට කරමු, ඊලඟට ආණ්ඩුව අසීරු තත්වයට පත් කරන්නේ නැහැයි කියල. ඇත්ත වශයෙන් ආණ්ඩුව අසීරු තත්වයකට පත් කළොත් ඒකී අවාසිය වෙන්නේ විරුද්ධ පක්ෂයට. මේ වගේ ජාතික ව්‍යසන අවස්ථාවක දේශපාලන හේතු මත වාසි ගන්න විරුද්ධ පක්ෂය කටයුතු කලොත් ඊලඟ මැතිවරණය ඔවුන්ට අවාසියි, එනිසා ඒක වෙන්නේ නෑ.එතකොට මට නම් පෙන්නේ ආණ්ඩුව හිතුවක්කාරයි.ජනාධිපතිවරයා කියලා තියෙනවා මම කැඳවන්නෙම නෑ කියලා.

2018 වසරේත් ඔය වගේම සිද්ධියෙක් වුණානේ. ජනාධ්පති සිරිසේන මහත්මයා කිව්වනේ මම දෙන්නේ නෑ, පාර්ලිමේන්තුවක් එක්ක බෑ, මම විසිරුවා හරිනවා.එතකොට ශ්‍රේෂ්තාධිකරණය කිව්වා විසුරුවා හරින්න බෑ කියලා. ඊට පස්සේ කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්මයට පාර්ලිමේන්තුවේ ඔක්කොම කැමති වුණත් මම අගමැතිකම දෙන්නේ නෑ කියලා, එත් අන්තිමට කරන්න සිද්ධ වුණා.එකෙන් විශාල හානියක් උනානේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට, එතකොට ඔබපු ප්‍රශ්නයට පිළිතුර මේකයි; 70, 7 වන උප වගන්තිය යටතේ කැඳවන්න පුළුවන්. පසුව පාර්ලිමේන්තුව සිමා සහිතව පවත්වා ගෙන යන්න පුළුවන්.එතකොට පාර්ලිමේන්තුව නැතුව ආණ්ඩුකරණය වෙනවා කියන එක නැතිවෙනවා, මොකද ඒක හරි භායනක තත්වයක්.මොකද එහෙම වුණේ නැත්නම් මේවා පුර්වාදර්ශ වෙනවා. එක මම නැවත අවධාරණය කරන්නම්, මේවා එක සැරයක් කෙරුවොත් එතනින් නවතින්නේ නෑ.පාර්ලිමේන්තුව නැතුව රට අරන් යන්න පුළුවන් කියන පුර්වාදර්ශය ඇතිවෙනවා.ඒක ඉතාමත් භයානකයි. හුඟක් අය කියනවා පාර්ලිමේන්තුව නැතුව රට අරන් යමු , පාර්ලිමේන්තුව ඕන්නෑ, එතකොට පාර්ලිමේන්තුව ඔන් නෑ කියන්නේ මොකක්ද, එක්කෙනෙක් විතරයි රට පාලනය කරන්නේ, විධායකය විතරක් රට පාලනය ආණ්ඩුවලට මොනවද අපි කියන්නේ ඒකාධිපති ආණ්ඩු කියලා. අපි මේ උදාහරණ තියෙනවා වට පිටේ.අපි දැක්කා  එක්කෝ පාර්ලිමේන්තුව නමට තියෙන්නේ, නැත්නම් පාර්ලිමේන්තුව නැතුවම අරන් ගියා පකිස්තානයේ.යුධ හමුදා කුමන්ත්‍රණ කරලා පාර්ලිමේන්තුව නැති කරලා දැම්මා.ඊට පස්සේ එක්කෝ තමන්ට කීකරු පාර්ලිමේන්තුවක් කැදෙව්වා, අපි දැක්කා මාලදිවයිනේ, අපි දැක්කා බංගලාදේශයේ මේවා වෙනවා.මේවා ඉතාමත් නරක පුර්වාදර්ශ.

සමහරු කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු , අපි මොහොතකට හිතමු 225 දෙනාම හොරු කියලා.මේ ජනතාව විසින් පත් කරපු හොරු 225 දෙනෙක්.ඊලඟට 225 , 200 කට වැඩි සංඛ්‍යාවකට ආපහු නාම යෝජනා දීලා තියෙනවා. ඒ කියන්නේ ඔය කට්ටියගෙන් 150 ක් විතර ආපහු පාර්ලිමේන්තුවට එනවා.ඒ වගේම පහුගිය කාලේ ඔක්තෝම්බර් අර්බුදය වෙලාවේ අපි දැක්කා කතානායකවරයාගේ පුටුව ඇදගෙන ගිහින් විසි කරනවා.පොත් වලින් පහර දෙනවා පොලිසියටයි කතානායක වරයාටයි,පුටුවලින් පහර දුන්න, මිරිස් කුඩු වලින් පහර දුන්නා, දැන් ඒ කරපු අය, මම දැක්කා කතා නායක තුමාගේ පුටුව ඇදගෙන ගිය කීපදෙනෙක්ම අද ඇමතිවරු , ඉතින් එගොල්ලෝ තමයි ඊලඟ පාර්ලිමේන්තුවේ ඉන්නෙත්.දැනට විරුද්ධ පක්ෂයේ ඉන්න ය ගැනත් තද බල විවේචන තියෙනවා.නොයෙකුත් දුෂණ වලට සම්බන්ධ වුණා.මහා බැංකු සිද්ධිය, නොයෙකුත් දුෂණ වලට සම්බන්ධ වුණා කියලා චෝදනා තියෙනවා. ඒ යම තමයි එන්නේ ඊලඟ පාර්ලිමේන්තුවටත්, එම නිසා පාර්ලිමේන්තුවට එන්නේ කවුද කියන එක නෙවේ වැදගත් , එකත් වැදගත් මම නැහැ කියෙන්නේ නැහැ, නමුත් පාර්ලිමේන්තුව කියන ආයතනය, හොරු හින්දා අපිට පාර්ලිමේන්තුවක් වැඩක් නෑ කිව්වොත්, එහෙම වුනොත් පාර්ලිමේන්තුවක් අපිට කවදාවත් නැතිවෙනවා. ඒ නිසා මම මේ වෙලාවේ අවධාරණය කරන්න කැමති පාර්ලිමේන්තුව කියන ආයතනයේ, එය ආයතනයක් ලෙස තියෙන වැදගත්කම.එම නිසා තමයි පාර්ලිමේන්තුව නැතුව යනවා කියන එක ඉතාමත් භයානක වැඩක්, එක ඉතාම භයානක කටයුත්තක්, එක සැරයක් කෙරුවාම මේක නවතින්නේ නෑ, මේක පුරුද්දට යනවා, ඒ නිසා මන් ආයෙත් අවධාරණය කරන්න කැමතියි, පාර්ලිමේන්තුව කියනා ආයතනය රැක ගන්න ඕනි, මොන දුර්වලකම් තිබුණත්.

මම උදාහරණයක් කියන්නම් පාර්ලිමේන්තුව කියන ආයතනය වැඩිපුරම ආරක්ෂා කරන්න කථා කරපු කෙනෙක් තමයි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා. ඔහු 1977 මැතිවරණේදී පැරදුණා. ඔහු කියා සිටියා ආචාර්ය පෙරේරා කෙනෙක් පරද්දලා අනාචාර්ය පෙරේරා  කෙනෙක්ට ජනතාව ජන්දය දුන්නා කියලා. නමුත් 78 ව්‍යවස්ථාව හදන කොට වැඩියෙන්ම පෙනී සිටියේ ඇන්.ඇම්. පෙරේරා.ඒ කියන්නේ තමන් වෙනුවට තමන් සමඟ කිසිම සංසන්දානයක් කරන්න බැරි කෙනෙක් පාර්ලිමේන්තුවට ගියාට ඒ පාර්ලිමේන්තුව කියන ආයතනයේ තියෙන වැදගත්කම ඔහු හැමදාම අවධාරණය කළා. එනිසා එම ආයතනය රැක ගන්නට ඕනි.මේ ආයතනය නැතුව යන්ඩ පුරුදු වුනොත් කොහොන් අපි නවතියිද දන් නෑ.

3.ඔබ කිව්වා වගේම ඇත්තටම ජනතාව අතර මතයක් තියෙනවා 225 වැඩක් නෑ, ආවත් එන්නේ ඊලඟටත් හොරු , මේක නඩත්තු කරන එකේ තේරුමක් නෑ ඒ නිසා මේ යන විධියටම යමු කියලා, මේ මතය නැවත නැවත ස්ථිර වෙන තත්වයක් තුළ එතකොට මහජනතාවට මොනවගේ වගකීමක් ද පැවරෙන්නේ ඔබ ඔය කියන පාර්ලිමේන්තුව කියන ආයතනය රැක ගැනීම අරභයා

එකක් එක දීර්ඝ කාලිනව තියෙන්නේ, ඔවුන් ඔය හොරු කියන අය ආපහු පත් නොකර ඉන්න එක . මොකද ජන්දෙන් පස්සේ නැවත කියන්න බෑ නේ දැන් මේකෙත් ඉන්නේ හොරු කියලා ජනතාව තමයි ජන්දේ දෙන්නේ එතකොට.ජනතාව දැන ගන්න ඕනේ හොඳ අය, පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි කියලා අය යවන්න, ඒක අද විසදන්න පුළුවන් ප්‍රශ්නයක් නොවෙයි , කාලයක් යයි, නමුත් අද තියෙන ප්‍රශ්නය ඊට වඩා වැදගත් ප්‍රශ්නයක්. හොරු හිටියත් නැතත් , කලින් කියපු දේම අවධාරණය කරන්න ඕනි, පාර්ලිමේන්තුව කියන ආයතනය බේර ගත යුතුයි, ඒ නිසා අද ජනතාවට තේරුම් කර දිය යුත්තේ අපි ඔව්, පාර්ලිමේන්තුව පිලිබඳ ප්‍රශ්න තියෙනවා, පාර්ලිමේන්තු මන්ත්‍රී වරු පිළිබඳ ප්‍රශ්න තියෙනවා.ඒ ගොල්ලොන්ගේ ගුණාත්මකභාවය පිලිබඳ ප්‍රශ්න තියෙනවා. වියදම් පිලිබඳ ප්‍රශ්න තියෙනවා, පාර්ලිමේන්තුවේ කෑම ගැන කතා කරනවා, කෑම එක බොහොම අඩු මිලකට දෙන්නේ.මම හැමදාම කියපු දෙයක් තමා ඒක දෙන්න ඕනේ ඒ වෙලාවට සල්ලි ගෙවලා සාමාන්‍ය විදියට කියලා , ඒක මම හැමදාම පිළිගත්ත දෙයක්.ඒ වගේ ප්‍රශ්න තියෙනවා, නමුත් එකෙන් යට කරන්න බෑ පාර්ලිමේන්තුව කියන ආයතනයේ වැදගත්කම. එනිසා ජනතාවට තේරුම් කර දෙන්න ඕනි ඊලඟ පාර්ලිමේන්තුවේත් මීට වඩා වැඩි වෙනසක් නෑ.ඒ නිසා මේ ආයතනය රැක ගමු. ආයතනය රැක ගන්න අතර ඉදිරියේදී ඒ පාර්ලිමේන්තුවේ ගුණාත්මකභාවය වැඩි කරන්නට ජනතාවම එකතු වෙලා කටයුතු කළ යුතුයි. නමුත් පාර්ලිමේන්තුව ආයතනයක් හැටියට විනාශ වුනොත් හොඳ මිනිස්සු හිටියත්, නරක මිනිස්සු හිටියත් එකෙන් වැඩක් නෑ එතකොට පාර්ලිමේන්තුව දුර්වල වෙලා, අබල දුබල වෙලා ඒකෙන් ප්‍රජාතන්ත්‍රවාදයට තමයි හානියක් වෙන්නේ.ඒ නිසා අපි එක බරපතල ප්‍රශ්නයක් ලෙස සැලකිය යුතුයි. මට කනගාටුයි ඉතාමත්ම බුද්ධිමත්ම අය පවා , ඒ ගොල්ලොන්ගෙන් අපිට ඇහෙනවා පාර්ලිමේන්තුව ඔනේ නෑ, පාර්ලිමේන්තුව නැතුව යමු වගේ කතා. මම නැවත නැවත කියන්නේ පාර්ලිමේන්තුව නැතුව යමු කියන්නේ, පාර්ලිමේන්තුව දුර්වල කරලා යමු කියෙන්නේ ඒකාධිකාරී පාලනයක්.

4.එතකොට මේ අතරම පාර්ලිමේන්තුව විසුරුවිම සහ ජුනි 20 වන දින මහමැතිවරණය පැවැත්වීම අහියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත්වෙලා තිබෙන මුලික අයිතිවාසිකම් පෙත්සම් 7 ක් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මැයි 18 වන දින විභාගයට ගැනීමට නියමිත වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ අදහස් මේ වෙනකොට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සම්බන්ධ වන නෛතික පසුබිම පැහැදිලි කළොත්

ඒක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අයිතියක් මිනිසුන්ට ලබලා දීලා තිබෙන.සමහරු ඕක හරවන්න හදනවා ජන්දයක් එපා කියලා පෙත්සම් කරුවෝ කියනවා කියලා. නෑ 2018 ඔක්තෝම්බර් මාසයෙත් උසාවියට ගියාම එදත් සමහරු කිව්වා මේ එන්නේ ජන්දයක් තියන්න එපා කියනන කියාලා, එහෙම කියපු අයට හොඳ උත්තරයක් දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණය එදා ඒකමතික තීරණයකින් එදා කිව්වා නැහැ පාර්ලිමේන්තුව විසුරුවිම වැරදි කියලා, ජන්ද තියෙනවා නම් එහෙනම් මාස 3 න් තුනට තියනන එපැයි.හිතුමතේ ජන්දේ තියන්න පුළුවන්නේ, එහෙම වැඩක් වෙන්නේ නෑ.එතකොට කිසි වැඩක් වෙන්නේ නෑ.නමුත් නීතියට අනුවයි ජන්දේ තියන්න ඕනි. ඊලඟට නීතියට අනුව පාර්ලිමේන්තුව කැඳවන්න ඕනි. අද නොයෙකුත් තර්ක ඉදිරිපත් කරනවා. එක තර්කයක් කියනවා “අවශ්‍යතාවයේ මුලධර්මය” (Doctrine of Necessity) කියලා. ඒ කියන්නේ අවශ්‍යතාවය අනුව කරන්න දෙයක් නෑ, ව්‍යවස්ථාව කඩන්ඩ වෙනවා. ඔය අවශ්‍යතාවයේ මුලධර්මය අනුව අපි දැක්කා යාබද පකිස්තානයේ අධිකරණය ඉදිරියට හැම යුධ හමුදා කුමන්ත්‍රණයකට පස්සෙම ගිහින් කිව්වා අවශ්‍යතාවයේ නියමය අනුව දැන් ඉතින් අපිව පිළිගන්ඩ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණයත් පිළිගත්තා.ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා අපි උසාවිය කළේ බරපතල වැරද්දක්. මේ මෑතකදී 2012 ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා  දැන් ඔය අවශ්‍යතා නියමය අනුව අපි රටට කළ හානි ඇති, දැන් ඕක අපි මිහිදන් කරලා තියෙන්නේ, නැවතත් ඔය මල මිනිය ගොඩ ගන්න අපි දෙන්නේ නෑ කියලා.ඒ නිසා ඔය අවශ්‍යතා නියමය කියන එක හරිම භයානක දෙයක්. ඉස්සෙල්ලා ආණ්ඩුවට හිතවත් නීතිවේදීන් එහෙම අවශ්‍යතා නියමය ගැන කතා කළා, දැන් විශේෂයෙන්ම  පකිස්ථානයේ එහෙම උන දේවල් පිළිබඳ මාධ්‍යයේ ඒ ගැන කතා වුණාට පස්සේ දැන් එක අත ඇරලා.දැන් කියනවා අලුත් එකක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්තානුකූල ව්‍යතිරේක වාදය කියලා එකක් (Constitutional Exceptionalism ). ජෝන් ලොක් 17 වෙනි සියවසේ එංගලන්තයේ කියපු කතන්දරයක්.අද අපි ඉන්නේ 21 වෙනි ශත වර්ෂයේ, අද ඊට වඩා ඉදිරියට ගිහින් තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වාදය කියන එක. (Constitutionalism) සමහර විට යම් ව්‍යවස්තාවක යම් හිඩැසක් තියෙන වෙලාවක් ඔව් ඒ තියෙන තත්වය අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරනවා, එහෙම අර්ථ නිරුපණය කරලා වැඩ පුළුල් අර්ථකථනයක්දීලා ඒ අවස්ථාවට ගැලපෙන විදියට කටයතු කරනවා, එකේ කිසි වැරද්දක් නෑ.නමුත් ව්‍යතිරේක වාදය  (Constitutional Exceptionalism )  යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලිකාංග වලට විරුද්ධව යන්න, අර්ථ නිරූපණ දෙන්න බෑ.ඔය මොක කිව්වත් අවශ්‍යතාවේ මුලධර්මය කියන වචනය හාවිතා කළත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යතිරේක වාදය කිව්වත් ඔය කට්ටිය කියන්නේ මොකක්ද අන්තිමට ව්‍යවස්ථාව කඩලා යන් කියන එක.අර්බුදයක් ඇති වුනාම, අපි බලාපොරොත්තු නැති අර්බුධයක් නම් එයට ව්‍යවස්ථාවේ මුලික රාමුව තුළ ඒකට ගැලපෙන විදියේ අර්ථ නිරූපණ දීලා ඉදිරියට ගෙන යන එක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලිකාංග වලට පටහැනිව යන එක ඊට වඩා බරපතයි.දැන් පාර්ලිමේන්තුව නැතුව යන්න පුළුවන් අයට මම තව උත්තරයක් කියන්න කැමතියි ව්‍යවස්ථාදායක බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට විතරක් නෙවේ. අපිටත් තියෙනවා.මේ රටේ ජනතාවටත් තියෙනවා, ජනමත විචාරණයකදී පාවිච්චි කරනවා. ඊට පස්සේ කියයි ජනමත විචාරණත් ඕනේ නෑ.ජනමත විචාරණයක් තියන්න පුළුවන් තත්වයක් නෑ, ඕන නම් 2/3  ගත්තා පාර්ලිමේන්තුවෙන් දැන් අපි ජනමත විචරණයක් තියන්න බැරි නිසා මේ එක නීතිගත කරලා යන කියලා. එතකොට කොහෙන්ද නවතින්නේ.පාර්ලිමේන්තුව නැතුව යන කියලා ඊලඟට කියන්නේ ඒක තමා.ජනමත විචාරණයක් ඕනෙත් නෑ, ජනමත විචාරණයක් අවශ්‍ය නීති රීතිත් අපි ජනමත විචාරණයක් නැතුව සම්මත කරමු කියලා, කොහෙන් නතර වෙයිද දන්නේ නෑ.ඒ නිසා මේකෙන් භයානක විවරයක් තමා ඇති කරන්න යන්නේ.එම නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුලධර්ම වලට ගැලපෙන පරිදි විකල්ප තියෙද්දී, විකල්ප තියෙනවා පරණ පාර්ලිමේන්තුව කැඳවන්න පුළුවන්, අපි මොහොතකට හිතපු පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම හොරු, පාර්ලිමේන්තුව මැරිච්ච පාර්ලිමේන්තුවක්, කුනුවෙච්ච පාර්ලිමේන්තුවක් කියලා, ඒ ඔක්කොම දේශපාලන වේදිකාවේ තර්ක.උසාවිය ඉස්සරහ ගිහින් කියන්න බෑනේ.උසාවියට ගිහින් කියන්න පුළුවන්ද පාර්ලිමේන්තුවේ ඉන්නේ හොරු කියලා.උසාවියට ගිහින් කියන්න පුළුවන්ද මැරිච්ච පාර්ලිමේන්තුවක් තියෙන්නේ කියලා, බැහැ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කියන්නේ ආයතනය. ඒක උසාවිය ඉදිරියට ගිහින් කියන්න බෑ. එතකොට මේ අවශ්‍යතා මුලධර්මය  මේක කෝකටත් තෛලයක් නෙවෙයි කියන එක මම හැමවෙලේම කියන එකක්. ඕක වඩා වැදගත් වෙන්නේ, අවධාරණය කළ යුත්තේ ඕක නවතින්නේ නෑ, ඔතනින් තව එකකට යනවා, භායනක ඒකාධිපති ආණ්ඩු ඇතිවීමට තුඩු දෙනවා මුලදීම ඒ නිසා ඒ නිසා ඒවා වළක්වා ගන්නට ඕනි.

5.එහෙම වුනොත් දැන් තියෙන පාර්ලිමේන්තුව නැවත කැඳවීමට නීතිමය වශයෙන් බාධාවක් නැති නිසා, එලෙස කැඳවීමක් කළොත් සැප්තැම්බර් මස 1 වෙනිදා දක්වා පවතින පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිහින්, දැනට මාර්තු 19 වන දා කැඳවපු නාම යෝජනා වලින්ම නැවත මහමැතිවරණයකට  යා හැකි තත්වයක් තියෙනවද?

පක්ෂ එකඟ වෙනවා නම්, ගොඩක් දුරට මම හිතන්නේ පක්ෂ එකඟ වෙයි, මේ එන මැතිවරණයට පමණක් බලපාන විශේෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගේන්න පුළුවන්.සියලුම දෙනා කැමති නම් 2/3  සම්මත කරලා, මම හිතන්නේ ඔක්කොම කැමතිත් වෙයි, අලුතෙන් මේක පටන් ගත්තොත් ආයේ විශාල ප්‍රශ්නයක් ඇතිවෙනවා, ඒ නිසා. නමුත් පාර්ලිමේන්තුව කැඳවපු පළියටම නාමයෝජනා අවලංගු වෙන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වගන්තිය යටතේ  කැඳෙව්වොත්, හදිසි නීතිය දාලා කැඳෙව්වොත් නාම යෝජනා අලුතෙන් ගන්න ඕනේ නෑ. නාම යෝජනා අලුතෙන් ගන්න වෙන්නේ මාර්තු මාසේ 2 වෙනිදා නිකුත් කරපු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ප්‍රකාශය අවලංගු කළොත් විතරයි.එතකොට තමයි ඒ ප්‍රශ්න මතු වෙන්නේ.එකටත් උත්තරයක් තියෙනවා පැහැදිලිව  මේ මැතිවරණයට පමණක් බලපාන ලෙස 2/3 කින් සම්මත කරගෙන  මම මුලින් කිව්වා වගේ සංශෝධයනයකට යන එක. පැහැදිලිව මේ දැන් තියෙන තත්වයන් යටතේ ජනමත විචාරණයක් අවශ්‍ය වෙන්නේ නෑ.නමුත් ඊට මෙහා කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඊට මෙහා කරන්න පුළුවන් පැහැදිලි අවස්ථා දෙකක් තියෙනවා. එකක තමයි මම කිව්වා වගේ හදසි නීතිය ප්‍රකාශයට පත් කරන එක, එකත් කැමති නැත්තන්  70 , 7 වන වගන්තිය යටතේ හදිසි නිතිය ප්‍රකාශ කරන්නෙත් නැතුව, විසුරුවා හැරීමේ නියෝගය වෙනස් කරන්නෙත් නැතුව පාර්ලිමේන්තුව කැඳවලා, පාර්ලිමේන්තුව වරින් වර රැස්වෙලා කීපදෙනෙක් එක්ක එකතුවෙලා රැස්වෙලා , එහෙම නැත්තම්  දැනට මාලදිවයිනේ කරන්නේ, මාලදිවයිනේ අන්තර්ජාලය හරහා රැස්වෙනවා, ඒ විදියට කටයුතු කරන්න පුළුවන් .ඒ නිසා ඔය කියන තරම් භයානක තත්වයක් නෑ පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව.