iMAGE: vikalpa/ Ishara Danasekara (This picture was taken at  Mullivaikkal, Mulathivu on 18th May, 2017)

දෙමළ එක්සත් විමුක්ති කොටි සංවිධානය හා ශ්‍රී ලංකා රජයේ හමුදා අතර සන්නදධ ගැටුම අවසන් වී වසර එකොළහක් ගතවී ගොසිනි. දකුණ විසින් උදා වෙතැයි බලා සිටි “ඉනික්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ” පන්නයේ අනාගතයේ යථාව ඔබත් මමත් අත්දකිමින් සිටින්නෙමු. මේ විජයග්‍රාහි එකොළොස් වන වසරේදී රටක් ලෙස අපට හිමිව ඇත්තේ මොනවාද? එක් අතකින් අතුරුදහන් වූ ආදරණීයයන් උදෙසා වැලපෙන මව්වරුය, හමුදාව විසින් බලෙන් තම ඉඩකඩම් දේපල අත්පත්කරගත් නිසා කූඩාරම් මඩු උරුම වූ ජනයාය. සිරුරේ බෝම්බ කැබලි සමඟ අපා දුක් විඳින මිනිසුන්ය. අනෙක් පසින් උතුරට ඒ ඉරණම අත් වන විට බෝධි පූජා තියා කිරිබත් කෑ, දැන් අයිතිවාසිකම් ඉල්ලා පාරට වන් කල ඒ තුවක්කු කටටම ඉලක්ක වූ ජනතාවක් ය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය දෙමළ ජනතාවගේ ගැලවුම්කරුවා වී යැයි මම සිතන්නේ නැත. ඔවුන්ගේ සමහර ක්‍රියාකාරකම් දෙමළාගේ ප්‍රශ්නය නොදුටුවා සේ  සිටීමට සිංහල ආණ්ඩුවලටද දකුණේ ජනතාවටද පදනම් නිර්මාණය කර දී දමිළ පීඩිතයා තව තවත් අමාරුවේ දැමුවා පමණි. මේ සටහන 2009 මැයි 19 යුද්ධය අවසන් බවට පාසලේ ශබ්ද විකාශන යන්ත්‍රයෙන් කෙරුණු උද්දාමි නිවේදනයෙන් හා අත්පොලසන් ප්‍රීතියෙන් වසර එකොළහකට පසුව දිගු ෆේස්බුක් සංවාදවලින් හෙම්බත් වූ සිංහල කතා කරන්නෙකු වන මට සිංහල කතා කරන ඔබට කියන්නට ඇති දේ ය.

අපිට මෙහෙම වුණේ ඇයි? දෙමළ කතා කරන්නාගේ හඬට කන් නොදී ඔවුන්ට දේශපාලනික ප්‍රශ්නයක් නැතැයි අපිම නිගමනවලට එළැඹුණු හෙයිනි. දැන්වත් අපි යථාවට අවදි වී ඇත්ත කතා කරමුද?

දෙමළ කතා කරන්නා පිළිබඳ සිංහල තේරුම් ගැනීම සිරවී ඇති තැන පරම්පරා ගණනක් තිස්සේ පාලකයන්ගේ ව්‍යාපෘතිවලට උචිත පරිදි හැඩගස්වන ලද එකකි. මමත් ඒ තේරුම් ගැනීම සඳහා පොළඹවනසුලු වර්ගයේ භාෂාවක් සොයමින් සිටින්නියක්. එය ඉතාම දුෂ්කරයි. මන්ද, අපි වගකිව යුතු දෙයක් සම්බන්ධයෙන් අපි අකමැති දේ දැනගැනීමෙන් වැළකී සිටීමට නැඹුරු වන නිසා. නමුත් ඇත්ත දැනගැනීම යනු අපි කැමති දේ දැනගැනීම නොවේ.

ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නය රාජ්‍ය බලයෙහි සැකැස්ම පිළිබඳ අතිශය දේශපාලනික ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට විසඳුම් ද දේශපාලනික විය යුතු ය. නමුත් නොගැලපෙන විසඳුමක් තෝරාගෙන ප්‍රශ්නය වඩා නරක තත්ත්වයකින් අත්හැර දමා ඇත. ජනවාර්ගික ගැටළුවේ ආරම්භය වන්නේ දෙමළ කතා කරන්නාව දීර්ඝ කාලීනව දේශපාලනිකව කොන් කිරීම ය. සමාන පුරවැසියන් වීම සඳහා වූ ප්‍රජාත්‍රන්ත්‍රවාදී ප්‍රයත්න, වෙනම රාජ්‍යයක් සඳහා වූ සන්නද්ධ ව්‍යාපාරයක් වීම දක්වා වන සිද්ධි ඉතිහාසය නැවත නැවත ලියා තැබීම අවශ්‍ය නැත. ඒ අවශ්‍ය කියවීම හැදෑරීම නොමැතිව මේ ගැන සංවාද කිරීම නිශ්ඵල ය.( ජනවාර්ගික ගැටළුව සම්බන්ධව සිංහල බසින් ලියවුනු ප්‍රමාණවත් තරම් පතපොත තිබේ. )

නොදන්නා දේ පිළිබඳව මතවාද ගොඩනගා නොගන්නැයි මම මුලින්ම ඔබට ආරාධනා කරමි.හොඳම කිරිපිට වර්ගය කුමක්දැයි යන්නේ සිට දෙමළාට ප්‍රශ්නයක් නැතිය යන්න දක්වා වන ප්‍රසිද්ධ හිතළු කවුරුන් විසින් කෙසේ ගොඩනගා අපිට එන්නත් කර ඇත්දැයි මදක් කල්පනා කරමු. පීඩිත ජන කණ්ඩායමක සාධාරණ මානුෂික ඉල්ලීම් අවියෙන් විසඳිය නොහැකි බව රතුපස්වලින්, කටුනායක රොෂේන්ගෙන්, හලාවත ඇන්ටනීගෙන් පසු තියා ශිෂ්‍ය උද්ගෝෂණයකට කඳුලු ගෑස් වදින වාරයක් පාසා හෝ දකුණට නොවැටහීමේ අරුමය කුමක්ද? දේශපාලනික ප්‍රශ්නයක්, “රටෙන් කෑල්ලක් කඩා ගැනීමේ පිස්සුවක්” ලෙසට පමණක් ලේබල් ගසා,ජීවත් වන භූමියේ මීටර් ගණන සම්බන්ධයෙන් අපට පටවා ඇති මතවාද දෙස සිහියෙන් දැකීම අපට අමතකව ඇති හෙයිනි.

ඇත්තටම අපේ රට කෙබඳුද වැනි ප්‍රශ්නයකට ‘ඔව් කෙබඳුයි!’ වැන්නක් මිස වෙන පිළිතුරක් නැත. දෙමළුන්ට රටෙන් කෑල්ලක් ඕනෙ වූ නිසා ඔබට අහිමිව තිබෙන්නේයි කියන ලද ජීවිතය දැන්වත්, වසර දහයක් ගෙවෙන මේ මොහොතේවත් පාලකයින් ඔබේ දෝතට දුන්නාද? සැබෑ ප්‍රශ්න මොනවාද සහ ප්‍රශ්න ලෙස බාර ගන්නට යැයි පාලකයින් අපිට යෝජනා කරන දේ අතර ඇති හිඩැස දැන්වත් අපි තේරුම් ගත යුතු ය. දෙමළ කතා කරන්නගේ ප්‍රශ්නයට විසඳුම යුද්ධය නොවූ බව අවබෝධ  කර ගත යුතු ය.  ඒ අවබෝධයෙන් හා අවංක පිළිගැනී‍‌මෙන් තොරව සංහිඳියාව අහසින් පාත් වන්නේ නැත.

සියල්ලට පෙර අපි අනෙකාගේ පැවැත්ම පිළිගැනීමට පුරුදු වෙමු. විරුද්ධ වීමට පෙර අනෙකාට ඇහුම්කන් දී ඔවුන්ගේ ප්‍රශ්නය තේරුම් ගත යුතු වෙමු. අතුරුදන් වූවන්ගේ අම්මලාගේ අරගලය ව්‍යාජ යැයි, එන්ජීඕ ව්‍යාපෘති යයි දකුණේ සිට චෝදනා කරනු වෙනුවට ඒ මිනිස්සුන්ට කියන්නට ඇති දේට ඇහුම්කන් දීමට අපිට විනාඩියක් නැත්තේ ඇයි? අපේ සුපිරිසිදු අත්වල ගෑවුණු ලේ දකිනවාට වඩා ඒ අම්මාවරු හමු වී ඇත්ත නැත්ත නොවිමසා නිගමනවලට එලඹීම පහසු හෙයිනි. ඒ මිනිසුන්ට ඇහුම්කන් දීමට වත් උවමනාවක් නැතිකම යනු ඒ අය අපේ නොවන වර්ගයකට අයත් බවට වන තක්සේරුව නොවේද?

ලංකාවේ සංහිඳියාව ඇති වීම හෝ නොවීම රඳා පවතින මූලික කාරණය වන්නේ සත්‍ය දැනගැනීමට හා යුක්තිය ඉටු කිරීමට අපිට අවංක වුවමනාවක් තිබෙන්නේද යන්නයි. ඒ අවංක වුවමනාවෙන් සමාව ගැනීම හා සමාව දීම කළ යුතු ය. සමාව ගැනීම සඳහා මුලින්ම දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇති බවටත්, ඒ ප්‍රශ්නයට අපි තෝරාගත් විසඳුම වැරදි එකක් බවටත්, ඒ මඟින් මිනිස් ඝාතන අතුරුදන් වීම් ඉඩම් කොල්ලකෑම් ආදී විනාශකාරී දේ සිදු වූ බවටත් පිළිගත යුතු ය. ඒත් අපව තල්ලු කර තිබෙන්නේ මෙකී පිළිගැනීම නොකරන සිටිනා තැනකට ය. මානුෂික මෙහෙයුමක් ලෙස මවා ගන්නා ලද තත්ත්වයක හිඳ යුද්ධයේ අමානුෂිකතාවන්ට ලක් වූවන්ද, ඒ අමානුෂිකතා පෙන්වා දෙන්නන්වද කොටි, දේශද්‍රෝහීන්, ඩොලර් කාක්කන් ලෙස හංවඩු ගැසීමට ය.

අපිට වැරදුනේ කොතැනද? අපි සහ අපේ නොවන ඉරි ගසා වෙන් කිරීමත්, යුද්ධය නරක වන තරමටම ජයක් ලෙස හිතන්නට පටන් ගත් පසු ය. යුද්ධයේ ජයග්‍රහණයට ඇති හොඳම අර්ථ දැක්වීම සඳහා මා දන්න කටුක සත්‍ය නිදසුනක්  තිබේ.  විජයග්‍රහණයේ ප්‍රතිමාව නමින් මුලතිව් දිස්ත්‍රික්කයේ  පුදුකුඩුඉරිප්පු හි ඇති එක් අතකින් ජාතික කොඩියත් අනෙක් අතින් තුවක්කුවකුත් ගත් සොල්දාදු ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා වැලි ගත් ඉඩම හිමි දෙමළ කතා කරන්නාට දැන් ඇත්තේ ඉඩමක් නොව ලොකු වලකි.

යුද්ධයක් යනු මරණය¸ වේදනාව හා අහිමි වීම මිස වෙන යමක් නොවේ. ඒ වේදනාව ඇත්තේ මරණකරුගේ හිතවතුන්ට ය. අතුරුදන් වූවන් ගැන වේදනාව, තම ඉඩම් ගෙවල් බලෙන් අයිති කරගෙන සිටිනු දැකීමේ වේදනාව ඇත්තේ ඒවාට මුහුණ දුන් අයට ය. එසේ වේදනාවක් නැතැයි,වහා වේදනා වීම නවත්තන්නැයි අණ කරන්නට අපිට නොහැක. සත්‍ය සොයා ඒ වේදනාවන්ට යුක්තිය ඉටු කිරීම අන් කිසිවකටත් වඩා ශිෂ්ටත්වය හා මනුෂ්‍යත්වය පිළිබඳ පිළිබිඹුවකි.

දෙමළ කතා කරන්නාට ඇති ප්‍රශ්නය දෙමළ කතා කරන්නාගේ සමාජයීය සම සාමාජිකත්වය සිංහල කතා කරන්නා විසින් පිළි නොගැනීමයි. අපි අනෙකාගේ ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ ඒ පිළිබඳ අපිට වුවමනා හැටියට නොවේ. දෙමළ කතා කරන්නාගේ දේශපාලන අභිලාෂ අවබෝධ කරගත යුත්තේ යතාර්ථවාදීව මිස සිංහලයාට ඕනෑ හැටියට නොවේ. අනෙකාගේ අනන්‍යතාවය පිළිගැනීමෙන් අපට කිසිවක් අහිමි ‍‍වන්නේ නැත. ජනවාර්ගික ප්‍රශ්නයට උණ්ඩයෙන් උත්තර සොයන්නට ගොස් නම් අපිට අහිමි වූ දේ ගිණිය නොහැකි තරම් ය.තුවාල වී බිඳුණු සමාජයක් සුවකිරීමට උත්සහ දැරීම පසෙකලා මේ වසර 11ට අපි කර ඇත්තේ අහස උසට යුධ ස්මාරක ඉදි කර යුධ කෞතුකාගාර ඇති සංචාරක කලාප ගොඩනගා තුවාල පාරවා සතුටු වීම ය.

කන බොන සෙනඟක් නොවී හිතන්නට හැකි මනුෂ්‍යයින් ලෙස අපි නැවත ශිෂ්ටත්වය අත්පත් කරගත  යුතු නොවෙද? 

සංජුලා පීටර්ස් | Sanjula Pietersz 

 

 

සංස්කාරක සටහන : සංජුලා පීටර්ස් විසින් රචිත මෙම ලිපියේ දෙමළ පරිවර්තනය පසුගිය වසරේ පළ කරන ලද “නන්දිකඩාල් පේසගිරද” (නන්දිකඩාල් කතා කරයි)‍ යන කෘතියේ පළ වී තිබේ.